
නිරිතදිග මෝසම් සමය සක්‍රීය වීම ඇරැඹී ඇති නිසා ඉදිරි දිනවල දිවයිනේ තෙත් කලාපයේ දිස්ත්‍රික්ක 10ක පමණ මහ වැසි - ගංවතුර - නායයෑම් හා අධික සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා, වාරිමාර්ග දෙපාර්තමේන්තු හා ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය යන ආයතනවල විද්‍යාඥයෝ අනතුරු අඟවති.
එබැවින් සියලු ගංගා ආශ්‍රිත පහත් බිම්වලින් ජනතාවට ඉවත් වෙන ලෙස දන්වා සිටී. මේ තත්ත්ව ඉදිරි සතිය ඇතුළත පැවැතිය හැකි බවද ඔවුහු කියති. විශේෂයෙන් ගාල්ල, කළුතර, රත්නපුර, මාතර, හම්බන්තොට, කෑගල්ල, කොළඹ යන දිස්ත්‍රික්කයන් මේ තත්ත්වය දරුණු වීමට ඉඩ ඇති බවද ඔවුහු පෙන්වා දෙති. නිරිත දිග මෝසම පසුගිය බදාදා රාත්‍රි සක්‍රීය වීම අරමුණු බවත්, ඒ අනුව පසුගිය සිකුරාදා පෙරවරු 8න් අවසන් වූ පැය 24 ඇතුළත වැඩිම වර්ෂාපතනය වූ මි.මී. 557ක වර්ෂාපතනය කුකුලේ කුකුළේගඟ ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ. ඊට අමතරව වීරකැටිය මි.මී. 495ක හා බටුවන්ගලට මි.මී. 435ක වර්ෂාපතනයක් වාර්තා වී තිබිණි. සිකුරාදා දහවල් වනවිට බෙංගාල බොක්කේ අධිපීඩන තත්ත්වය ද ඇති වී ඇති නිසා ඉදිරි දිනවලදී වැස්ස තවදුරටත් පවතිනු ඇති බවත් කාලගුණ අධ්‍යක්ෂ අතුල කරුණානායක මහතා පැවසීය.
ඒ අනුව ඉරිදා, සඳුදා දිනවලත් වැසි ඇතිවීමට ඉඩ ඇතැයි ද අකුණු අනතුරු බහුල වනු ඇතැයි ද ඒ මහතා පවසයි.
මේ අනුව විශේෂයෙන් කැලණි ගඟ, ගිං ගඟ හා කළු ගඟ අසල පහත් බිම්වලත් ගංවතුර තර්ජන එල්ල විය හැකි බවත් ඉදිරි දිනවල සමහර විට සමහර ස්ථානවලට මි.මී. 150කට අධික වැස්ස ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නෙළුව, තවලම, රත්නපුර ප්‍රදේශ දැනටම අඩි 15-20 ප්‍රමාණයක් ගංවතුරට ලක් වී ඇති අතර කෑගල්ල, බුලත්කොහුපිටිය, දැරණියගල, යටියන්තොට, ගාල්ලේ, බද්දේගම, යක්කලමුල්ල යන ප්‍රදේශ, මාතර දිස්ත්‍රික්කයේ මුලටියන, පිටබැද්දර, වලස්මුල්ල හා හම්බන්තොට දිස්ත්‍රික්කයේ කටුවාන ප්‍රදේශවලට ඉදිරි පැය 24 ඇතුළත වැස්ස පැවතුණහොත් නායයෑම් වීමට ඉඩ ඇති බවද ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පවසයි.
මාස 12ක් පමණ තිස්සේ පැවැති නියඟය නිමා කරමින් පසුගිය බ්‍රහස්පතින්දා, සිකුරාදා, සබරගමුව, දකුණු හා බස්නාහිර ප්‍රදේශවලට ලැබුණු වර්ෂාව නිසා පත්‍රය මුද්‍රණයට යන අවස්ථාව වන විට පුද්ගලයන් 92ක් මියගොස් තවත් පුද්ගලයන් 110ක් අතුරුදන් වී 55000ක් පමණ අවතැන් වී ඇත. ගාල්ල, මාතර, හම්බන්තොට, රත්නපුර, කළුතර, ෙකාළඹ යන දිස්ත්‍රික්කවලට බරපතළ ලෙස මුහුණ පා ඇති මේ අනතුරට ලක්වූවන්ට උපරිම සහන දීමට රජය සූදානම් වෙයි.
ගංවතුරෙන්, නායයෑම්වලින් අවතැන් වූ අයට පූර්ණ සහන සැලසීමට ජනාධිපතිතුමාගේ හා අගමැතිතුමාගේ උපදෙස් පරිදි අදාළ දිසාපතිවරුන් විසින් සුවිශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇත. ඒ අනුව අවශ්‍ය මුදල් හිඟයකින් තොරව ලබාදීමටත් අවශ්‍ය උපකරණ හා පිසූ ආහාර වහාම ලබාදීමටත් අදාළ දිස්ත්‍රික් ලේකම්වරු හා ප්‍රාදේශීය ලේකම්වරු කටයුතු කරගෙන යති. ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසන්නේ ගංවතුර ඇතුළු ආපදා තත්ත්වය පවතින දිස්ත්‍රික්කයන්හි දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්තව සේවය කරන රාජ්‍ය නිලධාරීන්ගේ හා සියලු ක්ෂේත්‍ර නිලධාරීන්ගේ නිවාඩු නැවත දන්වන තුරු අවලංගු කර ඇති බව හා සියලු රජයේ නිලධාරීන් වහාම ක්‍රියාත්මක වන පරිදි තමන්ගේ සේවා ස්ථානවලට වාර්තා කළ යුතු බවයි. අවතැන් වූ හා පීඩාවට පත් වූ ජනතාව බේරාගැනීම හා ඔවුන්ට සහන සැලසීමක් දැනටමත් රජය විසින් ආරම්භ කර ඇති අතර ගංවතුර ඇති ප්‍රදේශවල ජනතාව බේරා ගැනීමට නාවික හමුදාවේ බෝට්ටු හා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා යොදවා තිබේ.