තම රැහේ නිදහස වෙනුවෙන් වෙඩි කෑ කම්පනය | Page 2 | සිළුමිණ

තම රැහේ නිදහස වෙනුවෙන් වෙඩි කෑ කම්පනය

 ‘පනා මුරේ පනා මුරේ - පනා මුරේ ඇත් රාජා‘ යන ගීතය ඇසෙන විට අපට සිහිපත් වන්නේ එහි ගීත රසය පමණක් නොවේ. අදටත් වැදගත් ශෝචනීය ඉතිහාස කතාවක් ද එයින් මතුකෙරේ. සුගතපාල මලලසේකර ගායනා කරන මෙම ගීතය මඟින් නව පරපුර ඉතිහාසයට ගෙනයෑමට ද පෙලඹවීමක් කරයි. තම රැහේ වෙනුවෙන් නායකත්වය දී, රැහේ නිදහස වෙනුවෙන් සටන් කිරීමත් වනේ වන සතා සොබා දහමේ වටිනා අංගයක් මිස මිනිසාට අයත් භාණ්ඩයක් නොවීමත් මේ ඉතිහාස කතාවෙන් අදට ගත හැකි අලුත් ප්‍රවෘත්තියයි.

1950 වසරේ අගෝස්තු 9 වැනිදා උදේ 9ට පමණ කොලොන්න කොරලයේ, පනාමුරේ ගම්මානයේ දී මිහිතලය කම්පා කරවමින් වෙඩි හඬක් පිටවිණි.

එවක රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කතානායකයාව සිටි ෆ්රැන්සිස් මොලමුරේට අයත් පනාමුරේ ඇත් ගාලේදී, තම වර්ගයා වෙනුවෙන් ඉදිරියට හා ඒ හස්තිරාජයා දමනය කළ නොහැකිව වෙඩි තබා මරා දැමීය. මේ ගීතය පසුබිමෙන් අදටත් ඇ‍ෙසන්නේ එදා හස්තිරාජයාට ඩො තබා බිම හෙළෙීමෙන් හට ගත් කම්පනයයි.

නවරත්න ගමගේ විසින් නිර්මාණය කරන ලද ‘පනාමුර කුංචනාද‘ සංධ්වනිය මේ පණීවිඩය අනාගතයේ තවත් ඈතට ගෙන යන නිර්මාණ කාර්යයකි. සංගීතය හා නර්තනය ඇසුරෙන් නිර්මාණය කෙරුණු මෙම සංගීත සංධ්වනිය එදා සොබාදහමට එකතු වූ කම්පනයේ පුනරාවර්තනයක් වැනිය. ගීත­‍ෙයන් කෙරෙන සුගායනයේ කම්පනය හදවත මත නැවත වරක් පතිත කිරීමට මේ සංධ්වනිය සමත්ව ඇත.

එකල තිබු බලවත් ව්‍යාපාරයක් නිසා ඇති වූ මේ ඛේදවාචකය ඇසින් නොදුටුවන් පවා කම්පාවන තරමටම මේ සංධ්වනිය නිර්මාණය කර තිබේ. වනයේ සොබා සිරිය සමඟ ඇතුන්ට එය වන රජදහනක් වී ඇති ආකාරය පිළිබඳවත් ඒ නිදහස අධම මිනිසුන් විසින් අතික්‍රමණය කිරීම නිසා ඇති වූ ඛේදනීය තත්ත්වයත් මේ සංධවනිය මඟින් ජීවමාන කෙරේ.ඇතාගේ වැලපීම සමඟ තම වර්ගයා වෙනුවෙන් කරනු ලබන මැදිහත් බව සංගීතයෙන් රසවත් කර මැවෙන ආකාරය නිර්මාණශීලීව ගොඩ නැඟීමට නවරත්න ගමගේ ඇතුලු පිරිස සමත් වූහ.

