කවි - ගීත රචනා රංගෝද්දීප්තියට සංස්කෘතික මතකයේ බලපෑම | Page 2 | සිළුමිණ

කවි - ගීත රචනා රංගෝද්දීප්තියට සංස්කෘතික මතකයේ බලපෑම

 සුනිල් සරත් පෙරේරා ‘සමාශංසා’ හරසර උලෙළ පසුගියදා පැවැත්විණි. විශේෂඥ වෛද්‍ය රුවන් ඒකනායක මහතා විසින් එම සමරු උලෙළේ ප්‍රධාන දේශනය පවත්වන ලදී. කොටස් තුනකින් සමන්විත එම දීර්ඝ දේශනයේ දෙවැනි කොටස ඇසුරෙන් ‍ෙම් ලිපිය සැකැසිණි.

ගුරුළුගෝමි - විදුසක්විති

එකත් පස ව හිඳ
ඔබට සවන් දෙනු දුටුවෙමි
සුදම් සබා මැද
කුමාරතුංග

මේ තරමක් දිගු රැසැයුමේ පළමු පේළි හතර පමණක් විමසා බලමු. (මුළු පබඳ පිටු දෙකක් පුරා දිවෙයි.)

සුදම් සබාවේ සිදු වන දේ සුනිල් සරත් සූරීනට දක්නට පුළුවන් කමක් නැත්තේ ය. එහෙත් තමා ගේ ඇස් ඉදිරිපිට එහි එක්තරා සිදු වීමක් දුටු බව හේ කෙළින් ම පවසයි. මේ වනාහි භාවික අලංකාරය යි.

එළියේ ම ඇති මේ භාවිකාලංකාරයට අමතර ව තවත් අලංකාරයක් ලක්ෂණා ව්‍යාපාරයෙන් උපදිනා බව පෙනේ. එනම් අතිශයෝක්ත්‍යලංකාරයයි. අමාවතුර, ධර්ම ප්‍රදීපිකාව කළ ගුරුළුගෝමි, බුත්සරණ කළ විදුසක්විති යන මහා ආචාර්යවරුන් කුමාරතුංග දේශනයට සවන් දෙමින් එකත් පස් ව හිඳුනා බව කීම, කවර නිර්ණායක පද්ධතියක් ඔස්සේ විමසුවත්, අතිශයෝක්තියක් ම වෙයි.

ගුරුළුගෝමි, විදුසක්විති, කුමාරතුංග යන තුන් මහ පඬිවරුන් දැන් සුදම් සබාවේ සිටිනුයේ දෙව් ලොව දෙව් කුමරුන් (?) සේ ඉපැදීම අත් වූ බැවිනි. ගෝමින් යනු මහා උපාසක අරුත් ඇති පදයෙකි. විදු සක්විති මහා බොදු බැතිමතෙකි. කුමාරතුංගයන් ඒ ගණයට අයත් බව ව්‍යංග්‍යයෙන් කියැවිණ.

මෙහි තව ද අරුතක් ධ්වනිය මාර්ගයෙන් ලැබේ. කුමාරතුංගයන් හමු වූ විට ගුරුළුගෝමි, විදු සක්විති යන වියත්හු ඒ මහ හෙළයාණන්ගේ ගෝල බවට පත් වෙති. එ තරම් අගය කළ යුතු කුමාරතුංගයන්ගේ අගේ මේ රටේ වියතුනට නො පෙනේ. ඒ වියත්හු ගුරුළුගෝමි, විදුසක්විති යන විශාරදයන් හා සසඳන විට කදෝ කිමි ව පෙනෙන, සසඳා ඇගැයීමේ දී අවම තලයකට වැටෙන පුහු උගත්තු ය. කුමාරතුංග ගුණයනට ඔහු අන්ධ වෙති.

සුදම් සබාවේ විස්තර මතක් කැරෙන විට අද්භූත රසය ද ජනිත වේ.

