එන ආත්මෙත් මගේම වෙන්න මටත් කෙනෙක් ඉන්නවා නම්... | සිළුමිණ

එන ආත්මෙත් මගේම වෙන්න මටත් කෙනෙක් ඉන්නවා නම්...

දහසකුත් දුෂ්කරතා මධ්‍යයේ තම ජීවිතය ජයගත් මිනිසුන්ගේ ජීවිතය සොයා යන ගමනක පළමු වැන්නයි මේ. මුලපිරෙන්නේ ප්‍රවීණ නළු සනත් ගුණතිලක ගෙනි. දහසකුත් දුෂ්කරතා මධ්‍යයේ තම ජීවිතය ජයගත් මිනිසුන්ගේ ජීවිතය සොයා යන ගමනක පළමු වැන්නයි

මේ. මුලපිරෙන්නේ ප්‍රවීණ නළු සනත් ගුණතිලක ගෙනි.

• ඔබ කුඩා කාලේ දුක් විඳි චරිතයක් නෙමෙයි?

අඩුපාඩුවක් නොතිබුණාට බොහෝ සුඛෝපභෝගී කෙනෙකුත් නෙවෙයි. පළමු දරුවා නැති වීමෙන් අවුරුදු පහළොවකට පස්සේ ලැබුණු දරුවා වන මම මව්පියන්ගේ ආදර සංග්‍රහ මැද වැඩුණු මධ්‍යම පාන්තිකයෙක්.

• සිනමාවට එන්නෙ?

අහම්බෙන්. වෙන රැකියාවක් කරන්න බැරි වුණු නිසා. අධ්‍යාපනය හොඳින් කරගෙන ආවත්, උසස් පෙළදි අඩු වුණු ලකුණු දෙකක් මට සරසවි වරම් අහිමි කරනවා. සමහර විට අධ්‍යාපන සුදුසුකම් වැඩිවීම නිසා රැකියාවක අවස්ථාව නොලැබීමෙන් සිනමාවට අවතීර්ණ වෙලා එදා කන්න ගත්ත කට්ට මම අදටත් කනවා.

• සිනමාව කට්ටක්ද?

අපොයි මම කවදාවත් එහෙම සලකන්නේ නෑ. මම කියන්නේ, විජය ධර්මශ්‍රී මාව මුලින්ම සම්මුඛ පරීක්ෂණයෙන් චිත්‍රපටයට තෝරගත්ත වෙලාවේ මට ඇති වුණේ මහ විශාල බියක්. රඟපාන්න මට තිබෙන සුදුසුකම මොකක්ද? මෙතනින් එහාට මගේ අනාගතය කොහේටද? ලිපිකරුවෙක්, ගුරුවරයෙක් වුණා නම් විභාග කරලා ඉහළට යන්න ක්‍රමයක් තිබෙනවා. ඒත් රඟපෑම? ඒ බියට මම රංගනය වෙනුවෙන් කළ යුතු සියලු කැපවීම් කළා.

• මොන වගේ කැපවීම්ද?

ගෙදරින් සම්පූර්ණ තහනම් කළ දෙයක් කරද්දි, මහනුවර හොඳ වතුර ටිකක් නාලා, හොඳ හුළං පොදක් වැදිලා, වැව රවුමේ යන කෙල්ලන් දිහා බලාගෙන හිටිය මම කොළඹ ඇවිත් මොරටුව පැත්තේ කුඩා කාමරයක හිර වෙනවා මකුණන් මදුරුවන් සමඟ ආශ්‍රය කරමින්. අදටත් දවසට දෙපාරක් නාන මට වතුර කැපිල්ල ඔරොත්තු දුන්නේ නෑ. පුදුම දුකක් වින්දෙ රස්නෙත් එක්ක. හරියට මීට වසර හතළිහකට කලින් 1978 කොළඹ ජීවිතේ ගැන මම මේ කියන්නේ. එහෙම හරි තැනක් ලැබුණෙ පෙර පිනකට.

• ඒ කාලේ ඔබ ඉගැන්වුවානේ?

