ලොකුම ලොන්ඩරියෙත් මදින්නෙ පොල්කටු ඉස්තිරික්කයෙන් | සිළුමිණ

ලොකුම ලොන්ඩරියෙත් මදින්නෙ පොල්කටු ඉස්තිරික්කයෙන්

අලංකාර මල් වැටවල්වලින් හැඩ කෙරුණු ඒ බිම දුටු වි‍ට මේ සිරගෙදර දැයි කියා කෙනෙක්ට සිතෙන්නට පුළුවන. එක් පසෙක ඇත්තේ රට කජු වගාවකි. තවත් තැනෙක ඇත්තේ විවිධ මල්වර්ග ය. තවත් තැනෙක ඇත්තේ කුරහන් හා සූදුරු වගාවකි. ඊට යාබඳව ඇත්තේ ඉතා ම සීමිත බිම්කඩක සරුසාර කුඹුරකි. එහි මෙවර වගාකර ඇත්තේ සම්බා ය. ගොයම් කරලින් බර වූ ඒ පුංචි කුඹුරු කෑල්ල දුටු විට '‍මේ කාෂ්ටක බිමෙහි කුඹුරු වවන්නට පුළුවන් ද' යන සිතිවිල්ල සිත උපදී.

අලංකාර මිදුල පසුකර විත් අප ගොඩ වැදුණේ හිරගෙදර ලොන්ඩරි පාටිය ලෙසින් හඳුන්වන කලාපයට ය. අප එහි යන විට සියල්ලෝ ම දිවා ආහාරය සඳහා පිටව ගොස් තිබූ හෙයින් ඔවුන් එනතුරු මඳක් එහි රැඳි සිටින්නට අපට සිඳුවිණි

'කවුද මේ මිඳුල හදලා තියෙන්නේ?'

'රැඳවියෝ තමයි වගා කරන්නේ. ඒ අය බොහොම කැපවීමෙන් වැඩ කරනවා. ඒක ඔවුන්ගේ හිතටත් හොඳයි. අප ඔවුන්ට උපදෙස් ලබා දෙනවා. අවශ්‍ය දේ ලබා දෙනවා.'

ලොන්ඩරිය භාර ‍සැරයන් සෙනරත් පෙරේරා පවසන්නේ ය.

මෙරට සිටි බටහිර ජාතිකයන් වැඩ කළේ බොහෝ දුර දිග බලමිනි. වැලිකඩ බන්ධනාගාරය ඉදිකරන විට සුද්දා ලොන්ඩරියක් ද ඉදි කළේ ඒ අනුව ය.

ළමා රෝහල, ජාතික රෝහල මෙන් ම දුම්රිය දෙපාර්තමේන්තුව ඇතුළු තවත් රජයේ ආයතන බොහෝමයක් ඇත්තේ වැලිකඩ බන්ධනාගාරය අවට ය. ලොන්ඩරියත් මේ අායතන අතර ගණුදෙනුවක් ඇති කිරීමට සුද්දාට සැලැස්මක් තිබෙන්නට ඇත. එසේ සිතීමට හේතුව වන්නේ එකල පටන් ගත් මේ ආයතනවල රෙදි ඇපිල්ලීම අදට ද සිදු කැරෙන බැවිනි. එක්දහස් අටසිය ගණන්වල මෙන් ම, එක්දහස් නවසිය විසිගණන්වල එංගලන්තයෙන් ගෙනෙන ලද රෙදි හෝදන මැෂින් භාවිතයෙන් අදට ද වැලිකඩ බන්ධනාගාරයේ ලොන්ඩරියේ රෙදි සේදීම සිදුකෙරේ. එකල බටහිර ජාතිකයන් විසින් ගෙන්වන ලද රෙදි සෝදන යන්ත්‍රවලින් ඇතැම් යන්ත්‍ර අද වන විට අක්‍රීය ය. ඇතැම් යන්ත්‍ර නිලධාරින් හා රැඳවියන් එක්වී ප්‍රතිසංස්කරණය කර තිබේ. එකල සිරගෙදර ලොන්ඩරියේ බොහෝ රාජ්‍ය ආයතනවල රෙදි ඇපිල්ලුවේ ය. යම් හෙයකින් යන්ත්‍ර සුත්‍ර අක්‍රීය වුයේ නම් මේ කර්මාන්තය වෙලාවට කලාවට කිරීම අපහසු ය. ඒ නිසා සුදු ජාතිකයන් රෙදි සේදීම සඳහා ද රෙදි ඇපිල්ලීමට ද ගල් පුවරු කිහිපයක් ද රෙදි සේදීම සඳහා වතුර ටැංකි කිහිපයක් ද සාදා තිබේ. අද ද මේවායෙන් ඉද හිට වැඩ ගනු ලැබේ. ලොන්ඩරියේ යන්ත්‍ර සඳහා අධික විදුලියක් වැය වේ. මේ විදුලිය වැය වීම අවම කිරීම සඳහා තවමත් ලොන්ඩරියේ රෙදි මැදීම සිදු කරනු ලබන්නේ පොල්කටු ඉස්තිරික්කයෙනි. එක පිත්තල ඉස්තිරික්කයක් නොව පිත්තල ඉස්තිරික්ක කිහිපයක් ම ලොන්ඩරි පාටියේ ඇත. මේසයක් මත තබා ඇති පොල්කටු ඉස්තිරික්කයක් ඔ‍සොවා බැලීමේ සිතක් පහළ වූයෙන් මම ඉස්තිරික්කයට අත තැබුවෙමි.