සංගීතයෙන් කැලෑවේ සිරිය මැවීමට නම් ඉතා සුපරික්ෂාකාරී ලෙස සංගීත භාණ්ඩ හැසිරිවිය යුතුය. මේ සඳහා යොදාගනු ලබන තාල, මෙන්ම නාද රටා සිදුවීම කෙරෙහි බද්ධ විය යුතුය. එය එතරම් පහසු නොවූව ද හික්මීමෙන් සහ සංයමයෙන් එය කළ යුතුය. මෙය අපගේ හදවත කම්පා කරන සිදුවීමක් වුවද අතීතයේ දී අලි ඇතුන් වෙළෙඳාම කෙරෙහි ප්‍රභූ පන්තිය මූලිකත්වය ගත් බව අප කිසිවිටකත් අමතක නොකළ යුතුය. මේ නිසා එදා ලංකාවේ අලි ඇතුන් වෙළෙඳාම ලාභ ලැබිය හැකි ව්‍යාපාරයක් බවට පත්වී තිබිණි. මේ ලෙස භෞතික ලෝකයේ තරගයට පිවිසීමත් සමඟ සොබා දහම පවා තමන්ට රිසි රිසි සේ පාවිච්චි කරන්නට හැකියැයි මිනිසා කලපනා කරයි. දඩයක්කරු එවැනි ව්‍යාපාරික අංගයකි. එහෙත් සොබා දහමට කරන හානිය තමන්ටම කර ගන්නා හානියක් බව අනෙකා පරයන තරගයට පිවිසි මිනිසා කල්පනා කරන්නේ නැත. ආපිට විපත ආ කල වුවද සොබා දහම කම්පා වූයේ තමන් අතින් සිදු වූ වරද නිසා බව හිතන්නට කල්පනාවක් නැත. ‘පනාමුරේ ඇත් රාජා‘ ගීතයෙන් හා එතැනින් ඔපෙරාව දක්වා ඉදිරිට ගෙනා ‘පනාමුර කුංචනාද‘ මඟින්ද අපට සිහිපත් කරන්නේ සොබා දහමට කරන විනාශය, සතා සීපාවට අත්කර දෙන ඛේදනීය ඉරණම මිනිසා තමන්ටම කර ගන්නා විනාශයක් බවයි. සිත භාවනාවකට ගෙන යා හැකි සංගීතය මඟින් ඇති කරන සංයමය සිත සමාධි ගත කරයි. මේ සමාධිය භාවනාවක් කර සිත සන්සුන් කරයි. ආධ්‍යාත්මික සංසුන් බව ප්‍රසන්න ඉරියව් ඇති කරමින් ගත ප්‍රිය මනාප කිරීමට ද සමත් වේ. සොබාදහම හා සංගීතය මුසු වූ කල මිනිසාට නිදහස් නිරවුල් මනසක් ලැබේ. එවිට සිත කරුණාවෙන් පිරී යයි. මුදිතාවෙන් මැදහත් වී උපේක්ෂාවෙන් සියල්ල විඳ දරාගනියි. මේ සියල්ල තරගය නිසා මොහොතකට හෝ අමතක කිරීමට මිනිසා පෙලඹෙයි.

තමා තමාටම හානි කර ගන්නා ක්‍රියාවලිය මතු වන්නේ එතැනිනි. එහෙත් එසේ වියවුල් වූ කල නැවත සංගීතය හෝ සොබාදහම හෝ සොයා පිවිසීමට මිනිසාට සිදුවේ. අවසන් නිමේෂයේ මිනිසා සොයනුයේ සැනසීමය. ඒ සැනසීම මඟින් ඉවසීම පුරුදු කරයි. එවිට කණ්ඩායම් හැඟීමෙන් හා මනුෂත්වයෙන් ජීවත් වීමට මිනිසා හුරුවෙයි. මිලේච්ඡත්වය නිතැතින්ම ප්‍රතික්ෂේප වෙයි. නරකින් සහ නපුරු වීමෙන් බැහැර වීමට සංගීතය සලසන ඉඩ පනාමුර කුංචනාද‘ මඟින් අපූරුවට විදහා පායි. සොබා දහමේ වින්දනීය බව සංගීතයෙන් මිනිස් හදවත මත පතිත කිරීමට නවරත්න ගමගේ තම නිර්මාණ කාර්රය මඟින් ඉටු කර ඇත.

