
අභ්‍යවකාශයේ අපද්‍රව්‍ය එකතු කිරීමට ජපානය දැල් එළයි
පෘථිවි කක්ෂය වටා එකතු වී ඇති කුණු කන්ද අතිමහත් බව වාර්තාවල ලියැවී ඇත. ඒ කුණු කන්ද, අප එදිනෙදා මහ මඟ යන එන විට දකින අන්දමේ කුණු කන්දක් නොවේ. පෘථිවි කක්ෂය වටා එකතු වී ඇති කුණුවල වැඩිපුරම තිබෙන්නේ පැරණි චන්ද්‍රිකා සහ ඒවායේ කොටස්, රොකට්ටුවල කොටස්, අභ්‍යවකාශ යානාවල කොටස් වගේම අභ්‍යවකාශයට පිවිසි අභ්‍යවකාශගාමීන් ඉවත හෙළුෑ දෑ බව අමතක නොකළ යුතුව ඇත. අභ්‍යවකාශගාමීන් පෘථිවි කක්ෂයේදී ඉවත හෙළන්නේ මොනවාදැයි කියා ඔබට දැන් ගැටලුවක් මතු වනවා නිසැකය.
අභ්‍යවකාශයේ තොරතුරු දැනගන්නට අපි කවුරුත් කැමැත්තෙමු. මේ කතාවත් අප දැනගන්නට කැමැති ඒ අභ්‍යවකාශය ඇසුරු කරගත් කතාවකි. එසේ වුවද එය බෙහෙවින්ම “අසුන්දර” කතාවක් බව කිව යුතුව ඇත. අභ්‍යවකාශය ගැන එවැනි අසුන්දර කතාවක් ලියන්නට සිදු වුණේ මිනිසා නිසාම බවද මෙහිදී වෙසෙසින්ම කිව යුතුව ඇත. අභ්‍යවකාශය පිළිබඳ මේ අසුන්දර කතාව අරඹන්නට සිදුවන්නේ පසුගියදා ජපානය අභ්‍යවකාශගත කළ මත්ස්‍ය දැලකට සමාන දැවැන්ත “දැල” පිළිබඳ ප්‍රවෘත්තියත් සමඟයි. ජපානය මේ දැවැන්ත “දැල” අභ්‍යවකාශගත කළේ අප පෘථිවි කක්ෂය වටා පා වෙමින් තිබෙන අභ්‍යවකාශ සුන්බුන් තොගයක් එකතු කර ගැනීමේ අරමුණ ඇතිවය. දැවැන්ත “දැල” රැගෙන ගියේ ජපාන අභ්‍යවකාශ ඒජන්සිය දියත් කළ කොයුනොතෝරි - 6 (Kounotori - 6) නමැති අභ්‍යවකාශ යානයෙනි. කොයුනොතෝරි - 6 ගමන් ඇරඹුවේ ජපානයේ තනෙගතාෂිමා අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් බව වාර්තාවල දැක්වේ.
මේ කියන දැවැන්ත “දැල” චුම්බක ක්‍රියාකාරීත්වයක් සහිත එකකි. දැල සකසා තිබෙන්නේ මල නොකන වානේ සහ ඇලුමිනියම් කම්බි යොදාගෙනය. එකී කම්බි ඉතා සිහින් ඒවා බව දැක්වේ. දැල යොමු කෙරෙන්නේ අභ්‍යවකාශ සුන්බුන් පෘථිවි වායුගෝලය දෙසට රැගෙන ඒම සඳහායි. පෘථිවි වායු ගෝලයට යොමු කෙරෙන ඒ සුන්බුන්, පෘථිවි වායු ගෝලයේදී දැවී අළු වී යනු ඇත. මේ මහා කාර්යයට අවශ්‍ය “දැල” නිෂ්පාදනය කර දුන්නේ මත්ස්‍ය දැල් නිෂ්පාදන ක්ෂේත්‍රයේ පෘථුල අත්දැකීම් ඇති “නිට්ටෝ සෙයිමෝ” නමැති ජපන් සමාගමයි. එය, වසර 106කට අධික කාලයක් පුරා මත්ස්‍ය දැල් නිෂ්පාදනයෙහි නියැළෙමින් අත්දැකීම් ලබා ඇති කීර්තිමත් ජපන් සමාගමක් බව සඳහන් වේ.