"ඕක ලේසියෙන් උස්සන්න බැහැ. කිලෝ අටකට වැඩිය බරයි."

ඒ ලොන්ඩරි බාස්ගේ හඬ ය. ලොන්ඩරියට හෙඩ් බාස්කෙනෙක් සිටින්නේ ය. ඔහු කලකට පෙර මරණීය දණ්ඩනය හිමි වූ රැඳවියෙකි. එහෙත් අද වන විට ඔහුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් හිමි ව තිබේ.

ලොන්ඩරි බාස් ලොන්ඩරි පාටියට පැමිණ වසර දාහසයකට වැඩි ය. ඔහු විශේෂ ශ්‍රේණියේ සිරකරුවෙකි. ඔහුගේ දෛනික වැටුප රුපියල් දෙකයි පනහකි. ඔහු හැටපස් වැනි වියේ ය.

"ගමේ දෙපිරිසක් අතර ප්‍රශ්නයක් තිබුණා. මේ ප්‍රශ්නය නිසා අනිත් පැත්තේ අය අපේ පැත්තේ තුන් දෙනෙක් ව විටින් විට මැරුවා. අපි බොහෝම ඉවසුවා. නමුත් බේරුමක් වුණේ නැහැ. අන්තිමට මම අනිත් පැත්තේ කෙනෙක් ව මැරුවා. මම ඔහු ව මැරුවේ වෙඩි වෙඩි තියලා. ඒ වෙලාවේ මගේ හිතේ තරහා කේන්තිය මිස වෙන මුකුත් තිබුණේ නැහැ. ඒ නිසා මට ඒ මිනිහ ව මරන්න පුළුවන් වුණා. ඉන්පස්සේ නඩුව ඇහුණා. මගේ දරුවො පුංචියි. ඒ නිසා මම අවුරුදු දොළහක් විතර නඩුව මඟ ඇරලා හිටියා. අද මගේ දරුවෝ ලොකුයි. බොහෝම වැදගත් රස්සා කරනවා. එකම සැනසීම ඒ දරුවො මා ගැන අහිතක් නො සීතිම විතරයි. ඒ වුණත් මට දිවා රෑ දරුවෝ මතක් වෙනවා. ගෙදර මතක් වෙනවා. හිර ගෙදර ගෙවන ජීවිතයෙන් මිදෙන්නේ කවද්ද කියලා හිතෙනවා. රෑට නින්ද යන්නේ නැහැ. දැන් මම රෝගියෙක්. මගේ වකුගඩු අක්‍රීය වෙලා. මරණීය දණ්ඩනය හිමිවෙලා හිටපු මට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලැබෙද්දි තවත් හතර දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වුණා. අද වෙන කො‍ට ඒ අයගෙන් තුන් දෙනෙක් ම මැරිලා. මම බලාගෙන ඉන්නේ අපිට සමාවක් ලැබෙන තුරු. එළියට ගියා කියලා ඉස්සර චණ්ඩිකම් දැන් කරන්න බැහැ."

ලොන්ඩරි බාස් පවසන්නේ සුසුමක් හෙළමිනි. ලොන්ඩරියේ ගෙවන ජීවිතය පිළිබඳ ඔහුට බොහෝ අත්දැකීම් තිබේ. ලෝන්ඩරි බාස් යටතේ රැඳවියෝ හැට ගණනක් වැඩ කරති.

