
‘ජවුසන් ජල්ලිමා ජවුසන් ජල්ලිමා’ නමින් වේදිකාවට පිවිසෙන තරුණයෝ මද්දලය හා තාලමි පටයේ තාලයට ජන ගායනය ඉදිරිපත් කරමින් නටති. ඔවුන්ගේ නැටුමේ වේගයට වේදිකාව දෙදුරුම් දෙයි. දඩයම් කරන අයුරු ද ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් ද විදහා දක්වන මෙය සැබැවින්ම වැදි ජනතාවට ආවේණික නැටුමක් නොවේ. මෙය ඉන්දියාවේ කොචින් නුවරින් දූවේ ධීවරයෙකු අතීතයේදී රැගෙන ආ ජන නැටුමකි. දෙමළ භාෂවෙන් කෙරුණු ගායනයට ඔහු සිංහල වචන එක්කර ඇත්තේය. දුනු ඊතල රැගෙන නටන නළුවෝ රතතං දිමට තා - රතතං දිමට තා පදයට කස්තිරමක්ද අල්ලති. මෙය හරි අපුරු වු මීගමු දූවේ දී පමණක් දැකිය හැකි නැටුම් විශේෂයකි.
“ඔය ජවුසන් මාත් එක්ක නම් හරියන්නේ නැහැ”
“අරුන්ගේ අර ජවුසන් නැටිල්ල රට්ටු හිනස්සනවා”
ගැමියෝ මෙන්ම නාගරිකයෝද එදා මෙන්ම අද ද යම් යම් අය කරන අශෝභන කටයුත්තක්, නොපනත්කමක් දුටුවිට එසේ කීමට පුරුදුව සිටිති. ඔවුන් ‘ජවුසන්’ යනුවෙන් හඳුන්වන්නේ සමාජ සාරධර්මයන්ට පටහැනි ක්‍රියාවන්ය. සිරි ලියනගේ විසින් සංස්කරණය කරන ලද නිරුක්ති සහිත සිංහල ශබ්ද කෝෂයෙහි ‘ජවුසන්’ යන්න අර්ථ ගන්වා ඇත්තේ මෙසේය.
“මුස්ලිම් ආගමික උත්සවවල දක්නට ලැබෙන ඇඳුම් විශේෂයක්, නොගැළපෙන හැසිරීම්, විගඩම් අවිනීත ක්‍රියා ආදි වශයෙනි. සැබැවින්ම මොනවද මේ ජවුසන්.
එක් දහස් නවසීය පනස්පහ වසරේ කොළඹ ඇම්. ඩී. ගුණසේන සහ සමාගම විසින් ප්‍රකාශයට පත්කර ඇති ලංකා ජනතාව කෘතියේ මහාචාර්ය නන්දදේව විජේසේකර සූරීන් ‘ජවුසන්’ යන්න පිළිබඳ මෙසේ සටහන් කර ඇත්තේය.
“අලුත්ගම හා බේරුවල මුස්ලිම් ජනයා අවුරුදු පතා බුහාරි නම් උත්සවයක් පවත්වති. නගර විථි සංචාරය කරන ජවුසන් කාරයන්ගේ නාට්‍ය හා උප්පත්තිය ඉන්දියානු මුස්ලිම්වරුන්ගෙන් වූ බව පෙනේ. රෑට ගිනි පෑගීමෙන් පසු මේ ක්‍රියාව කෙළවර වේ. (ලංකා ජනතාව, පිටු -250-251)
කෙසේ කවුරුන් කොහොම විවිධ අර්ථකතන දුන්නද අනාදිමත් කාලයක් තිස්සේ “ජවුසන්” පරපුරෙන් පරපුරට පවත්වාගෙන එන්නන් සොයා ඉකුත් දා අපි මීගමුව දූවට ගියෙමු.
විශේෂිත වූ කලා පුරයක් බඳු වූ මීගමු දූවේ කතෝලික සමාජය සතුව කලා අංග කිහිපයක් ඇත්තේය. ඒ අතර ‘ජවුසන්’ වලටද හිමි වන්නේ ද සුවිශේෂ ස්ථානයකි.
