
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු වත්මන් ආණ්ඩුවට එරෙහිව කරුණු 14ක් මුල්කරගනිමින් ඒකාබද්ධ විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක් පසුගියදා (21දා) කතානායක කරු ජයසූරිය මහතා වෙත භාරදෙන ලදී. මන්ත්‍රිවරුන් පනස්පස් දෙනකුගේ අස්සනින් යුතුව මෙම විශ්වාසභංග යෝජනාව භාරදෙන ලද්දේ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මහතා ය.
විපක්ෂයක් විසින් මෙලෙස ආණ්ඩු පක්ෂයට එරෙහිව විශ්වාසභංග යෝජනා ගෙන ඒම අරුමයට කාරණයක් නොවේ. මීට පෙර ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාට සහ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට එරෙහිවද විශ්වාසභංග යෝජනා ගෙනැවිත් ඇත. ඒවා පරාජය වූ බව මේ යෝජනා ගෙන එන උදවිය නොදන්නා කාරණාවක්ද නොවේ.
සාමාන්‍යයෙන් විශ්වාසය භංගවීමක් යනුවෙන් අදහස් කරන්නේ කිසියම් පාර්ශ්වයක් විසින් තවත් පාර්ශ්වයක් කෙරෙහි එතෙක් තබා තිබූ විශ්වාසය බිඳීයාමකි. එසේ වීමට නම් කිසියම් පාර්ශ්වයක් තවත් පාර්ශ්වයක් විශ්වාස කළ යුතුය. නමුත් අප දන්නා ආකාරයට නම් මුල සිටම එකාබද්ධ විපක්ෂයේ පිරිස අග්‍රාමාත්‍යවරයා කෙරෙහි එවැනි විශ්වාසයක් තබා තිබූ බව පෙනෙන්නට නැත. එනිසා භංග වීමට තරම් විශ්වාසයක් ඔවුන්ට නොවීය. එසේ නම් එවැනි දෙයක් ඉදිරිපත් කිරීම උචිත වන්නේ විශ්වාසය තබා සිටි පිරිසකටය. අඩු තරමේ එවැනි පාර්ශ්වයකගේ මැදිහත්වීමක් මීට දායක කරගැනීමට ඔවුන් තිබුණි. එසේ වූයේ නම් ඔවුන් වෙත මීට වඩා ආකරෂණයක් ඇති කර ගැනීමට හැකිය. එ.ජා. පක්ෂය හරහාම මෙම යෝජනාව ගෙන එන බව එකාබද්ධ විපක්ෂය උදම් ඇනුවේ මේ හේතුව නිසාය. අවසානයේ ඔවුන්ට ම විශ්වාසයභංගය ගෙන ඒමට සිදු වීම දෛවයේ සරදමකි.
ජනාධිපතිවරයකුට, ආණ්ඩුවකට, අගමැතිවරයකුට, ඇමතිවරයකුට හෝ අගවිනිසුරුවරයකුට, එරෙහිව විශ්වාසභංග ඉදිරිපත්වීම මින් පෙරත් සිදුවී ඇත. තමන් ගෙනා පනත් සම්මත නොකළ නිසා විවිධ චෝදනා එල්ල කරමින් පසුගිය ආණ්ඩුව මේ ආකාරයටම ශිරානි බණ්ඩාරනායක අග්රවිනිශ්චයකාරතුමිය ඉතා නින්දිත ආකාරයෙන් අගුවිනිශ්චයකාර තනතුරෙන් ඉවත් කළේය. එය මුළුමහත් ලෝකයම පිළිකුලෙන් යුතුව බලා සිටියේය. අදත් එම පාර්ශ්වයේ උදවියම මෙම විශ්වාසභංගය ගෙනැවිත් තිබේ.
මෙවැනි කටයුත්තක් කිරීමේදී ඒ සඳහා පාර්ලිමේන්තුවේ බහුතර සහයෝගය අවශ්‍යය වේ. ඒ සඳහා අනෙකුත් පාර්ශ්ව සමඟ එකඟතාවකට පැමිණ අත්‍යවශ්‍ය කාරණයකි. නමුත් මුස්ලිම් කොංග්‍රසයේ රවුෆ්හකීම් මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ කිසිදු පාර්ශ්වයක් තමන් සමඟ එවැන්නක් සාකච්ඡා නොකළ බවය. මේ අනුව පෙනී යන්නේ තමන්ට සහය දෙන පාර්ශ්ව සමග සාකච්ඡාකොට සම්මුතියක් ඇති කර ගැනීමට පවා ඔවුන් අපොහොසත් වී ඇති බවය. එසේම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් විය යුත්තේ අදාළ පාර්ශ්වයන්ගේ සහයෝගය තමන්වෙත ලබාගත හැකි ආකාරයටය. එහෙත් සිදුව ඇත්තේ ඒකාබද්ධ විපක්ෂය තමන්ට අවශ්‍ය ආකාරයට විශ්වාසභංගයක් සකසා අන් අයගේ සාහය ඉල්ලා සිටිමකි.
මෙම විශ්වාසභංග යෝජනාවට ඇතුළත් චෝදනා 14න් 11ක්ම ඉදිරිපත් කර ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙනි. ඊට අමතරව අණපනත් උල්ලංඝනය කරමින් ආර්ථිකය විනාශ කිරීම, නීතිය හා සාමය අමාත්‍යවරයා ලෙස ජන ජීවිතය යථා පරිදි පවත්වාගෙන යෑමට කටයුතු නොකිරීම ඇතුළු කරුණුද මෙම විශ්වාසභංග යෝජනාවට ඇතුළත් වී තිබේ. මෙම විශ්වාසභංග යෝජනාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 55 දෙනකු අස්සන් කර තිබෙන අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් රජයේ මන්ත්‍රිවරුන් සිව්දෙනකු ද මෙයට අස්සන් තබා තිබේ.