පෘථිවි කක්ෂය වටා එකතු වී ඇති කුණු කන්ද අතිමහත් බව වාර්තාවල ලියැවී ඇත. ඒ කුණු කන්ද, අප එදිනෙදා මහ මඟ යන එන විට දකින අන්දමේ කුණු කන්දක් නොවේ. පෘථිවි කක්ෂය වටා එකතු වී ඇති කුණුවල වැඩිපුරම තිබෙන්නේ පැරණි චන්ද්‍රිකා සහ ඒවායේ කොටස්, රොකට්ටුවල කොටස්, අභ්‍යවකාශ යානාවල කොටස් වගේම අභ්‍යවකාශයට පිවිසි අභ්‍යවකාශගාමීන් ඉවත හෙළු දෑ බව අමතක නොකළ යුතුව ඇත. අභ්‍යවකාශගාමීන් පෘථිවි කක්ෂයේදී ඉවත හෙළන්නේ මොනවාදැයි කියා ඔබට දැන් ගැටලුවක් මතු වනවා නිසැකය. අත් මේස්, පිහිය, දත් බුරුසු, අභ්‍යාවකාශ කටයුතුවලට යොදාගන්නා නොයෙක් මෙවලම් යනාදිය අභ්‍යවකාශ ගාමීන් ඉවත් හෙළන ද්‍රව්‍යය අතර තිබේ. සමහර දේ ඔවුන් අතින් අභ්‍යවකාශයේදී නැති වී ඇති බවත් ඔබ දන්නවාද?
අමෙරිකා එක්සත් ජනපදයෙන්, අභ්‍යවකාශ ඇවිදීමකට එක් වුණු පළමු අභ්‍යවකාශගාමියා බවට පත් එඩ් වයිට්ගේ අත් මේස් යුවළ මේ ගමනේදී නැති විය. එය සිදු වුණේ 1965 වසරේදී එඩ්, අභ්‍යවකාශයේ ඇවිදීමෙහි යෙදී සිටින විට බව තහවුරු විණ. අමෙරිකානු අභ්‍යවකාශගාමී මයිකල් කොලින්ස් අතින් 1983දී කැමරාවක් අස්ථානගත වූයේ ද අභ්‍යවකාශයේදී බව දැක්වේ. අමෙරිකානු ගගනගාමිනියක වන සුනීතා විලියම්ස් අත තිබුණු කැමරාවක්ද අභ්‍යවකාශයේදී නැති විණ. අභ්‍යවකාශයේදී ෂටලයක් අලුත්වැඩියා කිරීමක නිරතව සිටි ගගනගාමී පියර්ස් සෙල්ර්ස් අත රැඳි මෙවලමක් ඔහුගේ අතින් ගිලිහුණු බව 2006 වසරේදී වාර්තා වූයේය. අභ්‍යවකාශගාමී හෙයිඩි ස්ටෙෆ්නිශයින් යටතේ තිබුණු මෙවලම් බෑගයක් 2008දී අභ්‍යවකාශයේදී අතුරුදන් විණ. මේ බෑගය 2009දී, පෘථිවි කක්ෂයේදී ගිනි ගෙන දැවුණු බව දැනගන්නට ලැබුණේය. තවත් සමහර ගගනගාමීන් තමන් අත තිබුණු කුණු බෑග අභ්‍යවකාශයට විසි කර දැමූ බැව් වාර්තාවල සඳහන් වේ.
මේ අන්දමට නා නා විධ සුන්බුන් පෘථිවි කක්ෂයට එකතු වීමේ ඉතිහාසය වසර පනහකට මඳක් වැඩිය. ඇත්තටම කිව හොත් පෘථිවි කක්ෂය අපද්‍රව්‍යවලට විවර වූයේ මිනිසා අභ්‍යවකාශයට යන්නට පටන් ගත් දා සිටයි. 1957 වසරේදී සෝවියට් දේශය, ස්පුට්නික් නමැති චන්ද්‍රිකාව දියත් කිරීමත් සමඟම ඒ තත්ත්වය ඇති වීයැයි කියාද කියන්නට පුළුවන. එතැන් පටන් අභ්‍යවකාශ තරණය සඳහා සෝවියට් දේශය සහ අමෙරිකා එක්සත් ජනපදය අතර පැවැතියේ පුදුමාකාර තරගයකි. එතුළ පෘථිවිය වටා ගොඩගැසෙන අපද්‍රව්‍යය ප්‍රමාණය ද එන්න එන්නම වැඩි විය. තත්ත්වය වඩාත් අයහපත් සහ බරපතළ අතට හැරුණේ චන්ද්‍රකා ඝට්ටන සිදු වීමත් චන්ද්‍රිකා නාශක අවි භාවිතයත් නිසායැයි කියා දැක්වේ.
