
ගම්පෙරළිය නවකතාවේ ජිනදාස සිංහලේ ගියේ ය. එහි ඇකිරියන් කුඹුරේ ඔහු ජීවත් වූ බව සඳහන් වේ. ජිනදාස නිර්මාණය කෙරුණ චරිතයක් වුව ද, අද ද ඇකිරියන් කුඹුරේ ජිනදාස මෙන් දුක්විඳින සැබෑ මිනිස්සු රැසකි. මේ ඇකිරියන් කුඹුරට අප ගිය ගමනයි.
කරෝලිස්ට සිංහලේ යන්නට සිදුවූයේ ගැහැනු ගැටවලට හසුවීම නිසා ය. ජිනදාසගේ ගමන නම් ඉඳුරාම වෙනස් වූවකි. පළමුව හෙතෙම නන්දා සමඟ විවාහ විය. ඉන්පසුව ලද දරුවා අකල් මරණයට පත්විය. ඒ සියල්ලට ම වඩා දිනෙන් දින උග්‍රවන අග හිඟකම් ජිනදාසට බලපෑවේ ය. මෙයට විසඳුම් සොයා ජිනදාස සිංහලේ යන්නට තීරණය කළේ ය.
"නන්දා මම මෙහෙම නිකම් ගෙදර හිටියාම කොහොමද? පොඩි වෙළෙඳාමක් වත් කරන්න සිංහලේ යන්නයි මම හිතාගෙන ඉන්නේ."
නන්දා ඇමතූ ජිනදාස ඉන් දින දෙකකට පසුව සිංහලේට පිටත්වූයේ වෙළෙඳාම් කිරීමට ය.
A5 - මාර්ගය නැත්නම් මඩකලපුව - බදුල්ල මාර්ගයේ යනවිට අපට මේ සිංහලේ යනුවෙන් ව්‍යවහාර ප්‍රදේශය හමුවේ. අද වනවිට සිංහලේ ලෙස ව්‍යවහාර නොවුණත් ඒ ප්‍රදේශයේ දුෂ්කර බව නම් එලෙසින් ම ශේෂ ව පවතියි. ජිනදාසගේ මරණයත් සමඟ ම නැවැතත් සිංහලේ ගැන කතා බහට ගම්පෙරළිය කෘතිය පෙලඹේ.
"උණ ගෙඩියක් සහිත අමාරු ලෙඩෙක් ඇකිරියන් කුඹුරේ සිට ඉතා අමාරුවෙන් බදුල්ලේ ඉස්පිරිතාලයට පැමිණියේ ය. එහි ඇතුළු වී දෙසතියකින් ඔහු මිය ගියේ ය."
බදුල්ල - මඩකලපුව මාර්ගයේ මාදියගල කඳු වළල්ලේ පාමුලට වන්නට ඇකිරියන් කුඹුර ගම්මානය පිහිටා ඇත. සියවස් ගණනාවකට එහා යන ඉතිහාසයක් පවතින මේ ගම්මානය මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ඇස ගැටුණේ අහම්බයකින් නො වේ. වික්‍රමසිංහයන්ගේ ගම්පෙරළිය නවකතාවට ඇකිරියන් කුඹුර සම්බන්ධවීම තමන්ට ලැබුණ ගෞරවයක් ලෙස ගම්මු අද පවා සලකති. කන්න බොන්න අමාරුවී අගහිඟකම් උත්සන්න වී එයට විසඳුම් ලෙස හේනක් කපා වෙළෙඳාමට පැමිණීම ජිනදාසගේ අරමුණ වී තිබිණි. ඒ කුමන අරමුණකින් ජිනදාස ඇකිරියන් කුඹුරට පැමිණිය ද ගමේ මිනිසුන් මාර්ටින් වික්‍රමසිංහ මහතා තම ගමට විශේෂ ගෞරවයක් කළ අයකු ලෙස අද පවා පිළිගනිති.
"වික්‍රමසිංහ මහත්තයා ජිනදාස එව්වේ අපේ ගමටනේ"
ඇකිරියන් කුඹුර ගම්මානයේදී හමුවූ බොහෝ දෙනකු අප සමඟ කීවේ ඒ නිසා වන්නට ඇත. ඇතැමුන් එසේ කියන්නේ ජිනදාස යනු නවකතා චරිතයක් ලෙස නොව සැබෑවටම සිටි චරිතයක් ලෙස සලකා ගෙන ය.
