ආබාධිත රණවිරුවන්ට මංගල සීනු | සිළුමිණ

ආබාධිත රණවිරුවන්ට මංගල සීනු

“අපි කවදාවත් හිතුවේ නැහැ මේ වගේ ලස්සන මංගල උත්සවයක් ගන්න පුළුවන් වේවි කියලා. අපිට හැමෝම උදව් කළා. ඒ හැමෝටම බොහෝම පිං. මේක අපිට හීනයක් වගෙයි. අපි තනිවෙලා නැහැ කියා දැන් අපිට හිතෙනවා”

දිනය ඉකුත් අඟහරුවාදා. ස්ථානය කුරුණෑගල බෝයගනේ 'ද සැලියුට්' උත්සව ශාලාව. එය හරි අපූරු දවසකි. ශාලාවම උත්සව සිරියෙන් පිරී ඉතිරී තිබිණි. කාගේ කාගේත් මුහුණුවල ඇත්තේ සතුටකි. යුද හමුදා උත්සව ඇඳුමින් සැරැසී සිටින පිරිසක් නෙත ගැටෙද්දී එතැන කුමක් හෝ යුද හමුදාවට සම්බන්ධ කිසියම් කටයුත්තක් සිදුවෙතැයි අපට හැඟේ. කෙටියෙන් කියන්නේනම් එතැන පැවැත්වුණේ යුද හමුදා මංගල උලෙළකි. එතැන මනාලියන් තිදෙනෙකි. ඔවුන් අත ගන්නේ යුද්දයෙන් ආබාධිත වූ හමුදා නිලධාරීන් තිදෙනෙකි. අතීත කඳුළු මතින් ගොඩනැගුණු ජීවිතවල සතුටේ තරම කොතෙක්දැයි දැන ගැනිමට මම ඔවුන් හා කතා කළෙමි.

එතැන සිටි එක් මනාලයකු අට වැනි විජයබා පාබල රෙජිමේන්තුවේ සැරයන් බී.ජේ. එස්. කේ නන්දසිරි ය . ඔහුගේ අතගත් ඇය කුරුණෑගල දොඩම්ගස්ලන්දේ නිශාන්ති මධුශානිය.

“පොඩ්ඩක් කතා කරන්න පුළුවන් ද?” මම ඔහු ඇමතීමි.

තරුණයා පුළුවන් යැයි කියූවද මොහොතක් නිහඩව සිටියේය. ඔහු මා හා කතා කරන්න යැයි සිය බිරියට කීවේය.

“ඇයි?”

“එයාට කතා කරන්න අපහසුයි. මට නම් එයා කියන ඒවා තේරෙනවා. ඒත් එයා බයයි අනිත් අයට තේරෙන්නේ නැතිවෙයි කියලා. ඒකයි.”

“කමක් නැහැ. ...මට ඕන එයත් එක්ක කතා කරන්න..”

තත්පර ගණනාවකට පසු තරුණයා කතා කරන්නට වුයේය. 2006 වසරේදී නාගර්කෝවිල් හි දී මෝටාර් ප්‍රහාරයකට ලක් වූ නන්දසිරි ආබාධිත වුයේය. එනිසා ඔහුට කතා කිරිමට අපහසුය. ඇවිදීමටද අපහසුය. ඔහු කියන වචනවලට උවමනාවකින් කන් දෙන්නේ නම් ඔහු තේරුම් ගැනීම අපහසු නැත. තම ජීවිතයේ සොඳුරු ළමා විය, පාසල් විය මෙන්ම යුද පිටියේදී ලද අත්දැකීම් හා ඒ නිසා ලද ජීවිතයේ වේදනාත්මක සිදුවිම් පිළිබඳ ඔහු කියන්නට වුයේය. ඒ කතා බිහිසුණුය. වේදනාත්මකය. ශෝචනීයය. නමුදු කොතරම් දුක් පීඩාවලට මුහුණ දුන්නද ඔහු අද නැගි සිටින්නේය. ඒ තම හිතේ ශක්තියෙනි. වීරියෙනි.

එතැන සිටි තවත් මනාලයකු 6 වැනි විජයබා පාබල රෙජිමේන්තුවේ කෝප්‍රල් ජී.ඩී. ටී. බී .එස් චාමිකරය. පුදුමාතලන් සටන් බිමේදි අනතුරට පත් වීමෙන් ආබාධිත තත්වයට පත් වූ චාමිකර දැන් සිටින්නේ රෝද පුටුවේය. ඔහු කඹුරුපිටිය අභිමංසලේ සිටි රණවිරුවෙකි. ඔහුගේ අත ගත්තේ දිස්නා ප්‍රබෝධනීය.

2007 වසරේදි පුදුකුදුකුඩුඉරිප්පු සටන් බිමේදී මෝටාර් ප්‍රහාරයකට ලක්වීමෙන් හිසට බරපතළ හානි සිදු වූ කෝප්‍රල් එම්. පී. ප්‍රේමසිරි ද එදින විවාහප්‍රාප්ත වූ තවත් රණවිරුවෙකි. 4 වැනි පාබල රෙජිමේන්තුවේ සේවය කරන ඔහු සිටින්නේ අත්වාරුවක ආධාරයෙනි. ඔහුගේ අත ගත්තේ චන්දිමා හේමලතාය .

