අම්මා දුවගේ හොඳම මිතුරියයි | සිළුමිණ

අම්මා දුවගේ හොඳම මිතුරියයි

ගැහැනු ළමයෙකු අතින් යම් වැරදීමක් සිදුවුණොත් සියල්ලම සිදුවී හමාරයි. මුළු ජීවිතයම විනාශයයි කියා කෑකෝ ගසා ඇයට අවමන් කිරීම කිසිදාක කතා නොකළ යුත්තක්. වැඩිහිටි අපි මුලින්ම ඒ දැරිවිය කැඳවා බොහෝම හොඳින් ආදරයෙන් ඒ පිළිබඳව විමසා හරි වැරැද්ද පහදාදී ඇය නිවැරදි මගට ගන්නට පියවර ගත යුතුයි.

ගැහැනු ළමුන්ට “අම්මා” “හොඳම යහළුවා” වෙනවා නම් අද සමාජයේ ගැහැනු ළමුන්ට මුහුණදීමට සිදුවන බොහෝ ගැටලුවලට විසඳුම් සොයාගැනීම පහසුවන බව නුගේගොඩ අනුලා පෙරපාසලේ විදුහල්පතිනි ප්‍රියානි ගුණවර්ධන මහත්මිය කීවාය.

“අම්මා” තමාගේ හොඳම යහළුවා වූවානම්, තමාගේ ප්‍රශ්නවලට විසඳුම් සොයාගන්න පහසුවන බව බොහෝ ගැහැනු ළමුන්ගේ අදහස බව ඔවුන්ගේ ප්‍රශ්න ගැන සිදු කළ මනෝවිද්‍යාත්මක පර්යේෂණවලින් අනාවරණය වන මූලික කරුණක් බව ද විදුහල්පතිනිය කීවාය.

අපේ ළමුන්ට පුංචි කාලයේ සිටම ආදරය, කරුණාව අවශ්‍ය කරනවා. දෙමාපියන් මේ බව හොඳින් තේරුම්ගත යුතුය. ගැහැනු ළමයෙකු අතින් යම් අත්වැරදීමක්, වැරදීමක් සිදුවුණොත් සියල්ලම සිදුවී හමාරයි. මුළු ජීවිතයම විනාශයයි කෑකෝ ගසා ඇයට අවමන් කිරීම කිසිදාක කතා නොකළ යුත්තක්. වැඩිහිටි අපි මුලින්ම ඒ දැරිවිය කැඳවා බොහෝම හොඳින් ආදරයෙන් ඒ පිළිබඳව විමසා හරි වැරැද්ද පහදාදී ඇය නිවැරදි මගට ගන්නට පියවර ගත යුතුයි විදුහල්පතිනිය කීවාය.

එසේ නොමැතිව ඇයට අවමන් කිරීමෙන් අවලාද නැගීමෙන්, ඇයගේ සිත් රිදී ජීවිතය පවා හානි කරගන්නට පුළුවන්කම තිබෙනවා. නොමේරූ දරු මනසට වේදනාව, දුක දරාගන්න ටිකක් අමාරුයි. ඒ නිසා දරුවන්ට දුක, වේදනාව දරාගන්නත් අපි පුංචි කාලයේ සිටම කියාදිය යුතුයි. දරුවන්ට ගහට, කොළට, සතාට, සිව්පාවාට ආදරය කරන්න, පරිත්‍යාග කරන්න කියාදෙන්න ඕනෑ. පුංචි කාලේ ඉඳලාම දුක, වේදනාව දරාගන්න කියා දෙන්න ඕනෑ. එවිට ඔවුන් මුහුණදෙන බොහෝ ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමට හැකි වෙනවා.

ඔක‍්තෝබර් 11 වැනිදා, ජාත්‍යන්තර ගැහැනු ළමයින්ගේ දිනය, පළමුවැනිදා ලෝක ළමා හා වැඩිහිටි දිනය. මේ දිනයන් පිළිබඳව සිය අදහස් දක්වමින් විදුහල්පතිනිය මෙසේ ද කීවාය.

ලෝක ළමා දිනය සැමරුම් දාට තමයි ළමයින්ගේ නිදහස ඉතාම අඩු වෙන්නේ, සීමා වෙන්නේ කියලාත් මට සිතනවා. ලෝක ළමා දිනය දාට ළමයින්ට නැටුම්, ගැයුම්, විවිධ ප්‍රසංග පවත්වන්න පියවර ගැනීම නම් මම පෞද්ගලිකව අනුමත කරන්නේ නැහැ.” ප්‍රියානි ගුණවර්ධන මහත්මියගේ අදහස විය.

