යාන් ඔය අපට දී වාහල්කඩට යන සත්තු | සිළුමිණ

යාන් ඔය අපට දී වාහල්කඩට යන සත්තු

සංවර්ධනය හා පරිසරය යනු එකිනෙක හා බැඳී පවත්නා විෂය දෙකකි. පරිසරය යනු මිනිසා පමණක් නොවේ. ගහ-කොළ, සතා-සීපාවා, ඇළ-දොළ, කඳු-හෙල්, වනාන්තර ආදි වූ සියල්ල පරිසරයට අයත් වේ. සංවර්ධන කාර්යයෙහිදී මේ සියලු පරිසර සාධක අවදානමට ලක් වේ. අද අප වෙසෙන ලෝකය අනාගත පරපුර උදෙසා තිළිණ කිරීමට සිතන්නේ නම් සංවර්ධන කාර්යයෙහි පමණක් අවධානය යොමු කිරීම ප්‍රමාණවත් නැත. එහිදී පරිසර සංරක්ෂණය කෙරෙහිද අවධානය යොමු කළ යුතු වේ.

යාන් ඔය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ පරිසරයට සිදු වන හානිය අල්ප නොවේ. පඹුරු ගස් වැව දැඩි රක්ෂිතයේ බිම් මේ ව්‍යාපෘතිය හේතුවෙන් විනාශ වී යයි. මේ වන විටත් රක්ෂිතයේ ගස්වැල් රැසක් වැනසී තිබේ. වනවගාවට හෝ ජනාවාස ඉදි කිරීමේන් පසු යළි ඒ බිමෙහි නැවත වනය අණසක පතුරවා ගහ කොළ වැඩීමට අවස්ථාව ඇත. එහෙත් ජලාශයක් ඉදි කළ පසු වනයේ කාර්යභාරය නිතැතින්ම ඉවත් වේ. ඒ වෙනුවෙන් මධ්‍යම පරිසර අධිකාරිය පරිසරය සුරැකීම සඳහා වූ අන්තර්ජාතික සංවිධානය හා එක්ව කටයුතු කරයි. වනගහනයට වන හානිය පූරණය කිරීම සඳහා ජලාශයේ උපරිම ජල මට්ටමේ සිට උපරිම ගංවතුර මට්ටම දක්වා වන වගා සැලැස්මක් ක්‍රියාත්මක කරමින් ප්‍රදේශයට ආවේණික ශාක වගා කිරීමට සැලසුම් කර තිබේ.

ජලය මිනිසාට මෙන්ම සතා-සීපාවාටද සම්පතකි. ජලාශයක් ඉදි කිරීමේදී සිදු වන්නේ ජලය කළමනාකරණය කරමින් පරිභෝජනයට අවස්ථාව සලසාගැනීමයි. නිදහසේ සයුර වෙත ගලා ගිය දිය දහර කළමනාකරණයෙන් එහි වාසිය පරිසරයේ වෙසෙන සියලු සත්වයාටම ලබාගත හැකිය.

යාන් ඔය ජලාශය ඉදි වීමත් සමඟ තම වාස භූමිය අහිමි වන්නේ මිනිසුන්ට පමණක් නොවේ. සතුන්ටද තම බිම් පෙත් අහිමි වේ. මිනිසුන් කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් ඉවත්ව යද්දී මිනිස් ක්‍රියාකාරකම් පිළිබඳ අවබෝධයක් නැති සත්තු අසරණ වෙති. යාන් ඔය ඉදි කිරීම් සැලැස්මේ මුල් අදියරේදී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ජලාශයට යට වන භූමියේ වාසය කළ සෙමෙන් ඉවත් වන සතුන් රැසක් ඹවුන්ගේ චර්යාවන්ට හානියක් නොවන සේ වාහල්කඩ ජලාශය ආශ්‍රිත රක්ෂිත භූමියට නිදහස් කර ඇත. තව දුරටත් සෙමෙන් ඉවත් වන සතුන්ට ඉවත් වීමට අවස්ථාව සලසමින් යාන් ඔය ජලාශය පිරවීමේ කටයුත්තේදී වසර එකහමාරක් තිස්සේ අඟල් හයෙන් හය ජලය පිරවීමට කටයුතු යොදා තිබේ.

පඹුරු ගස් වැව දැඩි රක්ෂිතය යනු ඝන වනාන්තරයකි. මේ වනයේ අලියා, වලසා, නරියා, මොනරා, කටුස්සා ඇතුළු වියළි කලාපීය වනාන්තරවල වෙසෙන සත්තු බහුලය. සර්ප ගහනය අතිවිශාලය. කුරුලු ගහනය සැලකිය යුතු පමණට වේ. සංචාරක කුරුල්ලන් විශාල වශයෙන් දැකිය හැකි ජලාශ්‍රිත භූමියකි. මේ සංවර්ධන කාර්යය හේතුවෙන් විශාල වශයෙන් පීඩාවට පත් වන්නේ අලි-ඇතුන්ය. අලියාට වාසභූමිය අහිමි වීම හේතුවෙන් උන් ගම් වැදීම වළක්වා-ලීම සඳහා ඉදි වන නව ගම්මාන තුන වටා ඉලෙක්ට්‍රොනික අලි වැටක් ඉදිකිරීමට සැලසුම් කර ඇත. තවදුරටත් ගොවියන්ගේ කුඹුරු වගා කරනු ලබන කාලයේ පමණක් කුඹුරු වටා අලි වැට ඉදි කෙරේ. යාන් ඔය ජලාශයේ වම් ඉවුර හා දකුණු ඉවුරේ ජලාශ අලියාට බැසිමට හා ගොඩ ඒමට පහසු වන සේ 1: 3 ආනතියෙන් යුතුව ඉදි කෙරෙමින් පවතී. ඇළමාර්ග මතින් අලියා ඇතුළු වන සතුන්ට රක්ෂිතය පුරා ඇවිද යා හැකි වන සේ වන ගහනය සහිත මාර්ග ඉදි කිරීමද සිදු වෙමින් පවතී. සතුන්ගේ චර්යාරටාවන්ට හානි වීම වළක්වා-ලීම මෙහි අරමුණයි. එය අලියාට මෙන්ම සතුන්ට ඇල්ම දක්වන කාගේත් සතුටට හේතු වනු ඇත.

