
‘රතු චතුරස්‍රය’ට ඇතුළු වන උතුරු දොරටුවේ සිට ඉදිරිය බැලූ විට “බොල්ෂොයි” රඟහලත්, එයට දකුණුපසින් ඇති “මාලෙයි” (කුඩා) රඟහලත් අපූරුවට පෙනෙයි. “මාලෙයි” රඟහලට උඩින් පෙනෙන්නේ (ARARATT HYATT) “අරරාත් හයෙට්” හෝටලයේ නාම පුවරුවය. එය දිවා රාත්‍රී දෙකේම නිල් පාටින් ආලෝකවත් වී ඇත. මාර්තු මස 22 දා හරියටම සවස තුනයි තිහ පමණ වන විට ශ්‍රී ලංකාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ ශ්‍රී ලාංකික රාජ්‍ය නියෝජිත පිරිස “අරරාත් හයෙට්” හෝටලයට ළඟා විය.
වසන්ත කාලය ලබා තිබුණත් මොස්කව් නුවරට තවම හිරු පායන්නේ කලාතුරකිනි. නිතරම දකින්නට ලැබෙන්නේ හිම වලාවලින් පිරී ඇති අහසයි. එහෙත් එදින උදෑසන සිට හිරු පායා තිබිණි. “ලංකාවෙන් පැමිණි පිරිස තමයි අද අපට හිරු එළිය ගෙනත් තියෙන්නේ” යැයි හෝටලයේ සිටින රුසියානුවන් සහ තවත් අය පැවැසූහ.
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතාගේ ආරාධනය අනුව රුසියාවේ සංචාරයක් සඳහා පැමිණි ශ්‍රී ලංකාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු රාජ්‍ය නියෝජිත පිරිසේ මොස්කව් සංචාරය එදින සිට ආරම්භ විය.
පසු දින උදෑසන රුසියාවේ ජනාධිපති ව්ලදිමීර් පුටින් මහතා විසින් ක්‍රෙම්ලිනයේදී හමුදා ආචාර පවත්වා මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු රාජ්‍ය දූත පිරිස රාජ්‍ය ගෞරව සහිතව පිළිගන්නා ලදී.
මේ “ක්‍රෙම්ලිනය” යන රුසියානු වචනයේ තේරුම මොකක්ද? ක්‍රෙම්ලිනය යන වචනයේ තේරුම “බළකොටුව” යනුයි. 1917 මාර්තු මාසයේ සාන්ත පීටර්බර්ග්ස් නගරයේ සිට මොස්කව් නුවරට සෝවියට් රාජ්‍ය පාලනය ගෙන ඒමත් සමඟ “ක්‍රෙම්ලිනය” සෝවියට් දේශයේත්, වර්තමාන රුසියාවේ “හදවත” වී ඇතැයි කීම නිවැරැදිය.
ක්‍රෙම්ලිනය පිහිටා ඇත්තේ මොස්කව් ගඟෙහි වම් ඉවුරෙහි “බරොවිෂ්කි” කඳු ගැටය මතය. තුන්හුලස් ආකාරයට පිහිටා ඇති මෙහි භූමි ප්‍රමාණය හෙක්ටයාර් 27.5 කි. රුසියානු ජනාධිපති ව්ලැදිමිර් ව්ලැදිමීර්විච් පූටින් මහතාගේ නිල ජනාධිපති මන්දිරය පිහිටා ඇත්තේ ක්‍රෙම්ලින් මන්දිරය තුළය. ක්‍රෙම්ලිනයේ දකුණු තාප්පය මොස්කව් ගඟට සමාන්තරව ද උතුරු තාප්පය “ඇලෙක්සන්දර් උයන”ට සමාන්තරව ද නැඟෙනහිර තාප්පය “රතු” චතුරස්‍රයට සමාන්තරව ද පිහිටා ඇත.‘ක්‍රෙම්ලිනයේ’ ඉතිහාසය උද්දීපනය වන්නේ දහවැනි සියවසින් පසුව වූ ක්‍රිස්තු පූර්ව දෙදහස් වසර දක්වා ක්‍රෙම්ලිනයේ ඉතිහාසය දික්වෙන බව රුසියානු ඉතිහාසකරුවෝ පවසති. ක්‍රෙම්ලිනයට නැගෙනහිරින් ඇත්තේ ‘රතු චතුරස්‍රය’යි.
