වසර 46 කට පසු රජ දැක්මට අවසරයි | සිළුමිණ

වසර 46 කට පසු රජ දැක්මට අවසරයි

රජ දැක්ම සංරක්ෂිතයි

ඒ වන විට රූපවාහිනිය පිළිබඳ හාංකවිසියක් හෝ අප දැන සිටියේ නැත. 1971 වසරේදී ගුවන් විදුලි යන්ත්‍රයෙන් මනා පෞරුෂයකින් යුත් කටහඬක් සහිතව නිර්මාණය වූ වෙළෙඳ දැන්වීමක් කුඩා අපගේ කුතුහලය අවුස්සන්නට සමත් වූයේය.

නිහාල් සිංහ
පුළුල් තිරය
රජ දැක්ම
වැලි කතර

සමකාලීන සිනමා පටවලට වඩා යම් අමුත්තක් එම සිනමාපටයේ ඇතැයි කුඩා අපට හැඟවූයේ එම වෙළෙඳ දැන්වීමයි. ‘වැලිකතර’ නරඹන්නට එක්කරගෙන යන්නැයි තාත්තාට පෙරැත්ත කළත් අම්මා එය නරඹනවාට හරස් වූවාය.

“ඒකෙ එක සින්දුවක්වත් නැතිලු”

එදා ‘වැලිකතර’ නැරඹිය නොහැකි වූ අපට යළි එය නරඹන්නට ලැබුණේ සිනමා උණ හොඳට ම වැලඳී තිබූ ගැටවර අවධියේය. ඒ වන විට ‘වැලි කතර’ සිනමාපටයේ වැදගත්කම් ගැන ද අපි හොඳ අවබෝධයක් ලබා සිටියෙමු.

ළමා අප කුලප්පු කළ වෙළෙඳ දැන්වීමේ වූ පෞරුෂයෙන් සපිරි කට හඬ බණ්ඩාර‍ කේ. විජේතුංගයන් ගේය. එතෙක් කැමරා ශිල්පියකු හා සංස්කරණ ශිල්පියකු ලෙස කටයුතු කළ ඩී.බී. නිහාල්සිංහහයන් අධ්‍යක්ෂණය කළ පළමු චිත්‍රපටය ‘වැලි කතරයි’. එතුවක් දෙබස් රචකයකු ලෙස කටයුතු කළ තිස්ස අබේසේකරයන් ගේ පළමු තිර රචනයයි. වැලිකතර සිංහල සිනමා වංශ කතාවේ පළමු පුළුල් තිර නිර්මාණය සහ 237 වැනි සිනමා පටයයි. සරල හාස්‍ය රංගනයෙන් මිදී ගත් ජෝ අබේවික්‍රමයන් චරිතාංග නළුවකු ලෙස සිනමාවට පිවිසියේ ද එතෙක් මෙතෙක් හෙළ සිනමාවේ බිහිවූ අග්‍රගන්‍ය රංගන ශිල්පීන් දෙපළ වූ ගාමිණී ෆොන්සේකා සහ ජෝ අබේවික්‍රම කරට කර අති විශිෂ්ට රංගනයන්හි නියැළුණු එකම චිත්‍රපටය ද වැලි කතරයි.

පසුකාලීනව හෙළ සිනමාවේ එතෙක් මෙතෙක් නිර්මාණය වූ විශිෂ්ටතම චිත්‍රපට දහයට ද විචාරකයන් විසින් වැලිකතර එක් කර තිබේ. එහෙත් එවන් විශිෂ්ට සිනමා කෘතියක් දැක බලා ගැනීමේ වරම නව පරපුරට අහිමිව තිබුණේ සිංහල සිනමාවට නිසි චිත්‍රපට සංරක්ෂණ වැඩ පිළිවෙළක් නොතිබූ හෙයිනි.

සිනමාවට ආදරය කරන සියලු දෙනාට ආස්වාදය ගෙන දෙන පුවතක් පසුගියදා අසන්නට ලැබිණි. ඒ ඩිජිටල් සත්කාරයෙන් ප්‍රතිෂ්ඨාපනය කරන ලද ආචාර්ය ඩී.බී. නිහාල්සිංහයන්ගේ ‘වැලි කතර’ නැවතත් රජ දැක්මට සූදානම් බවය. ඒ ආරංචිය ලද වහා අප ගියේ උක්ත කටයුත්තේ මූලිකයකු වූ සම්මානනීය සංස්කරණ ශිල්පී හා ටීවීටී ආයතනයේ සභාපති රවීන්ද්‍ර ගුරුගේ සොයාය.

“ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා සිංහල චිත්‍රපට සංරක්ෂණය ගැන කතා කර තිබෙන්නේ 1950 දශකය අගභාගයේ පටන්. ඊළඟට ඒ හඬ ප්‍රබලව නැඟුවේ ආචාර්ය ඩී.බී. නිහාල්සිංහයන්. එතුමා ළඟ තමාගේ පළමු සිනමා නිර්මාණය ‘වැලි කතර’ චිත්‍රපටයේ නෙගටිව් පට තිබුණේ නැහැ. එහෙත් කාලයක් ප්‍රදර්ශනය කර හානි සිදුවූ පොසිටිව් පට දෙකක් තිබුණා. එතුමාගේ සිහිනයක් වූයේ ඒවා ඩිජිටල් සත්කාරයෙන් ප්‍රතිෂ්ඨාපනය කර සංරක්ෂණය කිරීමයි. එම සද්කාර්යයට එතුමා මා ද සම්බන්ධ කරගත්තා.”

