නැනෝ එනෝ | සිළුමිණ

නැනෝ එනෝ

නැනෝ තාක්ෂණය අද මේ වන විට නිතර ඇසෙන නිතර භාවිත වන වචනයක් බවට පත්ව ඇත. ඇත්තටම නැනෝ තාක්ෂණය යනු කුමක්ද? එය ඇරඹුණේ කවදාද? එයින් ගත හැකි ප්‍රයෝජන මොනවාද යන්න බොහෝ දෙනකු තවමත් නොදන්නා කරුණුය.

අද අප නැනෝ තාක්ෂණය ගැන නිතර නිතර කතා කළත් එහි ආරම්භය 1959 වැනි අතීතයක් දක්වා දිව යයි. අමෙරිකානු භෞතික විද්‍යාඥ රිචර්ඩ් ෆෙමන්ගේ මූලිකත්වයෙන් නැනෝ තාක්ෂණය ආරම්භ වීයැයි කිවහොත් වඩාත් නිවැරදිය. නැනෝ තාක්ෂණය ලෝකයට හඳුන්වා දීම වෙනුවෙන් හෙතෙම නොබෙල් සාම ත්‍යාගයෙන් පවා පිදුම් ලැබූ වග වාර්තාවන්හි සඳහන් වේ. එහෙත් 10 වන ශතවර්ෂය තරම් ඈත අවධියකදී පවා මිනිසා නැනෝ තාක්ෂණය භාවිතයට ගෙන තිබෙන බව විද්‍යඥයෝ පෙන්වා දෙති. එකල නැනෝ පරිමාණයේ රත්‍රන් වර්ණ ගැන්වූ වීදුරු සහ පිඟන් භාණ්ඩ මිනිසා නිෂ්පාදනය කර ඇති බව දැන් සොයාගෙන තිබේ. කොහොම වුණත් මිනිසා නියත වශයෙන්ම නැනෝ තාක්ෂණය ගැන පදනමක් ඇතිව කතා කරන්නට පටන් ගන්නේ එතැන් සිට තවත් ශතවර්ෂ දහයක් පමණ ගෙවී ගිය තැනයි. එනම් අධි බලති අන්වීක්ෂ සකස් කරගෙන මිනිසා නොයෙක් දෑ ගැන පුළුල් ලෙස පර්යේෂණ පැවැත්වීම විධිමත්ව ආරම්භ කළ වකවානුවේ පටන්ය.

නැනෝ යන වචනය ඇසූ පමණින්ම අපට හැඟෙන්නේ “කුඩා” බවය. ඇත්තටම ඒ හැඟීම නිවැරදි යැයි කියා කියන්නට පුළුවන. නැනෝමීටරය යන පරිමාණය ඔබට ලෙහෙසියෙන්ම හඳුන්වා දෙන්නට හැකි වන්නේ මිටරෙයෙන් බිලියනයකින් පංගුවකැයි කියාය. ඒ අනුව නැනෝ මීටරය නමැති ප්‍රමාණය කෙතරම් කුඩාදැයි කියා ඔබට හිතාගන්නට පුළුවන් වනු ඇත. එය තවදුරටත් පැහැදිලි කළ හොත්, අඟලකට නැනෝමීටර 25,400,000ක් ඇති බවත් පත්තර පිටුවක් නැනෝ මීටර 100,000ක ඝනකමකින් යුක්ත බවත් කිව හැකිය. ඒ තරම් සියුම් ප්‍රමාණයෙන් සමන්විත දෑ යොදාගෙන කරන නිපැයුම් මොනවාද?, ඒවා අපට වැදගත් වන්නේ කෙසේද? යන්න ගැන ඔබ තුළ දැන් කුතුහලයක් ඇති වනවාට සැකයක් නැත. නැනෝ තාක්ෂණය මුසු කර නිෂ්පාදනය කරගත් දෑ සැහැල්ලුය, ශක්තිමත්ය, විනිවිදින සුලුය. ඒ වගේම ක්‍රියාශීලි සහ ප්‍රතික්‍රියාශීලි බව අතින් ඉක්මන්ය. මේ ආදී ගුණාංග නිසා අද වන විට නැනෝ තාක්ෂණය වෙත මුළුමහත් ලෝකයේම අවධානය යොමුව ඇත.

අද වන විට නැනෝ තාක්ෂණය ක්ෂේත්‍ර ගණනාවක් තුළ භාවිතයට ගැනෙමින් තිබේ. කෘෂිකර්මාන්තය, පශු සම්පත් සංවර්ධනය, රෙදිපිළි කර්මාන්තය, තීන්ත නිෂ්පාදනය, ඉලෙක්ට්‍රොනික් උපකරණ නිපැයුම, ඖෂධ සැකසුම, වෛද්‍ය උපකරණ නිෂ්පාදනය, බලශක්ති උත්පාදනය, රථ වාහන අමතර කොටස් නිපදවීම, රූපලාවණ්‍ය ද්‍රව්‍යය සැකසුම, ආහාර නිෂ්පාදන කර්මාන්තය යන අංශයන්හි වගේම පිරිසිදු කිරීම් තුළදීත් නැනෝ තාක්ෂණය බහුලව භාවිතයට ගැනේ. සත්‍ය වශයෙන්ම කිව හොත් නැනෝ තාක්ෂණය භාවිතයේ මේ වන විට ඉතා පුළුල් පරාසයක් දක්වා විහිදී ඇත.