ලෝක ළමා දිනය දා අපේ දරු පැටවුන්ට නිදහ‍ෙස් කුරුලලන් වාගේ, පරිසරයත් එක්ක දුවපැන සෙල්ලම් කරන්න ඉඩක් ලබාදෙන්න ඕනෑ. එදාට ඔවුන්ට තමන් කැමැති ආකාරයට බොහෝම සැහැල්ලුවෙන් ඉන්න ඉඩ ලබා දෙන්න ඕනෑ. කැමැති ගීයක්, නාට්‍යයක් ඉදිරිපත් කරන්න, චිත්‍රයක්, රචනාවක් ලියන්න ඉඩ ලබා දෙන්න ඕනෑ.

දරුවන්ට තෑගි බෝග ලබා දෙන්න අලුත් ඇඳුමක් ලබාදෙන්න කටයුතු කළොත් හොඳයි. ළමයින්ට ස්වභාවික පරිසරයේ සුවය - විඳින්න ඉඩ දෙන ගමන්, පොතපත කියවන්න, දැනුම අලුත් කරගන්න යම් ක්‍රියාකාරකම් සිදු කරන්නත් පොළඹවන්න ඕනෑ.”

මේ සෑම දේම ළමා මනසට වදයක්, බරක්, කරදරයක් ඇති නොවන ආකාරයට තමයි සිදු කරන්න ඕනෑ. ඔවුන් කැමැති, ළමා සිතුම් පැතුම් හඳුනාගෙන වැඩිහිටි අපි බොහෝම පරිස්සමින් මේ දේවල් සිදු කරන්න වගබලා ගන්න ඕනෑ .

ළමා වියේ පසුවන පුංචි දරුවන්ට පොතපත කියා දීම, පාඩම් වැඩවලට හුරුකිරීම බොහෝම කල්පනාකාරීව කළ යුතුයි. ළමාවියේදීම පොතපතට හුරුවීම වදයක් ලෙස නොහැ‍ඟෙන ලෙස මේ දේ ඔවුන්ට කාවැද්දවිය යුතුයි.

අද සමාජයේ බො‍හෝ දෙනෙක් සිතනවා පෙර පාසල් අධ්‍යාපනය ලබාදීම ඉතා පහසු, සරල ක්‍රියාදාමයක් කියා. නැහැ! එය එසේ නොවෙයි. ඉතාම බරපතල, බැරෑරුම් රාජකාරියක්. ඒ බව දෙමාපියන්, වැඩිහිටියන් විශේෂයෙන් සිතට ගන්න ඕනෑ. පුංචි ළමයි වෙනුවෙන් සිදුකරන සෑම ක්‍රියාවක්, වැඩසටහනක් ගැනම හොඳ වැටහීමක් වැඩිහිටි අපට තිබෙන්නට ඕනෑ. එසේ නැතිව ආවාට - ගියාට, සරලව සිතලා පුංචි ළමයින්ට වැඩසටහන්, පාඩම් උගන්වන්න හොඳ නැහැ. ඔවුන්ට බොහෝම ආදරයෙන්, සෙනෙහසින් ළංවෙලා, ඔවුන්ගේ සිතැඟිවලට, කැමැත්තට මුල්තැන ලබා දෙමින් අපි කටයුතු කළ යුතුමයි. විදුහල්පතිනිය අවධාරණය කළාය.

නුගේගොඩ අනුලා පෙර පාසල ආරම්භ කළේ ඊ. ඩබ්ලිව්. අධිකාරම් ශ්‍රීමතාණන් විසින්. එතුමා උගත්, බොහෝම ශික්ෂාකාමී පඬිරුවනක්, එතුමාට බොහෝ දුර පෙනුනා. දැක්ම සුවිශාලයි. අපේ රට හදන්න නම් හොඳම තැන ළමයා හැදීම බව එතුමා කල්පනා කළා. හොඳ ගුණගරුක, යහපත් කීකරු, දක්ෂ දරුවෙක් හදන්න ඕනෑ කියන තැන සිට එතුමා වැඩකළා යැයි ද ගුණවර්ධන මහත්මිය සිහිපත් කළාය.

ඡායාරූප - ෂාන් රූපස්සර

Comments