රවීන්ද්‍ර පවසයි. ආචාර්ය නිහාල්සිංහයන් එම කටයුත්ත අරඹා ඇත්තේ මෙයට වසර හතරකට පමණ පෙරය. සිය පෞද්ගලික වියදමින් ඉන්දියාවේ චෙන්නායි හි ප්‍රසාද් ආයතනයේ සහාය ලබා ගනිමින් ‘වැලි කතර’ ප්‍රතිෂ්ඨාපන කටයුතු සිදු කෙරුණ ද එම කටයුත්ත නිමාවට පෙර අවසනාවකට මෙන් ආචාර්ය ඩී.බී. නිහාල්සිංහයන්ගේ අභාවය සිදුවී තිබේ. එතැන් පටන් සිය සැමියාගේ සිහිනය සැබෑ කරවීමේ කාර්යයේ මූලිකත්වය ගෙන ඇත්තේ ආචාර්ය නිහාල්සිංහයන්ගේ බිරිය ‍ෛවෙද්‍ය කල්‍යාණී නිහාල්සිංහ මහත්මියයි. ඇගේ සහායට පැමිණියේ ‘ෆෝ ඉන් වන්’ කණ්ඩායමයි. ශ්‍රී ලංකාවේ කලාවන්ගේ හා කලාකරුවන්ගේ උන්නතිය වෙනුවෙන් සද්භාවයෙන් යුතුව කටයුතු කරන ‘ෆෝ ඉන් වන්’ කණ්ඩායම ස්වාධීන රූපවාහිනී සේවයේ හා ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ සභාපති සමන් අතාවුදහෙට්ටි, ෆාස්ට් ඇඩ්ස් හා ෆාස්ට් පබ්ලිෂර්ස් අධිපති ප්‍රේම් දිසානායක, ප්‍රවීණ සංගීතවේදී රෝහණ වීරසිංහ සහ අප හා මේ සාකච්ඡාව පැවැත්වූ සම්මානනීය සංස්කරණ ශිල්පී රවීන්ද්‍ර ගුරුගේ යන සිවු දෙනාගෙන් සමන්විතය.

“පසුගිය දිනෙක ප්‍රංශයේ චිත්‍රපට උලෙළක වැලි කතර ප්‍රදර්ශනය කරන්නටත් අපට හැකිවූවා. අපි ‍අප්‍රේල් 04 දා ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී විශේෂ දර්ශනයක් පවත්වමින් වැලි කතර නැවත මෙරට ප්‍රදර්ශනය කිරීම අරඹනවා. කිසිම සිනමා නිර්මාණකරුවකුට අසාධාරණයක් නොවන පරිදි නව චිත්‍රපටය ප්‍රදර්ශනය නිමවා ඊළඟ නව චිත්‍රපටය ප්‍රදර්ශනය ඇරඹීම තෙක් ඇති කාලයන්හි සිනමා ශාලාවල වැලි කතර ප්‍රදර්ශනය කෙරේවි. ආචාර්ය නිහාල්සිංහයන් ගේ සිහිනය සැබෑ කරවමින් මේ සමඟ අපි සිංහල සිනමාවේ විශිෂ්ට නිර්මාණ ඩිජිටල් සත්කාරයෙන් ප්‍රතිෂ්ඨාපනය කොට සංරක්ෂණය කිරීම අරඹනවා.”

රවීන්ද්‍ර අප හා පැවසුවේ ‘වැලි කතර’ හඬ පටය ද මනාව ප්‍රතිෂ්ඨාපනය කළ බවය. එමෙන් ම මුල් චිත්‍රපටය නැරඹූ අයට මෙහි කිසිම අඩුවක් සොයා ගත නොහැකි වනු ඇත කියාය.

“චිත්‍රපටයේ අවසාන දර්ශනයේ අඟලක දෙකක අඩුවක් තිබෙනවා. ඒ හැර මේ පිටපතේ ජවනිකාවල හෝ හඬ පටයේ කිසිම අඩුවක් නැහැ. එදා ‘වැලි කතර’ නැරඹූ අයට අදත් මෙය නරඹා එදා ලැබූ ආස්වාදය ම ලබා ගත හැකියි. වසර 47කට පසු නවතම චිත්‍රපටයක් හා සමානව වැලි කතර නැරඹීමෙන් ඔවුන් ලබන ආස්වාදය තවත් වැඩි වේවි.”

ආචාර්ය ඩී.බී. නිහාල්සිංහයන් ගේ සිහිනය සැබෑ කරවූ එතුමන්ගේ බිරියට මෙන් ම ‘ෆෝ ඉන් වන්’ කණ්ඩායමට ද සිනමාවට ආදරය කරන සියලු දෙනාගේ කෘතඥතාව හිමි වනු නිසැකය.

පොලිස් පරීක්ෂක වික්‍රම රන්දෙනිය සිය බිරිය වෙත හැරෙයි.

“රජ දැක්මට අවසරද?”

“අවසරයි” ගීතා රන්දෙනිය පිළිතුරු දෙයි.

යළි එම ජවනිකාව පුළුල් තිරයේ ඇ‍ඳෙනු සුවහසක් ප්‍රේක්ෂකයන්ට දැක ගත හැකිවනු ඇත.

Comments