මාර්ටින් වික්‍රමසිංහ මහතා 1918 දී පමණ මඩකලපු ප්‍රදේශයේ ව්‍යාපාරයක නියැළුණු බව ඔහුගේ 'උපන්දා සිට' කෘතියේ සඳහන් වේ. ඇකිරියන් කුඹුර පිළිබඳ අත්දැකීම ඔහුට ලැබෙන්නට ඇත්තේ මේ නිසා වන්නට ඇත.
එකල මඩකලපුවට යාම සඳහා බදුල්ල - මඩකලපුව මාර්ගය භාවිත වී තිබේ. අද ද මේ ප්‍රදේශයේ ජීවත්වන තුලතුනා ගැමියන් සමඟ කතාබහ කරන විට ඔවුන් කියන්නේ එකල මේ මාර්ගය කරත්ත පාරක් ව තිබෙන්නට ඇති බව ය. මේ කරත්ත පාර ඔස්සේ විදේශිකයන් මෙන් ම ස්වදේශිකයන් ද බදුල්ලේ සිට මඩකලපුවට ගියහ. ප්‍රවාහනය සඳහා බහුලව භාවිත වූ කරත්ත වලින් ලුණු, කරවල ආදිය එකල මඩකලපුවේ සිට බදුල්ලට ගෙන ගොස් තිබේ. බදුල්ලේ සිට ඇත් දළ, බුලත්, පුවක් ආදිය මඩකලපුවට ගෙන ගොස් තිබේ. මේ මාර්ගයේ එහා මෙහා යන පිරිසට නවාතැන් ගැනීම සඳහා නවාතැන් පොළවල් ඉදිකර තිබී ඇත. ඇකිරියන් කුඹුර, මහඔය, පිල්ලුමලේ ආදී ප්‍රදේශවල එවැනි නවාතැන් පොළවල් තිබී ඇති අතර, ඇකිරියන් කුඹුර නවාතැන් පොළ තිබී ඇත්තේ වර්තමානයේ ඇකිරියන් කුඹුර මහා විද්‍යාලය තිබෙන ස්ථානයට ආසන්නයේ ය.
"වික්‍රමසිංහ මහත්තයා නවසිය ගණන්වල මඩකලපුවේ ඉඳන් බදුල්ලට යන්න ඇවිල්ලා තියෙනවා. එහෙම යන කොට නතර වුණු තැනක් තමයි ඇකිරියන් කුඹුර රෙස්ට් හවුස් එක. එතැන නතරවෙලා ඉන්න කොට වික්‍රමසිංහ මහත්තයා මෙහේ විස්තර හොයලා බලන්න ඇති. හේන් වගාව තියෙනවා. සිංහලේ කියනවා. ඊළඟට මේ කාලේ මේ ප්‍රදේශයේ බොහොම තදේට මැලේරියාවත් පැතිරිලා තිබිලා තියෙනවා. මේ තොරතුරු සියල්ල හොයාගෙන ඊට පස්සෙ තමයි එතුමා ගම්පෙරළිය ලියන කොට ජිනදාස සිංහලේට එවන්නේ.”
“ඒ විතරක් නොවේ. ඔය නවකතාවේ තව මුදලාලි කෙනෙක් ඉඳලා තියෙනවා. එයා මේ ප්‍රදේශයෙ ඇත්තටම හිටපු කෙනෙක්.”
දංකුඹුර පුරාණ ගල්ලෙන් රාජමහා විහාරාධිකාරී පදියදොර ධම්මසාර හිමියන් ගමේ ජනතාව අතර තිබෙන විශ්වාසයක් හෙළි කළේ ය.
ඇකිරියන් කුඹුර ගම්මානයේ සීමා මෑත කාලීනව පරිපාලන අවශ්‍යතා මත වෙනස් වී තිබේ. එසේ වුවත් මෙහි ජනතාව ගත කරන්නේ ඉතා දුෂ්කර ජීවිතයකි. ප්‍රදේශයට අයත් පාසල, රෝහල ආදී පොදු ස්ථාන පවතින්නේ ඉතාම පහත් මට්ටමක ය. පවුල් 750 ක් පමණ ජීවත්වන අතර ඔවුන්ගෙන් සෑහෙන ප්‍රමාණයකට හරි හමන් ගෙයක් දොරක් නැත. වැසිකිළි පහසුකම් නැත. පවුල් 45 ක් පමණ ජීවත්වන්නේ කටු මැටි ගෙවල්වල ය. මේ පිළිබඳ අවස්ථා ගණනාවකදී බලධාරීන් දැනුවත් කර ඇති බව ඇකිරියන් කුඹුරේ ජනතාව කියති.