කෘෂි කර්මාන්තයෙහිදී නැනෝ සංවේදක පාවිච්චිට ගැනේ. බව බෝගවල වර්ධනය, ඒවායෙහි නිරෝගීකම යනාදිය සම්බන්ධ දත්ත ලබාගැනීමට නැනෝ තාක්ෂණය සහිත එවැනි උපකරණ ප්‍රයෝජනවත් වේ. සක්‍රිය නැනෝ අංශු භාවිතයෙන් පසෙහි අහිතකර තත්ත්වයන් මඬින්නට පුළුවන. තවද බෝගයන්ට වැලඳෙන රෝග කල් ඇතිව හඳුනාගැනීම, පසෙහි සරු බව හඳුනාගැනීම, බෝග වර්ධනයට ඉවහල් වන කෘෂි රසායනික ද්‍රව්‍ය නිශ්චිත ඉලක්කයටම ලබාදීම යන කාර්යයන් සඳහාත් නැනෝ තාක්ෂණය භාවිත වේ. රබර් කර්මාන්තයද තුළද අද නැනෝ තාක්ෂණය පරිහරණය කෙරෙන අවස්ථා ඇත. රබර් කිරි කැපීමේදී රබර් කිරි එකතු කරගන්නට පාවිච්චි වන්නේ පොල්කටුවයි. මේ පොල්කටුවට රබර් කිරි අවශෝෂණය වීම වළක්වා ගැනීම සඳහා නැ‍නෝ ආවරණයකින් (කෝටින්) පොල් කටුව ආවරණය කිරීමේ ක්‍රමයක් හඳුන්වා දී තිබේ. එමඟින් අපතේ යන රබර් කිරි ප්‍රමාණය ඉතිරි කෙරේ.

ගුණාත්මක භාවයට හානි නොවන පරිදි ද, සෞඛ්‍ය ආරක්ෂිතවද ආහාර වර්ග අසුරා ගන්නට නැනෝ තාක්ෂණය ප්‍රයෝජනවත් වේ. නැනෝ තාක්ෂණය උපකාරී කරගත් ඇසුරුම්වල අසුරන ලද පාන් සමහර අවස්ථාවලදී වසරක පමණ කාලයක් වුව නරක නොවී කල් තබාගන්නට පුළුවන. විශේෂයෙන්ම යුද බිම්වල සේවයේ නියුතුව සිටින සොල්දාදුවන්ට එලෙස අසුරන ලද පාන් ලබාදෙන බව සඳහන් වේ.

රබර් අත් ආවරණ එහෙමත් නැත්නම් ග්ලවුස් සඳහා ලෝක වෙළෙඳපොළේ විශාල ඉල්ලුමක් ඇත. නැනෝ තාක්ෂණය භාවිතයෙන් විවිධ කර්මාන්තවලට ඔබින අන්දමේ අත් ආවරණ නිපදවිය හැකිය. ඇතැම් කර්මාන්ත ශාලාවලට අවශ්‍ය වන්නේ විදුලිය නොවදින ආකාරයට සකස් කළ අත් ආවරණයි. තවත් සමහර කර්මාන්තශාලාවල පාවිච්චියට වුවමනා වන්නේ පහසුවෙන් ඉරී හෝ කැඩී - බිඳී නොයන ආකාරයේ අත් ආවරණයන්ය. රසායනික ද්‍රව්‍යවලට ඔරොත්තු දෙන අන්දමට සැකසූ අත් ආවරණ අවශ්‍ය වන කර්මාන්තත් ඇත. මේ සෑම විධියකම කර්මාන්ත සඳහා අවශ්‍ය අත් ආවරණ නිෂ්පාදනය කරන්නට නැනෝ තාක්ෂණය පාවිච්චි කරන්නට පුළුවන් බව ඔබ දන්නවාද? රෙදි නිෂ්පාදනයට නැනෝ තාක්ෂණය මුසු කරගැනීම ඔබ රෙදි සේදීමේ වධයෙන් මුදාගන්නට සමත් තත්ත්වයකි. පර්යේෂකයන් අත්හදා බලා ඇති ආකාරයට රෙදි නැනෝ තාක්ෂණය මුසු කළ නූල් වර්ගවලින් සකස් කර ගත් විට ඒවායේ කුණු අංශු නොරැඳේ. එනිසා රෙදිවල කුණු පැල්ලම් ඇතැයි කියා ගෘහණියන් කරදර විය යුතු නොවේ. දැලි කුණු නිසා මුළුතැන්ගෙයි ඇතිවන පැල්ලම් ඉවත් කරන්නට නැනෝ තාක්ෂණය මුසු කළ රසායනික දියරයන් නිපදවන්නට හැකියාව ඇත. එය මුළුතැන්ගෙයි පිරිසුදු කිරීමේ කර්තව්‍යය පහසු කරදෙයි.

ඇත්තටම කිව හොත් නැනෝ තාක්ෂණය නිසා සිදු වන්නේ මිනිසාගේ එදිනෙදා කටයුතු පහසු වීමකි. ඒ වගේම වියදම අඩුවීමකි. එසේ වුවත් නැනෝ තාක්ෂණය මානව සමාජය තුළ මේ වනවිටත් විශාල පෙරළියක් ඇති කරමින් ඇති වග බොහෝවිට අනාවරණය නොවන තරම්ය.

Comments