වර්තමානයේ බොහෝ මිනිසුන් කලබලකාරීය. එමෙන්ම කලහකාරීය. මේ සියල්ලට හේතුව එකිනෙකාගේ පීඩනයයි. ඇතැම් අවස්ථාවල අනෙකා වෙනුවෙන් වචනයකින්වත් කිසිවක් කිරීමට ඔවුහු ඉදිරිපත් නොවෙති. ඒ වෙනුවෙන් කාලය මිඩංගු නොකරති. තමන් පමණක්ම ප්‍රමුඛ කරගෙන කාර්යන්හි නිරත ‍ෙවති. සමාජයක් සමඟ ගනුදෙනු කිරීමේදී හුදෙක් ආත්මාර්ථකාමීත්වය පමණක් පෙරදැරි කරගනිතිි. මේ ඛේදනීය ඉරණම අත්පත් වීමත් සමඟම මිනිස් රුව පමණක් ඉතිරිවී මිනිස්කම ගිලිහී යයි. මනසින් උසස් වූ මිනිසුන් ගේ ක්‍රියාකලාපය එකල්හි ඉතා කනගාටුදායකය. එහෙත් පනාමුරේ ඇත් රාජා තම කණ්ඩායම වෙනුවෙන් කණ්ඩායම් හැඟීමෙන් කළ දේ අප ජීවත් වන මිනිස් සමාජයේ දී සිතා ගන්නටවත් නොහැකිය. ඇතාගේ කතාව මඟින් කියන්නේ අන් පිරිස පිළිබඳ ආදරයක තරමයි. මේ සියලු සංවේදී හැඟුම් පනාමුරේ ඇත් රාජා ගීතයෙන් ද මිනිස් සන්තානයේ ජනිත කරයි.

තමන්ගේ වර්ගයා බේරා ගැනීමේ අරමුණින් සටනක නිරත වූ පනාමුරේ ඇත් රාජාගේ එඩිතර බව සිහි කිරීම විනා අන් කුමක් කරන්නද? මිනිසුන් පවා තම වර්ගයා මුදලට පාවා දෙද්දී තම වර්ගයා වෙනුවෙන් දිවි පිදූ හස්ති රාජයකු ගැන අහන්නට ලැබීම කෙතරම් භාග්‍යයක් ද? පෞරාණික උරුමයක් ඇති පනාමුරේ ඇත් ගාලේ වටිනාකම නිසාම එය සංරක්ෂණය කිරීමේ කාර්යභාරයට සමන් රත්නායක මහතා පුරෝගාමී වූයේය. මේ අනුව ඇත්ගාල නවීකරණය කිරීමටත් අනාගත පරම්පරාව වෙනුවෙන් මේ ස්ථානය සංරක්ෂණය කිරීමටත් ඔහු පරාර්ථකාමී විය. මේ කටයුත්ත කෙරෙහි නවරත්න ගමගේ මහතා අහම්බෙන් දායක වීමේ අවසාන ප්‍රතිපලය වූයේ ‘පනාමුර කුංචනාද‘ සංධ්වනියයි. පනාමුරේ ඇතා තම පරපුර වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ ආකාරය, කණ්ඩායම් හැඟීම, යන සෑම ගුණයක්ම නිර්මාණයක් මඟින් ජනගත කිරීමට හැකි නම් එය කෙතරම් භාග්‍යයක් ද යන්න වැටහීම ‘පනාමුර කුංචනාද‘ කරන්නට තමා පෙලඹවූ බව නවරත්න ගමගේ මහතා පවසයි. සංගීතය මඟින් රූප මවා මේ පිළිබඳ නව ආකල්පයක් ගොඩනැඟිය හැකි බැවින් තමා මේ පියවර ගත් බව ඔහු සඳහන් කරයි.

අලි මිනිස් ගැටුම අදත් පවතින්නකි. වෙ‍ෙළඳාමක ස්වරූපයෙන් නොවුණත් ගැටුමක් ඇත. මීට විසඳුමක් මෙතෙක් සොයාගෙන නැත. මේ නිසාම අලි සම්පත සොබා දහමට අහිමි වෙමින් ඇත.

එදා මිහිකත කම්පා කළ මේ සිද්ධිය වර්තමානයට පුනරාවර්තනය කරන්නට දායක වූවන් අතර සූනිතා පෙරේරා. රත්න ශ්‍රී විජේසිංහ, රවි බන්දු විද්‍යාපති, ආරියවංශ ඕවිටිගේ අත්වැල් ඇල්ලූහ. මිනිසා කෙරෙන් තුරන් වී ඇති මිනිසත් බව මෙවැනි නිර්මාණ මඟින්හෝ නැවත මතු කරන්නට හැකි නම් එය කෙතරම් අනර්ඝ ද? සිදුවිය යුත්තේ එයයි.

 

Comments