දංකුඹුර පුරාණ රාජ මහා විහාරාධිකාරී පදියදොර ධම්මසාර හිමිට අනුව ඇකිරියන් කුඹුරට ඉදිරි වැඩපිළිවෙළක් තවමත් දක්නට නැත.
"මේ ප්‍රදේශයේ පවුල් 750 ක් විතර ඉන්නවා. පුදුමය කියන්නේ ප්‍රදේශයට තවම එක රාජ්‍ය බැංකුවක් නැහැ. පාසලක් තියෙනවා. ඒකට ගුරුවරු හරියාකාරව ලැබිලා නැහැ. ඉස්කෝලේ තාප්පෙ කොටසක් කඩා වැටිලා. ඒක හදලා දෙන්න බලධාරීන්ට කිසිම වුවමනාවක් නැහැ. මේ නිසා දවසක ලොකු අනතුරකට මේ ළමයි මුහුණ දේවි. අනික ඉස්කෝලෙ ළමයි කැලේට යන්න හුරු වෙලා තියෙනවා. A – 5 පාර තවමත් සුද්දා හදපු විදිහටම ඒ ආකාරයට තියෙනවා. ඒ ගැනත් තවම වැඩපිළිවෙළක් නැහැ."
"ගමේ දිළිඳු කමට ප්‍රධාන හේතුවක් තමයි ගමේ ජනතාවට ස්ථාවර ආර්ථික ක්‍රමයක් නැහැ. මූලිකව වී ගොවිතැන මත තමයි රැඳිලා ඉන්නේ. ඒ අයට හරියට වෙලාවට වතුර ටික ලැබෙන්නේ නැහැ. ඉඩම් තියෙනවා වගා කරන්න ඕනෑ තරම්. නමුත් වතුර නැහැ. මේ නිසා මිනිස්සු බඩඉරිඟු වගාවට හුරුවෙලා. එකක් පිටරටින් ගේන ඉරිඟු වගයක් තමයි වගා කරන්නේ. දේශීය ඒවා නොවෙයි."
ප්‍රදේශයේ පවතින එකම පාසල වන ඇකිරියන් කුඹුර මහා විද්‍යාලයට මේ වනවිට වසර 100 කි. එහෙත් එහි සංවර්ධනය සිදුවන්නේ ඉබිගමනේ ය. එම විදුහලේ හිටපු විදුහල්පතිවරයකු මෙන් ම විශ්‍රාමික කලාප අධ්‍යක්ෂක වයි.බී. ප්‍රේමරත්න මහතා මේ පිළිබඳ අදහස් දක්වන්නේ මහත් වේදනාවකිනි.
“1918 වගේ කාලයක තමයි ඇකිරියන් කුඹුර මහා විද්‍යාලය ආරම්භ කරන්නේ. ඒ වගේ කාලයක මේ ප්‍රදේශයේ පාසලක් ආරම්භ කරනවා කියන්නේ ඒ කාලෙත් මේ ප්‍රදේශය ජනප්‍රිය ප්‍රදේශයක් වෙලා තියෙන්න එපායැ. A – 5 මාර්ගයේ පිහිටීම, දංකුඹුර රජමහා විහාරය ඒ සඳහා බලපාන්න ඇති. ඒත් අද වෙනකම් පාසලේවත්, ගමේවත් කිසිම දියුණුවක් නැහැ. මේ පාසල මීට අවුරුදු 100 කට කලින් පටන් ගන්න කොට ළමයි පනස් ගණනක් ඉඳලා තියෙනවා. ඒ වගේ ගණනකින් පාසලක් ආරම්භ කරපුවා ම අවුරුදු 100 ක් වගේ යද්දී ළමයි ප්‍රමාණය විශාල ලෙස වැඩිවෙන්න ඕනැනේ.