"මම මේ ලොන්ඩරියේ සියලු ම වැඩ කරලා තියෙනවා. ඔය උඩ වැල් ගැට ගහලා තියෙන්නේ අපි දවල් කෑමට යන කොට හෝදපු රෙදි ඒ වැල්වල වනලා යනවා.(අපි වහලය දෙස බැලුවෙමු. ඒ තරම් ඉහළ වැල්වල රෙදි වනන්නේ කොහොමද? අපි අපෙන් ම අසා ගතතෙමු ද). ප්‍රශ්නයක් නැහැ. මේ මේසයක් උඩ තව මේසයක් තිබ්බ ම ඒක උඩ නැඟලා රෙදි වනන්න පුළුවන්. මේ ඉන්න අය ඒ වැඩේට බොහෝම දක්ෂයි.මැෂින් එකක් කැඩුණත් අපිට හදා ගන්න පුළුවන්. සමහර මැෂින්වලට අඩුපාඩු කොටස් කම්මලෙන් හදා ගෙන අපි මේවා අලුත් වැඩියා කරනවා. දැන් මට මේ දේවල් අරුමයක් නෙමෙයි. වැස්ස කාලෙට රෙදි වේලන්නේ මැෂින් වලින්. අනිත් කාලෙට රෙදි වේලන්නේ අව්වේ.

රෙදි මදින ඉස්තිරික්කවලට ගන්නේ හිරගෙදර ම පුච්චන පොල්කටු අඟුරු. පොල්කටු පුච්චන වළවල් දෙකක් තියෙනවා. මේ වළවල්වල ගින්දර නිවෙන්නේ නැහැ. ලොන්ඩරි බාස් කියන්නේ ලොන්ඩරියේ වගතුග ය.

මේ කාටත් තමන්ට ම කියා කතාවක් තිබේ. එහෙත් ඒ කතා අසා සිටින්ට කෙනෙක් නැත. ඔවුන්ගේ කතා දැන් ඒ හිත්වලට ම පමණක් සීමා වී ඇත්තේ ය. මොන දේ කළ ද ඔවුහු නිරන්තරව ම වැලපෙන්නේ ය. ලොන්ඩරියට අඟුරු ගන්න ඇවිලෙන පොල්කටු වල මෙන් ඒ හිත් ද නිරන්තරව ම දැවෙමින් පවතී. කාලයක් තිස්සේ ලොන්ඩරියේ වැඩ කරන රැදවියෝ දැන් එහි කාල සටහනට යටත් ය. උදෑසන හතයි තිහ වන විට ලොන්ඩරි පාටියට එන ඔවුහු එකොළහ මාර වන තුරු ම එහි සේවය කරති. යළිත් දහවල් එකහමාර වන විට ලොන්ඩරි පාටියට පැමිණේ. ඉස්සර මෙන් දැන් රෝහල් වල රෙදි ලොන්ඩරියට ලැබෙන්නේ නැත. දුම්රිය දෙපාර්තමේන්තුවේ රෙදි හා තවත් රාජ්‍ය ආයතන කිහිපයක රෙදි හැරුණ වි‍ට අලෙවි සැලට ලැබෙන රෙදි සෝදා පිරිසුදු කිරීම පමණක් සිදුවේ (දුම්රිය දෙපාර්තමේන්තුවේ රෙදි යනුවෙන් හැඳින්වෙන්නේ රාත්‍රි දුම්රිය ගමන්වල දී භාවිතා කරන ඇද ඇතිරිලි ආදියයි). රෝහල්වල රෙදි හිර ගෙදරට දීම නතර කෙරුණේ රැදවියන් විවිධ බෝවන රෝගවලට ගොදුරු වීමේ අවධානමක් තිබුණු බැවිනි.

සුද්දාගේ කාලයේ පමණක් නොව අද ද දකුණු ආසියාවේ ලොකු ම ලොන්ඩරිය වැලිකඩ හිරගෙදර ලොන්ඩරිය යැයි ඇතැමෙක් පවසති. ඒ කෙසේ වෙතත් අපේ රටේ ඇති ලොකු ලොන්ඩරිය නම් මෙය බව අවිවාදයෙන්ම අපට පිළිගැනීමට පුළුවන.

බන්ධනාගාර රැඳවියන් වෙනුවෙන් රජයට සුවිශාල වියදමක් දරන්නට සිදුවේ. එමෙන් ම රැඳවියෝ විවිධ කර්මාන්තවල නියැලෙමින් යම් ඉපැයිම් කරති. ලොන්ඩරියේ ද එසේම ය.

ඡායාරූප - තුෂාර ප්‍රනාන්දු

Comments