සංවේදී සමාජයකට මං පෙත් විවර කරන පොත් | Page 2 | සිළුමිණ

සංවේදී සමාජයකට මං පෙත් විවර කරන පොත්

 නවකතාවට සෞන්දර්ය රීතිය ගෙනා ‘වර්ජීනියා වුල්ෆ්’ කිසි දිනක පාසලට ගොස් නැත. තමන්ගේ පියා විවිධ විෂය යටතේ පොත් ඇයට ලබාදීමෙන් එම පොත් පරිශ‍ිලනය කොට තමන්ගේ නිවෙසේ පොත්ගුලක් නිර්මාණය කරන ලදී. එම පොත්ගුලේ පොත් 15,000ක් තිබුණු බව සඳහන් වෙයි‍.

නවකතා ක්ෂේත්‍රය නව ගමන් මඟකට ප්‍රවේශ කරන්නට වර්ජීනියා වුල්ෆ්ට අතිශයින් ම බලපෑවේ පොත් පරිශීලනයයි.

විවිධ විෂය ය‍ටතේ තමන්ගේ ඥානය ප්‍රශස්ත තලයකට ප්‍රවේශ කරන්නට පොත් සමුදාය පාදක විය. ඇයගේ විශ්වවිද්‍යාලය වූයේ නිවෙසේ මහා පොත්ගුල යි. බොහෝ චරිතවල දක්නට නොලැබෙන ශික්ෂණය, විනය, සංවේදීභාවය වර්ජීනියා වුල්ෆ්ගේ චරිතයෙන් නිරූපණය විය. පරමාදර්ශී චරිතයක් බවට පත් විය යුතු ය. යන නියතයේ ඇය සිටියා ය. තමන් යා යුතු නිම්නයාර්ථ භූමිකාව සම්බන්ධයෙන් වර්ජීනියා වුල්ෆ් කෙරෙහි අධිෂ්ඨානයක් ඇතිවිය. ඇය අතින් රචිත The Light House නමැති නවකතාව අදත් සහෘදයන් සමඟ ය. එය සහෘදයන් යන යන තැන සාක්කුවේ රූටාගෙන යන තත්ත්වයට පත් විය.

එංගලන්තයේ විසූ මහා ගත්කරු ‘ඔක්කාර් වයිල්ඩ්’ පොත් පරිශීලනයෙන් ප්‍රඥා‍වක් ලැබීය. ඔහුගේ Far From The wedding crowd නමැති නවකතාවට මං පෙත් විවර වූයේ විශ්ව සාහිත්‍යයේ පොත් පරිශීලනයෙනි. ඔහුගේ පොත්ගුලේ පොත් 20,000 ක් පමණ තිබුණු, බව දින පොතේ සටහන් වෙයි.

‘වික්ටර් හියුගෝ’ ‘අර්නස්ට් හෙමිංවේ’, ‘ඇල්බර්ටෝ මොරාවියා’, ‘ඩැනියල් ඩෙෆෝ’, ඔස්කාර් වයිල්ඩ්, ෆිය‍දෝර් දොස්තව්ස්කි, ටී. එස්. එලියට්, ඊ.එම්. ෆොස්ටර් බඳු මහා ගත්කතුවරුන් එබඳු තත්ත්වයට ප්‍රවේශ වූයේ පොත් පරිශීලනයෙනි.

ලංකාවේ සාහිත්‍ය ක්ෂේත්‍රයේ තුන්කල් විනිවිද දුටු කොග්ගල ප්‍රාඥයා හෙවත් මාර්ටින් වික්‍රමසිංහ විශ්ව සාහිත්‍යයේ පොත්පරිශීලනය කිරීමෙන් ප්‍රාඥයකු ගේ තත්ත්වයට පත්වූයේ. ‍පාසලේ 5 වැනි ශ්‍රේණිය දක්වා උගත් මාර්ටින් වික්‍රමසිංහ මහා ගත්කරුවකු වූයේ විවිධ විෂය යටතේ පොත් පරිශීලනය කිරීමෙනි. එම පොත් පරිශීලනය කොට භාෂාව, සාහිත්‍යය, විචාරය, පරිණාම වාදය, පුරාවිද්‍යාව, සංස්කෘතිය ආදී විවිධ විෂය යටතේ ග්‍රන්ථ 86 ක් ලියා ඇත. අද්‍යතන අවදියේත් එම ග්‍රන්ථ සියල්ල සහෘදයන් සමඟ ය.