පරපුරෙන් පරපුරට පැවත ආ ‘ජවුසන්’ අද දක්වාද හෙට පරපුරට ද රැක දෙන අයකු සේ සැලකිය හැකි මීගමු දූවේ ලක්ෂ්මන් ද මැල් මහතා ‘ජවුසන්’ හි අගමුල කීමට අප සමඟ එක්වුයේය. මිහිඳු කුලසුරිය ලක්ෂ්මන් ද මැල් වෘත්තියෙන් ධීවරයෙක්. ඔහු අද වන විට ධීවර වෘත්තියෙන් විශ්‍රාම ගෙන සිටින්නේය. නමුදු අභාවයට යමින් තිබූ ‘ජවුසන්’ රැක ගැනීමේ ගෞරවය නිතැතින්ම හිමි වන්නේ ඔහුටය.
මොකක්ද මේ ජවුසන් කියන්නේ? ‘ජවුසන්’ අපේ රටට අාවේ කොහොමද? ඒ ගැන දූවේ ජනයා මෙසේ පවසති.
අද මෙන්ම අතිතයේද මීගමු දුව ධීවර කර්මාන්තය සඳහා ප්‍රසිද්ධියක් ඉසිලුවේය. දූවේ ධීවරයෝ දින සති නොව මාස ගණනක් මහ මුහුදේ ගොස් මාළු අල්ලන්න හ. ඒ මාළු කරවල කරන්නෝය, ජාඩි දමන්නෝය. ඔවුහු ඇතැම් විට ගොඩබිමට එන්නේ මාස දෙක තුනකට පසුවය. 1800 ගණන්වල ද ධීවරයෝ ඉන්දියාවට ආසන්න මුහුදු ප්‍රදේශයේ ද ධීවර කර්මාන්තය කළහ. එක් දහස් අටසීය තිස් ගණන්වල එක්තරා දිනෙක යහමින් මාළු ඇල්ලූ ධීවර නැවකට ජාඩි දැමීමට මාළු කරවල කිරීමට ලුණු මදි වුයේය. ධීවරයෝ කොචින් නගරයට ගියේ ලුණු ගෙන ඒමටය. (මොහු කලා කාමියකු වූ බවද උගත් අයකු බවද කියැවේ) ඔහු ඉන්දියාවේ කොචින් නගරයට යන විට එහි එක්තරා ප්‍රදේශයක ජන නැටුමක් පැවැත්වෙමින් තිබිණ. ඒ පිළිබඳ උනන්දු වූ ඔහු ලුණු ගෙන ඒම අතහැර දමා ඒ නැටුම ගැන ඇල්මෙන් මතක තබා ගන්නට උත්සාහ කළේය. මිහිඳු කුලසුරිය, දුමිගු ප්‍රානාන්දු හෙවත් දුමා සීයා ලංකාවට පැමිණියේ කොචින්වලදී දුටු ජන නැටුමද සිතෙහි තබා ගෙනය. ඔහු දූවට පැමිණි පසු කොච්චින් වලින් ගෙනා ජන නැටුමේ ගීතයට සිංහල වචන එක්කළේය. දූවේ සහෝදර ධීවරයන්ට නැටුම් ඉගැන්නුවේය. දූමා සීයා කොචින්වලින් ගෙනා නැටුම ජවුසන් නම් වන්නේය. එය මීගමු ධීවරයන්ගේ අනන්‍යතාව විදහා දක්වන සංස්කෘතිකාංග අතර අද මුල්තැන ගන්නකි. ජවුසන් යනු මීගමු දූවේ ධීවරයන්ගේ ජන නැටුම් විශේෂයකි.
දූමා සීයා තම පරපුරට දායාද කළ ජවුසන් ජන නැටුම ගැන ලක්ෂ්මන්ද මැල් මහතා කියන්නේ මෙවැනි කතාවකි.
දූමා සීයාගෙන් පැවතගෙන ආ ‘ජවුසන්’ නැටුම අභාවයට යමින් තිබුණු කාලයක තමයි මං එය රැකගැනීමට උත්සාහ දැරුවේ. අද ගමේ උත්සවවල, නත්තලට, පාසල් නැටුම් තරගවලට ‘ජවුසන්’ ජන නැටුම නටනවා. මෙය ජවුසන් වැදි නැටුම කියලත් කියැවෙනවා ඉස්සර මේ නැටුම නැටුවේ කොළඅතු ඇඳගෙන. මම සෝමබන්දු විද්‍යාපති මහතාගේ නිවෙසට ගියා මේ නැටුමට ඇඳුම් නිර්මාණය කර ගැනීම සඳහා. එතුමා මට කිව්වා නැටුම නටනවා බලන්න ඕන කියලා. ඉන් පසුව මං අපේ ශිල්පීන් ලවා එතුමාට නැටුම බලාගන්න සැලැස්සුවා. ඉන් පසුව තමයි ඒතුමා ඇඳුම් නිර්මාණය කරලා දුන්නේ.
