‍නෙළුම් විල | සිළුමිණ

‍නෙළුම් විල

බසක අරුම

අප සිව් දින යාපන සංචාරයක නිරත වීමු. අපේ නඩයේ විසි දෙනෙක් වූහ. හැමෝ ම පවුලේ කට්ටිය විය.

නාග විහාරය වැඳ පුදා ගැනීම අපේ එක අරමුණක් විය.

නාග විහාරයට යනු පිණිස බෝට්ටු පොළට ගිය අපි ආරක්ෂක කබා හැඳ එහි ගොඩවීමු. ටික වේලාවකින් එය ගමන ඇරඹී ය.

අවසානයේ අපි නාග විහාරය දැක ගතිමු. පහන් සිතින් එය වැඳ පුදා ගතිමු.

ආපසු යා යුතු විය. එහෙයින් අපි පෙර බෝට්ටුවෙන් ගොඩබට තැනට ගියෙමු. එහෙත් එහි බෝට්ටුවක් නොවී ය. අපි දහවල් එකොළහේ සිට සවස දෙක පමණ වන තුරු බලා සිටියෙමු. එහෙත් බෝට්ටුවක් ආවේ නැත. අව්වේ හිටගෙන සිටීම ද පීඩාකාරී විය. අප සිටි තැන භික්ෂූන් වහන්සේ කිහිප නමක් ද වූහ. උන්වහන්සේ ද සිටියේ බෝට්ටුවක් බලාපොරොත්තුවෙනි.

සමහරු අප ළඟින් ගියහ. අපේ සිංහල ඔවුනට තේරුණේ නැත. ඔවුන්ගේ දෙමළ ද අපට තේරුණේ නැත.

මෙසේ තුන් වැනි හෝරාව ද ගෙවෙමින් තිබිය දී නාවික හමුදාවේ පිරිසක් බෝට්ටුවකින් එහි ආහ. ඔවුන් ගොඩ බැස වෙහෙරට යෑමට සූදානම් වෙද්දී අපි අපේ තත්ත්වය ඔවුනට පැහැදිලි කළෙමු.

‘ආපහු යන්ඩ නං කෝවිල ළඟට යන්ඩ ඕනැ. එතනයි බෝට්ටු තියෙන්නෙ.’ ඔවුහු කී හ. අපට තේරෙන පිළිතුර ලැබුණේ එවිට ය.

ඉන් පසු අපි කෝවිල ළඟට ගොස් බෝට්ටුවක නැගී ආපසු ආවෙමු.

අප පැය කිහිපයක් හිටගෙන අව්වේ පිච්චුණේ අප කී දේ එහි සිටි අයටත්, ඔවුන් කී දේ අපටත් නොතේරුණ බැවිනි. එක්කෝ අපේ නඩයේ කිසිවකු දෙමළ දැන සිටියා නම් නැත්නම් ඔවුන්ගෙන් කිසිවෙකු සිංහල දැන සිටියා නම් අපට ඒ දුක විඳින්නට සිදුවන්නේ නැත.

භාෂාවක වටිනාකම දැනෙන්නේ අමාරුවක වැටුණු විට ය.

ගැටහැත්තේ සුසාන්ති ද සිල්වා
මහත්මිය විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.


අත්තක හැඩ

එක ළඟ පිහිටි මැද පන්තියේ නිවෙස් දෙක වෙන් වී ඇත්තේ තරමක් උස තාප්පයකිනි.

පළමු නිවෙසෙහි හිමිකරු ව්‍යාපාරිකයෙකි. දෙවැන්නෙහි හිමිකරු රජයේ සේවය කොට විශ්‍රාම ලැබූ තැනැත්තෙකි.

පළමුවැන්නා ගේ වත්තේ ලොකුවට වැවුණු ගසක අත්තක් තාප්පයට උඩින් දෙවැන්නා ගේ මිදුලෙහි අඩක් වසාගෙන සිටියි. දෙවැන්නා එය මනා ලෙස කප්පාදු කර‍ගෙන ඇතුවා පමණක් නොව ඒ සෙවණ යට බංකුවක් ද තනවා එහි හිඳ නිස්කාංසු සුවය විඳියි.

අත්තේ මේරූ කොළ එක් පැහැයකි. දලු කොළ තවත් පැහැයකි. එය ද අපූරු වර්ණ සංකලනයකි.

මේ දසුන මහපාරේ යන එන්නන් ගේ ද දැක් ම පුළුල් කරයි.

මිනිස් ස්වභාවය වූකලි බෙදා වන්කොට බුක්ති විඳීමයි. ඉඩම් කොටුකර ගන්නේ එබැවිනි. අපේ හිතට ආරක්ෂාකාරී සහනයක් ලැබෙන්නේ එමඟිනි. එහෙත් එය ස්වභාව ධර්මයේ මහා ප්‍රඥාවට නොගැළපෙයි. ඊට ඔබේත්, මගේත්, කාගේත් සියලු ඉඩකඩම් එක ම ඒකකයක් පමණි.

ඒ වත්තේ ගසක අතු අහස දිගේ මේ වත්තට නැමෙන්නේත්, මේ වත්තේ ගසක අතු ඒ වත්තට නැමෙන්නේත්, දෙපැත්තේ ම ගස්වල මුල් පොළොව යටින් දෙපැත්තට ම ඇදෙන්නේත් එබැවිනි.

ඒ වත්තේ ගසේ අත්ත මේ වත්තේ ඇත්තන්ට සෙවණ මෙන් ම සුන්දරත්වය ද සලසා දෙන්නේ ඒ සත්‍යතාව නිහඬව පසක් කර දෙන්නට මෙනි.

ඉතින් මේ විශ්‍රාමික තෙමේ ඒ සත්‍යතාව පසක් කොට ඇත්තෙකි. සැබවින් ම ලෝක ස්වභාවය පසක් කොට ගත හැක්කේ විවේකී සන්සුන් මනසකට පමණි.

බටපොළ, උඩුවිල,
පේදුරුහේවා අනුර හර්මන් මහතා විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.

Comments