පහසුකම් ලැබෙනවා නම් මේ දරුවොත් අකුරු කරාවි | සිළුමිණ

පහසුකම් ලැබෙනවා නම් මේ දරුවොත් අකුරු කරාවි

මොනරාගල හද්ද පිටිසර ගමකදි මං එදා දුටු ඒ දරුවන් හරිම සුහදශීලීයි. එක දවසකින් ඇතිවුණු එහෙම හිතවත්කමක් මේ කාෂ්ටක පොළොවේ ඇතිවෙයි කියා මට නිකමටවත් හිතුණේ නැහැ. උදේ දහය වෙද්දී හිරු එළියේ සැර පොළොවට පතිත වෙන්න ගත්තා. ඒත් කාටවත් ඒ සැඩ හිරුරැස්වල වගක් දැනුණේ නැහැ. පාසල් ළමයින් ජාතික ගීය ගයන්න සුදානම් වූණා. එතකොටයි මං දැක්කේ දරුවන්ගෙන් බාගයකටම සපත්තු නැහැ. “එක මවකගෙ දරු කැල බැවිනා යමු යමු වී නොපමා” කියමින් ඒ දරුවො ගායනයේ යෙදෙනවා. දන්න කියන කාලයේ පටන් මගේ සිතේ තිබුණු ගැටලුව ආයේ මතු වූණා. මවක් කවදාකවත් තම දරුවන්ට වෙනස් විදිහට සලකන්නේ නැහැ. ලංකාවේ අධ්‍යාපන ක්ෂෙත්‍රයේ දරුවන්ට ලැබෙන වරප්‍රසාද ස්ථානික වශයෙන් වෙනස්. රජයෙන් නිල ඇඳුම් දුන්නත් ඇතැම් දරුවන්ට සම්පූර්ණ නිල ඇඳුම නැහැ. සමහර දරුවන්ට අධ්‍යාපන උපකරණ අඩුපාඩු. තවත් පිරිසකට ගුරුවරුන් නැහැ. අවසාන වාර විභාගෙට මහන්සිවෙලා ලකුණු දැක සතුටු වූණු දරුවන්ගේ ඊළඟ ප්‍රශ්නය අලුත් අවුරුද්දට අලුත් පන්තිවලට අලුත් පොත් ලබා ගැනීම.

දෙහිවල මිතුරු සංසදය සෑම වසරකම දුෂ්කර පළාත්වල දරුවන්ට පාසල් උපකරණ ලබා දෙනවා. මේ වසරේ තෝර ගත්තේ මොනරාගල පාසල් තුනක සිසුන් 287ක්. සිසුන්ට විතරක් නොවේ පාසලේ අඩුපාඩු පුළුවන් විදිහට සම්පාදනය කරන්නත් ඔවුන් කටයුතු කරනවා. ගුරුවරුන්ටත් තෑගි ලැබෙනවා. මවුවරුන්ටත් තෑගි ලැබෙනවා. මේ තෑගි අරන් ගිය තිස් එක් වැනි වතාව. මමත් ඔවුන් සමඟ මොනරාගල ගියා. අහසේ ගෑවෙන්න තරම් උස මොනරාගල කන්ද අපි එනතුරු බලන් හිටියා.

චණ්ඩ සැඩ හිරුගෙන් පීඩා වින්දත් පහුගිය දවස්වල වැහැලා ගහකොළ නිල්ල නැඟලා තිබුණා. තැනින් තැන කුඹුරු වැඩ පටන් අරන්. බඩඉරිඟු, මඤ්ඤොක්කා, කුරහන් හා කෙසෙල් හේන් පහුකර ගෙන අපි කන්ද වටේට ගිහින් උඩික්කැප්පූආර විදුහල් භුමියට ගියා. තෑගි බෙදා දෙන්න තිබුණේ උඩික්කැප්පූආර කනිටු විදුහලේදි. තවත් පාසල් ‍දෙකක ළමයි ඒ තැනට ඇවිත් හිටියා. ඉන් එකක් කොටියාගල කනිටු විදුහල. අනෙක් පාසල පාතරාව ධර්ම විජය මහා විද්‍යාලය.