ධම්ම ජාගොඩ මහතාත් මේ නැටුම් බලන්නට ආවා.
ලක්ෂ්මන් ද මැල් තම උරුමය රැක ගැනීමට බොහෝ වෙහෙසෙන්නේය. ‘ජවුසන්’ නටන්නේ නිකම්ම නිකන් අය නොවේ. හොඳින් ඉගෙනගත්, උසස් රැකියා කරන දූවේ තරුණයෝය. එසේම මේ ජවුසන් නටන්නේ ආවට ගියාට නොවේ. ‘ජවුසන්’ නැටිල්ල පුරුදු පුහුණු වන්නේ පල්ලිය භූමියේය. ජවුසන් නැටීමට යෑමට පෙර දෙවියන්ට යාඥා කර මළගිය ඇත්තන්ට ඔරසන් කියා ආශිර්වාද ලබා ගනී. එමෙන්ම ගුරුන්නාන්සේ වැඳ නමස්කාර කර ආශිර්වාද ලබා ගනී. එමෙන්ම ‘ජවුසන්’ නටා පැමිණි පසුද දෙවියන්ගේ ආශිර්වාද ලබාගනී.
එක්දහස් නවසීය අසුඅටේ යෞවන සම්මාන උලෙළේ ද ‘ජවුසන්’ ජන නැටුම සඳහා ප්‍රථම ස්ථානය හිමි වුයේය. විශේෂය නම් ජවුසන් නටන්නේ දූවේ පිරිමින් පමණක් වීමය. ඉකුත් දා එනම් ලෝක ළමා දිනය දා ද බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී ජවුසන් වේදිකා ගත වුයේය. ‘ජවුසන්’ සඳහා මුලින්ම සම්මාන හිමි වුයේ එක්දහස් නවසිය හතළිස් හතර වසරේය. ( එකල එම නැටුම් කණ්ඩායාම් නියෝජනය කළ ප්‍රැන්සිස් ප්‍රනාන්දු අද අසු දෙවැනි විය පසුකර සිටින්නේය.
අපි එදා නැටුම් තරගයට සහභාගි වුණේ දූවේ රෝමානු කතෝලික පාසල නියෝජනය කරමින්. කොළඹ රාජකීය විද්‍යාලයේ පැවති සමස්ත ලංකා නැටුම් තරගාවලියට පාසල් නැටුම් කණ්ඩායම් හතළිහක් සහභාගි වුණා. මේ නැටුම් තරගය බලන්නට එකල සිටි ආණ්ඩුකාරතුමා පැමිණ සිටියා එක දිගට නැටුම් බලලා වෙහෙසට පත්වෙලාද මන්දා එතුමා නැගිටලා යන්න හැදුවා. එවිටම තමයි “ජවුසන් ජල්ලිමා” කියලා මහ හඬින් නටාගෙන නැටුම් කණ්ඩායම වේදිකාවට ආවේ. ආණ්ඩුකාරතුමා තොප්පිය ගලවලා කරකවලා මේකට පළමු තැන දෙන්න කිව්වා එදා අපේ ගුරුවරුන්ට, නැටුම් කණ්ඩායමේ සිටි අයට පුදුම සතුටක් දැනුණෙත් පැන්සිස් ප්‍රනාන්දු පවසන්නේ බොහෝ සතුටෙනි.
‘දූවේ බල්ලෙක් බිරුවත් ඒකෙත් සංගීතයක් තිබෙනවා’ ගරු මර්සලින් ජයකොඩි පියතුමා කලකට පෙර එසේ පවසා ඇත්තේ මීගමු දූවේ කලාවේ තරම කෙතරම්දැයි පවසමිනි.
කොහොම වුණත් එදා සිට අද දක්වා එන ජවුසන් තම ගුරුවරුන් වෙතින් ඉගෙන ගත් ආකාරය ලක්ෂ්මන්ද මැල් මහතා පවසන්නේ දැසේ නැඟි කඳුළක්ද සමඟිනි.
