දියවර දුන් නිලදරුවන්ට ගොවීන්ගෙන් කැවුම් කිරිබත් | සිළුමිණ

දියවර දුන් නිලදරුවන්ට ගොවීන්ගෙන් කැවුම් කිරිබත්

ගම්මානය පුරා කැවුම් කොකිස් ඉදෙන සුවඳ වෙනදා පැතිර යන්නේ රට අලුත් අවුරුදු සිරියෙන් ප්‍රබෝධමත් වෙද්දීය. එහෙත් ගලේවෙල පුවක්පිටිය ගම්මානය මෙදා වසර ගෙවී යන්නටත් කලියෙන් කැවුම් කිරිබත් සුවඳින් පිරී ඉතිරී ගියේ ගම්මුන්ගේ සිතට නැවුම් බලාපොරොත්තු ද එක් කරමිනි. පසුගිය දිනක ගම්මානයේ නිවෙස් රැසක එසේ කැවුම් කොකිස් පිසුණේ එළඹෙන හෙට දිනයේ කඳ මලු බැඳගෙන අලුත් නෑගමනක් යන්නටය. එක් ගෙදරක කැවුම් පිසෙද්දි තවත් නිවෙසක මුංගුලි අලුවා සැකසෙන්නට විය. අලුයම පහන් වෙද්දි ගමේ ඇත්තෝ එක තැනකට එක් වූයේ ගමේ සැමටම සෑහෙන කිරිබතක් පිසීමටය. අනතුරුව ඔවුහූ උණු උණුවේම කඳමලු බැඳගෙන පිටත් වූයේ දඹුල්ල නගරය කරා යෑමටය. සැබැවින්ම එය දකින්නට ලස්සන දර්ශනයකි. ගමේ ගොවි ගෙවිලියෝ කද මලු බැඳගෙන තමන් පිසූ කැවිලි සුදු පිරුවටයෙන් ඔතා ගෙන හිස්මත තබා බොහෝ ගෞරවයෙන් යුතුව රැගෙන ආවේ දඹුල්ල වාරිමාර්ග කාර්යාලයටය. ඒ යුතුකමක් ඉටු කරමින් කළගුණ සැලකීමටය.

රටේ පළාත් කීපයකට වැසි වැටෙද්දී වැසි නොවැටෙන්නාවූ පළාත්වල ගොවීන් අහස දෙස දෙනෙත් අයා බලා සිටියේ වැසි පොඳකින් සිය ගම් නියම්ගම් සේදී යනතෙක් ය. ගලේවෙල පුවක්පිටිය ගොවි ජනතාවත් මෙදා බලා සිටියේ වැහි බිඳක පහසින් ‍සිය කෙත්වතු තෙමීයනතුරුය. වැව් දියෙන් පෝෂණය වෙන මෙම ගම්මානවල වැව් පවා මේ දරුණු නියඟයෙන් වියළී ඉරි තැලී යද්දී මඩ රොන් හැරුණු විට ගහක් කොළක් නොමැතිව වියළී ගිය කුඹුරු හා හේන් දකිමින් ගොවීන් හීල්ලුවේ කරකියාගත දෙයක් නොමැතිව අන්ත අසරණ වෙමිනි.

හෙටක් දකින්නට ආසා කළද නියඟය නිසා ගොවි සිතුම් පැතුම් බොඳව යද්දී ඔවුන්ගේ සිතට සැනසුමක් දෙන්නට මිනිසත්කම අගයන පිරිසකට හැකිවිය. මෙදා ගලේවෙල, පුවක්පිටිය ගම්මානයේ කැවුම් කිරිබත් පිසූයේ ඒ මිනිසත්කමට ගරු කරන්නටය‍.

මේ ගොවි ජනතාවගේ දුක්ගැනවිල්ල දඹුල්ල වාරිමාර්ග කාර්යාලයේ මිනිසත්කම අගයන නිලධාරින්ගේ නෙතට කඳුළක් එක්කෙරීය. මහ වැව් ගොඩ නැගූ අපේ ඉතිහාසයෙන් පාඩම් උගත් මේ නිලධාරීන්ට මේ වැව් ජලයෙන් පිරවීම අමුතු කාර්යයක් වූයේ නැත.

වෑමැඩිල්ල ජලාශය යටතේ පෝෂණය වෙන ගලේවෙල පුවක්පිටිය ප්‍රදේශයේ කුඩා වැව් හතරක් යටතේ වගා කරන ගොවීන් මෙසේ කැවිලි පෙවිලි කද බැඳගෙන පැමිණියේ වාරිමාර්ග ඉංජිනේරුවරයා සහ එහි කාර්ය මණ්ඩලයට තම ස්තුතිය පුද කිරීමටත් කළගුණ සැලකීමටත්ය.

