
එක් කාල වකවානුවකදී ශ්‍රී ලාංකේය ජනසමාජය සිය දැනුමෙන් ප්‍රතිභාවෙන් දීප්තිමත් කළ සුවිශේෂී චරිත ඔබ වෙත ගෙන එන මෙම විශේෂාංගය සඳහා දශක හයකට අධික කාලයක් හෙළි ගී ලොව සිය සිහින් මධුර ස්වරයෙන් සැරසූ ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පිනි ඉන්ද්‍රාණි සේනාරත්න අද කතාබහට එක් වෙයි.
• උපන් ගම ? කොළඹ, කාසල් වීදිය.
• උප්පැන්නයේ නම ? ඉන්ද්‍රාණී විජයබණ්ඩාර
මුලින්ම පාසල් ගියේ ? කොළඹ මියුසියස් විද්‍යාලයට පසුව - කොළඹ දේවි බාලිකාවට
• දෙමවුපියන් ? තාත්තා - මාපාහාමු මුදියන්සේලාගේ ගිල්බට් විජයබණ්ඩාර. මව කරුණාවතී මහ ලියනගේ.
• සහෝදර සහෝදරියන් ? මා පවුලේ වැඩිමලා ලොකු නංගියි මල්ලිලා දෙන්නයි පුංචි මල්ලි 1993 වසරේ නැතිවුණා.
• මුලින්ම ගීතයක් ගායනා කළේ ? ගුවන් විදුලියට විසිපස් වසරක් පිරීම වෙනුවෙන් පැවැති උලෙළේදී සුනිල් ශාන්තයන් සමඟ.
• ගුවන්විදුලියෙන් ප්‍රථමයෙන්ම ගීතයක් ප්‍රචාරය වෙන්නෙ?
සුනිල් ශාන්තයන් සමඟ මේ ගැයූ ගීතය තමයි.
• ගීත ක්ෂේත්‍රයට මුලින්ම මඟ පෙන්නුවේ?
ගරු මර්සලින් ජයකොඩි පියතුමා. ඒ එක්දහස් නවසීය පණහේ දශකයේ.
• ගෙදර සංගීත පරිසරයක් තිබුණ ද?
නැහැ; මගෙ තාත්තා සංගීතයට හරිම කැමැතියි. මා ළදරු අවධියේ පටන් තාත්තා මාව දිරිමත් කළා. නිකං ඉන්න වෙලාවටත් කියනවා දුව සින්දුවක් කියන්නකෝ කියලා. හැබැයි ගෙදර සංගීත පරිසරයක්නම් තිබුණේ නෑ.
• ගුවන් විදුලියට පැමිණීමේ මුල් පියවර තිබ්බේ?
ගරු මර්සලින් ජයකොඩි පියතුමයි බී. එස්. පෙරේරා මහතයි මගෙ ගායනා විලාසය දැකලා ගුවන්විදුලියට රැගෙන එනකොට මට අවුරුදු දහයක් තරම්.
• ඒ ඇවිත්?
ඒ ඇවිත් මාව ළමා පිටිය කළ සරත් විමලවීරයන්ට බාර කළා. ආ එක කතාවක් කිව යුතුයි. ඒ කාලේ පරීක්ෂණයකින් තොරව කිසිදු අයෙක් ගුවන් විදුලියට ගන්නේ නෑ.
• ඒ කියන්නෙ ඔබත් පරීක්ෂණයට පෙනී සිටියා...?
නෑ! පියතුමයි පෙරේරා මහත්මයයි මාව රෙක්මන් කරපු නිසා ගන්න ඇති.
• ඉතින්! ඒ තීන්දුව නිවැරැදියි?
(සිනා...)
• කුඩා අවදියේම ගායන තරුවක් වීම නිසා ඔබට විශේෂ හිතමිතුරන් රැසක් ඉන්න ඇති?
නෑ. එහෙම විශේෂ පිරිසක් හිටියේ නෑ. අම්මත් එක්ක ගුවන්විදුලියට එනවා. අම්මත් එක්කම ගෙදර යනවා.
• ඒ කාලයේ ගුවන් විදුලියේ සංගීත අංශයේ ලොකු තැන කවුද?
පී. ඩන්ස්ටන් ද සිල්වා කියල මහත්මයෙක්. එයා සංගීතය පිළිබඳ හසළ දැනුමක් තිබූ ඒ විෂය හදාරපු කෙනෙක්.
• ඔබ ප්‍රාථමික අධ්‍යාපනය ලබන අවධියේ පටන් ගායන හැකියාවන් ඇති සුමිහිරි හඬක් තිබූ ළදරුවෙක්. ඒ බව විද්‍යාලය දැන සිටිය ද?
මොකද නැත්තෙ! ළදරු කාලයේ පටන් විද්‍යාලය ඒ බැව් හඳුනාගෙන තිබුණා.
. ළදරු යුගයේ ගායනා දිවිය හා සම්බන්ධ
• අමතක නොවන සිදුවීම් ඇති?
