
වයඹ දිග ඕස්ට්‍රේලියාවෙන් ලොව මෙතෙක් හමු වූ විශාලතම ඩයිනෝසර් පා සටහන සහිත ෆොසිලය පසුගිය සතියේදී සොයා ගෙන තිබේ. මේ පා සටහනේ විශාලත්වය අඩි පහක් සහ අඟල් නවයක් ලෙස සඳහන්ය. එනම් මීටර් 1.75කි. මේ පා සටහන සෞරපොඩ් නම් වන ඩයිනෝසර් විශේෂයකගේ බව තහවුරු කර ගැනීමට විද්‍යාඥයන්ට හැකියාව ලැබී තිබේ. සෞරපොඩ් යනු දිග බෙල්ලක් සහිත ශාඛ භක්ෂක ඩයිනෝසර් විශේෂයකි. මේ වර්ගයේ ඩයිනෝසරයන් වර්ග කිහිපයක්ම සිටි බවට වාර්තා වී ඇති අතර සෞරපොඩ් යනු එකී විශේෂ අතර තවත් එක් අනුවිශේෂයකි.
ඕස්ට්‍රේලියාවේ ඩම්පියර් අර්ධද්වීපයෙන් මේ පා සලකුණ හමුවීමට පෙර විශාලතම ඩයිනෝසර් පා සලකුණ ලෙස විරුදාවලි ලැබ සිටියේ බොලිවියාවෙන් හමු වූ අඩි තුනක් සහ අඟල් නවයක් විශාල ඩයිනෝ පා සටහනකි. එය දැවැන්ත මාංස භක්ෂකයකුගේ යැයි විශ්වාස කෙරේ.
ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත විශ්වවිද්‍යාලයේ පර්යේෂක කණ්ඩායමක් විසින් ඩම්පියර් අර්ධ ද්වීපයේ සිදු කරන ලද කැණීම් සමග ඩයිනෝසර් ෆොසිල හමු වීමේ වාර්තාවන් වේගයෙන් අලුත් වෙමින් තිබේ. මේ දැවැන්ත පා සටහන ලෝක වාර්තාවක්ද වන අතර ඒ සමග එකිනෙකට වෙනස් ඩයිනෝසර් පා සටහන් විසි එකක්ද සොයා ගැනීමට පර්යේෂකයන්ට හැකි වී තිබේ.
ඕස්ට්‍රේලියාවේ ඩම්පියර් ප්‍රදේශය ඩයිනෝසරයන්ගේ ෆොසිල හමු වීම සම්බන්ධයෙන් කොතෙක් ප්‍රසිද්ධියක් උසුලන්නේද කිවහොත් ඒ ප්‍රදේශය සාමාන්‍ය ව්‍යවහාරයේ හැඳින්වෙන්නේ ඕස්ට්‍රේලියානු ජුරාසික උද්‍යානය යනුවෙනි.