අපේ මහත්තයා මොකෝ හූල්ලන්නේ? | සිළුමිණ

අපේ මහත්තයා මොකෝ හූල්ලන්නේ?

“ආනේ මේ නිකා හිටපං කෙල්ලෙ පේන බලන්නෙ නැතිව.. විභාගෙ පැත්තකට දාලා පේන බලන්නයි පේන කියන්නයි ඉගෙන ගත්ත නං හොඳයි හා...!” අම්මාත් දුවත් එකට සිනාසුණේ කලකට පස්සේ හිතට ආ සතුට පිටකරගන්නටත් හේතුවක් ඕනෑ නිසා ම වගේ ය. චන්ද්‍රලතා හීනයක් දැකලා අවදි වුණා වගේ ය.

චන්ද්‍රානිත් අම්මා දැකපු හීනයේ ම කොටසක් දැකලා පුදුමවෙලා වගේ ය.

“පවු අම්මේ තාත්තා උදේ පාන්දරින් ම ගියේ අයියලත් එක්ක ම යන්න ඕන නිසා නේ... තාත්තාට බයයි අයියලාගේ ආරක්ෂාව ගැන...”

අම්මාත් දුවත් කතා කරන්නේ ඇඳ උඩ වාඩිවෙලා ය.

“සමන්ති අක්කා මොනතරම් සැපට වලව්වක හැදුණු කෙනෙක්ද අම්මේ... පව් නේද... එයා දැන් අපේ අයියත් එක්ක දුක් විඳිනවා..”

“තාත්තා පුදුම සතුටකින් ඇවිල්ලා අයියාව බදා ගත්තේ නේද අම්මේ... අයියෝ... මං දැක්කාමයි ඔය තාත්තා අඬනවා..!” චන්ද්‍රානි ආයෙත් කියවයි.

ඇඳ මත ඇති කොට්ටාවලින් සමන්ති අක්කාගේ සුවඳ දැනෙනවා වගේ ය. ඒ සුවඳ හරියට හොඳට හුරුපුරුදු වගේ ය. හරියට තමන්ගේ ම කෙනකුගේ සුවඳ සමන්ති අක්කාට ආවේ කොහොමද? මේ ඇගේ ලේවල සුවඳ ද? චන්ද්‍රලතා ගේ ඇස්වලින් කඳුළු බේරෙයි. ඒ කඳුළු උණුම උණු කඳුළු ය.

ජයතිස්ස, පුතා ව බදාගෙන හැඬූ හැටි. පුතාගේ කර ළඟට විතරක් උස ජයතිස්සට මහා මෙරක් උසට පුත්‍ර ස්නේහයක් දැනුණේ ඇයි. ජයතිස්ස හැඬුවේ දුකටද? සතුටටද? බයටද? සමන්ති බේබි හාමු දිහා ජයතිස්ස බැලුවේ අත්දෙක එකතු කර බද‍ාගෙන ඔළුවත් පහත් කරගෙන ය. වලව්වේ තේජවන්තව සිටි බේබි හාමු තමුන්ගේ ලේලිය වේයැයි ඔහු හීනෙකින්වත් හිතුවේ නැතුවා විය හැකි ය. පුංචි කාලේ පටන් ම වලව්වේදී දැකලා පුරුදු සමන්ති බේබි හාමු වලව්වේ සේවකයකු වන තමුන්ගේ පුත්‍රයාට අයිතිවීම ජයතිස්ස දැකපු භයානක හීනයක් වගේ නොවේද?

“අම්මේ තාත්තා රත්නපුර වලව්වට දැන් ගිහිල්ලා ඇති නේද?”

“අයියලා නම් තවම යනවා ඇති. සමන්ති අක්කාට දැන් දරුවෙක් ලැබෙන්නත් ඉන්නවා... එයාට එයාගෙ අම්මත් නෑ... එයාගෙ මහත්තයගෙ අම්මත් නෑ... මතකද ඊයෙ එයා අම්මාව බදාගෙන අඬලා එකපාරට ම කෑගහලා ඇඬුවේ එයාගෙ අම්මා මතක් වුණා කියලා.. පව් අම්මේ සුදු මැණිකෙ හාමු..!”

චන්ද්‍රානි තොරතෝංචියක් නැතිව කියවයි.

ඒ කියවිල්ලට යටින් කවුරුත් නොදන්නා යටිපෙළ අරුතක් තමන්ගේ හිත ඇතුෙළ් පෙරළි කරන බව කවුරුවත් දන්නේ නැත. චන්ද්‍රලතාගේ හිතේ තියෙන මහා බර ඒක ය. කවදාවත් සැහැල්ල නොවන මහා බරකි.

