විද්‍යාව හා තාක්ෂණය පාසල් අධ්‍යාපනයේදී අනිවාර්ය විය යුත්තේ ඇයි? | Page 10 | සිළුමිණ

විද්‍යාව හා තාක්ෂණය පාසල් අධ්‍යාපනයේදී අනිවාර්ය විය යුත්තේ ඇයි?

 නිදහස ලැබී අවුරුදු හැට හතක් ඉක්මවූවත් පවතින අධ්‍යාපනය තුළින් රටේ දැවෙන ප්‍රශ්නවලට පිළිතුරු සෙවීමට අපොහොසත් වීම කණාගටුදායක කරුණකි.

තරුණ අසහනය, රැකියා ප්‍රශ්නය දරුවන් පාසල් අතහැර යෑම, විවිධ සාමාජික ගැටලු පරිසර ගැටලු සමාජ සංවර්ධන සහ පුද්ගල සංවර්ධන ගැටලු දවසින් දවස වැඩි වී තිබේ. වර්තමානයේ ජනතාව කොපමණ විනය ගරුකද යන්න පාරට පැමිණි විට මනාව පැහැදිලි වේ. දිනෙන් දින අගතිය කරා පාර පෙන්වන මේ ගැටලුවලට වගකිව යුත්තේ කවුරුන්ද?

පාසල තුළ සිසුන් වෙහෙසට පත් කරන විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය අද ජාතික ප්‍රශ්නයක් වී ඇත. රජය විශාල මුදලක් මේ සඳහා වැය කළද එම මුදල්වලින් ඵලදායී කාර්යයන් ඉටු වේද යන්න ගැටලුවකි.

රටක අනාගත අරමුණු ඉටු කරගැනීමට අධ්‍යාපනය ඉතා හොඳ මෙවලමකි. දැනුමට වඩා දරුවන්ගේ කුසලතා හා ආකල්ප වෙනස් කිරීමට අධ්‍යාපනය මගින් උත්සාහ දැරිය යුතුය.

අධ්‍යාපනයේ හරාත්මක විෂයන් වන විද්‍යාව හා තාක්ෂණය අධ්‍යාපන පද්ධතිය සමග එකතුවීමත් සමග රටේ ජීවත් වන අනාගත මිනිසුන්ගේ චින්තන රටාවේ වෙනසක් බලාපොරොත්තු වූවත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලින් සෙතක් රටට සිදු වී නැති බව පැහැදිලි වේ.

වසර දෙදහස් පන්සියයක් පමණ අභිමානනීය ඉතිහාසයක් අපට තිබුණද එම පැරණි ඉංජිනේරු ශිල්පය, කෘෂිකර්මය හා වාර්මාර්ග ව්‍යාපෘතිවලින් අත් බෙහෙත්හේත් ඉගැන්වීමේ ශිල්ප ක්‍රම, පාරම්පරික තාක්ෂණික උපක්‍රම, වාස්තු විද්‍යාව වැනි දේ ගැන සොයා බැලීමට කාලය පැමිණ ඇත.

ළමයින්ට ඉගෙන ගැනීමට අයිතියක් තිබුණද වර්මාන පන්ති කාමරය අද දරුවා අදහසයට පත් කරන, පාසල එපා කරන ස්ථානයක් බවට පත් කර ඇත.

යල් පැන ගිය ඉගැන්වීමේ ක්‍රම, ශිල්ප ක්‍රම භාවිත කරමින්, ඉගෙනුම් ඉගැන්වීමේ ක්‍රියාවලිය ළමා මනසට නොගැළපෙන, ළමයින්ගේ හද ගැස්මට නොගැළපෙන නිසා අද සිසුන්ට පාසල එපා වී ඇත. අධ්‍යාපන පර්යේෂණවලට අනුකූලව සකස් විය යුතු අතර දැනුම, නිපුණතා, කුසලතා හෝ ආකල්ප බෙදා හරින මාධ්‍ය අද අංශභාග තත්ත්වයට පත්ව ඇත.

පවතින ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය ළමා මනසට ගැළපෙන පරිදි සකස් කරගත හොත් පමණක් ළමයින් වෙහෙසට පත් නොවන අධ්‍යාපන ක්‍රමයක් සකස් කළ හැකිය. අද පවතින පාසල් අධ්‍යාපනය/ පෙර පාසල් අධ්‍යාපනය ළමා මනස වෙහෙස කරවන තත්ත්වයට පත් කර තිබේ. අද පවතින නීරස ඉගෙනුම් ක්‍රම නිසා ඉගෙනීමේ ක්‍රියාවලිය ළමා අයිතීන් උල්ලංඝනය කිරීමක්ද? ළමයා සතුටින්, විනෝදයෙන් කුසලතා වර්ධනය කිරීම සඳහා මේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය වෙනස් විය යුතුය. මනෝ විද්‍යාත්මකව හෝ අාධ්‍යාත්මිකව පන්ති කාමරය තුළ ළමා අයිතීන් උල්ලංඝනය නොවිය යුතුය.