පෞද්ගලික ආයතනයක ඉගැන්නුවා. හොඳ වේතනයකුත් ලැබුණා. ඒකම කළා නම් මුදල් අතින් හොඳ වෙන්න තිබුණා.

• මොනවාද කටුක දේවල්?

පළමුවැනි චිත්‍රපටය ‘සිටුකුමරියෝ’ දින වෙන් කරන්නේ ප්‍රධාන නිළි මාලනී ෆොන්සේකාට ගැළපෙන විදිහට. ඉතින් හැමදාම ෂූටිනුත් නෑ. චිත්‍රපටයේ රඟපාලා ඉවරවේගන එනකොට මම තීරණය කරනවා ගෙදර නොගිහින් යුනිට් බෝයි කෙනෙක් විදිහට වැඩ කරන්න. මම එදත් ඒ අයත් එක්ක සුහදව කටයුතු කළේ. මම අහනවා “මේ වැඩේ මට කරන්න පුළුවන් නේද?”

“මේක කරන්න අමාරුයි සනත් අය්යා”

“නෑ මල්ලි බෝඩ් එකක් අල්ලන එකනේ. ලේසිනේ” කියලා කරට ගත්තාම ටිකක් බරයි බෝඩ් එක. සාමාන්‍යයෙන් හොඳ වේතනයකුත් යුනිට් බෝයි කෙනෙක්ට ලැබෙනවා. ස්ටැෆර්ඩ් කොලෙජ් එක ළඟදි කෑම පැයේ බෝඩ් එක අල්ලන්න ගත්තා. ඒ දවස්වල මෙහෙම වාහන තදබදේකුත් නෑ කොළඹ. ඒත් එක පාරටම කාර් එකක් බ්රේක් ගැහුවා ක්‍රී...ස් ගාලා. ‘බැ... පුතා අපිව මරන්නද හදන්නේ’ ඇහුවා. බලද්දි බෝඩ් එකෙන් කණඇහැ වැටිලා වාහනේට. මගේ ඉහින් කනින් දාඩිය දැම්මා. ඒ වෙලාවේ මට දැනුණා මේක හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි ඒක හරියට ඉගෙන ගන්න ඕන කියලා. විජය ධර්ම ශ්‍රී මට බැන්නා.

• ඊට පස්සේ ඒ වගේ අත්හදා බැලීම් කළේ නැද්ද?

කළා. මගේ භෞතික විද්‍යා දැනුම පාවිච්චි කරලා කැමරා කාච ගැන ඉගෙන ගත්තා. ඒ හැමදේම කළේ මගේ පැවැත්මට. මොකද මට වෙන විකල්පයක් නෑ.

• ඒත් ඔබට දිගින් දිගටම චරිත ලැබුණනේ?

මගේ වාසනාවකට වගේ හමු වෙච්ච හැම ජ්‍යෙෂ්ඨයෙක්ම මට ආදරේ වුණා, උදව් කළා. මුල් කාලේ මාලනී, ‘ගඟ අද්දර’දි ප්‍රධාන නළුවන්ගෙන් ටෝනි රණසිංහ දුන් උදව් අමතක කරන්න බෑ. හැම අධ්‍යක්ෂවරයෙක්ගෙන්මත් මම යමක් ඉගෙන ගත්තා.

• ඔබේ රූපය ඒ ආදරයට බලපාන්න ඇති?

අදටත් අපේ රටේ ලස්සනම, කඩවසම්ම නළුවා විජය කුමාරතුංග. මම ක්ෂේත්‍රයට අවතීර්ණ වනවිට ඔහු ඉහළම ජනප්‍රියත්වයක හිටියේ. ඒ අතර තරුණ පෙම්වතාට තිබිය යුතු ලක්ෂණ හෝ ලස්සන අලුත් නළුවකු විදිහට මාව තෝරගැනීමට බලපාන්න ඇති. මම අර කාපු කට්ට නිසා ඇති වුණු බයත් සමහරුන්ගෙන් ලැබුණු අවවාදත් නිසා කවදාවත් බලාපොරොත්තු වුණේ නෑ, චිත්‍රපටවලදි ඇරෙන්න රේසිං කාර් එකක ගිහින් කූලින් ග්ලාස් දාගෙන සෙනඟ මැද්දෙ බහිද්දි ‘අන්න අන්න අර නළුවා එනවා’ කියලා පොදු ජනතාවගේ අමුතු අවධානයක් එන විදිහට හැසිරෙන්න. එයින් කියන්නේ මම රසික ආකර්ෂණයට අකමැති වුණා කියලා නෙවෙයි. පෘතග්ජනයෙක් විදිහට මම එයට ඉතා කැමතියි. ඒත් තරුවක් වීමේ උන්මාදයක් තිබුණේ නෑ. ඒ අර බයට.

