කවුරුත් හිතන්නේ තමන් වැදගත් බවය. බොහෝ විට අපට සිදුවන්නේ තනියම සිදුකරන කාර්යයන්ගේ නිරතවීමට වඩා සාමූහිකව සිදුවන කාර්යයන්ට අපේ දායකත්වය ද ලබාදීමටය. කාර්යය සාමූහික වුවත් බොහෝවිට බොහෝ අය සිතන්නේ එහි වැදගත්ම වැඩ කොටස ඉටුකරන්නේ තමන් බවය. වඩාත් වැදගත් තමන් බවය.
මෙය කලා ක්ෂේත්‍රය තුළ ද පවතියි. කලා නිර්මාණ සිදුවන්නේ සාමූහිකවය. එහෙත් එහි දී පවා වැදගත් ම මෙහෙවර සිදුවන්නේ කාගෙන් ද යන්න සම්බන්ධයෙන් සමහර විට වාදවිවාද පැනනැගෙයි.
ගීතයක් බිහිවන්නේ ගායකයා, ගීත රචකයා සහ සංගීත අධ්‍යක්ෂවරයාගේ දායකත්වයෙනි. එක්තරා කාලයක වඩා වැදගත් ගීත රචකයා ද සංගීත අධ්‍යක්ෂවරයා ද ගායකයා ද යන්න සම්බන්ධයෙන් වාදයක් පැන නැගුණි. කලාව තුළත් මෙබඳු වාද පැන නගියි නම් අන් ක්ෂේත්‍රයන් ගැන කිවයුතු නැත. බොහෝ ක්ෂේත්‍රවල බොහෝ අයගේ දුක්ගැනවිල්ලක් වන්නේ තමන්ගේ මහන්සියෙන් අනුන් ලකුණු දාගන්න බවය. මේ කතාවේ සමහර අවස්ථාවන්හි දී ඇත්තක් ඇතත් මේ ගැන ඕනෑවට වඩා සිතීමෙන් කාටවත් වැඩක් නැත.
ගීත රචකයා ගීතයක් රචනා කිරීමේ දී මෙයින් ගායකයාට අනවශ්‍ය කීර්තියක් අත්වේ යැයි සිතන්නේ නැත. ගායකයා ගීතය ගායනා කිරීමේ දී තමා හොඳින් ගීතය ගායනා කළොත් ඉන් සංගීත අධ්‍යක්ෂවරයාට ප්‍රමාණයට වැඩි කීර්තියක් ලැබේ යැයි සිතන්නේ නැත. සංගීත අධ්‍යක්ෂවරයා සංගීතය දැමීමේ දීතම සංගීතය නිසා ගායකයා ඕනෑවට වඩා උඩ යාවි යැයි සිතන්නේ නැත. සිතන්නේ උසස්ම නිර්මාණයක් සිදුකිරීම ගැන පමණි. එහෙත් නිර්මාණය ප්‍රසිද්ධ වීමෙන් පසුව කීර්තිය බෙදාගැනීම සම්බන්ධයෙන් සමහරවිට මතගැටුම් පැන නගියි. එය අවශ්‍ය යැයි නොසිතමි. උසස් ම දෙයක් වෙනුවෙන් ස්වකීය දායකත්වය ලබාදීම පමණක් ප්‍රමාණවත්ය.
සංගීත ක්ෂේත්‍රය තුළ පමණක් නොව සිනමා හා නාට්‍ය ක්ෂේත්‍රය තුළ ද මේ ගැටුම නොපවතී යැයි කිව නොහැක. සිනමාවේ කොපමණ දක්ෂ අධ්‍යක්ෂවරුන් සිටියත් නළුනිළියන් ලබන ජනප්‍රියත්වයට ඔවුන්ට කිට්ටුවීමටවත් නොහැක. සිනමාව කීවිට බොහෝවිට මතකයට නැඟෙන්නේ නළුනිළියන්ගේ නම් වැලකි. හින්දි සිනමාව කීවිට ෂාරුක් ඛාන්, සලමන් ඛාන්, රිතික් රෝෂන්, අමීර් ඛාන්, ෛඑවර්යා රායි, ප්‍රියංකා චොප්රා, මධුරි ඩික්සිට්, කාජල් ආදී නම් වැලක් ඉබේම සිහියට ආවත් චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ නම් මතක් වන්නේ නැත. මේ අනුව අධ්‍යක්ෂවරුන් ඉන්නේ නළුනිළියන් ජනප්‍රිය කරන්න යැයි ද කිව හැකිය. කෙසේ වුවත් මේ ප්‍රශ්නය ද සිනමාවේ කේන්ද්‍රීය ප්‍රශ්නයක් නොවේ. අධ්‍යක්ෂවරයෙකුගේ මූලික අරමුණ තමන් ජනප්‍රිය වීම නොව ජනප්‍රිය සහ හොඳ චිත්‍රපටයක් නිර්මාණය කිරීමය. චිත්‍රපටය ජනප්‍රිය වූ තරමට සමහරවිට අධ්‍යක්ෂවරයාගේ නම මැකී යයි. ෂෝලේ නම දන්නා ගණන කෝටි ගණනක් වුවත් ෂෝලේ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයාගේ නම දන්නා අය ඊට වඩා බොහෝ සේ අඩුය. ඒ අනුව අධ්‍යක්ෂවරුන්ට බොහෝ විට ජනප්‍රියත්වයට වඩා වෙනත් අරමුණ තබාගැනීමට සිදුවේ. නොඑසේනම් ඔහුට හොඳ අධ්‍යක්ෂවරයකු වීමට නොහැකිය.
