අහස යට... | සිළුමිණ

අහස යට...

 මුහුදු හුළඟත් එක්ක කඩා වැදුණු මහ වැස්ස බාධාවක් කරගත්තෙ නැති ගාල්ල පැත්තෙ ඉඳල ආපු රතුපාට මෝටර් සයිකලේට අලුත්ගම ටවුම පහුකරල මහ දුරක් යන්න ලැබු‍ෙණ නැහැ , කොළඹ පැත්තෙන් රේස් එකේ ආපු බස් එකේ හැප්පිල පාර මැද ඇද වැටුණ. සිහියක් පතක් නැතිව ලේ විලක් මැද්දෙ වැටිල හිටිය බයිසිකලේ ආපු තරුණයා දිහා දැකපු හැමෝම වගේ කම්මුලට අත ගහගෙන බලා හිටිය විතරක් නෙමෙයි මරණ සහතිකයත්, ලියල අහවරකරලයි තිබුණෙ. කොහේදෝ ඉඳල එතනට ආපු කොළ පාට ත්‍රීවිලර් එකෙන් බැහැපු සුදු කමිසෙකුත්, නිල්පාට කොටු තිබුණ සුදුපාට සරමත්, සුදුපාට තොප්පියත් දාගෙන ආපු හාදයා මහ වැස්සෙ තෙමි තෙමි පාර මැද වැටිල හිටිය නාඳුනන කොල්ලව තනිවම උස්සල ත්‍රීවිලර් එකට දාගෙන විදුලි වේගෙන් කළුතර ඉස්පිරිතාලෙට පියෑඹුව. මරණ සහතිකේ ලියල තිබුණ බලපිටියෙ සිංහල කොල්ලගෙ ජීවිතේ බේරු‍ෙණ් අලුත්ගම ජාතිය, ආගම, කුලය ගැන නොහිතපු මුස්ලිම් කොල්ල හින්දයි. රිස්වි ශෙරීෆ් දොස්තර මහත්තයාට චැනල් එකක් දාගන්න කොළඹ යනව කියන්න නවත්තපු යාළුවගෙ වෑන් එක පහුකරල යද්දියිලු දැක්කෙ පිටිපස්සෙ ගහල තියෙන ‘සිංහලේ’ කෑල්ල.

මරක්කලේට විරුද්ධව කතා කරන්න පන්සලට සෙනග ගෙන්න ගන්න ගම වටේ එනවුන් ගිය වාහනේ දාගෙන ගියේ මොහිදීන් බෙග් මාස්ටර්ගෙ සින්දුලු.

නිදහස් සටනෙදි සිංහල මුස්ලිම් භේද කරන්න උත්සාහ කරපු සුදු ජාතිකයින් ඉදිරියේ නැගී හිටිය ටී. බී. ජායා උන්නැහේ කීවලු ‘මුස්ලිම් වරුන්ගේ ගැටලු, සිංහල සහෝදරයන් එක්ක බේරගන්නම්’ කියල

එක් දහස් නමසිය විසි පහේදී, එරාවුර් මහ කැලේදී අල්ලාගෙන අවුරුදු 62 ක් මහනුවර දළදා පෙරහැරේ කරඩුව වැඩම කරවූ රාජා හස්තිරාජයා ජාතික වස්තුවක් විදිහට ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා නම් කරද්දි උගෙ සාඩම්බර අයිතිකාරය ඕමාර් ලෙබ්බෙ පනික්කාර්ගෙ ඡායාරූපයකුත් අලුතින් අච්චු ගහපු රුපියල් 1000 නෝට්ටුවට ඇතුළත් කරන්න අමතක කෙරුවෙත් නැතිලු.

රිසානා නෆීක් නම් දුප්පත්කමේ පතුලේ ජීවත්වූ අහිංසකාවිය සවුදියේදී කඩු පහරින් ජීවිතය හැර යද්දී හඬා වැටුණේ මේ රටේ මුස්ලිම් මිනිස්සු විතරද කියලත් කවුද ඇහුව.

රාමලාන් උත්සවයට පල්ලියෙන් බෙදාදෙන කැඳ ටික හදාගන්න ඉඩ කඩ මදිවෙලා අල්ලපුවත්තෙ පන්සලට ගිය මුස්ලිම් තරුණයො හතර පස් දෙනෙක් කැඳ පිස ගැනීමට පුංචි තාවකාලික මඩුවක් හදාගන්න හාමුදුරුවන්ගෙන් අවසර ඉල්ලපු වෙලාවෙ උත්තරයක් දෙන්න පහුවෙනිදට එන්න කීවලු. පහුවෙනිද සැකයෙන් පන්සලට ගිය තරුණයින්ගෙ අතට ෆයිල් කවරයක් දීපු ගැටමාන්නෙ සද්ධාතිස්ස හාමුදුරුවො පන්සල් ඉඩමෙන් පර්චස් කිහිපයක් පල්ලියට පවරා දුන් ඔප්පුව ෆයිල් එක ඇතු‍ෙළ ඇතියි කිව්වලු. ස්ත්‍රීන්ට ඇඳුමක් අන්දවල වඳ භාවයට පත්කරන්න පුළුවන් කියල විශ්වාස කරන මිනිස්සු ඉන්න රටක් ලෝක සිතියමේ හොයගන්න බැරිවේවිලු. එහෙම සරල ක්‍රමයක් ඇත්නම් පවුල් සංවිධාන කටයුතු වෙනුවෙන් වෙන්කරන මුදල් කොච්චර ඉතිරි කරගන්න පුළුවන් ද කියල ඔලොක්කුවට හිනා වුණ කෙනෙකුත් එතන හිටිය.