යුද පිටියේදී ආබාධිත වු මේ විරුවන් සමාජයට බරක් නොකර එදා මෙදාතුර යුද හමුදාව විසින් බොහෝ කැපවීමෙන් මොවුන් පිළිබඳ සොයා බලන්නේය. ඔවුන්ගේ සියලු අවශ්‍යතා ඉටු කරන්නේය. මේ රණවිරුවන්ගේ මංගල උත්සවයේ සියලු සංවිධාන කටයුතු සිදු කැරුනේ යුද හමුදාවේ මැදිහත් වීමෙනි.

මේ උත්සව කටයුතු පිළිබඳ අදහස් දක්වන විජයබා පාබල රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනා විධායක බ්‍රිගේඩියර් ශ්‍රීනාත් ආරියසිංහ මහතා මෙසේ පවසන්නේය.

“මේ සියලු කටයුතු සඳහා සියනෑවේ අපි සංවිධානය එක්වුණා. ඔවුන් බොහෝ කාලයක සිට මේ සද්කාර්යයේ නිරතවනවා. ඒ වගේම මේ කටයුත්තේ දී සියනෑවේ අපි සහෘදයන්ට අමතරව කුරුණෑගල දානපතියන් කිහිප දෙනෙකු වගේම උත්සවයට ආහාර සැපයීම ද ආහාර සපයන ආයතන කීපයකින්ම රණවිරුවන්ට කරන සැලකීමක් වශයෙන් නොමිලයේ කළා. මල් සැරසිලිවලටත් ඒ‍ ලෙසම දායක්ත්වය ලැබුණා. කුරුණෑගල වෙළෙඳ සංගමයත් අප සමඟ එක්වුණා.”

මංගල්‍යයේ සියලු කටයුතු සංවිධානය කරන ලද්දේ ලුතිනන් කර්නල් රොෂාන් තිරිමාන්න විසිනි. රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරන මහතා මේ සියලු කටයුතු අධීක්ෂණය කළේය.

යුද්ධය නිසා ජීවිතයේ සියලු ප්‍රාර්ථනා බිඳ වැටුණ ද යළිත් ජීවිත ලද මේ තරුණ හමුදා නිලධාරීන් ට දැන් හෙට ගැන අලුත් බලාපොරොත්තුවක් ඇත්තේය. ඔවුන් ජීවිතය අලුතින් පටන් ගත් දා ඔවුන්ට සුබපැතීමට වත්මන් යුද හමුදාපති ලුතිනන් ජෙනරල් මහේෂ් සේනානායක මහතා විශේෂ ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වුයේය. ඔහුගේ සහභාගිත්වය පිළීබඳ නව යුවතිපතීන් තුළ ඇත්තේ අපමණ ‍සතුටකි. .

“අපි කවදාවත් හිතුවේ නැහැ අප‍ට මේ වගේ ලස්සන මංගල උත්සවයක් ගන්න පුළුවන් වේවි කියලා. අපිට හැමෝම උදව් කළා. ඒ හැමෝටම බොහෝම පිං. ඒ වගේම තමයි යුද හමුදාපතිතුමා තමයි අපේ විවාහයන්හි සාක්ෂිකරුලෙස අත්සන් ක‍ළේ. එතුමා උත්සවයේ ආරම්භයේ සිට අවසන් මොහොත දක්වාම සිටියා. ඒක අපිට හීනයක් වගෙයි. අපි තනිවෙලා නැහැ කියා අපිට එදා හිතුණා.” කෝප්‍රල් චාමිකර පවසන්නේ දැසේ මතුවූ කඳුළක් පිසිමිනි.

ඔවුන් ජීවිය අලුතෙන් පටන් ගෙන ඇත. ඔවුන්ට උදව් උපකාර කිරීමට සහාය වූවෝ බොහෝය. ඒ අතරින් සියනෑවේ අපි සංවිධානය පිළීබඳ වචනයක් නොලියා බැරිය. සියනෑවේ අපි සංවිධානයේ විශේෂත්වය නම් ඔවුන් සමඟ රන්කරුවන්, මල්කරුවන්, රූපලාවණ්‍ය ශිල්පීන්, මංගල ඡායාරූපශිල්පීන් මෙන්ම මංගල උත්සවයකට අවශ්‍ය සියල්ල සපයන්නන් අත් වැල් බැඳ සිටීමය.

රට වෙනුවෙන් සටන් බිමේදී දිවි පරදුවට තබා සටන් කළ මේ විරුවෝ අද සමාජයට පාඩමක් කියා දෙති. ඒ දිරියෙන් ජීවිතයට මුහුණ දෙන අන්දමය. කොතෙක් දේ අහිමි වුවද ඔවුහු ජීවත්වෙති. ඉතාම සුළු දෙයින් කම්පා වී සිය දිවි නසා ගන්නා තරුණයන්ට මේ රණවිරුවෝ හොඳ ආදර්ශයක් සපයති. මොවුන් සැබවින්ම විරුවෝය.

ඡායාරූප -යුද හමුදා මාධ්‍ය ඒකකය

Comments