කෙසේවුවත් ජනප්‍රිය නොඑසේනම් නම් රැඳවූ චිත්‍රපට අධ්‍යක්ෂවරුන් නැතුවා නොවේ. කෙසේවුවත් එහි දී ද ඔවුන්ගේ මූණට වඩා ජනප්‍රිය නමය. ස්ටීවන් ස්පීල්බර්ග්ගේ මූණට වඩා නම ජනප්‍රියය. බැරිවෙලාවත් ස්ටීවන් ස්පිල්බර්ග් ලංකාවට පැමිණ හදිසියේ නුගේගොඩ හන්දියේ හිටගෙන සිටියත් අපට ඔහුව හඳුනාගැනීමට නොහැකිවීමට ඉඩ ඇත. එහෙත් පුවත්පතක හෝ වෙනත් එවන් ඕනෑම තැනක ස්ටීවන් ස්පීල්බර්ග් නම ඇතිවිට හෝ නම කියැවුණ විට වහා අප විසින් ඒ නම හඳුනාගැනීම සිදුවේ. ඒ ගැන කණගාටු නම් ස්ටීවන් ස්පිල්බර්ග්ට සිදුවන්නේ තමන්ගේ නම සමඟ ම තරහවීමටය. මක්නිසාදයත් තමන්ට වඩා නම ජනප්‍රිය බැවිනි. කෙසේවුවත් ස්ටීවන් ස්පිල්බර්ග්ටද වඩා ජුරාසික් පාක් යන නම තාමත් ජනප්‍රිය යැයි සිතමි.
සියල්ලම තමන්ට රැස් කරගැනීමට සිතුවත් කවදාවත් එය සිදුවන්නේ නැත. ඒ නිසා හොඳම දෙය ඒ ප්‍රාර්ථනා නොකිරීමය. ඇත්තටම ජනප්‍රිය භාවයේ ද එතරම් ලොකු අර්ථයක් නැත. තරුණ කාලයේ බොහෝ ජනප්‍රිය නළුනිළියන් වයස කාලයේ දී කාත් කවුරුත් නැතිව බොහෝ සේ අසරණ වු අවස්ථා ඕනෑතරම් තිබේ. ජනප්‍රියත්වයේ ස්වභාවය එසේය. එය මායාවකි. ඇති හැකි තරුණ කාලයේ දී ලැබෙන සැලකිල්ලට වඩා නැති බැරි මහලූ වියේ දී සැලකිල්ලක් ලැබීමට හැකි නම් එය වැදගත්ය. එහෙත් නළුනිළියන්ට නම් කවදාවත් එය එසේ ලැබෙන්නේ නැත. ජනප්‍රියත්වය හා කීර්තිය මායාවක් වන්නේ ඒ නිසාය. ලොව පුරා ජනාදරය දිනානොගත්තත් තමන්ගේ දරුවන්ගේ ආදරය දිනාගත් පියෙකුගේ හෝ මවකගේ ජීවිතය ලොව පුරා ජනතාවගේ ආදරය දිනාගත් නිළියකගේ හෝ නළුවෙකුගේ ජීවිතයට වඩා සාර්ථක විය හැක්කේ ඒ නිසාය. ලෝකය තුළ වීරයකු වූ අයෙකුට වඩා තමාගේ පුංචි පවුල තුළ වීරයකු වූ අයෙකුගේ ජීවිතය ප්‍රීතිමත් යැයි කිව හැකිය. ජනප්‍රියත්වයේ ස්වභාවය එයය. අනෙක් අතට කිවහැකි තවත් දෙයක් වන්නේ ලොවක ආදරය දිනාගත්තත් තමන්ගේ දරුවන්ගේ ආදරය දිනාගැනීම ඊට වඩා අසීරු විය හැකි බවය.
මේ අනුව කුමක්ද වැදගත් යැයි තිරණය කිරීම පහසු නැත. බොහෝ වැදගත් යැයි සිතන දේ අන් අවස්ථාවක දී කිසිදු වැදගත්කමක් නැති දේ බවට පත් වේ. අනිත් අතට නොවැදගත් යැයි අපට සිතෙන බොහෝ දේ වෙනත් අවස්ථාවක දී ඉතා වැදගත් විය හැකිය. ඒ අනුව වැදගත් කුමක් ද යන්න තීරණය කිරීම යම් දෙයකට ආස වී එය වැදගත් යැයි සිතාගැනීමට වඩා බෙහෙවින්ම අසීරුය. ඒ අනුව වැදගත් වන්නේ වැදගත් යැයි සිතා කිසිදු දෙයකට ඇලී සිටීමෙන් වැළකීමය. වැදගත් ජීවිතයක් තමන්ට උරුම කරගැනීමට එය බොහෝ දුරට උපකාරී වීමට ඉඩ ඇත. වැදගත් එයයි.
උදයසිරි වික්‍රමරත්න