“කොහොම වුණත් ජයතිස්ස වගේම පුතා, ජයේන්ද්‍රත් මරණ බයෙන් නිදහස්වීම නම් තමුන්ගේ හිතට මහා අස්වැසිල්ලකි. ඒත් සමත්ති බේබි ගේ අම්මා වන සුදු මැණිකෙ හාමු තමා හමුවෙන්න ඇවිත් කරන ලද තර්ජනයත් අපහාසයත් තමුන්ට කවදාකවත් අමතක නොවන දෙයකි.

“පුළුවන් නම් තමුන්ගෙ දුවත් එල්ලපං හාමු මහත්තයකුගෙ ම කරේ...!”

සුදු මැණිකෙ හාමුගේ ඒ තර්ජනයත් සමඟ තමාව තල්ලු කර දැමූ මෘග විලාසයත් කෙසේවත් අමතක ‍නො වේ. උපහාස හිනාවක් ඒ එක්කම ඇගේ මුහුණේ ඇඳී යයි.

“ඇයි අම්මේ අපහාසෙට වගේ හිනාවුණේ...?”

චන්ද්‍රානි ඇඳෙන් නැගිටිමින් අසයි.

“අපහාසෙට... කොහොමද එහෙම කිව්වෙ...?”

“කවුරු හරි ගැන හිතලා අම්මා පල් එකට හිනාවුණා මට පෙනුණා.. “හාමු ගොල්ලට හොඳ වැඩේ... අපේ එකා දිනුම්” කියලා හිතලා නේ අම්මට හිනා ගියේ.. නැද්ද...?”

“ආනේ මේ නිකා හිටපං කෙල්ලෙ පේන බලන්නෙ නැතිව.. විභාගෙ පැත්තකට දාලා පේන බලන්නයි පේන කියන්නයි ඉගෙන ගත්ත නං හොඳයි හා...!”

අම්මාත් දුවත් එකට සිනාසුනේ කලකට පස්සේ හිතට ආ සතුට පිටකරගන්නටත් හේතුවක් ඕනෑ නිසා ම වගේ ය.

******

“ඇත්තට මොකක්ද අම්මේ සුදු නැන්දට වුණා කිව්වෙ...”

වාහනයෙන් බැස ගෙට ගොඩවන ගමන්ම ශ්‍රීමාල් ඇසුවේ ඒ ප්‍රශ්නය ය. අප්පච්චිත් ජයමාල් මල්ලිත් පේළියට හිටගෙන ය.

“ආනේ... බලන්නකෝ... මයෙ පුතා... කන්න නැතිවද පුතේ මේ කෙට්ටු වෙලා තීන්නේ...”

ඉදිරියට පැන්න නිර්මලා මැණිකේ පුත්‍රයාව බදාගනිද්දි විල්ප්‍රඩ් හාමුට හිනා ය. ජයමාල් හිනාවෙන්නේ ඔලොක්කුවට ය.

“ආපෝ අම්මේ... අප්පච්චි...! මේ බලන්නකෝ අපෙ අයියගෙ කෙට්ටු වෙලා තියෙන්නෙ කොහෙන්ද දන්නෙ නෑ.. අලිපැටියා වගේ මහත් වෙලා අපෙ අම්මට පේන්නෙ හරිම කෙට්ටුවට.. ආ...”

“අනේ මේ ඇස්වහ ගන්නෙ නැතිව ඉන්නවද මෙය කොල්ලට... හා.. බලන්නකො අපෙ මහත්තයා.. මෙයැයිගෙ ඉරිසියාව...”

“මේ ඕවා නවත්තලා කියන්නකො සුදු නැන්දට දැන් සනීපද කියලා..”

“කවුද පුතාට ඒ ආරංචි කිව්වේ...?”

විල්ප්‍රඩ් හාමුගේ ප්‍රශ්නය ඒකය. මැණිකෙ හාමු ඊට හරස් කපයි.

“හා.. හා ගිහිල්ල වොෂ් දාගෙන එමු.. පස්සෙ කතා කරමු...”

ජන්තු ලොකු බේබි හාමුගේ ගමන්මල්ල අරගෙන කාමරයට ගියේ සතුටටත් එක්ක වැඩිපුර නොන්ඩි ගසමින් ය.

“ඇයි මලයණ්ඩිගෙ හපන්කමුත් කියන්න තියෙනවා හහ්...!”

අම්මා එහෙම කියද්දී පොඩි පුතා අම්මාගේ කරවටා අතක් දමා හුරතල් ඉරියව්වක් පායි.

මේ දරුවො පුදුම කපටි ජාතියක්! දෙමවුපියන්ව ගොනාට අන්දන්න උපන් හපන්නු.. නිර්මලා මැණිකේ එහෙම කියන්නේ හිතින් විතර ය.