වම් හා දකුණු ඉවුරු ආශ්‍රිතව කුඩා වැව් පහළොවක් සංරක්ෂණය කෙරේ. මේ වැව් රැසක් වනාන්තරයේ ඉදි වන බැවින් ඒවායේ ප්‍රතිලාභ පූර්ණ වශයෙන් හිමි වන්නේ පක්ෂීන් හා සතුන් හටය. ඒ අතරින් බෙල්ලක්කඩ වැව සම්පූර්ණයෙන්ම ඉදි වන්නේ පක්ෂීන් වෙනුවෙනි. මේ වැව සංචාරක පක්ෂීන්ගේ පරාදීසයක් වේ.

සංවර්ධන කාර්යයේදී ප්ලාස්ටික්, කොන්ක්‍රීට් හා ඉදි කිරීමේදී ඇති වන කම්පනය හේතුවෙන් පරිසරයට වන හානිය පිළිබඳ නිරතුරුව මධ්‍යම පරිසර අධිකාරිය විමසිල්ලෙන් සිටී. යාන් ඔයේ ජලයට රසායනික ද්‍රව්‍ය මිශ්‍ර වීම කෙරෙහිද රජයේ අවධානය යොමු වී ඇත. නව ව්‍යාපෘතිය හේතුවෙන් භූගත ජල මට්ටම පහත යන්නේද යන්න කෙරෙහිද අවධානය යොමු වී තිබේ. එහෙත් එවැන්නක් මෙතෙක් වාර්තා වී නැත.

නව සංවර්ධන ව්‍යාපෘතියට යට වන භූමිය අගනා ඖෂධ රැසක් ව්‍යාප්ත ප්‍රදේශයකි. ඒ අතර අගිල්, වෙනිවැල්, කොතලහිඹුටු, බිංකොහොඹ, රණවරා, පොල්පලා, නවහන්දි ආදි ඔසු රැසක් ව්‍යාප්තය. එහෙත් ජලයට යට වන ඖෂධ පැළෑටි ඉවත් කරගැනීමට හෝ එවා නැවත රෝපණය කෙරෙහි දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමු වී නැත. එහෙත් ආදර්ශයක් ලෙස අක්කර දෙකක ඖෂධ වගා කිරීමට ව්‍යාපෘති පරිසර නිලධාරිනී පවිත්‍රා ප්‍රනාන්දු යෝජනා කරයි.

මේ පරිසර පද්ධතිය කෙතරම් විශේෂද යත්: ලංකාවට ආවේණික නව කඩොලාන ප්‍රභේදයක් යාන් ඔය මෝය ප්‍රදේශයෙන් හඳුනාගෙන තිබේ. ඉන්දියාවේ වැවෙන පතොක් විශේෂයක් මේ ප්‍රදේශයේදී වසර 125කට පසු හඳුනාගෙන ඇත.

කටුක දුෂ්කර ප්‍රදේශයක් වුවද රමණීය පරසර පද්ධතියක් හා එල්ලංගා වැව් පද්ධතියක් සහිත මේ පරිසර පද්ධති හේතුවන් වන ජීවින් ගහනය බහුලය. සංචාරක පක්ෂීන්ගේ නවාතැන්පළක් ලෙස පැවත එන මේ පෙදෙස සුවිශේෂ වන්නේ ආසන්නයේ ඇති ත්‍රිකුණාමල වෙරළ තීරය හේතුවෙනි. වෙනස් අත්දැකීමක් විඳගනිමින් පරිසරයේ සොඳුරු බව අත්විඳීමටත්, දිගු ඉතිහාසයක් ඇති මේ බිමේ ඓතිහාසික වටිනාකම විමසීමටත් නුදුරු දිනක සංචාරකයන්ට දොරටු විවර වනු ඇත.

සංවර්ධනය මිනිසා වෙනුවෙනි. පරිසරය අප අනාගත පරපුර හා සතා-සීපාවා වෙනුවෙන් ය. එබැවින් පරිසරය වෙනුවෙන් අප යමක් කළ යුතුය. කිසිවක්ම කළ නොහැකි නම් නොවනසා සිටිය යුතුය; සුරක්ෂිත කළ යුතුය‍.

ටෙක්ලා පද්මිණි කාරියවසම්
සේයාරූ
දුෂ්මන්ත මායාදුන්නේ,
එරංග වැලිවිට 

Comments