මෙසේ මේ කෙටි පේළි හතරෙන් විස්තෘත අදහසක් ලැබේ. ඒ අලංකාර පක්ෂයෙන් ම නොවේ. ලක්ෂණා ව්‍යාපාරයෙන් ද ව්‍යඤ්ජනා ව්‍යාපාරයෙන් ද ලැබෙන අරුත් නිසා වක්‍රෝක්ති / ධ්වනි චින්තන ධාරා ඔස්සේ මහත් චමත්කාරයක් ජනිත වේ.

මේ රචනාවේ වස්තු බීජය වන කුමාරතුංග ප්‍රශස්තිය කාව්‍ය නිර්මාණයකට සුදුසු ම වූවක් නොවේ. එහෙත් එ බඳු වස්තු බීජයක් ගෙන නිර්මාණය කැරුණු මේ පබඳ, සුනිල් සරතුන් ගේ භාෂා පරිහරණයේ හා නිර්මාණ කරණයේ අතිදක්ෂතාව හෙළි කරන්නෙකි.

කුමාරතුංග මුනිදාස මහ හෙළයාණන් ගේ ‘හෙළ මීයැසිය’ නම් මහරු පොතෙහි එන ගීයක් දැන් විමසන්න අදහස් කරමි. (සුනිල් සරතුන්ගේ සංස්කෘතික පරිසරයට පහදන අටියෙනි.)

හෙළ රටැ හෙළ ගෙයි
හෙළ ඇඳැ සැතැපෙන
මගෙ මව මට දුනු හෙළ බසැ ගී

වැඩි සිහි නුවණක් නොමැති ව මෙය කියවන විට මේ ඉතා සරල ප්‍රකාශයක් බව සිතෙන්නට පුළුවන. මේ “ලංකාවේ අපේ ගෙදර මගේ ඇ‍ඳේ වැතිරිලා හිඳිනා විට මා ගේ අම්මා මට කියා දීපු සිංහල සින්දු” යනු මෙහි අභිප්‍රේතාර්ථය බව මෙය සරල ව කියවන කිසිවකුට සිතෙන්නට පුළුවන.

අපි පැදිය විමසා බලමු.

මෙහි යෙදුණු “මගෙ මව” යන යෙදුමේ තේරුම කුමක් ද? මට හැ‍ඟෙන පරිදි මේ පැදියට පාදක වූ කුමාරතුංගයන් ගේ චින්තනය තේරුම් ගැනීමට ප්‍රධාන යතුර වන්නේ මේ යෙදුම යි.

අපේ ජීව විද්‍යාත්මක මව අපි හොඳින් හඳුනමු. අපි මනුෂ්‍ය ජීවිතය ලබනුව, ජීව විද්‍යාත්මක මව කුස තුළ පිළිසිඳ, උපත ලබා ඇත්තෙමු. කිරි පොවා අප වැඩිමහත් කොට ඇත්තී ඕ මැ යි. මේ පැදියෙන් කියැවෙන්නේ ඒ ජීව විද්‍යාත්මක මෑණියන් පිළිබඳ ව නොවේ.

කුමාරතුංග මහාශයන් ගේ හෙළ මීයැසියත්, ඔවුන් ජීවිතයේ පශ්චිම භාගයේ කළ අන් පබඳත් විමසන විට ‘මව’ යන්නෙන් එතුමන් සලකා ඇත්තේ ‘හෙළ මව’ බව පෙනී යයි. මේ නම් සිංහල හැදියාව මවක ලෙස හඳුන්වා දීමට ගත් ප්‍රථම ප්‍රයත්නය බව මා ගේ කල්පනාව යි.

සිංහලයන් වන අපි, අපේ සංස්කෘතික මාතාව හඳුනා ගත යුතු වෙමු. එබැවින් කවර මිනිසකුට වුවත් අම්මාවරු දෙදෙනෙක් වෙති. එක් තැනැත්තියක් නම් ජීව විද්‍යාත්මක මව යි. අනෙක් තැනැත්තිය, මාංසගත නුවූවත්, කේවල වශයෙන් සංකල්පජ ද නොවූ සාංස්කෘතික මාතාව යි.

මිනිසකු ජාත වනුයේ සාංස්කෘතික රික්තයක් තුළ නොවේ. සාංස්කෘතික මවක ගේ ගති ලක්ෂණයෙන් පිරුණු පරිසරයක් තුළ ය.