ඒ වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම, ඉඩම් රාජ්‍ය අමාත්‍ය ටී.බී. ඒකනායක, රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචි නිලමේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කාදර් මස්තාන් යන මන්ත්‍රිවරු ය. නමුත් මේ වන තෙක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙයට අත්සන් තබා නැත. ඒ පිළිබඳව විමසීමේ දී පාර්ලි මෙන්තු මංත්‍රී බන්දුල ගුණවර්ධන "විශ්වාසභංග යෝජනාවට අත්සන් නොකළත් එතුමා ඊට පක්ෂව ඡන්දය දෙනවා. එහෙම අත්සන් කිරීමේ අනිවාර්ය අවශ්‍යතාවකුත් නැහැ.මොකද? ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ පාර්ලිමේන්තු නායකයා වන්නේ දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා. එතුමා ඊට අත්සන් කළා "..."මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා විශ්වාසභංග යෝජනාවට අත්සන් නොකිරීම ගැන අපේ කණ්ඩායමේ කවුරුවත් ප්‍රශ්න කළේ නැහැ"..."ඒ ගැන ප්‍රශ්න නො කළා පමණක් නොවෙයි. අපි එතුමාට කියන්නේ එවැනි යෝජනාවලට අත්සන් කරන්න එපා කියලයි" ප්‍රකාශ කර තිබුණි. එවැනි පිළිවෙතක් අනුගමනය කරන්නේ හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රතිරූපය ආරක්ෂා කර ගැනීමට බවද එතුමා එහිදී සඳහන් කර සිටියේය.
මේ පිළිබඳව අදහස් දක්වමින් ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කළේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංගය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ තවත් දේශපාලන සූදුවක ප්‍රතිඵලයක් බවය. ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා ප්‍රකාශ කර සිටියේ "රජය පෙරළා දැමීමට නෙමෙයි මේ අයට ඕන ඔහුට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට එරෙහිව තිබෙන නඩුහබ යටපත් කර දැමීම" බවය.
එසේම ඔහු පවසා සිටියේ "මහින්ද රාජපක්ෂ මහත්තයා දේශපාලනයේ හැමවිටම සූදු තමයි කරන්නේ. එතුමාගේ කණ්ඩායම රවි කරුණානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව ගෙනාවා. ඒත් එතුමා ඊට අත්සන් කළේ නැහැ. ඡන්දය දුන්නෙත් නැහැ. ජවිපෙ අපි එදා ඒ යෝජනාවට පක්ෂව ඡන්දය දුන්නා." යැයි ප්‍රකාශ කර සිටියේය. තවදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම යෝජනාවට අත්සන් නොකළා පමණක් නොව එමගින් ආණ්ඩුව පෙරළා දමා අගමැති පදවිය භාර ගැනීමට පවා ඔහු සූදානම් නැති බවත් ය.
"මේ විශ්වාසභංගය ගෙන ඒමේ අරමුණ තමයි ආණ්ඩුව සොලවා දැමීම. ආණ්ඩුව බියගන්වා - එමඟින් රාජ්‍ය සහ පොලිස් නිලධාරීන්ට පණිවුඩයක් දෙනවා - තමන්ට එල්ල වී ඇති නඩුහබ ටික නතර කර ගැනීමට. ඒ අතරම ආණ්ඩුව තවත් පිරිහීමට පත් කරමින් තමාට වඩාත් සුදුසු මොහොතක ආණ්ඩු බලය අල්ලා ගැනීම තමයි එතුමාගේ උපක්‍රමය වී තිබෙන්නේ"
දෙමළ ජාතික සන්ධානයේ මතය නිල වශයෙන් ප්‍රකාශයට පත් නොවූවද විපක්ෂ නායක ආර් සම්පන්දන් මහතා ප්‍රකාශ කර සිටියේ තම ස්ථාවරය පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විවාදයෙන් අනතුරුව තීරණය කරන බවයි. කෙසේ වෙතත් ඔවුන් ජාතිවාදය ශක්තිමත් වන ක්‍රියාමාර්ගවලට සාහය නොදක්වන බව නම් සහතිකය. මන්ද මෙම විශ්වාසභංගය ගෙන එන්නේ මේ රටේ ජාතිවාදය පෝෂණය කරන පිරිස් විසින් වීම ඊට හේතුවයි.
එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතරයක් දෙනා තීරණයකොට ඇත්තේ අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වුවහොත් එය පරාජය කිරීමටය. ඒ අනුව ආණ්ඩුවේ බහුතර මතය එය වේ.
මෙනිසා මෙම විශ්වාසභංග යෝජනාව කිසියම් දේශපාලනික උපක්‍රමයක් විනා සත්‍යවශයෙන්ම එවැන්නක් සාර්ථක කර ගැනීමේ අටියෙන් ක්‍රියාත්මක වන මෙහෙයුමක් නොවන බව දේශපාලනය පිළිබඳ අදහස් දක්වන විද්වතුන්ගේ මතය වී තිබේ. එනිසා මෙයත් ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාට සහ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියට සිදු වූ ආකාරයේ ඉරණමකින් කෙළවර වේදැයි අපි බලා සිටිමු.
රසික කොටුදුරගේ