විශ්වවිද්‍යාලයට විශ්වය අමතක වෙයි | සිළුමිණ

විශ්වවිද්‍යාලයට විශ්වය අමතක වෙයි

 ග්‍රීක දාර්ශනිකයකු වූ සොක්‍රටීස් සඳහන් කොට ඇත්තේ ඔහු “ඉතාමත් ම ඥානවන්ත මිනිසකු වූයේ තමන් නොදන්නා බව දැන සිටි නිසයි” යනුවෙනුයි. ඇත්තෙන්ම දැනුම සොයා යන්නට අප වැඩිපුර මහන්සි වන්නේ එසේ සිතන විටයි. කිසියම් විෂයයක් පිළිබඳව හෝ විෂයයන් කිහිපයක් පිළිබඳව හෝ වැඩි වැඩියෙන් දැන ගන්නට දැන ගන්නට දන්නා දේ අඩු බවත් නොදන්නා දේ වැඩි බවත් දැන ගනියි. සොයා නොගත් දේ මහා සාගරය තරම්ය. එවිට තව තව සොයා ගන්නට තව තව ඉගෙන ගන්නට සිතෙයි. අධ්‍යාපනය ලබන්නට සිතෙයි. ගුරුත්වාකර්ෂණය ඇතුළු ස්වභාවධර්මයේ ඇතැම් සැඟවුණු රහස් සොයා ගත් ශ්‍රේෂ්ඨ විද්‍යාඥයකු වූ අයිසැක් නිවුටන් අධ්‍යාපනය ලැබුවේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙහිය. “ලෝකයේ විද්‍යාඥයින් මා ගැන මොනවා සිතුවද මවිසින් කරන ලද්දේ මුහුදු වෙරළේ සෙල්ලම් කරන දරුවකු විරල වර්ගයේ එක් සිප්පි කටුවක් සොයා ගැනීම වැනි දෙයක් පමණකි. මහා සාගරයේ ඊට වඩා බොහෝ දේවල් ඇත” යනුවෙන් ඔහු සඳහන් කර තිබේ.

අධ්‍යාපනයේ අරමුණ අප විසින් අප අවබෝධ කරගැනීම හෙයින් අපි ජීවිතාන්තය දක්වා ම අධ්‍යාපනය ලබන්නෙමු. විශ්වවිද්‍යාල ශිෂ්‍ය ජීවිතයේ දී සිදුවන්නේ ශිෂ්‍යයනුත් ගුරුවරුනුත් එකට එකතු වී ඉගෙන ගැනීමයි. යම්කිසි මාතෘකාවක් පිළිබඳව උගන්වන්නට පෙර ආචාර්ය මහාචාර්යවරු ඒ මාතෘකාව පිළිබඳව කලින් හදාරා තිබූ දේ පොත පත මඟින්, අන්තර්ජාලය මඟින් ඔප මට්ටම් කර ගනිති.

පාසලේදී පිරිමි දරුවන් හා ගැහැනු දැරියන් ලෙස සැලකුම් ලැබූ පසුව වැඩිහිටියන් ලෙස විශ්වවිද්‍යාල පාඨමාලා හදාරා විභාගවලින් සමත් වූ උපාධිලාභීන්ගේ එම අධ්‍යාපනයත් සමඟ කිසියම් පෞරුෂත්ව පරිවර්තනයක් සිදු වී ඇත. පන්ති කාමරයේදී අධ්‍යයනය මෙන්ම පන්ති කාමරයෙන් බාහිර ක්‍රියාකාරකම්ද ආචාර්යවරුන් සමඟ මෙන්ම පුළුල් සමාජය සමඟ ඇතිකරගන්නා සම්බන්ධතාද එම පෞරුෂත්ව වර්ධනයට බෙහෙවින් ආධාර දෙයි. විද්‍යාඥයකු, මානව ශාස්ත්‍රඥයකු, සමාජ විද්‍යාඥයකු ලෙස ලබන දැනීම ඒ අයුරින් වෘත්තිය ජීවිතයේදී බොහෝ විට භාවිතයට නො ගැනෙයි. විවිධාකාර විෂයයන් හදාරන ලද අයගෙන් සමහරකු පරිපාලන ක්ෂේත්‍රයට සම්බන්ධ වන්නට පුළුවනි. නැතහොත් පෞද්ගලික ක්ෂේත්‍රයේ කිසියම් වෘත්තියක නිරත වන්නකු වන්නට හැකිවේ. ඒ ඒ කාර්යයන් සඳහා රැකියා සපයන දෙපාර්තමේන්තු සහ පෞද්ගලික ආයතන ඒ ඒ රැකියා සඳහා කිසිවකු තෝරාගනු ලබන්නේ විෂය දැනුම නිසා නොව ඒ ඒ විෂයයන් සාර්ථක ලෙස හැදෑරීමෙන් ඔහු හෝ ඇය විසින් පෙන්වා ඇති පෞරුෂත්ව ශක්තිය හා කුසලතාව නිසාය.

