හොඳකට වුණාද නරකට වුණාද කවුද දන්නේ? | සිළුමිණ

හොඳකට වුණාද නරකට වුණාද කවුද දන්නේ?

 

වර්තමානයේ සෑම කෙනකුම උත්සාහ දරමින් සිටින්නේ තමන්ගේ ජීවිතය වෙනස් කර ගැනීමටය. එකී වෙනස තුළින් අප බලාපොරොත්තු වනුයේ මේ මොහොතේ ජීවත්වනවාට වඩා ආර්ථික, සමාජීය අධ්‍යාපනික, සංස්කෘතික හා දේශපාලනික වශයෙන් ගුණාත්මක වර්ධනයක් ළඟා කර ගැනීමය. එනම් මොටර් බයිසිකලයෙන් ගමන් ගන්නා පුද්ගලයා මෝටර් රථයක් මිලට ගැනීමට උත්සාහ කිරීමත්, කුලී නිවැසියකු තමාටම කියා නි‍ෙවසක් තනා ගැනීමට සිහින දැකීමත්, සාමාන්‍ය රැකියාවක නිරතවන තරුණයකු විධායක ශ්‍රේණියේ රැකියාවක් ලබා ගැනීමට පොර බැදීමත් වරදක් වශයෙන් කිසිවකුත් අර්ථකථනය නොකරනු ඇත. එවැනි වෙනසකට අපි සියල්ලෝම කැමැත්තෙමු. නමුත් අපේ ජීවිතය වෙනස් කර ගැනීමට පෙර ලැබී ඇති ජීවිතය කියවා ගැනීමට අප උත්සාහ කරන්නේද යන්න ගැටලුවකි.

''අප සියලු දෙනාටම අවශ්‍ය වන්නේ සාර්ථකත්වය නමැති ගිරි හිසට ළඟා වීමය. එහෙත් ජීවිතයේ සැබෑ සතුට ළඟා කර ගත හැක්කේ එහි ළඟා වීමෙන් නොව, එතනට යෑමට අප ගන්නා දුෂ්කර ක්‍රමවේද හරහාය...''

මාර්කේස් වරක් එසේ කීවේය. ජීවිතයේ අප මුහුණ දෙන සෑම අත්දැකීමක්ම එසේම අපට ලැබෙන- නොලැබෙන සෑම භෞතික සම්පත් කෙරෙහිම මධ්‍යස්ථව කටයුතු කිරීමට හැකිනම් අපි ජීවිතය කියවා ගැනීමට සමත් අය වෙමු. මේ කතාව ජීවිතය වෙනස් කර ගැනීමට පෙර- එය කියවා ගැනීමට වෙහෙසෙන ඔබ වෙනුවෙනි.

හොඳකට වුණා ද? නරකට වුණා ද?

එක්තරා පිටිසරබද පළාතක ගොවිතැන සහ සතුන් ඇති කිරීම ජීවනෝපාය කරගත් පුද්ගලයෙක් වාසය කළේය. ඔහු තම ගොවිපොළ වෙත ගියේ අසු පිටින්ය. සෑම දිනකම අසු පිටින් ගොවිපොළ වෙත යන මේ පුද්ගලයා අශ්වයාට කෑම සහ වතුර දී තම කටයුතුවල නිරත වේ. දිනක් මේ අශ්වයා ගොවිපොළෙන් ඈතට වන්නට තීබුූ කැලෑව වෙත පලා ගියේය. අශ්වයා සෙවීමට එතරම් උත්සාහයක් නොගත් මේ පුද්ගලයා ගොවිපොළෙහි වැඩ කටයුතු අවසන් වූ පසු පයින්ම තම නි‍ෙවස කරා ගමන් කළේය. මේ පුද්ගලයාගේ අශ්වයා කැලෑවට පලා ගිය බව දැනගත් අසල්වාසීන් මොහුට දෝෂාරෝපණය කරන්නට විය.

'' අපරාදේ හොඳ අශ්වයා මේ කාලකන්නි මනුස්සයට ඌව ආරක්ෂා කරගන්න බැරි වුණානේ......

අසල්වාසීන්ගේ එවැනි කතා ගණන් නොගත් ඔහු මෙසේ පවසා සිටියේය.

''ඕක හොඳකට වුණා ද? නරකට වුණාද? කවුද දන්නේ....