පෘථිවි කක්ෂය වටා කුණුකන්දල් ගොඩගැසුණාට අප කාට වත් එයින් කරදරයක් නැති බව කෙනකු සිතන්නට ඉඩ ඇත. සාමාන්‍ය ජනයා වුණු අපට පෘථිවි කක්ෂයේ කුණු ගැටලුව ඍජුව බලනොපාන මුත් විද්‍යාඥයන්ට එය බරපතළ තත්ත්වයකි. අභ්‍යවකාශ පර්යේෂණ සඳහා කක්ෂගත කරන යානා රැසක් මේ සුන්බුන් නිසා දැනටමත් විනාශයට පත් වී ඇත. 1981දී විනාශයට පත් කොස්මෝස් 1275 යානයත් 1993දී විනාශයට පත් කොස්මෝස් 1484 යානයත් මෙහිලා දිය හැකි නිදසුන් දෙකකි. ඒ හැරුණු විට චන්ද්‍රකාවල ක්‍රියාකාරීත්වයත් මේ කුණුකන්දල් නිසා ඇනහිටි අවස්ථා ඇත. රුසියාවට අයත් එක්ස්ප්‍රස් ඒ.එම්.11 සන්නිවේදන චන්ද්‍රිකාව 2006 වසරේ මාර්තු 29 වැනිදා හදිසියේම අක්‍රිය තත්ත්වයට පත් වුණේ හඳුනා නොගත් වස්තුවකින් ඇති වුණු බලපෑමක් මත බව තහවුරු විය. මේ හඳුනා නොගත් වස්තුව අනෙකක් නොව පෘථිවි කක්ෂයේ රැඳී ඇති අපද්‍රව්‍යයක් බව විද්‍යාඥයන්ට පසුව පැහැදිලි විණ.
එකී තත්ත්වයන් හැරුණු විට, අපද්‍රව්‍යමය කොටස් පෘථිවියට කඩා වැටීමේ අවදාමකුත් ඇත. ඇතැම් වාර්තාවල දැක්වෙන අන්දමට පසුගිය වසර පනහ ඇතුළත ගෙවුණු සෑම දවසකම කුමන ආකාරයේ හෝ අපද්‍රව්‍යයක් පෘථිවි කක්ෂයේ සිට පෘථිවියට ඇතුළු වී ඇත. ඒ අන්දමට ඇතුළු වුණු අභ්‍යවකාශ අපද්‍රව්‍ය කොටස් නිසා පෘථිවිය මත මහා විශාල හානි සිදු වී නැත. එහෙත් එවැනි අපද්‍රව්‍ය නිසා දිනෙක මහා විශාල විනාශයක් සිදු වන්නට වුවත් බැරි නැත. මන්ද, පෘථිවියට ඒ ආකාරයට ඇතුළු වුණු අභ්‍යවකාශ අපද්‍රව්‍ය නිසා අනතුරුවලට මුහුණ දී සුළු තුවාල ලැබුවන් කිහිප දෙනකු ගැන මේ වන විටත් වාර්තා වී ඇති බැවිනි. ජපානයට අයත් නෞකාවක ගමන් ගත් නාවිකයෝ පිරිසක් 1969 වසරේදී එවැනි අනතුරකට මුහුණ දී තුවාල ලැබූහ. අමෙරිකා එක්සත් ජනපදයේ ඔක්ලහෝමාහි කාන්තාවක්ද 1997 වසරේදී මේ ආකාරයේ අනතුරකට මුහුණ දුන්නාය. ඇගේ ඇඟේ හැපී තිබුණේ සෙන්ටිමීටර 13ක් දිගැති සෙන්ටිමීටර 10ක් පළලැති අභ්‍යවකාශ අපද්‍රව්‍ය කොටසකි.