අධ්‍යාපනය පිළිබඳව කරන ලද මේ කෙටි හැඳින්වීමෙන් පසු මාතෘකාවේ විශ්වවිද්‍යාල යන තේමාවට අවධානය යොමු කිරීමට කැමැත්තෙමි. ප්‍රාථමික සහ ද්විතීයික අධ්‍යාපනය ලබාදීමෙන් පසු වැඩිහිටි ශිෂ්‍යයින් සඳහා උසස් අධ්‍යාපනය ලබාදීමේ ආයතන ඈත අතීතයේ සිටම පෙරදිග සහ මැදපෙරදිග ඇතැම් රටවල දක්නට ලැබිණ. ක්‍රි. පූ. ශතවර්ෂවල පැරැණි භාරත දේශයේ කොටසක් වූ වර්තමාන පාකිස්තානයේ තක්ෂිලා, නැ‍ෙඟෙනහිර ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ නාලන්දා වැනි උසස් අධ්‍යාපන ආයතන එබඳු ඒවා ලෙස සැලකිය හැකිය. විභාග ක්‍රමය ලෝකයට හඳුන්වා දුන් චීනයේ ක්‍රි. ව. තුන්වන ශතවර්ෂයේ මැද භාගයේ සිට පැවැති “නැන්ජින්” අධ්‍යාපනායතනයත් එබඳු එකකි. එයාකාර ම තවත් ආයතනයක් ක්‍රි. ව. දසවන ශතවර්ෂයේදී ඊජිප්තුවේ කයිරෝ නුවර පැවැති අතර එය “අල් අෂර්” නමින් හඳුන්වනු ලැබීය. එහෙත් මේ එක් ආයතනයක්වත් වර්තමානයේ විශ්වවිද්‍යාල නමින් හඳුන්වනු ලබන ආයතන නොවෙයි.

වර්තමානයේ දක්නට ලැබෙන ආකාරයෙන් ලෝගුවක් පළඳවා උපාධි ප්‍රදානය කෙරෙන විශ්වවිද්‍යාලයක් මුලින්ම ආරම්භ කරන ලද්දේ ක්‍රි. ව. එකොළොස් වන ශතවර්ෂයේ අවසාන භාගයේදීය. එය ඉතාලියේ “බොලොඤඤා විශ්වවිද්‍යාලයයි. ඊට ටික කලකට පසු දොළොස් වන ශතවර්ෂයේදී ඒ හා සමානව ප්‍රංශයේ පැරිස් විශ්වවිද්‍යාලයත් එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් හා කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයත් ආරම්භ විය.

උපාධියක් පිරිනැමීමේදී ලෝගුවක් පැළඳවීම ක්‍රිස්තියානි ලෝකයේ තාපසාරාමවල ආභාසයෙන් ඇති වූ සම්ප්‍රදායකි. බී. ඒ., එම්. ඒ., එම්. එස්. සී., වැනි උපාධි නාම පිළිබිඹු කරන්නේ මධ්‍යකාලීන යුරෝපයේ පැවැති පුරුෂ මූල සමාජයයි. කාන්තාවන්ට ප්‍රදානය කෙරෙන උපාධිත් හඳුන්වන්නේ බැචුලර්, මාස්ටර් වැනි පදවලින් ය. බැචූලර් යැයි හඳුන්වන්නේ විවාහ වීමට සුදුසු පිරිමි වැඩිහිටියෙකි. උසස් අධ්‍යාපනයේ දී “බැචූලර්” උපාධිය හඳුන්වන්නේ වැඩිහිටියකු ලෙස මූලික අධ්‍යාපන සුදුසුකමක් ලබා තිබේය යන්නයි. එය සම්පූර්ණ සුදුසුකමක් නොවේ. එයින් ඔබ්බේ තවත් බොහෝ කඩයිම් ඇත. ඉගෙන ගන්නට බොහෝ දේවල් තිබේ.