රුසියානු මහා කවි ඇලෙක්සන්දර් පුෂ්කින්ගේ ‘කපිතාන්ගේ දියණිය’ නමැති නවකතාවේ කියැවෙන රුසියානු ගොවි කැරැල්ලේ නායක එමිලියන් පුගචොව්ගේ හිස ගසා දමන්නේ මෙම චතුරස්‍රයේ ලීවලින් තැනු වධක මඩුවකදී බව පාඨකයනට මතක ඇතැයි සිතමි. එය සිදුවන්නේ 1775 වසරේදීය. පසු කලෙක ගලින් නිමකොට ඇති එම ස්ථානය අදත් රතු චතුරස්‍රයේ නැගෙනහිර කෙළවරෙහි දක්නට පුළුවන.
මීටර් 330ක් දිග මීටර් 75ක් පමණ පළල වර්තමාන රතු චතුරස්‍රයේ ප්‍රමාණය හතරැස් මීටර් 24750 කි. ක්‍රෙම්ලිනය මෙන්ම රතු චතුරස්‍රය ද 1991 සිට ‘යුනෙස්කෝ’ සංවිධානය මඟින් ලෝක උරුමයක් බවට නම්කොට ඇත.
රුසියාවේ මොස්කව් නුවරට සෑම වසරකටම මිලියන ගණනක් සංචාරකයෝ අනිවාර්යයෙන්ම රතු චතුරස්‍රය නැරැඹීමට පැමිණෙති. එසේම තම උත්සව දිනවලදී මොස්කව් වැසියෝ ද, අනෙකුත් නගරවලින් මොස්කව් පැමිණෙන අය ද රතු චතුරස්‍රයට පැමිණ එය නරඹා යෑමට අමතක නොකරති. එයට අවැසි ලස්සන පරිසරයක් රතු චතුරස්‍රය වටා නිමවී තිබේ.
‘රතු චතුරස්‍රය’ට මාවත් අටකින් ඇතුළුවීමට පුළුවන. එහෙත් 1963 වසරේ සිට මෙම චතුරස්‍රයට වාහන ඇතුළු කිරීම තහනම් කොට තිබේ. රතු චතුරස්‍රයේ ඉතිහාසය මොස්කව් නගරයේ ක්‍රෙම්ලිනයේ ඉතිහාසය සමඟම එකට බැඳී පවතී. මොස්කව් නගරය ඇතිවන්නේ වෙළෙඳ මාර්ග එකතු වන ස්ථානයක් හැටියටය. මොස්කව් ගඟ හරහා එක් වෙළෙඳ මාර්ගයක් වැටී තිබුණ අතර කීව් ස්මලියන්ස්ක් හරහා ගිනිකොන දෙසට විහිදෙන මාර්ගයත් නොවොගොරද් නගරයට යන මාර්ගයත් සම්බන්ධ වූයේ “බරවිස්කි කඳුවැටිය” අසලදීය. මේ අසලින් මොස්කව් ගඟෙහි “මහා ගල් පාළම” නිමකොට තිබිණි. මොස්කව්හි ‘බරවිෂ්කි’ කඳුගැටය මත ‘ෙක්‍රම්ලින්’ බළකොටුව නිමවීමත් ඒ අසල නැගෙනහිරින් ලීවලින් තැනු වෙළෙඳසල් ඉදිවීමත් වෙළෙඳ මාර්ගයේ ප්‍රතිඵලයක් ලෙසට සිදු විය.
පළමු ක්‍රෙම්ලින් බළකොටුව නිමවී තිබුණේ ‘ඕක්’ ලී කඳන්වලිනි. 1493 වසරේ වෙළෙඳ ශාලා තුළින් හටගත් ගින්න ක්‍රෙම්ලිනය දක්වා පැතිරුණි. මේ නිසා ‘තුන්වැනි ඉමාන්’ ආර් රජතුමා විසින් ක්‍රෙම්ලිනයේ නැගෙනහිර දොරටුවෙන් මීටර් 240 ක් පමණ ප්‍රමාණයක් දුරින් වෙළෙඳසල් පිහිටුවන ලෙසට නියෝග කරන ලදී. ලීවලින් නිමවා තිබු මේ වෙළෙඳසල් පසුව ගලින් නිම කරන ලදී. මේ නිසා ක්‍රෙම්ලිනයත් මේ වෙළෙඳසල් අතර විශාල ඉඩක් නැත්නම් චතුරස්‍රයත් ඉබේම ඇති විය.