ඔහුගේ පොත් ගුලේ පොත් 15,000ක් තිබුණි. මේ පොත් සියල්ලම පරිශීලනයෙන් ලත් පරිචය හේතු කොට ගෙන ලාංකික සාහිත්‍ය ක්ෂේත්‍රයේ යුග පුරුෂයෙක් බවට පත් විය.

නූතන පරපුරේ ඇත්තන් මේ අයගෙන් ආභාසය නොලබන්නේ ඇයි? අද්‍යතන අවදියේ විශ්ව විද්‍යාලයට පිවිසෙන්නේ තමන්ගේ ප්‍රඥාව වර්ධනීය තලයකට පත්කර ගන්නට ද එසේ නැත්නම්, උද්ඝෝෂණ, පෙළපාළි, නවකවදය, සටන් පාඨ කියන්නට ද.මේ අයගේ හැසිරීම් රටාව දෙසට නෙත් යොමු කරන විට හැඟීයන්නේ පොත් පරිශීලනය නොකරන බවයි.පොත් - පත් පරශීලනය වෙනුවට වෙබ්සයිඩ්, රූපවාහිනිය ආදී විද්‍යුත් නාළිකා පරිශීලනයෙන් සෑහීමකට පත් විය හැකි ද?

පටු පරමාර්ථයන්ගෙන් සැදුම්ලත් අය ගෙන් සමාජාභිවර්ධනයට බලපෑමක් සිදුවන්නේ ද? අද්‍යතන සමාජයේ බොහෝ දෙනාගේ හැසිරීම් රටාව දෙසට නෙත් - සිත් ‍යොමු කරන විට පෙනී යන්නේ පොත් පරිශීලනය නොකරන බවයි.පුද්ගලයා ක්ෂණික තීරණයකට එළඹෙන්නේ ඥාන ශක්තිය නොමැතිකමනි. ප්‍රඥාවෙන් උපලක්ෂිත ස්වරූපය හේතු කොට ගෙන පුද්ගලයා කෙරෙහි ශික්ෂණයක් විනයක් ඇතිවන්නේ ය.

වෛද්‍යවරයාගෙන් සුවයක් ලබන්නට දරුවා සමඟ පැමිණි මව දරුවා උකුලේ රඳවා ගෙන වෛද්‍යවරයාගෙන් පරීක්ෂණයක නියුතු අවස්ථාවේදී දරුවාගේ කකුල දොස්තරගේ ඇගේ වැදීමට උරණ වූ දොස්තර ඒ දරුවාට පහරදී, සෙරෙප්පුවෙනුත් පහරදුන් පුවතක් අපි දුටුවෙමු. මෙයින් ධ්වනිතවන්නේ දොස්තරට විඥානයක්, සංවේදීතාවක්, විනයක්, ශික්ෂණයක් නොමැතිකමයි.