“එක් දහස් නවසීය එකොළහේ අවුරුද්දේ මීගමුව පල්ලිය විවෘත කරන වේලාවේ ජවුසන් නැටුම් කණ්ඩායමට ආරාධනයක් කරලා තියෙනවා පවුම් සීයක් දෙන්නම් නටන්න කියලා. නමුත් ජුසේ මනුවෙල් මැල් ගුරුතුමා කියලා තියෙනවා පනමට නටන අය දූවේ නැහැ කියලා. අදටත් ‘ජවුසන්’ සල්ලිවලට නටන්නේ නැහැ. අපිට මේ නැටුම පුරුදු කරපු ගුරුන්නාන්සේ ඔහුගේ අවසන් කාලයෙත් අපට නැටුම කියා දුන්නා. මේක පරම්පරාවෙන් පරම්පරාවට ආව නැටුමක්.
තත් ජෙමි තත් ජෙමි කියලා ගුරුන්නාන්සේ ඇඳේ ඉඳගෙන කකුල් දෙක ගහගහ නැටුම් පුරුදුවෙලා මතකය අලුත් කරගෙන තමයි අපට පුරුදු කළේ. ඔවුන් මෙය බොහෝම කැපවීමෙන් කළේ. මේ නැටුම දූවේ අපේ උරුමයක් නිසා. ලාම්පු කුප්පිය තියාගෙන තමයි අපි පල්ලිය වත්තේ නැටුම පුරුදු වුණේ. කලක් මෙය අභාවයට ගියා නමුත් දැන් තරුණ ළමයි නැටුම පුරුදු වෙන්න එනවා. අපි දැන් වයසයි. අපෙන් පස්සේ මේ අය තමයි ජවුසන් ඉදිරියට ගෙනියන්නේ.” ලක්ෂ්මන් පවසන්නේ තරුණයන් කිහිප දෙනෙකු පෙන්වමිනි.
ශාලිත පීරිස් ඒ තරුණයන් අතරින් කෙනෙකි. අනාගතයේදී නැටුම් කණ්ඩායම බාර ගැනීමට සිටින්නේ ඔහුය. ඔහු ලක්ෂ්මන්ගේ සහෝදරයකුගේ පුත්‍රයෙකි.
“අපිට වගකීමක් තියෙනවා මේ අපේ උරුමය ඉදිරියට ගෙන යන්න. පසුගිය කාලයේ නැටුම් කණ්ඩායමේ හිටපු අය විදෙස් ගත වුණා. විවිධ රැකියාවලට ගියා ඊට පස්සේ තමයි මෙය අභාවයට යන්න ගත්තේ. ලක්ෂ්මන් මාමා තමයි ආයෙත් නැටුම ඉදිරියට ගෙනාවේ. දැන් දූවේ පොඩි අයත් නැටුම පුරුදු වෙන්න එනවා. ඒ අපට සතුටක්” ශාලිත පීරිස් පවසන්නේ ‘ජවුසන්’ හි අනාගතය තම කරපිට පටවාගෙනය.
නෙතුෂාන් ප්‍රවීන් මීගමුව ශාන්ත පීතර විදුහලේ වාණිජ අංශයේ ඉගෙනුම ලබන්නේය. නමුදු ඔහු ඉගැනුමට අමතරව ජවුසන් නැටීමට එක්වන්නේ තම උරුමය අනාගතයට රැගෙන යෑමටය.
“ගෙවල්වලින් අකමැත්තක් නැහැ. අපි නැටුවේ නැත්නම් කවුද මේක ඉදිරියට අරගෙන යන්නේ” ඔහු අහන්නේ අපෙනි.
‘ජවුසන්’ නැටිල්ල බලාගෙන සිටින විට හරි අපුරුය. එහි අමුතුම රිද්මයක් මෙන්ම ජව සම්පන්න බවක් ඇත්තේය. නමුදු ජවුසන් නැටිල්ල ලෙහෙසි පහසු නැත. ජවුසන් නටන්නේ හැඩි දැඩි තරුණයන්ය. විශේෂිත ඇඳුමට අමතරව ජවුසන් නටන්නෝ මුහුණේ හා සිරුරේ වර්ණ ආලේපකර ගනිති. අතීතයේදි නම් මේ නැටුම් කණ්ඩායමේ විවිධ සතුන් විදහා දක්වමින් නළුවෝ නැටුහ.
වර්තමානයේ සත්ව නිරූපණය නැත. එක්තරා අන්දමකින් මෙය වැදි නැටුමක් යැයි බොහෝ දෙනෙක් හඳුන්වති. නමුදු දුනු ඊතල අතෙහි තිබුණද මෙය මීගමු දූවේ ජන නැටුමක් ලෙස දූවේ ඇත්තෝ සලකති.