• ඒත් ඔබ ඉබේම තරුවක් වුණා?

ඔව් ඉතින් පත්තරවල කවරවලට පින්තූර ගද්දි, උත්සවවලට අඬගහද්දි එකම කමිසෙ අඳින්න බෑනේ. දවසක් කලිසමක් මහන්න ගියා තැනකට. රවීන්ද්‍ර රන්දෙණිය හිනිපෙත්තෙ හිටියෙ. ඔහුගේ කලිසමක් මැහීම සාප්පුවට අභිමානයක් නිසා ඔහුට කරන ගෞරවයක් ලෙස ඩිස්කවුන්ට් එකක් දෙනවා. ටේලර් ෂොප් එක මට කරන සහනයක් ලෙස කියනවා රවීන්ද්‍ර මහත්තයාගෙන් ගන්න ගාණමයි දැම්මෙ හොඳේ කියලා. ඒ වුණාට ඒ වෙලාවේ ඒකත් මට දරාගන්න පුළුවන් මිලක් නෙවෙයි. මට පුළුවන් වුණාම මම ටේලර් ෂොප් එකේ අයට කෘතගුණ සැලකුවා. ඒත් මගේ තත්ත්වය ඉදිරියට යන හැම මොහොතකම මම මුලින්ම හිතන්නේ මම මේ පොළොවෙ පය ගහල ඉන්න ඕනි කියලා.

• එයට බලපෑවේ ඔබේ ගෙදර පසුබිමද?

පැහැදිලිවම. අම්මා හැමතිස්සෙම කීවේ ලොකු මිනිහෙක් නෙවේ හොඳ මිනිහෙක් වෙයන් කියලා. තාත්තා කීවේ ඉගෙන ගන්න වයස් සීමාවක් නෑ කියලා. මොකද තාත්තා නීතිඥයෙකු වන්නෙත් අවුරුදු පනහෙදී විතර නිසා.

• ඔබ නීතිඥයෙකු වුණානම් ඒ ක්ෂේත්‍රයේ තරුවක් වෙයිද?

මම නීතිය කළානම් අනිවාර්යයෙන්ම ඒ අහසේ සුපිරිම තරුවක් වෙනවා. මොකද දේශපාලනයේදී හෝ වෙනත් ප්‍රශ්නවලදී අන් අය නොදකින දෘෂ්ටි කෝණයකින් බලන්න, ප්‍රශ්නවලට වෙනස්ම පිළිතුරක් සොයන්න පෙර භවයෙන් ඥානයක් මට ලැබී තිබෙනවා. මම විතරක් නෙවෙයි අනිත් අයත් ඒ්ක කියනවා. ඉතින් නීතිඥයකු වුණානම් මම ඒ කට්ට ලේසියෙන් ගිල දායි. හැබැයි රංගනයේ කට්ට හප හප ඉන්න තරමට සුන්දරයි, රහයි.

• ඔබ ජ්‍යොතිෂය විශ්වාස කරනවාද?

ලොකු අවිශ්වාසයක් නෑ. ඊට වඩා මම පෙර කර්මය විශ්වාස කරනවා. විරාගයේ අරවින්ද වගේම සිනහව අතරින් චිත්‍රපටය වෙනුවෙන් පිරූ තාවකාලික පැවිද්ද මට බොහෝ දේවල් අවබෝධ කළා. කතාවට කියනවා පෙර පුරුද්දක් නැත්නම් සිවුර දාන්නත් බෑලු. හාමුදුරුවෝ මට කීවා සිවුර අප හිතුවාටත් වඩා ඔබවහන්සේගේ ඇඟේ හොඳින් දැවටෙනවා, වැලඳගන්නවා. එය පෙර පුරුද්දක ලක්ෂණයක් කියලා. එය මට තදබල ලෙස දැනුණා.