පොත් පරිශීලනයෙන් ප්‍රඥාව ලබන පුද්ගලයා ගැඹුරැති ගංගාවක් බඳු ය. ගැඹුරැති ගංගාව නිසලව ගලා බසින්නේ යම් සේ ද ප්‍රඥාවන්ත පුද්ගලයාත් එසේම ය. පුද්ගලයා දිවි ගෙවන පරිශ්‍රයත් සෙස්සන්ට කදිම පාඩමකි. ‘රොබට් බ්ලේක්’ නමැති විචාරකයා පුද්ගලයාගේ දිවිය ගැන විමර්ශනයක් කිරීමට ඔහු දිවි ගෙවන නිවෙසේ පරිශ්‍රයට පැමිණෙන්න යනුවෙන් පවසා ඇත. නිවෙසේ අභ්‍යන්තරය හා පරිශ්‍රය කලාත්මක ස්වරූපයෙන් රඳා පවතින්නේ නම් පුද්ගලයාගේ චරිතයත් රසපූර්ණ භාවපූර්ණ‍ රසඥතාවෙන් උපලක්ෂිත ස්වරූපයත් ගත්තේ ය. සමහරුන්ගේ දිවිය සහතිකයට පමණක් සීමා වී ඇත. එයට පරිබාහිර වශයෙන් දිවි මඟ සරු මඟකට ප්‍රවේශ කරන්නට පොත් පරිශීලනය කරන්නේ නැත.

මැක්සිම් ගෝර්කි විශ්ව සාහිත්‍යයේ මහා ගත්කරුවකු වූයේ පොත් පරිශීලනයෙනි. පොත්වලින් ලබන අත්දැකීම් හෙවත් ධාරණා හෙවත් අනුභූති ආශ්‍රයෙන් ‘අම්මා’ නමැති නවකතාව ලියා සමස්ත සමාජයේම අම්මා කෙනෙකු බවට පත් කෙළේ ය. සාර් රාජ යුගයේ අම්මාට අත්විඳින්නට වූ ගැහැට කෙරෙහි මැක්සිම් ගෝර්කිගේ විඥානය යොමු වී සමස්ත සමාජයේම අම්මාට අත්විඳින්නට වූ ගැහැට ධ්වනිත කෙළේ ය. සාර් රජුගේ අධිරාජ්‍යවාදී පිළිවෙතට හොඳම නිදසුනකි මැක්සිම් ගෝර්කිගෙ අම්මා නමැති නවකතාව.

ප්‍රඥාවන්තයා නිතරම සිතන්නේ තමා ගැන නොව සමාජයේ සෙස්සන් ගැන ය. ආත්මාර්ථකාමී හැඟීම්වලින් තොරව පරාර්ථකාමීත්වය ස්වකීය දිවි මඟට ගෝචර කරගැනීම ප්‍රඥාවන්තයාගේ කාර්යභාරයයි. චිරන්තන සාහිත්‍ය ක්ෂේත්‍රයේ යතිවරුන් ස්වකීය ප්‍රඥාව ලැබුවේ පොත් පරිශීලනයෙනි. විශ්වවිද්‍යාලවලින් ලත් ප්‍රඥාව මත නොවේ. අටුවා සාහිත්‍යයේ අන්තර්ගත භූමිකාව පරිශීලනය කොට ප්‍රඥාව පරිපාකයට පත් කර ගැනීම මත කාලත්‍රයටම බලපාන ගැදි - පැදි කෘති සමුදායයක් සමාජයට දායාද කොට ඇත. සමාජ ප්‍රවාහය මත රැ‍ඳෙන පුද්ගල ප්‍රඥාව වඩාත් උත්ප්‍රේරණීය තලයකට ප්‍රවේශ වීමෙන් සිදුවන්නේ සමාජය යහ මඟකට ප්‍රවේශ කිරීමෙනි. විශ්ව සාහිත්‍ය ක්ෂේත්‍රයේ සියලුම නවකතාකරුවන්, කෙටිකතාකරුවන් තමන්ගේ විඥානය නව මඟකට ප්‍රවේශ වූයේ පොත් පරිශීලනයෙනි.

සමස්ත සමාජයේ විවිධ පැතිකඩ ඔස්සේ පුද්ගල විඥානය විහිදවන්නට ගත යුතු මූලික ක්‍රියා මාර්ගය වන්නේ කුඩා අවදියේ පටන් පොත් පරිශීලනයට යොමු කිරීමය. ‘කියවීම සම්පූර්ණ මිනිසකු කරයි’ (Reading make a full man) යනුවෙන් සඳහන් කෙළේ ඒ හේතුව නිසා ය.

 

Comments