සිසු දරුවන් අතට තෑගි ලැබෙද්දි ඔවුන්ගේ මුවේ සිනහ මල් පිපෙද්දි බලන්න ලස්සනයි. ඒ මුහුණුවල වූ සතුට. ඒ සතුට දුටු අපේ සිත් සැහැල්ලු වුණා.

අපි පාතරාව ධර්ම විජය විද්‍යාලයේ තූර්යවාදක කණ්ඩායම දැක්කේ එතැනදි. හරිම අපූරු සංගීත කණ්ඩායමක්. සංගීත භාණ්ඩ වෙනුවට ඔවුන්ගේ අතේ බෙලෙක් පිඟන්, බැරල්, වීදුරු බෝතල්, පොල් කටු හා ලී කැබලි. ඔවුන් ඒවා උපයෝගි කරගෙන කනට අහන්න පුළුවන් විදියේ අපූරු සංගීතයක් ඉදිරිපත් කළා. මේ කණ්ඩායම පුරුදු පුහුණු කළ ගුරුතුමිය ශාමා කුමාරි.

“මම නැටුම් ගුරුවරියක්. සංගීත විෂය පිළිබඳ ලොකු අවබෝධයක් මට නැහැ. ඒත් පහසුවෙන් සොයාගන්න පුළුවන් සරල දේවල් උයෝගී කරගෙන මේ සංගිත කණ්ඩායම හැදුවා. අපේ සංගීත කණ්ඩායම දැකලා කොළඹ ආදායම් බදු දෙපාර්තෙම්න්තුවේ මහත්තයෙක් ලක්ෂ දෙක හමාරක සංගිත උපකරණ ලබා දුන්නා. බෑන්ඩ් ඒක හදන්න තව උපකරණ කිහිපයක් අඩුයි. ඇඳුම් සකස් කරගන්නත් අවශ්‍යයි. ඒ ඔක්කොම තිබුණත් අපේ පාසලට සංගීත ගුරුවරියක් නැහැ. චිත්‍ර නැටුම් සංගිත විෂයන් දරුවන්ගේ මනස සංවර්ධනය කර ඔවුන්ගේ කුසලතා වර්ධනය කරනවා. දරුවන්ගේ හැඟීම් පාලනය කර මනස සන්සුන් කරවන්නේ, යහපත් පුරවැසියන් නිර්මාණය කරන්නේ කලා විෂයන් ඉගෙනීමෙනුයි. අගහිඟකම් මැද ඉගෙන ගන්න දරුවන්ගේ මනස සන්සුන් කර යහපත් පුවැසියන් කරන කලා විෂයන් ටිකවත් උගන්වන්න අපි මහන්සි ගත යුතුයි කියලා මට හිතුණා.”

මේ කණ්ඩායමේ බෙලෙක් පිඟානකට තට්ටු කරමින් සංගීතයක් ඉදිරිපත් කළ නදිනි සිසු දැරිය කිව්වේ “ අනේ අපිට සංගීත ටීචර් කෙනෙක් හිටිය නම් හොඳයි”කියලයි.

උත්සවය අවස්ථාවේ අපි දරුවන්ගේ නර්තන කුසලතා දැක්කා. ශාමා කුමාරි ගුරුතුමිය ඔවුන්ට හොඳ මඟ පෙන්වීමක් කරලා තිබුණා. තියෙන හැටියකට හැඩවෙලා ඔවුන් නැටූ නැටුම් රමණීයයි. එහේ ඉන්න දේවිලා, කුමාරිලා, වයලීන්, ගිටාර් බෙර, සරපිනාවක් වාදනය කරන්න ඉගෙන ගන්න හරි ආසයි.

ධර්ම විජය විද්‍යාලෙයෙ ප්‍රාථමික අංශයේ ගුරුවරෙයකු වන අරුණ වීරසිංහ අපි සමඟ කතා කළා. ඔහු මාතරින් ‍මොනරාගලට ඇවිත් ඉන්නේ.