• ඔබ අපට අනාගතේ ගැන යම් ඉඟියක් දෙනවාද?

මට බොහෝ දේ ලැබුණා තමයි. හැබැයි මම යහපත් සිතින් උදව් කරන්න ගිය හැම තැනකම මට පහර වැදුණා, හිත කලකිරෙන තරමට. ඇයි එහෙම වුණේ කියලා තාමත් තේරුම් ගන්න බෑ. සමහර විට මාව බැඳීම්වලින් මුදවන්නද දන්නේ නෑ. ඒත් උදව් ගත් අයම ආපසු හැරිලා මනසට වේදනාවක් වන තරමට පහර දෙන්නෙ, කකුලෙන් අදින්නෙ ඇයි?

• ඔබ දේශපාලනයට සම්බන්ධ වුණා?

ඉතාමත් අහම්බෙන් ලැබුණු ඒ දුක කට්ට මම කෑවේ අවංකවම සිනමාවට සේවයක් කරන්න. ඒක නෑ කියන ඕන කෙනකු සමඟ විවෘත සංවාදෙකට වුණත් මම ලෑස්තියි. ඒ බව අනිවාර්යයෙන්ම කියන්න. මාව හිරේ දාන්නම හැදුවා. මම එච්චරට විඳවලා තිබෙනවා.

• ඔබ ජනාධිපති උපදේශක ලෙසනේ හිටියේ?

එහෙම වෙලත් බැරි වුණේ ඇයි කියලා වෙනම පොතක් ලියනවා නම් කරුණු මම කියන්නම්. සමහර නොකරපු දේවලට මට අපහාස කර මාව නොමරා මැරුවා. සමහර අයට ඒවා දිට්ඨධම්මවේදනීයව පටිසන් දී තිබෙනවා.

• ඔබ ඉන් සතුටු වෙනවාද?

නෑ. මට තිබෙන්නේ මේ සත්‍ය හෙළි වීමෙන් එදත් අදත් මම නිවැරදියි කියන හැඟීම. දැන් මම හොඳට තෙම්පරාදු වෙලා ඉන්නේ. දේශපාලනේ මහ මොළකාරයිනගේ කට්ටකම්, නාට්‍ය, සන්දර්ශන, යටිකූට්ටු ගේම් මම දැක්කා. ඒ නිසා දැන් ප්‍රවෘත්ති දකිද්දි මට හිනා යනවා. මොකද ඊළඟ සීන් එක මම දන්නවා. සිනමාවට මගේ කැපවීම ආදරය මත දේශපාලනය වගේම විවිධ අවදානම් ගත්තා. සමහර තුවාල අවුරුදු තිහකට පැරණියි. ඉන් පසු වැඩිය කැප නොවෙන්න සීමා පනවා ගන්නවා කියල හිතුවත් පසුගිය මාස පහකට කලින් දිය සුළියක් ළඟ එල්ලීගෙන ඉඳලා අත හෙල්ලිලා.

• ඔබ අලුත් අයට වැඩ පෙන්නන්න ගියාද?

නෑ... දැන් පෙන්නන්න තියෙන වැඩ පෙන්නලා තියෙන්නේ. ආයෙත් ඕනෙනම් විරාගය වගේ තවත් එකක තමයි වැඩක් පෙන්නන්න වෙන්නෙ.

• විරාගයටවත් අම්මලා සතුටු වුණේ නැද්ද?

