රටේ දැවෙන ප්‍රශ්න ගැන සිළුමිණෙන් ප්‍රශ්න 5ක් | සිළුමිණ

රටේ දැවෙන ප්‍රශ්න ගැන සිළුමිණෙන් ප්‍රශ්න 5ක්

1. සර්ව පාක්ෂික සමුළුවෙන් ආණ්ඩුව අපේක්ෂිත අරමුණු සාධනය වූයේද?
2. සජබ හා ජවිපෙ එම සමුළුව වර්ජනය කිරීමේ අරමුණ ලෙස ඔබ දකින්නේ කුමක් ද?
3. රජය IMF නොගොස් ඉන්දියාවෙන් සහ චීනයෙන් කොන්දේසි විරහිත කෙටිකාලීන ණය සඳහා යොමුවීම පිළිබඳව ඔබ දරන මතය කුමක්ද ?
4. ජාතික ආර්ථික සභාවෙන් ඉටුවිය යුතු කාර්යභාරය කුමක් විය යුතු ද ?
5. පවතින සමස්ත අර්බුදයන්ගෙන් ගොඩ ඒමට කෙටිකාලීනව ගත යුතු පියවර මොනවාද?

ජාතික අර්බුදයකදී විශ්ලේෂණාත්මකව තීන්දු තීරණ ගත හැකි යාන්ත්‍රණයක් අවශ්‍යයි
- ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල

1 මේ වැනි සර්ව පාක්ෂික සමුළුවක් සඳහා ඕනෑම රජයක්, ජනතා නියෝජිතයන්ට හෝ දේශපාලන පක්ෂවලට ආරාධනා කරන්නේ ජාතික ව්‍යසනයකදී සියලු දෙනාගේම අදහස්වලට සවන්දීලා තීන්දු තීරණ ගැනීමට.අපි කවුරුත් දන්නවා; මේ වේලාවේ රට විශාල අර්බුදයක පවතින බව.ඩොලර් අර්බුදයත් සමඟ රටේ ආර්ථිකය කඩාවැටී තිබෙනවා. රජය කෙරෙහි ජනතා විරෝධයක් මතුවෙලා තියෙනවා. ඒ නිසා වත්මන් රජය සර්ව පාක්ෂික සමුළුවක් සඳහා සියලුම පක්ෂවලට ආරාධනා කරන්නට ඇත්තේ. ජාතික ව්‍යසනයකදී මෙබඳු සමුළුවලට ආරාධනා කිරීම ඉතා හොඳයි. 

නමුත් කුමන හෝ දේශපාලන පක්ෂයක් මෙම සර්ව පාක්ෂික සමුළුව සඳහා තමන්ගේ සහභාගීත්වය ලබාදීලා ප්‍රශ්නය මඟහැර යනවා නම් හෝ තීන්දු තීරණ ගැනීමට එකඟ නොවෙනවා; නම් එය ඔවුන්ගේ පක්ෂයේ දේශපාලන තීන්දුවක් මිසක්, රටේ තීන්දුවක් නොවෙයි. අපි තමයි හරි, අපි තමයි ඔක්කොම දන්නේ කියලා කුමන හෝ දේශපාලන පක්ෂයක් සර්ව පාක්ෂික සමුළුවට සහභාගි නොවුණා නම් ඒකත් වැරදියි.

මේ රට වැටුණු තැනින් යළි ගොඩගන්න අවංක උත්සාහයක් තියෙනවා නම් ගැඹුරු අරුතක් සහ දැක්මක් ඇති පිරිසක් සමඟ ඒ ගමන යා යුතුයි. ජනපතිට වගකියන ඍජුව වැඩකරන පිරිසක් ඔහු සමඟ සිටිය යුතුයි. අනෙකුත් පක්ෂවල සහයෝගය දිනාගන්නා අතරම; තමන්ගේ කණ්ඩායම නිවැරදිව දිශානතියට ගැනීම ඉතා වැදගත්. එසේ නැතිනම් ඔය කියන කිසිම අරමුණක් ඉටුවෙන්නේ නැහැ.