‘රතු චතුරස්‍රය’ මුලින්ම හැඳින්වූයේ ලස්සන චතුරස්‍රය ලෙසය. එනම් ‘ක්‍රසීවයා’ යන රුසියන් වචනයෙනි. විදේශිකයන් අතීතයේදී මෙය “වෙළෙඳ චතුරස්‍රය” ලෙස හැඳින්වූ අතර 1661 වසරේ ඇලෙක්සේයි විහලවිච් යන ෂාර් රජු විසින් මේ “මහා චතුරස්‍රය” “රතු චතුරස්‍රය” ලෙසට නම් කරන නියෝගය නිකුත් කරන ලදී.
මිනින් සහ පසාර්ස්කි දෙදෙනා නමින් ඇති සිහිවටනය, ගෙල සිඳින ස්ථානය, වී. අයි. ලෙනින් සමාධිය සෝවියට් දේශපාලන සහ හමුදා ක්‍රියාකාරින්ගේ “අළු” තැන්පත් කොට ඇති ක්‍රෙම්ලින් තාප්පය සහ සොහොන් කොත් බටහිරින් ක්‍රෙම්ලිනය, නැගෙනහිරින් “ගුම්” හෙවත් රාජ්‍ය වෙළෙඳසල, උතුරු දෙසින් ඓතිහාසික කෞතුකාගාරය සහ කසාන්ස්ත් පල්ලිය සහ දකුණු දිගින් යුනෙස්කොව මඟින් ආරක්ෂා කරන මසීල බ්ලසෙන්ස්කි නමින් ඇති ඉතා සුන්දර ආරාමයෙනුත් රතු චතුරස්‍රය වට වී තිබේ. එසේම “නිකොල්ස්කයා, සෙනාට්ස්කයා, ස්පාස්කයා” යන කුලුනු තුන ද රතු චතුරස්‍රයේ දැක්ම තවත් වර්ණවත් කරයි. සෝවියට් දේශය පැවැති අවදියේදී මැයි මස පළමු වැනි දින සෝවියට් වෘත්තිකයන්ගේ මැයි පෙළපාළිය ද, මැයි මස නම වැනිදා දෙවැනි ලෝක යුද්ධය ජය ගැනීමේ හමුදා පෙළපාළිය ද, ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවය ජය ගැනීමේ දින සැමරීම සඳහා නොවැම්බර් මස 7 වැනි හමුදා සහ ජනතා පෙළපාළිය ද රතු චතුරස්‍රය හරහා ගමන් ගති. එම පෙළපාළි පිළිගනු ලැබුවේ සෝවියට් නායකයන් විසින් ලෙනින් සමාධිය මත සිටය. එහෙත් සෝවියට් දේශය බිඳ වැටීමෙන් පසුව රතු චතුරස්‍රයේ පැවැත්වෙනුයේ දෙවැනි ලෝක යුද්ධය ජයග්‍රහණය කිරීම සැමරීම වෙනුවෙන් මැයි 9 වැනිදා පැවැත්වෙන හමුදා ආචාරය පෙළපාළිය පමණි. අද රතු චතුරස්‍රය හරහා යන හමුදා ආචාර පෙළපාළිය රුසියන් රාජ්‍ය නායකයන් විසින් පිළිගනු ලබන්නේ, ලෙනින් සමාධිය මත සිට නොව, ඒ අසල ඉදිකරන විශේෂ මණ්ඩපයක සිටය.
සෝවියට් දේශය බිඳ වැටීමෙන් පසුව සෝවියට් පාලන කාලය තුළ විනාශ කොට තිබු ‘කසාන්ස්කි පල්ලිය සහ “ඓතිහාසික මාවත” රුසියානු ජනතාව විසින් එකතු කරන ලද මුදල්වලින් රතු චතුරස්‍රයෙහි යළිත් ඉදිකරන ලදී. වර්තමාන රතු චතුරස්‍රයෙහි විවිධ සංගීත සන්දර්ශන පැවැත්වෙන අතර, සීත කාලයෙහිදී හිම මත ලිස්සා යෑමේ ක්‍රීඩා පිටියක් ද තාවකාලිකව ඉදිකරනු ලබයි.
වසරේ කුමන කාලගුණයක් තිබුණ ද, රතු චතුරස්‍රයෙහි සෑම දිනකම එය නැරැඹීමට එන සංචාරකයන්ගෙන් පිරී පැවැතීම සාමාන්‍ය දර්ශනයකි.
ආචාර්ය ධර්මදාස වික්‍රමගේ