ජනතාව වැඩි වශයෙන් ගැවසෙන එමෙන්ම ජනතාවට සේවා සපයන ආයතන හා රාජ්‍ය නිලධාරීන් නිරන්තරයෙන් ජනතාවගේ අප්‍රසාදයට පත් වන පුවත් අපි කොතෙකුත් අසා ඇත්තෙමු. එසේම තම රාජකාරිය නිසි ලෙස ඉටු කළ රාජ්‍ය සේවකයන් අගයමින් කළගුණ සැලකූ පුවත් ඇසෙන්නේ ඉඳහිටය.

බොහෝ ගොවීන් නිලධාරීන්ට විරුද්ධව විවිධ විරෝධතා උපවාස සිදුකරද්දී මේ ආකාරයෙන් පෝලිම් ගැසී කැවුම් කිරිබත් උයාගෙන කාර්යාලවලට පැමිණෙන ගොවින් ගැන වාර්තා වන්නේ ඉතාමත් අඩුවෙන් බව මේ සිද්ධිය දුටු බොහෝ දෙනා පවසති.

දඹුල්ල වාරිමාර්ග කාර්යාලය නිසි ජල කළමනාකරණයක් සහිතව තමන්ට ජලය ලබාදීම නිසා පළාත් රැසක් නියගයෙන් ‍වියළී යද්දී තම වැව් 4 යටතේ වූ වගා ඉතාමත් සාර්ථක වූ බව එම ගොවීහූ පවසති.

ගොවීන් එදා සිය කර මත තබාගෙන රැගෙන ආවේ එසේ වගාකර ලබා ගත් බෝගයන්හි මංගල අස්වනුවලින් සකස් කළ කැවුම් කිරිබත්ය.

පුවක්පිටිය ගැමියන් එදා මේ ගමන පැමිණියේ ගමේ විහාරස්ථානය වන

පුවක්පිටිය බෝධිරාජාරාම විහාරාධිපති දේවහුවේ විජිත නන්ද හිමියන්ද පෙරටුකොට ගෙනය.

කළ ගුණ දත් ගොවීන් හැටියට විහාරාධිපති හිමියන් ද පෙරටු කරගෙන පැමිණ පුවක්පිටිය ගමේ ගොවීන් සිදුකළ මෙම කාර්යය අගය කළ යුතුයි.වර්තමානයේ ගොවීන්ට වී ඇති වී ඇති බරපතළ ජල අර්බුදයෙන් ගම්මානයේ ගොවීන් බේරාගෙන ඔවුන්ගේ බව භෝග සාර්ථක කරගැනීමට දඹුල්ල වාරිමාර්ග ඉංජිනේරුවරයා ඇතුළු කාර්ය මණ්ඩලය සිදුකළ අනගිභවනීය සේවය ඇගයීමට තමන් වහන්සේ ද එහි වැඩම කළ බව උන්වහන්සේ පැවසූහ.

“සේවයේ යෙදී සිටියදී ගොවීන්ගෙන් ගරු බුහුමන් ලැබූ අවස්ථා අපමණ ඇතත් මෙවැනි සිද්ධියක් දුටු පළමු අවස්ථාව මෙයයි. සේවය අකුරටම ඉටු කිරීම එමෙන්ම ගොවිතැන් බත් සඳහා ජලය කළමනාකරණය කිරීම තම වගකීම නිසා නොපිරිහෙළා ජනතාව වෙනුවෙන් සේවය ඉටු කළා. අනෙක් රජයේ නිලධාරීන්ද එසේ සිදු කරනවා නම් ජනතාවගේ මෙවැනි මල්දම් ඕනෑම නිලධාරියෙකුට ලබාගැනීමට හැකියාව තිබෙනවා” යනුවෙන් වාරිමාර්ග කාර්යාලයේ දඹුල්ල වාරිමාර්ග ඉංජිනේරු රුවන් වීරසූරිය මහතා පැවසීය.

බරපතළ ජල අර්බුදයක් පවතින කාල වකවානුවකදී ඉතාමත් පරිස්සමෙන් දිවා රාත්‍රී දෙකෙහිම තම සේවකයන් සමඟ එක්ව ජලය පරිස්සම් කර ගොවිතැන්වලට මුදාහැරීම සිදු කළ බවත් ඒ නිසා අද මේ ගොවීන්ගේ අතමිට සරුවීම තමන් සේවයේ ලබන උපරිම සතුටක් බවද ඉංජිනේරු වීරසූරිය මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

සීගිරිය විශේෂ 
කාංචන කුමාර ආරියදාස

Comments