ශ්‍රී ලංකාවේ පළ­මු­ව­රට පළ වන ඕෂෝ ජීවන චරි­තා­ප­දා­නය - 04 | සිළුමිණ

ශ්‍රී ලංකාවේ පළ­මු­ව­රට පළ වන ඕෂෝ ජීවන චරි­තා­ප­දා­නය - 04

ඕෂෝ මවුකුසේ සිටියදී වූ අස්වාභාවික සිදුවීම්:

අම්ම මට කියපු හැටියට මං අම්මගෙ කුසට ඇවිදින් මාස පහක් ගතවෙද්දී ආශ්චර්යයක් සිද්ධ වුණා. දවසක් අම්ම අපේ තාත්තගෙ ගෙදර ඉඳල තමන්ගෙ මහ ගෙදර යන්ඩ ගියා. ඒක වැහි කාලයක්. මවක් මුල් ම දරුව බිහි කරන්ඩ ඕනෑ තමන්ගෙ පියාගෙ ගෙදර කියන එක ඉන්දියාවෙ සිරිතක්. ඒ හින්ද වැහි කාලෙ කියල නොබල, යාම් - ඊම් අමාරුකම් නොබල ඇයටත් ඒ ගමන යන්ඩ සිද්ධ වුණා. පාරවල් යටවෙලා තිබුණ හින්ද අම්මට යන්ඩ සිද්ධ වුණේ. අස්සයකුගෙ පිටේ. ඉක්මනින් ගිය තරමට හොඳයි. බල බලා හිටියොත් ගමන තවත් අමාරු වෙනව. ඒ හින්ද ඇය ඥාති සහෝදරයෙක් මස්සිනා කෙනෙක් - එක්කයි ගමන ගියේ.

ගමනෙ මැද හරියෙදි නර්මදා කියන මහ ගඟ හරහයි යන්ඩ තිබුණෙ. යද්දි ඒක ගලල! ගංවතුර! මේ දෙන්න බෝට්ටුකාරය ළඟට කිට්ටු කරද්දි අපේ අම්ම බඩදරු විත්තිය දැකපු බෝට්ටුකාරය මස්සිනාගෙන් ඇහුවලු “මේ කවුද? මොකක්ද නෑකම?” කියල. මස්සිනා කිව්වලු “මේ මගෙ නඟා” කියල‍.

ඒක අහපු හැටියෙ බෝට්ටුකාරය කිව්වලු එගොඩ කරන්ඩ බෑ කියල. “මට බෑ තමුංගෙ නඟාව එගොඩ කරන්ඩ! මොකද එයා ගැබ්බරයි. ඔහේල දෙන්නෙක් නෙමෙයි, ඉන්නෙ තුන් දෙනෙක්.”

කෙනෙක් තමුන්ගෙ සහෝදරියකගෙ පුතා එක්ක දියෙන් නොයායුතුයි, විශේෂයෙන් බෝට්ටුවකින් නොයා යුතුයි කියන එක ඉන්දියාවෙ පුරාණයෙ ඉඳල එන පිළිගැනීමක්. සමහරවිට ඒ පිළිගැනීම පැවත එන්නෙ ක්‍රිෂ්ණගෙ කාලෙ ඉඳල වෙන්න පුළුවනි. එහෙම ගියොත් බෝට්ටුව ගිලෙන්ඩ පුළුවන් කියන බයක් සමාජෙ තියනව.

“ඔහෙගෙ නෑ‍නගෙ බඩේ ඉන්නෙ පුතෙක් නෙමේ දුවක් කියල ඔහේ කොහොමද ඔප්පු කරල පෙන්නන්නෙ? දරුව පුතෙක් නං ඒ වෙන වින්නැහියෙ වගකීම බාරගන්ඩ මට බෑ. ඒ මගෙ ජීවිතේ ගැන තියන බයකට නෙමෙයි. තවත් හැට දෙනෙක් මේ බෝට්ටුවෙ යනව. එක්කො ඔහේට විතරක් බෝට්ටුවෙන් යන්ඩ පුළුවනි. නැත්තං නගාට විතරක් යන්ඩත් පුළුවනි. දෙන්නවම නං මං ගෙනියන්නෙ නෑ” බෝට්ටුකාරය කියයි!