තාත්තාගෙන් නම් විශාල ආශීර්වාදයක් ලැබුණා. අම්මගේ ආශිර්වාදය තිබුණත් පරමාදර්ශී ගුරුවරියක් නිසා නංගිගේ දරුවන් මං වගේ වෙයි කියලා බයේ හිටියේ. ඒ කාලේ මධුරි ඩික්ෂිත්ගේ නැටුම් බලාගෙන නංගිගේ දුව නටද්දි අම්මා ටීවී එක වහන්න කියන්නෙ ‘එකෙක් යකෙක් වුණා. අනෙකටත් ඒකද වෙන්නෙ’ කියලා. ඊළඟට මම කැඩපතක ඡායා චිත්‍රපටයේ කඩුව අරගෙන ‘මම මිනිස්සු මරණ හැටිත් දැකලා තියෙනවා මැරෙන හැටිත් දැකලා තිබෙනවා’ කියපු කොටස නංගිගේ පොඩි පුතා කෝටුවක් අරගෙන අපේ අම්මට කියලා. එදා නම් අම්මාට මම ආයෙ ගෙදර එන්නේ නැතත් හොඳයි කියලා හිතෙන්න ඇති. මා එක්ක තරහට නෙවෙයි පොඩි අය වෙනුවෙන්. ඒ දරුවන් දෙන්නා සමඟ වෙන මාමාලා තරම් කුලුපග වෙන්න බැරි වීමේ වේදනාවත් මගේ හදවතේ ගැඹුරේ ඇනුණු කටුවක් වගේ වෙලාවකට රිදුම් දෙනවා.

• සම්මාන ගැන මොකද හිතන්නේ?

විරාගයෙන් පසු සම්මාන දිගටම ලැබුණත් ඒ කාලේ සම්මාන උලෙළවල තිබුණු ගම්භීරත්වය කොහේ සැඟව ගියාද කියා දැනෙන්න ගත්තා. ජනප්‍රිය නළුවාට මමත් ජීවනුත් තරග කරලා වරෙක මටත් වරෙක ජීවන්ටත් ජය ලැබුණා. මට වගේම ජීවන්ටත් ඒ සම්මානයේ බර කොතරම් හෑල්ලුද කියලත් හි‍තෙන්න ඇති. අපි තරගයට නොදා හිටියා. ඊට පස්සේ ජනප්‍රියම නළුවා වුණේ ෆ්‍රෙඩී සිල්වා.

• ප්‍රේමය සම්බන්ධ ඔබේ අත්දැකීම?

අම්මයි තාත්තයි අතකින්වත් අල්ලනවා මම දැකලා නෑ. ඒත් තාත්තා නැති වුණු වෙලාවේ අම්මගේ මුවින් පිටවුණු වචන මගේ හදවත කම්පා කළා. (ඔහුගේ හඬ ඒ මොහොතේද සැලී ගියේය) ‘එන ආත්මෙත් මගෙම වෙන්න’ අම්මා කියද්දි මටත් එහෙම ප්‍රාර්ථනා කරන්න පුළුවන් සහකාරියක් ලැබෙනවා නම් කියලයි හිතුණේ. ඒත්...

• ඔබට සබඳතා තිබුණා?

ඔව්. පාසැල් කාලෙ අම්මලා කලබල වුණු පලහිලව් දෙකක් තිබුණා. ඊළඟට අනුෂ්කා එයා දැන් විවාහකයි.

• අනුෂ්කාගේ හොඳ අපි හැමදාම අහලා තිබෙනවා. පුවත්පත්වල වහෙන් ඔරෝ කියපු වෙන එක කතාවක් හරි අද එළි කරන්න?

