• කෙනකුට තියෙන්නේ එක කේන්දරයක් නම් ඒක බලන ජ්‍යොතිෂවේදීන් දහ දෙනෙක් දහ විදිහකට පලාපල කියන්නේ ඇයි ?
නානාත්ථ කායා නානාත්ථ සංඥා කියන්නේ ඒ නිසානේ . නිල්පාට කිව්වම එක පාටයි . ඒත් එක එක ඇස්වලට පෙනෙන නිල්පාට විවිධාකාරයි . කේන්දරයත් එහෙම ම තමයි .
• ස්ත්‍රී කේන්දරයක කුජ හතේ නම් ඇගේ සැමියා අකාලයේ මැරෙනව ද ?
-ඒක තමා සාමාන්‍ය දැනුම . එහෙත් කුජ දෝෂය අහෝසිවන ග්‍රහ පිහිටීම් සිය ගණනක් තියෙනවා . ඒ නිසා හතේ කුජට ඔය තරම් බයවෙන්න දෙයක් නෑ . කුජ හතේ සිටීම සමහර කේන්දරවලට ඉතාම හොඳයි .
• සෙනසුරාදා දවසේ සෙනසුරු හෝරාවේ කුජ පංචම හෝරාව සුබ වැඩකට ඉතාම නරකයි කියන්නේ ඇත්ත ද ?
- ඔව් ඒක හරිම ඇත්ත කතාවක් . කිසිම සුබ වැඩකට විතරක් නෙවෙයි ගෙයින් එළියට බහින්නවත් මේ කාලය සුදුසු නෑ . රාහු කාලයටත් වඩා මේ විනාඩි කිහිපය ඉතා නපුරුයි. බිහිසුණු අනතුරු වැඩිම ගණනක් සිදුවෙලා තියෙන්නේ ඔය කාලයේදී බව ඔප්පුවෙලා තියෙනවා . මේ දවස්වල සෙනසුරු සහ කුජ එකට එකතුවෙලා ඉන්න නිසා කවුරු කවුරුත් පරිස්සමෙන් ! .
• හතර කේන්දරය පාළුයි කියන්නේ මොකකට ද - එහෙම අයට කසාද බඳින්න බැරි ද ?
-ඕනෑම කේන්දරයක 1-4-7-10 කියන ස්ථාන හතරේ කිසිම ග්‍රහයෙක් නැත්නම් හතර කේන්දරේ පාළුයි කියනවා. එහෙත් ඔබේ අතේ තියෙන දළ රාශි කේන්දරයෙන් නම් හරියට ම ග්‍රහයන් ඉන්න තැන් පෙන්වන්නේ නෑ . ඒක බලන්න නම් ඉතා ම නිවරැදි භාව කේන්දරයක් හදා ගන්න ඕනේ . ඒකෙත් හතර කේන්දරයේ කිසිම ග්‍රහයෙක් නැති වුණත් ඒක විවාහයට බාධාවක් නෙවෙයි කියලා සිය දහස්වර ඔප්පුවෙලා තියෙනවා .
• මිනිත්තු කිහිපයක පරතරයක් ඇතිව උපදින නිවුන්නුන්ගේ කේන්දර දෙක 100 % ක් එක හා සමානයි . නමුත් දෙන්නා දෙවිදියක් . එක් කෙනෙක් • පෝසත් අනෙකා දුප්පත්. මේ වගේ සිද්ධි නිසා ජ්‍යොතිෂය බොරුවක් බව ඔප්පු වෙනව නේද ?
කේන්දර දෙකක් හාත්පසින් ම එකිනෙකට වෙනස් වෙන්න එක මිනිත්තුවක වෙනස හොඳටම ප්‍රමාණවත් . නිවුන් දරුවන්ගේ කේන්දර දෙක මතුපිටින් බැලුවම එක හා සමාන වගේ පෙනුනට සියුම්ව පරීක්ෂා කරත්දී ඒවා එකිනෙකට වෙනස් බව පෙනෙනවා . ක්රිෂ්ණ මූර්ති ක්‍රමය මෙන්න මෙතැනදී ඉතා විශිෂ්ටයි . මතුපිටින් පෙනෙන දේ සත්‍යය හැටියට ගන්නවා නම් විද්‍යාවක් ශාස්ත්‍රයක් මොකට ද කියලා ඇහුවේ ලෝක පූජිත භෞතිකවාදියෙක් . මෙන්න මේ වගේ ගැටලුවලදී ජ්‍යොතිෂ්‍යයේ වටිනාකම තවත් ඉහළ යනවා .
• සුබ නැකතක් කියන්නේ මොකකට ද ?
ඔබ පෙර කළ පව් අඩුවෙන් ම විපාක දෙන වේලාවට තමා සුබ නැකත කියන්නේ . සත් පුරුෂයන්ට සහ ඉතා ධාර්මික ජීවිත ගත කරන අයට ඔය කියන සුබ නැකත්වලින් වැඩක් ම නෑ .
ජ්‍යොතිෂය ආලෝකයේ විද්‍යාව ය
ප්‍රේමය හදවතේ භාෂාව ය
ආලය හෙවත් ප්‍රේමය අන්ධ වන්නේ
ආලෝකය නැති විට පමණි
ආලෝකය යනු අන් කිසිවක් නොව
ප්‍රඥාව ය
ජ්‍යොතිෂය නැණවතුන්ට ම
පමණක් සරි වන
පැණවතුන්ට ම පමණක්
පිහිට වන
විශ්ව ප්‍රඥාවේ මහිමය යි
ඇතැමෙක් එය හේතුඵලවාදී කර්මය ලෙස ද
තවකෙක් එය දෙවියන් වහන්සේගේ කැමැත්ත ලෙස ද
අන් කෙනෙක් එය මිථ්‍යාවක් ලෙස ද
දකිති
කවුරුන් කොයි ලෙස දුටුවත්
හිරු මෙන් ම එහි ආලෝකය ද
සැමට උරුම ලෙස නිසි කලට නිසි ලෙසට
එළිය සහ අඳුර බෙදා දෙයි
නුවණැත්තා අඳුරෙන් ආලෝකයට ද
ආලෝකයෙන් ආලෝකයට ද ගමන් කරයි