මේ වගේ කතා ගොන්නක් දිගහැරු‍ෙණ පහුගිය දවසක ධර්ගා නගරයෙන් දකුණට හැරිල බෙන්තර ගං ඉවුරෙ තියෙන පොඩි මුස්ලිම් පල්ලිය ඉදිරිපිට උත්සව සාලාවෙදි, අපි සිංහල, මුස්ලිම් තිහ හතළිහක් එක මේසයක් වටේ වාඩි වෙලා වැනිල රස තියෙන කිරි තේ කෝප්පයක රස විඳින අතරෙදියි.

මීට අවුරුදු දෙකකට විතර ඉස්සර ඒ කියන්නෙ දෙදහස් දාහතර අවුරුද්දෙ ජූනි මාසෙ දවසක ධර්ගා නගරය කළු දුමින් වැසී ගිය දින කිහිපය ගැන දීර්ඝ සටහනක් එකතුකරපු අල්හාජ් මුහම්මද් මුනව්වරුල් අෆ්ලල් මැතිතුමා සිංහල බසින්ම රචිත” බෞද්ධ, ඉස්ලාමීය සුහදත්වය සහ මුස්ලිම් සමාජය” කෘතියේ පිටපතක් ලැබුණෙත් ඒ වෙලාවෙදිමයි.

ඒ අවසනාවන්ත සිදුවීම ගැන එතුමා ලියල තිබු‍ෙණ මෙහෙමයි.

“එදා 2014 ජූනි මාසයයි , ධර්ගා නගරය වෙනදා වගේම කාර්ය බහුල දිනයක් විය, එක් කුඩා පටු මාර්ගයකි. එහි එක් නිවසක් ඉදිරි පිට දකුණු පැත්තට වන්නට යතුරු පැදියක් නවත්වා ඇත. එහි අනික් පැත්තට එනම් වම් පැත්තට වන්නට ත්‍රීරෝද රථයක් පැමිණ නවත්වා, එහි පැමිණි අයවලුන් බැස අසල නිවසකට ගොඩවූහ. මේ අවස්ථාවේදීම එම පාරේම පන්සල පැත්තට යෑමට පැමිණි වෑන් රථයකි. දෙපැත්තෙන්ම වාහන නවත්වා තිබු­‍ෙණ්ය. වෑන් රථයේ නලාව කිහිපවරක් ශබ්ද කළ පසු යාබද නිවසේ වැඩක යෙදී සිටි යතුරු පැදි කරු පැමිණ සිද්ධිය විමසා බැලීය. මේ අවස්ථාව වන විට ඉවසීමේ සිමාව පැන සිටි වෑන් රථයේ රියදුරු ආවේගශීලීව යතුරු පැදි කරුට හොඳ වචන කිහිපයක් දෙසා බෑවේය. යතුරු පැදි කරුද අත් හැරියේ නැත. ඊට පිළිතුරු වශයෙන් ඊටත් වඩා හොඳ වචනවලින් පිළිතුරු සපයා සිටියේය. මෙය ධර්ගා නගරය ප්‍රදේශයේ එදිනෙදා සිදුවන සරල ක්‍රියාවකි. මෙම බහින් බස් වීම ඉතා බලවත් රජයක් හා ඒකාධිපතිවරයෙකු පෙරළා දැමීමට පමණක් නොව ශ්‍රී ලංකා ඉතිහාසයද වෙනස් කිරීමට තරම් බලගතුවේයැයි කිසිවෙකු නොසිතුවද, එය එසේම විය..........

ධර්ගා නගරයෙ කතිකාවෙදි පුංචි දැළි රැවුලක් තිබුණ විශ්ව විද්‍යාල ප්‍රවේශය බලාපොරොත්තුවෙන් ඉන්න හීන්දෑරි මුස්ලිම් කලුු ගැටයගෙ කතාව නම් තවමත් මගේ හිතේ දෝංකාරය දෙනව.

“සියල්ල විනාශ වෙලා ඉවරයි, වෙච්චි දේපළ හානි, ජීවිත ගැන නෙ‍ෙමයි, මම කතා කරන්නෙ, අනේ, කරුණාකරල අපේ පරම්පරාවට සිංහල ජාතිය ගැන ඇතිවුණ අවිශ්වාසය නැති කරන්න උදව් කරන්න”

චන්දන ගුණසිංහ

Comments