‘දුනු’ යන පදයත් අප විමසා තේරුම් ගත යුතු ය. එහි “දුන්නා වූ” අරුත අබිබවා යන අරුතක් ඇත. ‘ජනිත කළ වූ’ යනු ඒ අරුත යි. මගෙ මව මට දුනු යන වාක්‍යාංශයේ තේරුම “සිංහල සංස්කෘතික මාතාව මා උදෙසා ජනිත කළා වූ” යනු යි.

කුමක් ද හෙළ මව ජනිත කොටැ ඇත්තේ? හෙළ බසැ ගී යැ.

මෙහි ‘බසැ’ යන්නේ ‘ඇ’ ප්‍රත්‍යය වෙසෙසින් සැලැකිය යුත්තෙකි. එය ආධාර ප්‍රත්‍යය යි. ඒ නිසා “හෙළ බසැ ගී” යනු නිකම් මැ සිංහල ගී නොවේ. හෙළ බසෙහි ගී යැ. ඒ වනාහි හෙළ බස තුළැ රැඳී ඇති ගීතවත් බව පැවැසූ අයුරු යැ. නොහොත් හෙළ බසේ ඇතුළත් වැ ඇති ගීත සමුදායය ම අලළා කළ පැවසුමක් වැනි ය.

අපි හෙළ බසේ ගීතවත් බව හඳුනමු. එය අපේ හැදියා මව අප (හෙළයන්) අරබයා ම ජනිත කොටැ ඇති සංසිද්ධාවලියෙකි. හෙළ බසැ ගී හෙළ මව උපදවා ඇත්තේ විභව වශයෙනි. ඒ ගීතවත් බවට සංවේදී වන නිර්මාණ කරුවා විභව වශයෙන් පවත්නා ඒ හෙළ මව ගේ රාවයත් අනුවේගනුයත් හඳුනා විවිධ නිර්මාණ දක්වා වර්ධනය කරනුයේ තම ප්‍රතිභා ශක්තියත් ව්‍යුත්පත්තියත් අභ්‍යසනයත් උපයෝගී කර ගනිමිනි. ඒ නිසා නිර්මාණකරුවා ද තම කාර්යයේ යෙදෙනුයේ සාංස්කෘතික රික්තකයෙක නොවේ. තමාගේ සංස්කෘතික ශික්ෂණය තමන්ගේ අම්මා කෙනක තරම් අගය කරමින්, ආදර කරමින් ඇය රැක ගනිමිනි.

කුමාරතුංග පැදියේ පටන් ගැන්ම විග්‍රහ කිරීමට දැන් අපි එළැඹෙමු.

හෙළ රටැ හෙළ ගෙයි
හෙළ ඇඳ සැතැපෙත

කවුරු ද මේ සැතැපෙන්නෝ? කුමාරතුංග කවියාණෝ යි. මගෙ මව මට දුනු යැයි ‘ම’ ශබ්ද සර්ව නාමය යෙදුණු බැවින් කුමාරතුංග නම් පුද්ගලයා විඳි අත්දැකීමක් මෙයින් ප්‍රකාශිත බව උපකල්පනය කළ යුතු සේ පෙනේ.

කුමාරතුංගයනට මේ අත්දැකීම අත් වී ඇත්තේ හෙළ ඇඳෙහි සැතැපෙන විට යි.

ක්‍රියා විවරණයේ අතිප්‍රපංචයෙන් දැක්වුණු ආවස්ථික නිපාත ක්‍රියා පදයක් ලෙස ‘සැතැපෙත’ යන යෙදුම හැඳින්වියැ යුතු ය. හෙළ ඇඳ සැතැපෙන කල්හි යැ ‘මගේ මව’මැ හෙළ බසැ ගී දනා ඇත්තේ!

කවර අතින් බැලුව ද මේ නම් පුදුම අදහසෙකි.