2 එය විපක්ෂය ගත් දේශපාලන තීන්දුවක්. සහභාගීවීමට හෝ නොවීමට ඔවුන්ට අයිතියක් තිබෙනවා. මේ කියන සර්ව පාර්ෂික සමුළුව සඳහා සෑම දේශපාලන පක්ෂයකටම ආරාධනා කළේ අවංක චේතනාවෙන් වෙන්න පුළුවන්. නමුත් කෙනෙකුට "එය එසේ නොවේ. " කියලත් කියන්න පුළුවන්. මෙතනදී මම හිතනවා සජිත් ප්‍රේමදාස මහතා සහභාගි නොවුණත් එතුමාට විපක්ෂයේ නියෝජිතයන් පිරිසක් සහභාගි කරවන්න තිබුණාය කියලා. නමුත් විපක්ෂය සමුළුව වර්ජනය කිරීම ඔවුන්ගේ දේශපාලන තීන්දුවක්; විනා එය ජාතික තීන්දුවක් නොවෙයි.

3 ඉන්දියාව සහ චීනය කියන්නේ මේ කලාපයේ සිටින ප්‍රබලයන් දෙදෙනා. අපි ඒක පිළිගන්න අවශ්‍යයි. ඒ නිසා හොර බොරු නැතිව, කොමිස් ඩීල් නැතිව අපි මේ රටවල් දෙක සමඟ අවංකවම කටයුතු කළ යුතුයි. "එකම තීරයක් - එකම මාවතක් " ලෝකය යා කරන චීන ආර්ථික සංකල්පය ඔවුන් මේ වනවිට ක්‍රියාවට නංවා තිබෙනවා. අපිත් එහි කොටස්කරුවෝ. අපි බොන බෙහෙත්වලින් 80%ක් පමණ ගෙන්වන්නේ ඉන්දියාවෙන්. ඒ නිසා මේ රටවල් දෙක තරහ කරගෙන අපිට ඉදිරි ගමනක් යන්න බෑ. එහෙත් මොන ගිවිසුමක් ගැහුවත්, මොන ණයක් ගත්තත් අපි ඉතා කල්පනාවෙන් වැඩකළ යුතුයි. ඒකට නිවැරදි ආර්ථික සැලසුමක් අපි හදාගත යුතුයි.

"අපිට ඉන්දියාවෙන් චීනයෙන් ණය එපා කියලා කෑ ගැහුවට අපි කාගෙන්ද අසීරු අවස්ථාවක උදව්වක් ඉල්ලන්නේ. මොන රට සමඟ ද වැඩකරන්නේ කියලා සිතිය යුතුයි. එහෙත් අපි ඔවුන්ට සියලුදේම පාවා දිය යුතු නැහැ. නිවැරදිව, ශක්තිමත්ව අපි තීන්දු තීරණ ගත යුතුයි. ආර්ථිකය සහ දේශපාලනය ගැන හොඳින් දන්නා නිලධාරීන් පමණක් මේ ණය ගනුදෙනු සඳහා සම්බන්ධ කරගත යුතුයි. ගන්නා ණය විනාශ නොකොට, නිවැරදි ආර්ථික සැලසුමකට යොදා ගත්තොත් අපිට හෙට දවස අමාරුවෙන් හරි ප්‍රතිසංවිධානය කරගත හැකියි. මෙහිදී උපක්‍රමශීලීව දිවීපාර්ශ්වීය ගිවිසුම් ඇතිකර ගැනීමත් ඉතා වැදගත්

4 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මුදල් කමිටුව වගේ එකක්නේ ඔය දැම්මේ. පසුව ව්‍යාපාර ප්‍රජාවත් ඔය කමිටුවට දැම්මා. ඒ උපදෙස් ගන්න. ඒ අය තවත් උපදේශක කමිටු තුනක් වෙන වෙනම දාන්න කිව්වා. මේ වගේ උපදේශක සභා පත්කර කර ඉන්නවා කියන්නේ කාලය කන වැඩක්. කවදා ඉවර කරන්න පුළුවන් වැඩද ඔය. ආර්ථික සභාවෙන් ඉටුවිය යුතු කාර්යභාරය ගැන කතා කරන්න කලින් මේ කියන ව්‍යුහය හරියට හදාගන්න ඕන. මම නම් ඔය කියන ආර්ථික සභාව සාර්ථකයි කියලා හිතන්නේ නැහැ.