අපේ පාසලේ ලොකු පන්තිවල අයට දේශනයක් පවත්වන්න මහාචාර්ය ගුණපාල මලලසේකර ශූරීන් පැමිණියා. එතුමා පිළිගැනීමේ ගීතය ගැයුවේ මමයි.
• වෙන?
ඔව්! අමතකම නොවන සිද්ධිය ඔබට කියන්නම්.
• ඒ මොකක්ද?
මහාමාන්‍ය ඩී. එස්. සේනානායක අගමැතිතුමා අපේ පාසලේ උත්සවයකට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් පැමිණියා. ඒ තනියම නොවෙයි, මොලි සේනානායක මැතිනිය සමඟයි.
• ඉතින්!
ඒ දෙපළ පිළිගැනීමේ ගීතය ගායනා කළෙත් මමයි. ඒ 1952 වසරේ ඩී. එස්. මැතිතුමා අභාවප්‍රාප්ත වන්නට මාස කීපයකට උඩදියි. එතකොට මම දෙක වසරේ වගේ මතකයි මගේ ගායනයෙන් පසුව මොලි සේනානායක මැතිනිය අතින් මට ත්‍යාග පවා ලැබුණා.
• ඔබ කුඩා කාලයේ පටන් ගීත ගායනයට සම්බන්ධ වෙනවා මුලින්ම ලැබුණු මුදල් ත්‍යාගය?
ඒ කාලයේ අපට මුදල් ගෙවීම් කළේ නෑ. නිකං තමයි ගීත ගායනා කළේ.
• මුල්ම චිත්‍රපට පසුබිම් ගීතය ගායනා කළේ?
රේඛාව චිත්‍රපටයට. එහි ගීත දෙක වෙනුවෙන් මට ලෙස්ටර් රුපියල් දෙසීය පණහ බැගින් පන්සීයක් ගෙව්වා.
• පන්සියයක්!
ඔව්. ඒ කාලේ එය විශාල මුදලක්. කිව්වට ඔබත් එය විශ්වාස කරන්නෙ නෑ නේද?
එදා මෙදාතුර ඔබ ගයන ලද ගීත සංඛ්‍යාව.
තුන්හාර දහසක් පමණ.
• එදා ගායනා ක්ෂේත්‍රය ගැන කතා කළොත්.
එදා සීමිත පිරිසක් තමයි ගායනා ක්ෂේත්‍රයට පිවිස සිටියේ. එකම විද්‍යුත් නාලිකාවයි තිබුණේ. ඒ ගුවන්විදුලිය පමණයි. සංගීතය පිළිබඳ දැනුම් තේරුම් ඇති පරීක්ෂණ මණ්ඩලයකින් සමත්වීමෙන් පමණයි මේ ක්ෂේත්‍රයට පැමිණීමට හැකියාව ලැබුණේ.
• අද?
එවැනි දෙයක් පෙනෙන්නේ නෑ. දක්ෂතා ඇති දරුවන් සිටිනවා ඔවුනට නිසි මඟ පෙන්වීමක් හා අවබෝධයක් අවශ්‍යයි.
• කිකිළියක් රක්කවල පැටවු ගන්නා සේ අද බොහෝ නාලිකා මාස කීපයක් තුළදී සුපිරි ගායනා තරු බිහි කරනවා.
නියම සුපිරි ගායනා තරු ඔය විදිහට මාධ්‍යයෙන් බිහි කළ නොහැකියි. එය කාලයක් මුළුල්ලේ ජනතා හදවත්වල මෝරා දලුලා වැඩිය යුතු දෙයක්.
• ඔබ කියන්නේ ඒවා අසාර්ථකයි කියල ද?
නෑ! ඒ වගෙ වැඩවලින් වෙන්නේ සුපිරි තරු බිහිවීම නොවෙයි ඒ ඒ නාලිකා ජනප්‍රිය වීමයි.
• ඒ කියන්නෙ?
බලන්න මේ වැඩසටහන්වලට රුපියල් ලක්ෂ ගණන් වැය කරනවා. සංදර්ශන පවත්වනවා. අන්තිමට අනෙක් නාලිකාවට වැඩියෙන් මේ නාලිකාව රුපියල් කෝටි ගණන් තෑගිත් දෙනවා. එතන තියෙන්නේ නාලිකා අතර ජනප්‍රිය වීමේ තරගයක්.
• දැන් අපි එදා සංදර්ශන වේදිකාව ගැන කතා කරමු.
එදා සංදර්ශනවලට කොළඹ සිට ශිල්පීන් යන්නේ එකම බසයෙන්. එහෙම ගිහින් ඒ බසයෙන්ම අපි නැවත එකට එනවා. ඒ ගමන් හරිම සොඳුරුයි. විනෝදයි.
• කවුද මේ ශිල්පීන්...
