නැකැත් කෙළියේ පුරාණය | සිළුමිණ

නැකැත් කෙළියේ පුරාණය

 සිංහල ජන සමාජය තුළ එහි පැවැත්මට අදාළවන්නා වූ සාරධර්ම රාශියක් පෝෂණය කරන වැදගත් ජාතික උත්සවය වන්නේ සිංහල අවුරුදු උත්සවයයි. සිංහල අවුරුදු උත්සවය ලෙස හැඳින්වුවත් ‍එය මෙරට ජීවත්වන ප්‍රධාන ජන කොට්ඨාස දෙක වන සිංහල සහ දෙමළ ජාතීන් දෙකම එකට සමරන උත්සවයයි. එබැවින් සිංහල දෙමළ අලුත් අවුරුද්ද ලෙස ද හැඳින්වෙයි.

මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න මහතා සඳහන් කොට ඇත්තේ සිංහල අවුරුදු උලෙළ හින්දු ආභාසයෙන් ආ සංස්කෘතික බලපෑම් නිසා ඇති වූවක් බව ය. එයින් පැහැදිලි වන්නේ ආර්යයන්ගේ ලංකා ගමන සමඟ ම ඔවුන්ගේ ඇදහිලි, විශ්වාස, සිරිත් විරිත් ආදිය අපටත් උරුම වූ බවයි.

අපේ ඓතිහාසික ලේඛන අනුව මුල් කාලයේ අවුරුදු උත්සවයක් පැවැත්වුණ බවට සාධක නොමැත. වෙසක් උත්සවය ගැන ‘මහාවංශයේ’ සඳහන් වෙනත් අවුරුදු උලෙළ ගැන සඳහනක් නොමැත. මහාචාර්ය මැන්දිස් රෝහණධීර මහතා සඳහන් කොට ඇත්තේ අවුරුදු උත්සවය ගැන පළමු සඳහන හමුවන්නේ ක්‍රි.ව. 15 වැනි සියවසේදී බවයි. Vi වන පරාක්‍රමබාහු රජුගේ මෑණියන් වන සුනේත්‍රා දේවිය පැපිලියානේ ඉඳිකළ පිරිවෙනේ පිහිටවූ සෙල්ලිපියක අවුරුදු ප්‍රජාව ගැන සටහනක් ඇති බව එතුමා සඳහන් කරයි.‍ එහෙත් වෙනත් තොරතුරුවලින් අවුරුදු උත්සවයට සමාන උත්සවයක් මෙරට පැවැති බවට තොරතුරු හෙළි වේ. මුලින් ම මෙරට ජනාවාස කළ ආර්යයන් එකල ඉන්දියාවේ පැවැති ‘ගිරග්ග සමජ්ජ’ වැනි සැණකෙළිවලට අනුව මෙරටද වාර්ෂික සැණකෙළි පවත්වා ඇතැයි සිතිය හැකි ය. මිහිඳු හිමි ලංකාවට වැඩිය අවස්ථාවේ දේවානම්පියතිස්ස රජතුමා ‘නැකැත් කෙළියෙහි’ යෙදුන බව සඳහන් වේ. ‘නැකැත් කෙළිය’ යන වචනය යෙදීම වැදගත් කරුණකි. වර්තමාන අපේ අවුරුදු උත්සවය සම්පූර්ණයෙන් ම නැකැත් මුල් කරගෙන පවත්වන්නකි. ඒ අනුව අවුරුදු උලෙළ එදා නැකැත්කෙළියේ සම්භවයක් විය හැකි ය. කෝට්ටේ සමයේ ලියැවුණ ගුත්තිලයේ සඳහන් වන උදේනි පුර සැණකෙළිය මිනිසුන් කා බී විනෝද වුණ උත්සවයකි.

‘රැගත් සුරා පිරූ විතින්
සුරත් තඹුරු පෙති සෙ නෙතින්
පුවත් නොදැන බමන ගතින්
නටත් අයෙක් සුරා මතින්’

යන කවියෙන් දක්වන තත්ත්වය දැකිය හැක්කේ මෙකල අවුරුදු උත්සව අවස්ථාවේ ය‍.

අනුරාධපුර සමයේ ‘නැකැත් කෙළි’ පැවැතී ඇත්තේ පොසොන් මාසයේ ය. එහෙත් අවුරුදු උලෙළ යෙදෙන්නේ අප්‍රේල් මාසයේ ය. එය පැවැත්වෙන්නේ සූර්යයා මුල් කරගෙන පැවැත්වෙන උත්සවයක් ලෙස ය. මිනිසුන් ‘හිරු’ මුල් කරගෙන උත්සව පැවැත්වීමට පෙලඹී ඇත්තේ ඇයි දැයි යන්න මෙහිදී විමසා බැලිය යුතු ය. මුළුමහත් ලෝකයේ ම කුදු මහත් සෑම දෙයක් කෙරෙහිම අසීමිත බලපෑමක් කරන්නේ සූර්යයාය. ඒ අනුව ආදීම මිනිසා සූර්යයා තමා කෙරෙහි බැල්ම හෙළා සිටි දෙවියෙකු ලෙස සලකා පුද පූජා කළහ. ‘හිරු දෙවි’ ඇදහීම ඇති වූයේ එසේ ය.