5 ආර්ථිකය සහ මුදල් කියන්නේ විෂයයන් දෙකක් කියලා අදාළ පාර්ශ්වයන් දැන ගන්න අවශ්‍යයි. ආර්ථික සහ මුදල් කියන මේ විෂයයන් දෙක වෙන් වෙන්ව හඳුනාගෙන අදාළ විෂය පථය වෙන්කරන්න ඕනේ. මේ දෙක එකට තියෙන තාක් කල් මේ අර්බුදයෙන් රට ගොඩ එන්න බෑ. ඒ වගේම තවත් වැදගත් කරුණක් තමයි, දේශපාලන කටයුතුවලට වඩා අවධානය යොමුකිරීම සහ විෂයක් විදියටම ජනාධිපතිතුමා මේ දේවල් අතට ගන්න ඕනේ.දේශපාලන සහ ජාතික ව්‍යාපෘති කියන දේ ජනාධිපතිතුමා තේරුම්ගත යුතුයි.

පොහොර, ඉන්ධන වගේ ජාතික කටයුතු බලාකියාගන්න වෙනම අංශයක් සාදාගත යුතුයි. එහෙම නැතිව විසඳුම් හොයන්න බෑ. රටේ ජාතික ප්‍රශ්නවලදී විශ්ලේෂණාත්මකව තීන්දු තීරණ ගත හැකි යාන්ත්‍රණයක් හදාගන්න අවශ්‍ය යි. ඒක හදාගන්නා තුරු මේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් සෙවීමත් ඉතා අසීරු වේවි.

සර්ව පාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් අවශ්‍යයි 
- සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර

1 සර්ව පාක්ෂික සමුළුවකින් කළ යුතු සහ විය යුතු දේ මුලින් කරන්න තිබුණා. පුද්ගලික අරමුණු ඉටු කරගන්න සර්වපාක්ෂික සමුළු වැඩක් නැහැ. ඒ දේවල් පක්ෂ ඇතුළේ විසඳගන්න අවශ්‍යයි. ජාතික අර්බුදයක් රටේ ඇතිවෙලා තියනවා . ඒ වෙනුවෙන් පරිණත දැනුමක් ඇති මිනිසුන් යෝජනා ගෙනාවාම ඒවා පැත්තකට දාලා, අශ්වයා ගියාට පසුව ස්ථාලය වහලා වැඩක් නැහැ. සර්ව පාර්ක්ෂික සමුළුවකින් කරන්න පුළුවන් දේ මේ අයට කරන්න බැරි වුණා. මේ සර්ව පාක්ෂික සමුළු කැඳවන්නේ, ඉතාමත් නරක තැනකට රට පත්වෙලා තියන තත්ත්වයක. රට ආර්ථික වශයෙන් කඩා වැටිලා ඉවරයි. ඒ වගේම ඩොලර් ප්‍රශ්නයට කරන්නේ කුමක්ද කියලා දන්නේ නැති ආණ්ඩුව තවත් මෝඩකම් කරනවා. මේ රටේ මිනිසුන්ගේ ජීවිතවලට වෙලා තියන බාල්දු වීම් අතිවිශාලයි. මිනිසුන්ගේ ජීවන මට්ටම පහළ වැටෙනවා. ආණ්ඩුවක කාර්යභාරය ජනතාවගේ ජීවන මට්ටම ඉහළට ඔසවා තැබීමයි. සම්පූර්ණයෙන් මිනිසුන් ආපස්සට යනවා. දැන් මිනිසුන් දේශපාලන මතවාදයකින් තොරව මේ සියලු දෙනා පාරට බහින තත්ත්වයකට පත්වෙලා. ඡන්දය දුන්න මිනිසුන් ආණ්ඩුව ගෙදර යවන්න කියලා දැන් පෙළ ගැහිලා තියෙන්නේ. මිනිසුන්ගේ වෛරය උඩුදුවලා හැමතැනම පෝලිම් මිනිසුන් නොසන්සුන් වෙලා. හමුදාව දාලා නතර කරන්න බැරි තරමින් පිපිරීමක් මේ ආණ්ඩුවට ඉදිරියේදි අත්විඳින්න වෙනවා. මේ රටේ ජනතාවට අද කන්න බොන්න නැහැ. ගමනක් යන්න බැහැ. මිනිසුන් පාරට බැහැලා මිනිසුන් මිනිසුන් ඇන කොටා ගන්න තත්ත්වයක් ඇතිවෙලා. පාලකයන්ට වගේවගක් නැහැ.මේ ආණ්ඩුව ගැන තිරණයක් ගන්න කියලා අපි කියන්නේ. මේ ආණ්ඩුව ගෙදර යවන්න. කටයුතු කරන්න කියලා අපි ජනතාවට කියන්නේ. ජනපීඩන ආණ්ඩුවක් මේ ආණ්ඩුව.