අශ්වයා නොමැතිවීම, තම වැඩ කටයුත­ුවලට බාධාවක් නොකරගත් ඔහු සෑම දිනකටම පයින්ම ගොවිපොළ වෙත ගියේය. හැකි පමණින් වැඩ කළේය.

ටික දිනකට පසු කැලෑ වැදුණු අශ්වයා තවත් වල් අශ්වයන් රෑනක් සමඟ ගොවිපොළට පැමිණියේය. මේ බව දැනගත් ගම්වාසීහු මේ පුද්ගලයාගේ වාසනාව පිළිබඳ තැන තැන කතා කරන්නට වූහ.

'' මිනිහ කොහොම වුණත් ලක් කාරයා. හිටියේ එක අශ්වයයි. දැන් අශ්වයෝ කී දෙනෙක් ද?

අසල්වාසීන්ගේ සුබ පැතුම් හමුවේ මේ පුද්ගලයා කියා සිටියේ ‍ෙපර කිී කතාවමය.

''ඕක හොඳකට වුණා ද? නරකට වුණාද කවුද දන්නේ....''

මේ අතර වල් අශ්වයෙකු පිට යෑමට උත්සාහ කළ ගොවිපොළ හිමිකරුගේ එකම පුතා ඌ පිටින් වැටී කකුලක් කඩා ගත්තේය. මේ බැව් දැන ගත් අහල පහළ මිනිසුන් මේ පුද්ගලයාට එළි පිටම බැණ වැදුණේ ය.

''තිබ්බ තණ්හාවට වල් අශ්වයෝ ටික කැළෑවට පන්නන්නැතිව ගේ අස්සේ දාගෙන හිටියා. අපරාදේ අර තරුණ කොල්ලා අබ්බගාතයෙක් වුණා. මහ මිනිහගෙ වැරැදි නිසා...''

තමන්ට බැන වදින පුද්ගලයන්ට සුපුරුදු පරිදි මේ පුද්ගලයා.. '' ඕක හොඳකට වුණා ද? නරකට වුණා ද? කවුද දන්නේ ...? යැයි කියා සිටියේය.

මේ වකවානුවේදී රටට විශාල සතුරු කරදරයක් එල්ල වී මහා යුද්ධයකට සූදානම් වීමට ආබාධයකින් තොරව ගම්වල සිටින සියලු තරුණයන් හමුදාවට බඳවා ගැනීමේ වැඩ පිළිවෙළක් ආරම්භ වී තිබුණි. එම පළාතට ද පැමිණි නිලධාරීහු ප්‍රදේශයේ ආබාධ රහිත සියලු තරුණයන් රැගෙන ගියහ. පළාතටම තරුණයෙක් ලෙස ඉතිරි වූයේ කතානායකයාගේ පුතා පමණි.

'' අනේ ඒ මනුස්නය නම් කොච්චර වාසනාවන්ත ද? අපේ දරුවෝ යුද්දෙට බිලිවෙයි ද දන්නෑ... ගම්හු කතානායකයාගේ වාසනා මහිමය ගැන කතා කරන්නට වූහ.

ඕක හොඳකට වුණා ද? නරකට වුණා ද? කවුද දන්නේ යැයි සුපුරුදු පරිදි මද සිනාවක් මුවග නඟා ගත් අප කතානායකයා පැවැසීය.

මඳකට නවතිමු

අපි සියල්ලෝම සිහින දකිමින් සිටිමු. ඒ සිහින සැබෑ කර ගැනීමට ජීවිතය සමඟ පොර බදිමු. හැල්මේ දුවමු. අධ්‍යාපනයෙන් ද, රැකියාවෙන් ද, ගෘහ ජීවිතයෙන් ද අපි හතිවැටී සිටිමු. ගත කරමින් සිටින අතෘප්තිමත් කර ජීවිතය වෙනස් කර ගැනීමට පෙනෙ- නොපෙනෙන සෑම දෙයක් පසුපසම හඹා යන්නෙමු. පුදුගල සංවර්ධණ දේශකයන්, ධනාත්මක චින්තකයන් මතු නොව දේවාල ද අප අතර පැමිණ ඇත්තේ මේ නිසාය. මේ සියල්ල පසුපස යෑමට ප්‍රථම අප මඳකට නතර වී ලැබී ඇති ජීවිතය හැකි පමණින් කියවීමට වැර දරමු.

ශක්තික සත්කුමාර

Comments