සමහර අයගේ නම් සඳහන් නොකරන්නේ ඔවුන් සාර්ථකව පවුල් ජීවිත ගෙවනවාය කියලා මම හිතන නිසා. ඒවා සාර්ථකද කියා ඒ අය දන්නවා ඇති. සමහර සම්බන්ධතා පිළිබඳ ඒ අය මොනවා කීවත් මම මුකුත් නොකියන්නේ අප අතර තිබූ සම්බන්ධයට මා තුළ අදටත් තිබෙන ගෞරවය නිසයි. හරි දේ දන්නේ ප්‍රශ්නයට සම්බන්ධ දෙන්නා විතරනේ. එක් ජාතික පුවත්පතකට කියූ අයුරින්ම මාලිනී ෆොන්සේකාට තිබුණු ආදරය සෙනෙහස මීට දශක දෙකහමාරකට පමණ පෙරදී දරාගැනීමට තරම් මට ශක්තියක් නොතිබුණා කියලයි මට හිතන්නේ. දෙදෙනකුගේ ආදරයට සීමා නෑ. විටෙක ආදරය ආත්මාර්ථකාමී විය හැකියි. ලැබීමේ හෝ දීමේ ප්‍රවණතාවක ඇති එයට කාලය තානාන්තර සමාජ මට්ටම් බාධාවක් වනවාට ආදරවන්තයින් කැමති නෑ. තේරුම් ගන්නෙත් නෑ. ආලය අන්ධයි කියන්නෙ ඒ නිසානෙ. පෙර දිනයක මාලිනීට මා කෙරෙහි සෙනෙහසක් ඇති වීම පිළිබඳ අදටත් මා තුළ ඇත්තේ විශාල ඇල්මක් භක්තියක් හා ගෞරවයක්. මට ඇය තේරුම් ගැනීමට බැරි වුණාද නැත්නම් ඇයට එසේ වුණාද අදටත් මා දන්නේ නෑ. කුමන ළංවීම් දුරස්වීම් ගැටුම් ඇති වුවත් ඇය කෙරෙහි මට අදටත් ඇත්තේ භක්තිමත් ආදරයක්.

• ඉන් පසුවත් ඔබේ නමින් නැඟී ගිය සිනමා යුග තිබුණා?

ඒ යුග නැගලා ගියා කීවට ඊට සහාය වුණු නිළියන්ගේ සුකුරුත්තං බලද්දි බැහැලා යන්නේ කොයි වෙලාවෙද කියලයි මම හිතුවේ. අරවින්ද සිය ඥානයෙන්ම එහෙමයි, වලහා තමන්ට සියල්ල නැති වීම තුළ සමාජයටම වෛරයෙන් සිටි චරිතයක්. මට යම් යම් දේවල් අහිමි වීම මත එහෙම වෙලාද කියලා අහන එක සාධාරණයි. ඒ දෙන්නවම හොඳින් තේරුම් ගත් මම ඊටත් වඩා මවිසින් කළ සිනහව අතරින් චිත්‍රපටයේ විමල් තේරුම් ගෙන තිබෙනවා. මට හැඟෙනවා යළිත් අහම්බයක් වේදෝ කියලා.

• ඔබ අත්දැකීම් නිසා හෙම්බත් වෙලා?

නෑ. ජීවිතේ අවබෝධ වෙලා. මගේ කැපවීම් ඕනවට වැඩියි. අවංකකමයි, නිහතමානීකමයි, අහිංසකකමයි, මනුස්සකමයි තේරුම් ගන්න බැරි ස්ත්‍රීන් ළඟ ගැහැනුකම නෑ කියලයි මම කියන්නේ. ඒත් වෛරෙකින්, කලකිරීමකින් හෙම නෙවෙයි. මට දැළි පිහියෙන් කිරි කන්න වෙච්ච වෙලාවට මම පිහිය මොට වෙනකල් ඉඳලා කිරි හෙමිහිට බිමට හැලුවා.

• ඔබ ළඟ ඔය ලක්ෂණ තිබෙන බව කියන්නේ ඔබමයි. එය වෙන කෙනකුට සාපෙක්ෂව වෙනස් විය හැකියි?

මා පිළිබඳ හොඳින් දන්නේ මමයි. මගේ හෘදය සාක්ෂියට එකඟවයි මම මේවා කියන්නේ. මා තුළින් ඒ ගතිගුණ නොදකින අයට සාමාන්‍ය වෛද්‍යවරුන්ගේ බෙහෙත් හරියන්නේ නෑ. අවාසනාවකට පශු වෛද්‍යවරු මිනිස්සුන්ට බෙහෙත් කරන්නෙත් නෑ.

• මට හිතෙන්නේ ඔබ විවාහයකට බයයි?

පවුලක් කන එක කට්ටක් කියලා මම හිතන්නේ නෑ. ඒත් හරි හවුලක් නැතුව අවුලක් කර ගන්න කැමතිත් නෑ.

• ඔබට අවසාන වශයෙන් කියන්න තිබෙන්නේ කුමක්ද?

කොච්චර කට්ට කෑවත් මේකා නම් පට්ට මිනිහෙක් කියලා ඔබට හිතුණොත් මට ඇති.

Comments