2 මේ ගැටලුව විසඳගන්න ආණ්ඩුවට සැබෑ වුවමනාවක් නැහැ. මේ ප්‍රශ්නය තවදුරටත් හිඟන්නාගේ තුවාලය වගේ පවත්වාගෙන යන්නයි ආණ්ඩුවට අවශ්‍ය. රට ගොඩගන්න සැබෑ වුවනාවක් නැහැ. ආණ්ඩුවට බලය පවත්වාගෙන යන්නයි අවශ්‍ය වෙන්නේ. සැබෑ වුවමනාවක් තියෙනවා නම් ඒ දේ පිළිබඳව වැටහීමක් ඇති විද්වත් කණ්ඩායමක් එකතු කරලා මේ දේවල් කරනවා. අපි යෝජනා කරන්නේ සියලු පාර්ශ්වයන් එකතු කරගත් සර්ව පාක්ෂික ආණ්ඩුවක්. ජාතික ආණ්ඩුවක් නොවෙයි. කළයුතු වන්නේ පොහොට්ටුවට කඩේ යන වැඩක් නොවෙයි. සර්ව පාක්ෂික සියලු දෙනා එකතු වෙන අන්තර්කාලීන වැඩපිළිවෙළකට යන්න පුළුවන් නම් ඉතා වැදගත්. එහෙම එකකට ඉඩක් හදාගන්නාවා හැරෙන්න ආණ්ඩුවේ පුද්ගලික අරමුණු ඉටුකර ගන්න නොවෙයි. ආණ්ඩුවේ කීර්තිය නැතිවෙලා යනකොට සහ ආණ්ඩුවට තවදුරටත් හොරකම් කරන වැඩපිළවෙළකට අපි එකතු වෙන්නේ නැහැ. අපි යෝජනා කරන්නේ සියලු පක්ෂ එකතු වෙලා අන්තර්කාලීන වැඩපිළිවෙළකට අපි සුදානම් වියයුතුයි කියලා. අපිට පක්ෂ අදාළ නැහැ. අපිට අදාළ වෙන්නේ මිනිසුන් ජිවත්වෙන්න රටක්. මිනිසුන්ට කන්න බොන්න නැති තැනකට ඇවිල්ලා. එයයි අද තියන ගැටලු.

