සුදු මහත්තයගෙ තීරණය | සිළුමිණ

සුදු මහත්තයගෙ තීරණය

දැනට දශක හතකට පමණ එපිට මෙරට ඉංග්‍රීසි පාලන සමයේ සිදුවූ කතාවකි. එවක ගම්බද ප්‍රදේශ වටකොට පිහිටි තේ වතුවල පාලනය සිදුවූයේ ඉංග්‍රීසි සුදු මහත්වරු මඟිනි. වතුවල සේවය කළේ ද්‍රවිඩ ජනතාව මෙන් ම ගම්බද වාසය කළ සිංහල ගැමි ජනතාවයි. වතු පාලක සුදු මහතාගේ රියැදුරු වශයෙන් ද බංගලා මුරකරු වශයෙන් ද කටයුතු කළේ සිංහල මිනිසුන් දෙදෙනෙකි. ගුණවංශ රියැදුරු වූ අතර මුරකරු වූයේ ‍ප්‍රේමදාස නමැත්තෙකි. රියැදුරු ගුණවංශ සුදු මහතාගේ හිත දිනා ගැනීමට ප්‍රේමදාස මුරකරුට විරුද්ධව නොයෙකුත් ගතු කේළම් කීමද ඉඳහිට පැවතුණි.

දිනක් රෑ වැඩමුරයේ යෙදී සිටි ප්‍රේමදාසට නොදැනීම නින්ද ගියේ ය. ගුණවංශ රියැදුරු ද එදින තද වර්ෂාව නිසා බංගලාවේ ම රැඳී සිටියේ ය. ප්‍රේමදාස තම රාජකාරිය නිසි ලෙස ඉටු නොකරන අයකු බව සුදු මහතාට ඒත්තු ගැන්විය හැකි හොඳම අවස්ථාව මේ බව සිතූ ගුණවංශ ප්‍රේමදාසගෙ ඉහ ඉද්දර තිබූ විදුලි පන්දම රැගෙන පිටව ගියේ ය.

පසුදින සුදු මහතා ද හමුවී සියලු කාරණා පැවසූ ගුණවංශ තම අත තිබූ විදුලි පන්දම සුදු මහතාට දුන්නේ ය. සුදු මහතා ඉක්මන් නොවී ය. රාජකාරිය තවදුරටත් කරගෙන යන අයුරු පරික්ෂා කර තීරණයක් ගන්නා බව කියා තවත් විදුලි පන්දමක් ප්‍රේමදාසට දුන්නේ ය. මෙතෙක් වූ දේවල් පිළිබඳව හොඳින් සිතා බැලූ ප්‍රේමදාස මුරකරු, රියැදුරු ගුණවංශ තුමාට එරෙහිව සුදු මහතාගේ හිත දිනා ගැනීමට කළ ක්‍රියාවක් බවද ‍තේරුම් ගත්තේ, පෙරළා තම රාජකාරිය හරියාකාරව සිදු කරන බව වැඩි දිනක් යන්ට පෙර සුදු මහතාට පෙන්වන බව දැඩි අදිටනකිනි.

පුරුදු ලෙස දින දෙක තුනක් ගතවී ඊළඟ රාත්‍රි දිනයේ මුරසේවයට නිවසේ සිට පැමිණෙන ප්‍රේමදාසට කවුරු හෝ මරා දමන ලද විශාල පොළගකු මුණ ගැහිනි. වහා එය බංගලාවට රැගෙන ආ ප්‍රේමදාස මිදුලේ ඉදිරිපිට තබා තිබූ මල් පෝච්චි අතරට දමා දඬු පොල්ලකින් මල් පෝච්චි ද කැඩී යනසේ පහර දී පුරුදු ලෙස සේවයේ නිරත විය.

පහුදින සුදු මහතා ද රියැදුරු ගුණවංශ ද පැමිණිය හ. සිදු වී ඇති දේ හොඳින් දැක බලා ගත් සුදු මහතා “ෂා... ප්‍රේ..ම.. දා ස උඹ හොඳ මිනිහා. උඹ රාජකාරිය හරියට කරල තියෙනවා. ගුණවංශ කරල තියෙන්නෙ උඹ රාජකාරිය හරියට කරන්නෙ නෑ කියල මට පෙන්නන්න. උඹ හරි නෑ ගුණවංශ. හෙට ඉඳන් උඹ මගෙ ඩ්‍රයිවර් නොවෙයි. ගෙදර පලයන්.” යනුවෙන් වේගවත්ව පැවසූ සුදු මහතා මුරකරු ප්‍රේමදාසට දෙන දීමනා ද වැඩි කළේ ය.

 

 

Comments