සූර්යයා මුල් කරගෙන අවුරුදු උත්සව පවත්වන පෙරදිග ජාතීහු අප්‍රේල් මාසයේ මැදට යෙදෙන විශේෂ දිනයක් ඒ සඳහා යොදා ගත්හ. එම දිනය සමාන රාත්‍රි හා දවල් ඇති කාලයයි. භාරතීයයන් මෙදින පැවැත්වෙන උත්සවය හඳුන්වන්නේ ‘මිත්‍රවෝත්සවය’ ලෙස ය. මෙම දිනය අප්‍රේල් මස 13 ට හෝ 14 ට යෙදේ.

මෙයට අවුරුදු 5000 කට පමණ පෙර දියුණු ශිෂ්ටාචාරයකට නෑකම් කියූ යුප්‍රට්‍රීස් - ටයිග්‍රීස් දෙගම්මැද විසූ සුමේරියන්වරුනුත් (වර්තමාන ඉරාකය) නයිල් නිම්ම ශිෂ්ටාචාරය ගොඩ නැඟූ මිසර වරුනුත් මැද පෙරදිග ග්‍රීක් වරුන් හා හිටයිම්වරුනුත් හිරු මුල් කරගෙන උත්සව පවත්වා තිබේ. එයට හේතුව හිරුගේ වාර්ෂික ගමන් කිරීම අනුව ශීත, වසන්ත, ග්‍රීෂ්ම, සරත් යන ඍතු ඇතිවන බව ඔවුන් සොයාගත් බැවිනි. පසුව ඔවුහු හිරුගේ වාර්ෂික ගමන ඇතුළත් ලිත් සාදා ගත්හ. එය අවුරුදු උත්සවය ආරම්භයට මග පෑදී ය. බොහෝ රටවල අවුරුදු උත්සව ආරම්භ වන්නේ ශ‍ීත ඍතුව ගෙවී වසන්ත සමය ආරම්භ වන වකවානුවේ ය. එබැවින් ඒවා ‘වසත් කෙළි’ ලෙස ද ඇතැම් අය හැඳින්වූහ.

හිරුගේ ගමන අනුව ‘ලිත්’ සෑදීම ආරම්භ වන්නේ ඉන්දියාවේ සිටි බෞද්ධ රාජ පරම්පරාවක් වන ‘ශක’ රාජවංශයේ ආරම්භයත් සමඟ ය. මේ නිසා දැනුදු අවුරුදු නැකත් කරුවෝ නැකැත් සාදන්නේ ‘ශක’ වර්ෂ ක්‍රමය අනුව ය. වසර 2017 අප්‍රේල් මස උදාවන්නේ 1989 වන ශත වර්ෂයයි‍. එය ක්‍රිස්තු වර්ෂයෙන් වසර 78 කට පසුව ඇරැඹී ඇත. ලිත් ක්‍රමය අනුව සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වන්නේ අප්‍රේල් 13 හෝ 14 ය. එම සංක්‍රාන්ති කාලය නැකැත් නැති කාලයකි. නැකැත් නැති කාලය ‘නොනැ‍කැත්’ කාලයයි. ‘නොනගතය’ වී ඇත්තේ එම වචනයයි. කිසිම සුබ වැඩකට නොසුදුසු මෙම කාලය සුදුසු වන්නේ පින් කටයුතුවලට ය. බෞද්ධයන් එම කාලය හඳුන්වන්නේ ‘පුණ්‍යකාලය’ ලෙස ය.

දළදා වහන්සේ මහනුවරට වැඩමවීමත් සමඟ ‘දළදා සංස්කෘතියක්’ මහනුවර කේන්ද්‍රකොට ගෙන නිර්මාණය විය. ඒ අනුව දළදා වහන්සේට එදිනෙදා කෙරෙන පුද පූජාවලට අමතරව ප්‍රධාන මංගල්‍ය සතරක් ද ඇරැඹිණි.

‘සතර මංගල්‍ය’ නමින් හඳුන්වන එම මංගල්‍ය සතර අද දක්වාම අඛණ්ඩව පවත්වාගෙන එති. එම මංගල්‍යය සතර වන්නේ අලුත් සහල් මංගල්‍යය, අවුරුදු මංගල්‍යය, ඇසල පෙරහැර මංගල්‍යය, කාර්කික මංගල්‍යය යන සතරයි. මෙයින් අවුරුදු මංගල්‍යය මහනුවර සමයේදී පවත්වා ඇත්තේ රජතුමාගේ හා රජ මාලිගයේ ප්‍රධානත්වයෙන් පවත්වන උත්සවයක් ලෙස ය.

විජේරත්න අතුරුපාන

Comments