මේ යෙදුමෙන් කුමාරතුංගයන් ගේ පිහිටීම, අවකාශ මානයන්හි ස්ථිර ව ස්ථාපිත කරනු ලැබේ. (space) කවියා සිටිනුයේ හෙළ ඇඳ මත ය. (තම ඇඳ මත නොවේ.) ඇඳ යන පදයේ ලක්ෂ්‍යාර්ථ ව්‍යංග්‍යාර්ථ රැසක් ඇතත් ඒ සියල්ල මෙතැන සලකා බලනුව ඉඩෙක් නැති. එය පෞද්ගලිකත්වයේ උපරීම අවස්ථාව නිරූපණය කරන බව පමණක් අපි මෙහි දී සලකා ගනුමු. ඒ පෞද්ගලිකත්වය හෙළ ගෙදොර පිහිටා ඇතැයි කීමේ ව්‍යංග්‍යාර්ථ ද රැසෙකි. ‘ගෙයි’ යන යෙදුම සමීප ඥාති මිත්‍ර ගණය නිරූපණය කරන බව පමණක් අපි මෙහි දී සලකා ගනුමු. ඒ ඥාති මිත්‍ර ගණය මේ සිරිලක තුළ සිටිති. මෙසේ කවියාගේ පැවැත්ම අවකාශයෙහි සුස්ථිර ලෙස පැවැසුණු බව කිව යුතු ය.

සිංහල සංස්කෘතිය රටට, ගෙදරට, තනි පුද්ගලයාට යන සේ වෙන් කොටැ පැවසුණේ ඇයි?

රටේ සංස්කෘතිය ගෙදරට පෙරී ඇවිත් ෙහළ ඇඳැ සැතැපෙන කුමාරතුංග වියතාණන් කෙරෙහි නාභිගත වූ බැවිනි!

සාංස්කෘතික බලපෑම මෙසේ තුන් තලයකට බෙදා දැක්වූ චින්තන ධාරාවක් කුමාරතුංග යුගයේ පැවතියේ ද යනු කුහුල දනවන ප්‍රශ්නයෙකි. ඊට පිළිතුර නම් එක්තරා විදියෙකින් හැදියාවේ තුන් තලය සැලකිල්ලට ගත් (Collectiv memory) සාමූහික ස්මරණාවලිය යන සංකල්පය මොරිස් හල්බ්වක්ස් (Maurice Halbwachs) නම් මාක්ස්වාදි සාහිත්‍ය ශාස්ත්‍රඥයා ඒ යුගයේ දී පළ කොට තුබුණු බව යි.

යුරෝපයේ ද ඇමෙරිකාවේ ද විශ්ව විද්‍යාලය කීපයෙක ම මහාචාර්ය ධුර දැරූ මේ වියතා 1945 දී මේ ලෝ දිවියෙන් සමු ගත් බැවින් සාමූහික ස්මරණාවලි වාදය පළ කළේ කුමාරතුංගයන් ගේ පරිණත යුගයේ වියැ යුතු යි.

මොරිස් හල්බ්වක්ස් වියතාණන් ගේ සාමූහික ස්මරණාවලිය සුනිල් සරත් සූරින්ගේ නිර්මාණ ක්‍රියාවලියට සම්බන්ධ කොට විග්‍රහ කළෝ සිංහල, ඉංග්‍රීසි දෙබසට ම මහාචාර්ය කම් කළ විමල් දිසානායක මහ වියතාණෝ ය.

හල්බ්වක්ස් වියතුන්ගේ ප්‍රධාන දර්ශන වාදය වූයේ සමාජය තුළ සාමූහික මතක රැසක් ඇති බව යි. මේ සාමූහික මත (ස්මෘති) කරණ කොට ගෙන තමන් යම් ජන සමූහයකට අයත් බවට සිය අනන්‍යතාව තහවුරු කිරීමට ඒ ජන සමාජයේ අයත් බවට සිය අනන්‍යතාව තහවුරු කිරීමට ඒ ජන සමාජයේ උදවියට පුළුවන්කම ලැබේ.

මේ සාමූහික ස්මරණාවලිය ජන සමාජය තුළ පමණක් නොව පවුල වැනි කුඩා ජන කොටස් තුළ ද පුද්ගලයා තුළ ද පවති. එබැවින් ස්මෘති වර්ග තුනෙකි: පොදු සමර, ගණ සමර, තනි සමර යන පරිදි ය.