“මේ මැණිකෙ මෙහාට ආව නම්.. මට ඔයාට යමක් කියන්න තියෙනවා” විල්ප්‍රඩ් හාමු එසේ කියද්දී නිර්මලා මැණිකේ තිගැස්සිලාත් ඉවර ය!

තද කල්පනාවකට වැටෙන විල්ප්‍රඩ් හාමුගේ ඇස් මිදුලේ දකුණු කෙළවරේ ඇති කුරුලු තටුව දිහාට යොමුවෙලාය. කෑගසමින් ප්‍රීති ‍‍‍ඝෝෂා කරමින් පලතුරු බුදින ගිරා රංචුවත් ඊට නුදුරේම ගස් කඳන් මතට වී වලිග ගසමින් සිටින ලේන රංචුවත් එකම කං කරච්චලයකි.

ඒ සද්ද හරි මිහිරි ය. නමුත් නිස්කලංකව ඒවා අසා විඳගන්නට තමුන්ට පිනක් නැත. තමුන්ගේ හිත ඇතුලේ මහා කංකරච්චලයකි. කලබැගෑනියකි. ඒක එක ම විඳවිල්ලකි.

ජයතිස්සගේ පුත්‍රයා ජයේන්ද්‍ර තම ඇස ගැටුණේ දෙවතාවක් වගේ අඩුවාර ගණනකදී ය. වයස අවුරුදු තුනේ කාලෙදි ඉතාම හදිසියේ ඔහු දුටු දා තමා ඔහු දෙස එතරම් සැලකිල්ලෙන් බැලූ වගක් මතක නැත. නමුත් ඔහුට වයස අවුරුදු දහනමයක වගේ කාලයේදී දවසක් තමා රත්නපුර වලව්වට ගිය වෙලාවකදී ජයතිස්ස සමඟ ඇවිත් හිටිය හැටි දුටුදා තම හිත තුළ විදුලියක් කෙටුවා මතක ය. මිටි මහත කාලගෝල පෙනුම තාත්තාට තිබුණට පුතාට ලැබී තිබුණේ නැත. කොල්ලාගේ මූණ කට ඇස් දෙක දුටුගමන් ම තමාට මතක් වුනේ චන්ද්‍රලතා ය! නමුත් කොල්ලා හීනියට හිනාවෙද්දී ඒ හිනාව අග්ගිස්සේ තම බාල පුතාගේ හිනාවක ඉඟියක් මතුවී තම සිත බොහෝම කරදර වුණා මතක ය.

“මොකෝ... අපෙ මහත්තයා මට එන්න කියලා ඉවරවෙලා අර ලේන්නුයි කුරුල්ලොයි දිහා බලාගෙන හූල්ලන්නෙ..?”

විල්ප්‍රඩ් හාමු තිගැස්සෙන්නේ නිර්මලා මැණිකෙගෙ තියුණු හඬට ය. විල්ප්‍රඩ් හාමු ඒ බවක් නොපෙන්වා කට රවුම් කරගෙන මැණිකේට රහසක් කියන්නට වගේ සැරසෙන්නේ ඇයට වාඩිවෙන්නට අතින් සංඥා කරන ගමන් ය.

“මැණිකෙ.. දන්නවනෙ.. දැන් රත්නපුරේ සුදු මැණිකෙ නංග‍ිගෙ සංගෙදි. එයාට ඔළුවෙ අමාරුවක් වගේ තමා ඔය එකපාරම ඇතිවෙලා තීන්නෙ.. ඒවා මේ එසේ මෙසේ දේවල් නෙමෙයි... ඒ, සමන්ති දූ ගැන සාංකාව... ඒක දරාගෙන ඉඳලා ඉඳලා තමයි අර ඔළුවට දරාගන්න බැරි විකල් තත්ත්වයක් ඇවිත් තියෙන්නෙ.. මට ඩග්ලස් මලයත් කෝල් කළා.. කොහොම හරි එක වතාවක්වත් සමන්ති දුවව මුණගස්වන්න වෙයි කියලා..!”

කට ඇරගෙන පුදුමය පළකරන නිර්මලා හාමුට දැන් කෑගැහෙන්නත් එයි. විල්ප්‍රඩ් හාමුගෙ මූණත් හොරෙකුගේ වගේ ය.

“මේ දැන් පුතාව අරගෙන අපෙ වාහනේ එද්දිම වගේ තමා කෝල් එක ආවෙ.. පස්සෙ කතා කරමු.. මැණිකෙ.. පුතාලට ‍මේක අඟවන්න එපා ඕං.. අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න ඕනැත් නෑ. නොදන්නා තාලෙන් ඉන්නකො...!”

ලබන සතියට

Comments