නිදහස් අධ්‍යාපනය කොයි ආකාරයට අර්ථ දැක්වූවද ලොකු කුඩා සියලු සිසුන්ට පාසල් කාලයෙන් පසු සෙල්ලම් කිරීමට පවා තිබෙන අයිතිය උදුරාගෙන තිබීම කණගාටුවට කරුණකි. එය එසේ සිදු කර ඇත්තේ දෙමාපියන් හා විභාග කර්මාන්ත ශාලා විසිනි. රටේ සැලසුම් කරන අධ්‍යාපන ප්‍රතිපත්තිය කොතරම් රටට වැඩදායකද? රටේ සංවර්ධනයට ඉවහල් වේද? පුද්ගල සංවර්ධනය එකමුතුකමින් වැඩ කිරීම අවංක වීම වැනි ගුණාංග, නිරීක්ෂණ කුසලතා ගැටලු මුල් කරගෙන ප්‍රශ්න ඇසීමේ කුසලතා සටහන් වගුගත කිරීමේ කුසලතා, යමක් සිතා ලිවීමේ කුසලතා හා තැනට සුදුසු ආකාරයට ද්‍රව්‍ය මෙවලම් තැනීමේ කුසලතා අද විද්‍යාත්මක අධ්‍යාපනයෙන් දරුවන්ට උරුම කළ යුතුය. එහෙත් අද අධ්‍යාපනයේ මිනුම් දණ්ඩ විභාගය නිසා පවතින අධ්‍යාපනයේ දුර්වලතා විශාල වශයෙන් දක්නට ඇත. මිනිසුන්ගේ චින්තන රටාව අධ්‍යාපනයෙන් වෙනස් කළ යුතුය.

පළමු වසරේ සිට අට වසර දක්වා විද්‍යාව විෂය ඇතුළු නෙකුත් විෂයන් පන්ති කාමරය තුළ සිසුවාට සතුටින් ඉගෙනීමට සැලැස්විය යුතුය. විද්‍යාව වැනි විෂයක් නව පරිසරයට සමීප කරවීම සඳහා නිර්මාණශීලීව එය සකස් කළ යුතුය. හැකි පමණ ඉවත දමන ද්‍රව්‍ය, එදිනෙදා ජීවිතයේ භාවිත කරන උපකරණ හා මෙවලම් විද්‍යාව වැනි විෂයන් ඉගෙනුම් හා ඉගැන්වීම් ක්‍රියාවලියට යොදා ගැනීමෙන් ළමයාගේ මනස මූලධර්ම සමග මේරීමට පටන් ගනී. ඉවැනි ඉගැනුම් ක්‍රමවේද මගින් නිර්මාණශීලී මනස සංවර්ධනය කරන නිසා රටට වැඩදායක, නව ආකාරයකට සිතන පතන නව සමාජයක් බිහි කිරීමට ප්‍රමාණවත් වනු ඇත.

නව යොවුන් වියේ පසුවන සිසුන් බොහෝ විට නිර්මාණශීලී හා ගවේෂණාත්මක චින්තනයට ප්‍රියමනාපකමක් දක්වන නිසා සිසුන් තුළ ඇති සහජ දක්ෂකම් ඔප නැංවීමට පාසල තුළ ඉගෙනුම් හා ඉගැන්වීම් ක්‍රියාවලිය නිර්මාණය විය යුතුය. සිසුන්ට පාසල එපා කරවන විභාග කර්මාන්ත ශාලා පෝෂණය කරන අධ්‍යාපන ක්‍රමයට නැවතීමේ තිත තැබිය යුතුය.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින විභාග ක්‍රමය සමස්ත සමාජයට වින කරයි නම්, එම ක්‍රමය සිසුන්ගේ කුසලතා හා නිපුණතා තක්සේරු කරන හා ඒවා වර්ධනය කරන ඇගැයුම් ක්‍රමයක් බවට පරිවර්තනය කිරීමට අධ්‍යාපන බලධාරීන් සමත් විය යුතුය. විද්‍යා අධ්‍යාපනය ඵලදායී කිරීමට විද්‍යා සංගම් නිර්මාණකරුවන්ගේ සංගම් ධෛර්යවත් කළ යුතුය. ඒ සඳහා විෂය නිර්දේශය තුළ ඇගැයුමක් කළ යුතුව ඇත. අවුරුදු සියයක් පමණ පැරැණි පන්ති කාමරයට ආයුබෝවන් කියා නව ක්‍රියාකාරී පන්ති කාමරයක් සකස් කිරීමට අධ්‍යාපනය සම්බන්ධ ඇගැයීම් පර්යේෂණ කළ යුතුව ඇත.

ආචාර්ය ලක්ෂ්මන් නෝනිස් 

Comments