මේ සමරහි ඇතුළත් වනුයේ කවර කවර අංග ද? ජන කතා, ආහාර පාන පිළිබඳ විශ්වාස, බුදු රුව, සීගිරිය, දුටුගැමුණු, ධර්ම චක්‍රය, බෞද්ධ කොඩිය, බෝධි වන්දනාව, වන්දනා ගමන්, පෙරහැර, දාන, සිංහල අවුරුද්ද, ධාතු වන්දනාව, ජය මංගල ගාථාවලිය, දොළොස් මහේ පහන යන මේ සියල්ල පොදු සමරට (රටේ ජනතාවගේ මතක වැළට) අයිති ය. පවුල් ඒකක ද, ආයතන ඒකක ද මේ මතක වැළ රකී. ඒවා ක්‍රියාත්මක කර ප්‍රදර්ශනය කරයි. ඒ ගණ සමර යි. තනි සමර නම් එක් එක් පුද්ගලයා කෙරෙහි ඔහුගේ උගත්කම්, මානසිකත්වය අනුව පිහිටන සමර වැළ යි.

මේ තනි සමර නිසා, යම් කලාකරුවකුගේ නිර්මාණ තුළට ඔහුගේ හැදියාවේ ලකුණු පිවිසේ.

මේ සමර නිසා අතීතය, වර්තමානයට පිවිසෙයි. අතීතයේ සිදු වූ යම් යම් වැදගත් දේ කාලයාගේ ඇවෑමෙන් අපට අමතක වී යනු ඇත. එහෙත් පොදු සමරේ සිරිත් විරිත් නිසා ඒ මතකය අලුත් වේ.

හෙළ රට හෙළ ගෙයි හෙළ ඇඳ යැයි කුමාරතුංගයන් කිවි බසින් කීයේ පොදු, ගණ, තනි යන තුන් සමර සඳහා යැයි මට කල්පනා වේ. මාගේ ඒ කල්පනාව අනුමානයක් දක්වා වැඩි දියුණු කරන්නට මම කැමැත්තෙමි. එහෙත් මේ දෙසුම අවස්ථාව නොවේ.

සාංස්කෘතික ස්මෘතිය සුනිල් සරත් පෙරේරා සූරින් ගේ කවි ලොවට පෙරී ආ හැටි මහාචාර්ය විමල් දිසානායකයෝ ම පහදත් වා!

“සංස්කෘතික ස්මෘතිය යන සංකල්පයෙහි වැදගත්කමත්, එය සිය ගීත රචනා සහ කාව්‍ය රචනාවල රසෝද්දීප්තිය සඳහා උපයෝගී කොට ගෙන ඇති ආකාරයත්, ලුහුඬින් පෙන්නුම් කිරීමට අදහස් කරමි.

ස්මෘතිය හෙවත් මතකය නවීන සංස්කෘතික විශ්ලේෂකයන් අතර අත්‍යන්තයෙන් ජනප්‍රිය වූත් අර්ථාන්විත වූත් සංකල්පයක් බවට පත්ව තිබේ. ස්මෘතිය යනු කුමක් ද? එය ප්‍රභවය ලබන්නේ කෙසේ ද? ස්මෘතිය හා සාහිත්‍ය නිර්මාණයන් අතර පවතින්නේ කෙබඳු සම්බන්ධයක් ද? මෙවැනි ප්‍රශ්න ඔවුන්ගේ සතත ගවේෂණයට පාත්‍ර වේ.

ස්මෘතිය, පුද්ගල ස්මෘතිය, සමාජ ස්මෘතිය හා සංස්කෘතික ස්මෘතිය යනුවෙන් ප්‍රධාන වර්ග තුනකට බෙදා දැක්විය හැකි ය. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ගේ නිබන්ධන, පුද්ගල ස්මෘතියේ යථා ස්වරූපය විශද කිරීමට ඉවහල් විය. මොරිස් හැල්බ්වස්ක්ගේ ලිපි ලේඛන සමාජ ස්මෘතියෙහි සංකීර්ණත්වය අනාවරණය කිරීමට උපකාරී විය. වෝල්ටර් බෙන්ජමින් විසින් සම්පාදනය කරන ලද විචාර ලිපි සංස්කෘතික ස්මෘතියෙහි සැබෑ මුහුණුවර විදහා දැක්වීමට මං පෑදුවේ ය.