“මේ පළාතේ ළමයින් ඉගෙනිමටයි ක්‍රීඩාවටයි දෙකටම දක්ෂයි. අද අපේ ඉස්කෝලේ ළමයි සමස්ත ලංකා වොලිබෝල් තරගයට ගියා. ධර්ම විජය විද්‍යාලයට ඉන්නේ හොඳ වොලිබෝල් කණ්ඩායමක්. මේ කනිටු පාසල් දෙකේම දරුවෝ ඉන්පසු යන්නේ ධර්ම විජය විද්‍යාලයට.” ධර්ම විජය විද්‍යාලයේ විදුහල්පති ආර්. එච්. ඩබ්. බණ්ඩාර මහතා කීවේ,

“මේ දරුවන්ට අවශ්‍ය පහසුකම් ලැබෙනව නම් ඕනැම පාසලක දරුවන් සමඟ තරග කරන්න පුළුවන්” කියලයි.

අවම පහසුකම් ය‍ටතේ මේ දරුවන් දැක්වූ දස්කම් දුටු මට ඒ කතාව ඇත්ත කියා හිතුණා.

පොත් මලු අතට ගත් දරුවන්ගේ මූණේ හිනා මල් පිපුණා. ඒත් සමහර දරුවන්ගේ හිනාවට යටින් දුක සැඟවිලා තිබුණා. මම කතා බහ කළ සෑම දරුවකුම වාර විභාගෙයන් ලකුණු1100න් 800 ට වැඩියෙන් අරන් තිබුණා. ඔවුන් බුද්ධිමත් දක්ෂ ළමයි. ඉගෙනීමේ සම අවස්ථා ලබා දී ඔවුන් රටේ සංවර්ධනයට යොමු කරවා ගැනීම වැඩිහිටියන් ලෙස අපේ වගකීමක්. මේ පළාත්වල මිනිසුන්ගේ ජීවිත ඉතා සරලයි. ඔවුන් වත්ත පිටියේ එළවළු පලා පලතුරු වවා ගන්නවා. වැවේ මාළු ඉන්නවා. කුඹුරක් කරගත්තොත් ඊළඟ කන්නය වෙනකල් ආහාර හිඟ නෑ.

පොත් ලැබිලත් දුකින් හිටිය දුවෙක් එක්ක මම කතා කළා. එයාගේ තාත්ත කළ කුඹුර නැති වුණා කියා ඒ දුව කිව්වා. ඒ ඉඩමට කවුදෝ පෙත්සමක් යවලලු. දැන් තාත්තට වවන්න ඉඩමක් නෑ කියලා කියද්දි ඒ පුංචි ඇස් දෙකේ කදුළු පිරුණා.

මේ කුඩාවුන් වැඩිහිටියන් වූ දාට ඔවුන්ට මතක තියේවි මේ ලැබුණු තෑග්ග. එතකොට එයාලත් කාට හරි පුළුවන් විදිහට උදව් කරාවි. තමන්ට අවශ්‍ය වෙලාවේ කාගෙන් හෝ උදව්වක් ලද ඕනෑම කෙනෙක් පුළුවන් දවසේ අනෙකා වෙනුවෙන් උදව් කරාවි. මේ දරුවන් අලුත් අවුරුද්දේ සතුටින් පාසල් යාවි. එහෙම හිතාගෙන ඉරගල වැටෙද්දි අපි එන්න පිටත් වූණා. උඩික්කැප්පුවආර විද්‍යාලයට යන පාර වළ ගොඩැලි සහිතයි. පසුගිය වැස්සට වැලි පාර හේදිලා. ගමේ තැනින් තැන අලුත් ගෙවල් ඉදිවෙමින් තිබුණා. මේ මිනිස්සු හැමදාම මේ අබලන් වැලි පාරේ සැතපුම් ගණනක් යන්න ඕනෑ. අලුත් නගර සභාව ආවාමවත් පාර හැදුණොත් දරුවන්ට පාසල් යෑමත් පහසු වේවි.

Comments