ඒ කාලයේ සිටි ජනප්‍රිය සියලුම ශිල්පීන්. ඒ අතර වික්ටර්, ජෝති, මිල්ටන්, ලතා, සුජාතා, සුසිල් අපි සියලු දෙනා එකම පවුලේ සහෝදරයන් වගේ.
• එදවස ඇති තරම් රසවත් සිදුවීම් ඇති.
අපෝ... ඔව් හැම දිනයක්ම, ගමනක්ම ඉතිං රසවත්.
• මේ ප්‍රශ්නය මා කලින් ඇසිය යුතුව තිබූ ප්‍රශ්නයක්. ඔබ ගයන ලද ගීත දහස් ගණන අතරින් වඩාත්ම කැමැති.
එකක් කියලා කියන්න බෑ. ඒත් ඔබ අසන නිසා කියන්නම්. ‘වෙසක් කැකුළු අතු අග ඉඳ නටන විලාසේ...’, ‘දඟකාරි මං මද්දුම දෝණි ඔබට අකීකරු නෑ අම්මේ...’, ‘ගයා ගීතයන් ගමේ වෙල් එළියේ දුව පැන ඇවිදලා සෙල්ලම් කළේ...’
• ඔබේ විවාහ ජීවිතේ තොරතුරු ටිකක් දැනගන්න කැමැතියි.
මා සිසිර සමඟ (සිසිර සේනාරත්නයන්) විවාහ වුණේ 1962 මැයි මාසයේ අපට දරුවන් තිදෙනෙකු සිටිනවා.
• කවුද ඒ?
ලොකු දුව සුගානි, පුතා සංජය, පොඩි පුතා සමීර.
• විවාහ ජීවිතයේදී සිසිර සේනාරත්නයන් ඔබට කොයි වගේ බලපෑව ද?
රජයේ සේවකයෙක් වගේම එයා ජනප්‍රිය ගායන ශිල්පියෙක්. ඒ කාලයේ සිනමාවටත් විටින් විට ආරාධනා රාශියක් එයාට ආවා. ඒත් නළුවෙක් වෙන්න ඔහුට ආශාවක් තිබුණේ නෑ.
• ඒ ඇයි?
හප්පෝ... සිසිර කියන්නේ හරියට සැප පහසුව සොයපු කෙනෙක්. කෑම බීම ඉඳුම් හිටුම් පවා එයාට ඉතා ඉහළින් තියෙන්න ඕනැ.
• මේ පැවතුම් ඔබට වධයක් වුණා?
ඔව්නේ...! මුල් කාලයේ වධයක් වුණත් පහුවෙනකොට මම එයාට අවශ්‍ය විදිහට හැඩ ගැහුණා. ඊට පසු කාලයේ එයා කියලා තිබුණා මම එයාගේ අම්ම කියලා. 2015 ඔහු ජීවිතයෙන් සමුගන්න තෙක් මා ඔහු වෙනුවෙන් ආදරයෙන් කැපවුණා.
• දරුවන්?
දරුවන් තිදෙනාම විවාහකයි. ඔවුන් ඔවුන්ගේ දරුවන් සමඟ ඉතා හොඳින් ජීවත් වෙනවා. ලොකු පුතා ජර්මනියේ. ඔහුට දියණියන් දෙදෙනෙක්. දුවට, දුවයි පුතයි. පොඩි පුතාට පුතෙක්.
• ජීවිතය දෙස ආපසු හැරී බලද්දී?
හරිම සුන්දරයි. ඒ සුන්දරත්වය රැකගන්න අප තරුණ කාලයේ කල්පනාවෙන් වැඩ කටයුතු කළ යුතුයි.
• ඒ කියන්නෙ?
තරුණ කාලේ මුදල් හරිහම්බ කරන විට විශේෂයෙන් ඒවා අරපිරිමැස්මෙන් පරිහරණය කිරිම ඉතා අවශ්‍යයි. එහෙම නැතිව අවසානයේ සොඳුරු ජීවිතයක් ගත කරන්න ලැබෙන්නේ නෑ.
• ඔබ අරපිරිමැස්මෙන් කටයුතු කළා?
සත්‍ය වශයෙන්ම ඔව්. බලන්න අපේ ඇතැම් කලාකරුවන් එසේ කටයුතු නොකර ජීවිතයේ අවසාන කාලයේ දුක්ඛිත ජීවිත ගත කරනවා.
• ඔබ අම්මා කෙනෙක් හැටියට කළ භූමිකාව?
මගේ අම්මගෙන් මා ලැබු දෑ මම මගේ දරුවන්ට දුන්නා. දරුවන්ගේ රැකවරණය ආරක්ෂාව අධ්‍යාපනය වගේම මව් සෙනෙහස උපරීමයෙන් ලබා දුන්නා. එහෙම හදන දරුවන් නොමඟ යන්නේ නෑ. එහෙම යනවානම් මම ඉහතින් කිව්ව කාරණාවල කිසියම් අඩුවක් තිබිය යුතුයි.
• ඒ කියන්නේ ඔබ ජීවිතේ තෘප්තිමත්.
උපරිමයෙන්...