වර්තමානයේ ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල පරිහානියක් ඇතැයි යන්න නිතර එල්ල වන විවේචනයකි. මේ චෝදනා පුළුල් රාමුවක බහා විශ්ලේෂණය කළ යුතුව තිබේ. එක් අතකට පරිහානිය දේශපාලන භූමිකාවේත් සමාජයේත් දක්නට ඇති ප්‍රවණතාවකි. අනෙක් අතට විශ්වවිද්‍යාලවල පරිහානියක් ඇතැයි කියන අය ඒ සඳහා භාවිත කරන්නේ කවර මිණුම් දණ්ඩක් ද යන්න විභාග කළ යුතුයි. මා පෞද්ගලිකව විශ්වාස කරන්නේ වර්තමාන විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවගේත් ආචාර්යවරුන්ගේත් දැනුම් සම්භාරය සහ බුද්ධි මට්ටම ඉතා ඉහළ බවයි.

විෂයයන් හතරකින් සාමාන්‍ය සාමාර්ථය ලැබූ එමෙන්ම මුළු ලකුණු සංඛ්‍යාව වූ 400න් 180ක් ලබාගත් ශිෂ්‍ය ශිෂ්‍යාවෝ පවා 1960 දශකයේ අවසානය දක්වාම විශ්වවිද්‍යාලවලට තෝරාගනු ලැබූහ. එහෙත් වර්තමානය වන විට සියලුම විෂයයන්ට “ඒ” සාමාර්ථ ලබා ගත් ඇතැම් අපේක්ෂකයෝ පවා විශ්වවිද්‍යාලවලට තෝරා ගනු නො ලබති. තෝරා ගනු ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ බුද්ධි මට්ටම අතීතයේදී තෝරාගත් අයගේ බුද්ධි මට්ටමට වඩා ඉතා ඉහළ විය යුතුයි. වර්තමානයේ තරගය ඉතා උග්‍රයි. පරිහානියක් ඇතැයි සඳහන් කරන අය විශ්වවිද්‍යාලවලින් පිටවෙන අයගේ ඉංග්‍රීසි දැනුම අඩුයි යනුවෙන් සඳහන් කරන්නේ නම්, ඔවුන්ගෙන් සමහරු රැකියා වෙළෙඳපොළට නොගැළපෙයි යන මිණුම් දණ්ඩ උපයෝගී කරගන්නේ නම් එය සාධාරණයි. එහෙත් ඒ පැතිකඩ විභාග කළ යුත්තේත් කාලීන තත්ත්වවල වෙනස්කම් අවබෝධ කරගෙනය.

1959 දක්වා දිවයිනේ පැවැතියේ ලංකා විශ්වවිද්‍යාලය පමණකි. 1959 දී කැලණිය සහ විද්‍යෝදය පිරිවෙන්, විශ්වවිද්‍යාල බවට පත් කරන ලදී. 70 දශකයෙන් පසු යාපනය, රුහුණු හා තවත් විශ්වවිද්‍යාල රාශියක් බිහි වී අද වන විට රාජ්‍ය විශ්වවිද්‍යාල සංඛ්‍යාව 15ක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ හැර රජයට සම්බන්ධ උපාධි ලබාදෙන වෙනත් ආයතනත් තිබේ. පෞද්ගලික ආයතනද තිබේ. මේ පසුතලයේ තරගය ඉතා ඉහළය. එම තරගයේ දී භාෂා කුසලතාව, පෞරුෂත්ව වර්ධනය, පිරිස් කළමනාකරණය, සන්නිවේදන හැකියාව යනාදි සියලු දේ බලපායි. මේ නිසා මේ වාස්තවික තත්ත්වයේ සමස්ත විශ්වවිද්‍යාල ප්‍රජාව දෙස සානුකම්පිතව බැලිය යුතුව ඇත. එසේම කාලීන වෙනස්කම්වලට අනුව විශ්වවිද්‍යාල පාඨමාලා නවීකරණය කළ යුතුයි.