ගඟ දෙපැත්තෙම තියෙන්නෙ කඳුයි, වනාන්තරයි. බෝට්ටුව දවසකට යන්නෙත් එක ගමනයි. උදේ යනව. හැන්දෑවෙ ආපහු එනව‍. ගඟ එච්චරටම පළලයි.

ආයෙත් පහුවදා උදේ යනව. ඒ යන්නෙත් මේ බෝට්ටුවම තමා. එක්කො අපේ අම්මට ගඟෙන් මෙගොඩ ඉන්ඩ සිද්ධ වෙනව. නැත්නම් එගොඩ වෙන්ඩ සිද්ධ වෙනව. දෙගොඩම එක වගේ භයානකයි. මේ දෙන්න දවස් තුනක් තිස්සෙම තමන්ව එගොඩ කරන්ඩ කියල බෝට්ටුකාරයාගෙන් ඉල්ලුව. අම්ම ගැබ්බර හින්ද එයාට අනුකම්පා කරන්ඩ කියලත් ආයාචනා කළා.

“මට කරන්ඩ දෙයක් නෑ. ඒක වෙන්නෙ නෑ. ඔහේට පුළුවං නං උපදින්නෙ පුතෙක් නෙමේ කියල ඔප්පු කරල පෙන්නන්ඩ මට පුළුවං එගොඩ කරන්ඩ. ඒත් ඉතිං කොහොමද ඔහේල එහෙම ඔප්පු කරන්නෙ?” බෝට්ටුකාරය තරයේම කියා හිටිය.

මේ හින්ද ඒ දවස් තුනේම මේ දෙන්නට ළඟ පාත තිබුණු දේවාලෙකයි නැවතිලා ඉන්ඩ සිද්ධ වුණේ. ඒ දේවා‍ලෙ හිටිය ඒ කාලෙ ඒ පැත්තෙ බොහොම ප්‍රසිද්ධ සාධුවරයෙක්. දැන් ඒ දේවාලෙ වටේ නගරයක් නිර්මාණය වෙලා තියනව. ඒ සාධුවරයගෙ නමින් සයික්හිඩා කියල. ඒකෙ තේරුම ‘සාධුවරයගෙ ගම’ කියන එකයි. සායි කියන්නෙ සාධුවරයා. ඔහු ප්‍රසිද්ධ වෙලා හිටියෙ සායි බාබ කියල. හැබැයි අර ලෝක ප්‍රසිද්ධ සායිබාබ නෙමෙයි. මේ දෙන්න සමකාලීනයො.

අන්තිමේදී අපේ අම්ම සායිබාබගෙන් ඉල්ලා හිටිය යමක් කරන්ඩ කියල. “අපි දැං දවස් තුනක හිටන්නේ මෙහෙම ඉන්නෙ. මං දරුවෙක් ලැබෙන්ඩනේ ඉන්නෙ. මගෙ මස්සිනා බෝට්ටුකාරයට කියල තියනව එයා මගෙ අයිය කියල. ඒ හින්ද අපිව බෝට්ටුවෙන් එගොඩ කරන්නෙ නෑ. දැන් ඉතිං ඔබතුමා යමක් නොකළොත් බෝට්ටුකාරයට යමක් නොකීවොත් අපි හරි අමාරුවකයි වැටෙන්නෙ. මස්සිනාට මාව මෙහෙ තනි කරදාල යන්ඩ විදිහක් නෑ.‍ මට තනියම එගොඩහට යන්ඩත් බෑ. දෙපැත්තෙම වනසත්තු ඉන්න වනන්තරේ. මං තනියම ඒවට මැදිවෙල. මං දැන් පැය විසි හතරක් තිස්සෙ හිටගෙන ඉන්නව...”

ලබන සතියට...

Comments