නමුත් එහෙම වෙලා නැහැ. පරණ ඉස්කෝලයක් වෙලත් තවම ළමයි ඉන්නේ 400 ක් විතරයි. එයිනුත් හුඟක් ළමයි නොමඟ ගිහිල්ලා තියෙනවා."
"ගමේ ජනතාවගේ පළමු ජීවනෝපාය තමයි කුඹුරු සහ හේන් ගොවිතැන. ඒ සඳහා අවශ්‍ය නිත්‍ය වාරි පද්ධතියක් මෙහාට නැහැ. සමහර වැව් තියෙනවා. ඒත් ඒවායින් වතුර අරගෙන කන්න දෙක වගා කරන්න බැහැ. මේ පාර හුඟ දෙනකුට මහ කන්නයත් වැඩ කරගන්න බැරිව ගියා. මේ වැව්වලින් නිත්‍ය ජල දහරාවක් එනවා නම් මේ අයට කුඹුරු වැඩ කරන්න පුළුවන්. නමුත් එහෙම වෙලා නැහැ. මේ නිසා මිනිස්සුන්ගේ ප්‍රධාන ජීවනෝපායට විශාල හානියක් වෙලා තියෙනවා."
"මේ මිනිස්සු දියුණු වෙන්නේ නැත්තේ ඒකයි. මංමාවත් ගත්තත්, ගෙවල් දොරවල් ගත්තත්, උගතුන් බිහිවීම අතින් ගත්තත්, මේ හැම එකකින්ම ගම තියෙන්නෙ ප්‍රාථමික අවධියකි."
වයස අවුරුදු 79 ක වූ අයකු වූ ඒ.එම්. මුතුබණ්ඩා පවසන්නේ තමන් ජීවත්වන්නේ අමාරුකම් මැද බව ය.
"මම වී සහ ඉරිඟු ගොවිතැනෙන් තමයි ජීවිතේ ගෙනියන්නේ. නමුත් දැන් මට වයසයි. ඒ නිසා ඉස්සර වගේ වැඩ කරන්න අමාරුයි. එක වාරෙකට මම බඩ ඉරිඟු කිලෝ 16 – 17 ක් විතර වෙළෙඳ පොළට ගිහිල්ලා දෙනවා. ඒ අය කිලෝ එකක් රුපියල් 42 ගානේ ගන්නේ. මට ළමයි 10 දෙනෙක් ඉන්නවා. ඒ අයගෙන් එක්කෙනෙක් මහණවෙලා. තව කෙනෙක් රාජ්‍ය සේවයේ. අනික් ඔක්කොමලා ජීවත්වෙන්නේ ගොවිතැනෙන්. මට සමෘද්ධිය සහ වැඩිහිටි ආධාරය ලැබෙනවා. ඒකයි ඉරිඟු විකුණලා ලැබෙන ගණනෙනුයි තමයි අපි ජීවත්වෙන්නේ. ඇත්තෙන් ම රජයෙන් ලැබෙන්නේ සොච්චම් මුදලක් ඒවායින් ජීවත්වෙන්න වත් බැහැ."
ඇකිරියන් කුඹුරට තිබෙන ප්‍රධාන ගැටලුව ජල ප්‍රශ්නය බව චන්ද්‍රා සුමනලතා පවසයි.
"ගමේ පහසුකම් හුඟක් අඩුයි. ගොවිතැන් කරන්න වතුර නැහැ. ඉස්පිරිතාලෙ ඉන්නෙ එක දොස්තර මහත්තයයි. දත් දොස්තර මහත්තයෙක් ඉඳලා එයා අයින් වෙලා ගියා. ඉන්න දොස්තර මහත්තයාත් නිවාඩු ගියාම ඒකට විසඳුමක් තවම දීලා නැහැ."
ගම්වැසියන් කියන ආකාරයට ඇකිරියන් කුඹුර පැරණි ගමකි. එහෙත් ඒ වසර ගණනක කාලය තුළ එහි දියුණුව සිදුව ඇත්තේ ඉබි ගමනිණි. දේශගුණික ප්‍රශ්න ජලය හිඟකම, දුප්පත්කම, මේ සියල්ලේ එකතුවක් වූ ඇකිරියන් කුඹුරට පිහිටක් ලැබෙන තුරු එහි වැසියෝ බලා හිදිති.
ඡායා- සමන්ත වීරසිරි