පෞද්ගලික විශ්වවිද්‍යාල පිළිබඳ ප්‍රශ්නයත් පුළුල් රාමුවක ලා විභාග කළ යුතුයි. නිදහස් අධ්‍යාපනය හොඳ දෙයකි. ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනය යන යෙදුම රාජ්‍ය මන්ත්‍රණ සභාවේ අවසාන යුගයේ දී සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතා අධ්‍යාපන ඇමැති වූ අවස්ථාවේ සිට ඉතා ජනප්‍රිය විය. ඒ කාලයේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පැවැති වාතාවරණය අදට වඩා සම්පූර්ණයෙන් වෙනස්ය. එම අවදියේ සමාජයේ ඉහළ ස්තරයන්ට ප්‍රවේශ විය හැකි ඉංග්‍රීසි අධ්‍යාපනය මූලික වශයෙන්ම ලබා දුන්නේ මිෂනාරි පාසල් මඟින්ය. ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වූ රජයේ එකම පාසල කොළඹ රාජකීය විද්‍යාලය පමණි. මේ නිසා ගම්බද දුගී දුප්පත් දරුවන්ට ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබාදෙන මධ්‍ය විද්‍යාල පිහිටුවීම නිදහස් අධ්‍යාපනයේ මූලික අංගයක් විය. එහෙත් අධ්‍යාපන මාධ්‍යය ස්වභාෂාවන්ට පරිවර්තනය වනවාත් සමඟම මේ තත්ත්වය වෙනස් විය.

මේ හැර උසස් අධ්‍යාපනය ලබා ගැනීම සඳහා දළ වශයෙන් වසරකට එකොළොස් දාහක පමණ ශිෂ්‍යා සංඛ්‍යාවක් පිටරටවලට ඇදී යති. ඒ සඳහා විශාල විදේශ විනිමය ප්‍රමාණයකුත් වැය වෙයි. මේ වාස්තවික තත්ත්වයේදී ශ්‍රී ලංකාවේ පෞද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවීම ඉතා යහපත්ය. එහෙත් ඒ සමඟම විශේෂයෙන් සඳහන් කළ යුත්තේ ඒවා නිසි ප්‍රමිතිකරණයකට ලක්විය යුතු බවයි.

ප්‍රමිතියෙන් තොර පෞද්ගලික විශ්වවිද්‍යාල ශ්‍රී ලංකාවේ ඇති ප්‍රශ්නවලට තවත් අර්බුද එකතු කරනවා මිස විසඳුම් සපයා නොදෙයි. මෑතකදී එක්තරා පෞද්ගලික විශ්වවිද්‍යාලයක වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් ඇති වූ උද්ඝෝෂණ ඊට හොඳම උදාහරණයයි. 2012 වර්ෂයේදී රාජ්‍ය විශ්වවිද්‍යාල අටක වෛද්‍ය පීඨ අටකටම වසරකට බඳවාගත් මුළු ශිෂ්‍ය සංඛ්‍යාව 1200 කි. එසේ වූයේ රජයේ ප්‍රධාන රෝහල්වල පවා සායනික පුහුණුව ලබාදීමට හැකි ශිෂ්‍ය සංඛ්‍යාව සීමිත වූ හෙයින්ය. එහෙත් ආන්දෝලනයට ලක් වූ පෞද්ගලික විශ්වවිද්‍යාලයේ පමණක් මුදල් අයකර වසරකට දෙවතාවක් සිසුන් ඇතුළත් කරනු ලැබූ අතර එම දෙවතාවේම ඇතුළත් කරනු ලැබූ ශිෂ්‍ය සංඛ්‍යාව 850කටත් අධිකය. ඇත්තෙන්ම එහි ප්‍රමිතිකරණය හා සායනික පුහුණුව පිළිබඳව ගැටලු රාශියක් පැන නඟියි.

මහාචාර්ය ඉන්ද්‍රකීර්ති සිරිවීර
(2017. 05. 28 දින රුහුණු විශ්වවිද්‍යාලයීය බාහිර උපාධි ප්‍රදානෝත්සවයේදී පවත්වන ලද දේශනය ඇසුරෙනි.) 

Comments