හරිත පෘථිවියක් වෙනුවෙන් නිමවන කෝල්බවුට්ගේ ගොඩනැඟිලි | Page 3 | සිළුමිණ

හරිත පෘථිවියක් වෙනුවෙන් නිමවන කෝල්බවුට්ගේ ගොඩනැඟිලි

ප්‍රංසයේ පැරිස් නුවර වෙසෙන ලෝ පතළ ගෘහ නිර්මාණ ශිල්පියකු වන වින්සන්ට් කෝල්බවුට්ට අවශ්‍ය වන්නේ සෑම දෙනාම ඉදිකරන ආකාරයේ අහස උසට තට්ටු ගොඩනැගිලි සෑදීමට නොවේ. අභිලාශයන්ගෙන් පිරුණු දැක්මක් ඔහුට ඇත්තේය. ගෝලීය උණුසුම සමග සටන් කිරීම, බලශක්තිය රකින, වායුගෝලීය ගැටලුවක් බවට පත්ව ඇති කාබන් අවශෝෂණය කළ හැකි ගොඩනැගිලි සහිත ශිෂ්ටාචාරයක් බිහි කිරීම ඔහුගේ අරමුණයි.

“යහපත් හෙටක් සඳහා බලාපොරොත්තු සවිමත් කිරීමට මට අවශ්‍යයි“ ඔහු පවසන්නේය.

ඔහුගේ මේ පරිසර හිතකාමී අදහස් දැන් තායිවානයේ අගනුවර වන තායිපේ නගරයේ මල්පල ගැනෙමින් පවතින්නේය. එහි ඉදිවෙමින් පවතින ‘ටා පූ යින් යුවාන්‘ නම් මහල් ගොඩනැගිල්ල ලබන සැප්තැම්බර් මාසයේදී නිම වූ පසුව ගස්වැල් 23000කින් එය ආවරණය වනු ඇත.

කෝල්බවුට්ගේ අදහස අනුව මේ ගොඩනැගිල්ල නිම වූ පසු එය නාගරික වනාන්තරයක් වනු ඇත. සැලසුම් අනුව එමගින් වසරක් තුළ කාබන් ඩයොක්සයිඩ් වාතයෙහි ටොන් බිලියන 250ක් අවශෝෂණය කරගනු ඇත.

එහි වෙසෙන පුද්ගලයන් තුළ පරිසර විද්‍යාවේ වටිනාකම සිහිවන අන්දමේ හැඟීමක් ඇතිකරවන තිරසාර හරිත වරණ පරිසර පද්ධතියක් නිර්මාණය කිරීමේ මුල් පියවර ගැනීම මෙහි අරමුණ බව මේ ගෘහ නිර්මාණ ශිල්පියා පවසන්නේය‍. නිවැසියන්ට තම බලශක්ති පරිභෝජනය අවම කරගත හැකි අන්දමට මහල් විසි එකකින් යුත් මේ ගොඩනැගිල්ල ඉදිකරනු ඇත. සැලසුම අනුව ආලෝකය හා වාතයද ස්වාභාවිකව ලබාගැනීමට නියමිතය.

ගත වූ වසර කිහිපය තුළ මේ ගෘහ නිර්මාණ ශිල්පියා විසින් පරිසරයට හිතකර ව්‍යාපෘති රාශියක් බිහි කර ඇත්තේය. පිරිසුදු ජලය සහිත යුරෝපීය ගංගාවල පාවෙන උද්‍යාන පිහිටුවීමේ සිට සාගර කුණු කසළවලින් ගැඹුරු මුහුදේ පත්ලේ සිට අහස උසට තට්ටු ගොඩනැගිලි බිහිකිරීම දක්වා එම කටයුතු පැතිර තිබේ. මෙයට අමතරව නිව්යෝර්ක් නගරයේ මහල් 132කින් යුතු නාගරික ගොවිපොළක් හා පැරීසිය 2050දී නාගරික ආලෝකවලින් යුත් හුරුබුහුටි නගරයක් කිරීමද ඔහුගේ සැලසුම්වලට අයත් වේ.