මානව වර්ගයා සිය ජීවිතය හසුරුවන අර්ථ සමුදාය සංස්කෘතිය ආශ්‍රයයෙන් මතු කර ගනියි. ඒ නිසා සංස්කෘතියත් ස්මෘතියත් අතර අවියෝජනීය සම්බන්ධයක් පවත්නා බව බෙන්ජමින් අවධාරණය කළේ ය. සාහිත්‍ය නිර්මාණයේ දී සංස්කෘතික ස්මෘතිය උපයෝගී වන ආකාරය මුනිදාස කුමාරතුංග, මාර්ටින් වික්‍රමසිංහ, එදිරිවීර සරච්චන්ද්‍ර හා ගුණදාස අමරසේකර ගේ කෘති සාවධාන ව විමර්ශනය කිරීමෙන් වටහා ගත හැකි ය.

සුනිල් සරත් පෙරේරා මහතා කාව්‍ය හා ගීත නිර්මාණයේ දී අන්වය හා කාව්‍ය අතර පවත්නා වෙනස මැනවින් පසක් කොට ගෙන ඇති බව පෙන්නුම් කරයි. අන්වය, කවියක හෝ ගීතයක හෝ මූලික අර්ථය යි. එය කාව්‍යයක් හෝ ගීතයක් බවට පත්වන්නේ ශබ්ද ලාවණ්‍යය, ආකෘතික ප්‍රසාද, මටසිලුටු බව එයට ආරෝපණය කරන අයුරෙනි.

මුනිදාස කුමාරතුංග සූරීන් කවි ශික්ෂාවෙහි ප්‍රකාශ කළ පරිදි කවියේ පද යොදන්නේ සාමාන්‍ය වාක්‍යයෙක පද යොදන්නා සේ නොවේ. වෘත්තයටත්, එළිසමයටත් ගැළැපෙන සේ කවියේ පද නියම තැන වෙනස් කොට යෙදීම සිරිත ය. එසේ තැන් වෙනස් කළ පද නියම තැනට ගෙන කවිය සාමාන්‍ය වාක්‍යයක් ලෙස ගත් කල එය අන්වය නමි. සුනිල් සරත් පෙරේරා කිවියාණන්ගේ නිර්මාණයන්හි දක්නට ලැබෙන එක් සුවිශේෂ ගුණාංගයක් නම් සංස්කෘතික ස්මෘතියෙහි ආධාරයෙන් අන්වය කවියක් බවට පත් කිරීමේ නිපුණත්වය යි.

සුනිල් සරත් පෙරේරා සූරින් ගේ කාව්‍ය හා ගීත නිර්මාණ විශ්ලේෂණය කරන විට සිරිත්, තාල, රිද්ම, අනුප්‍රාසය, ශබ්දාලංකාරය, කාව්‍යෝක්ති, රූපක ආදියෙහි බල මහිමයෙන් අන්වය කවියක් බවට පරිවර්තනය කොට ඇති ආකාරය මැනැවින් දැක ගත හැකි ය. මේ රචනෝපක්‍රම සියල්ල ම පාහේ අප ගේ සංස්කෘතික ස්මෘතිය මඟින් ඔහු බිහි කරන අයුරු අගනේ ය. චිරන්තන කාව්‍ය සම්ප්‍රදාය, ගැමි පද්‍ය සාහිත්‍යය සුනිල් සරත් පෙරේරා මහතා ගේ සංස්කෘතික ස්මෘතියෙහි කේන්ද්‍රිය ස්තම්භ ලෙස සැලකිය හැකි ය. ඒ සම්ප්‍රදායවල ආභාසය ඔහු ගේ නිර්මාණ ප්‍රභාවත් කිරීමට මහත් සේ හේතු වී ඇති බව කිව මනා ය.”

විශේෂඥ වෛද්‍ය
රුවන් ඒකනායක

Comments