මේ කටයුතු පෘථිවියට අයත් නොවන දීර්ඝ අනාගතයේදී සිදු වන දේවල් ලෙස කෙනකුට පෙනී යා හැකි නමුදු මේ නිර්මාණයන්හි මූලික අදහස නම් මානව සංහතියට හා පරිසර සමතුලිතතාවට නගරවලින් එල්ල වන සැබෑ තර්ජනයට මුහුණ දීම යැයි කෝල්බවුට් පවසන්නේය.

තායිපේ නගරයේ කෙරෙන ව්‍යාපෘතිය බටහිර හා නැගෙනහිර පවතින තාක්ෂණයේ හා සංස්කෘතියේ සංයෝජනයකි. ජීවන මාර්ගයක්, ප්‍රගුණතාවේ සංකේතයක් හා අවසන සමතුලිතතාව පිළිබඳ අදහස මේ නිර්මාණයෙන් පිළිබිඹු වන්නේ යැයි ඔහු පවසයි.

ලෝකයේ අනාගතය පිළිබඳ ඔහු විසින් මේ විෂයය යටතේ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී හෙළි කළ කරුණු කිහිපයක් මෙසේය.

ප්‍රශ්නය : ආසියාවේ රටවල් කිහිපයක සිරස් ගොවිපොළ තිබෙනවා. නිදසුනක් වශයෙන් කොරියාවේ සියොල් නුවර තිබෙන හරිතාගාරය හා ‘අහස් උයන‘ ගත හැකියි. මෙය විශාල ප්‍රවණතාවක් වන්නේ කෙසේද?

පිළිතුර : 2050 වන විට මේ පොළොවේ ජනගහනයෙන් සියයට 80ක් සිටින්නේ මහ නගරවල. එනිසා දේශගුණික විපර්යාසවලට මුහුණ දීමට, පරිසරයට උචිත ජීවනරටාවක් ඇති කර ගැනීමට හා අහසේ නගරවලට ස්වභාව ධර්මය එක් කර ගැනීමට කාලය ඇවිත්

ප්‍රශ්නය : ඔබ ජෛව ගෘහ නිර්මාණශිල්පියකු ලෙස හඳුන්වනවා. එහි තේරුම කුමක්ද?

පිළිතුර : මේ වචනය සකසා ඇත්තේ 2008දී මවිසින් ඇති කරන ලද බහුවිධ විෂයන්ගෙන් ආභාසය ලැබූ ප්‍රවේශය හඳුන්වා දීම සඳහා මා භාවිත කළ වචනයෙන්. මගේ වෘත්තිය වන ගෘහ නිර්මාණ ශිල්පය මුලින්ම බිහි වූයේ ස්වභාව ධර්මයෙන් මිනිසා ආරක්ෂා කරගැනීමටයි. එහෙත් දැන් ඇති වී තිබෙන පරිසරය අනුව එම අදහස සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. දැන් එමගින් කළ යුත්තේ පරිසර පද්ධතිය හා මිනිස් ජනාවාස අතර සංහිඳියාව ඇති කිරීමයි.

ප්‍රශ්නය : ඔබේ සංකල්පවලින් ජනතාව උගත යුත්තේ කුමක්ද?

පිළිතුර : මිනිසුන් ගුළි වී සිටින පෙට්ටියෙන් එළියට ආ යුතුයි. ශත වර්ෂ ගණනාවක් තිස්සේ පුරුදු වූ දෙයක් නිසා එය කිරීම ඉතා අපහසුයි. එහෙත් අපට පියවරෙන් පියවර ඉදිරියට යා හැකියි.

දැන් පවතින කනගාටුදායක තත්ත්වයෙන් මිහිකත බේරාගැනීමට නම් සැමදෙනාම පියවර ගත යුතුයි.

Comments