3 මේ වෙලාවේ කොතැනින් හෝ යම් මුදලක් අරගෙන මේ ප්‍රශ්නයට විසඳුමක් සොයන්න අවශ්‍යයි. තාවකාලිකව හෝ පිළිතුරක් හොයන්න අවශ්‍යයි. මේ ආණ්ඩුව ඉතාමත්ම අදූරදර්ශ විදිහට වැඩකරන එකයි ගැටලුවයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මැදිහත්කරුවෙක් කරගන්න පුළුවන් නම් මේ වෙලාවේ මේ ණය ටික ප්‍රතිව්‍යුහගත කරගන්න පුළුවන්. ඒවගේම තවත් රටවල් වලින් අඩුපොලීි පදනමින් ණය ලබාගන්න පුළුවන්. අපේ රටේ කෑලි විකුණන්නේ නැතුව දෙයක් කරන්න පුළුවන්. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ පාරදෘශ්‍යභාවය නිසා හොරකම් කරන්න බැරි නිසා මේ යෝජනාව ඉක්මන් කරන්නෙ නැහැ. ඒක දැන් විකල්ප නැති නිසා ක්‍රියාත්මක කරගන්න වුවමනාවක් ඇතිවෙලා තියෙනවා, අවුරුදු එකහාරමක් දෙකක් තිස්සේ කරන්නේ නැතිව සිටියේ හොරකම් කිරීමේ කැත චේතනාව නිසයි. මේ තරම් කල් රුපියල පාකරන්න කියලා කියද්දී නොකර හිටියේ; ඒක හරහා යම් ව්‍යාපාරයක් කළා ද කියලත් සැකයක් අපිට තියෙනවා. මේ දේවල් මුලදිම කළා නම් මිනිසුන් මේ අර්බුදයට පත්වෙන්නේ නැහැ.

4 ජාතික ආර්ථික සභාවෙන් ඉටුවෙන්න අවශ්‍ය කාරණාව මොනවද කියලා මුලින්ම වටහා ගන්න ඕන. මේ ආණ්ඩුව ව්‍යාපාරිකයන්ට උපදෙස් දෙන්න කාටද කියන කාරණාවත් විහිළුවක්. ආර්ථික විද්‍යා පිළිබද දැණුමක් නැති අය සමඟ මේ දේවල් කරලා හරියන්නේ නැහැ. මේ උපදෙස් කාටද ගැළපෙන්නේ කියලා අපි කල්පනා කරන්නේ. මීට වඩා ලොකුවට පුළුල්ව ආර්ථික ප්‍රතිපත්තියක් රට ඇතුළත ගොඩනඟාගත යුතුයි. අපි ප්‍රාර්ථනා කරනවා මෙය සාර්ථක වෙන්න කියලා.

5 මම කියන්නේ පුළුවන් ඉක්මනින් පාර්ලිමේන්තුවට බලය දෙන්න ඕන. පාර්ලිමේන්තුවට මුදල් බලය දෙන්න පුළුවන් ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන එන්න අවශ්‍යයි. අපි ව්‍යවස්ථා සංශෝධනය කළ යුතුයි. සර්ව පාක්ෂික අන්තර් කාලීන ආණ්ඩුවක් අවශ්‍යයි. එහිදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, විදෙස් ණය වෙ‍ෙළඳපොළ සියලු තැන් සමඟ සාකච්ඡා කරන්න පුළුවන්. නිර්දේශපාලනික රාමුවක් තුළ මේ ගැටලුව ඉක්මනින් විසඳන්න පුළුවන් කියලා මම හිතන්නේ.

රට ගොඩනැගීිමට නිෂ්පාදන ආර්ථික මෙහෙයුමක් අවශ්‍යයි
- ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්

1 කිසිසේත්ම අපේක්ෂිත අරමුණු ඉටුවෙලා නැහැ; ඉටු වෙන්නෙත් නැහැ. ඊට හේතුව අර්බුදය හුස්ම ගන්න බැරි තැනටම ඇවිත් තියෙන්නේ. ඇත්තටම මේ සමුළුව කැදෙව්වේ ආණ්ඩුවේ ඇතුළේ අර්බුදය විසඳගන්න. රටේ අර්බුදවලට පිළිතුරු සොයන්න මේ අයට අවශ්‍ය නැහැ. සාකච්ඡාවකට යන්න කලින් ජනතාවට මේ අර්බුදයේ සැබෑ ස්වභාවය කියන්න අවශ්‍යයි. ඒ කිසිවක් කියන්නේ නැතුව සාකච්ඡාවකට එන්න කියලා වැඩක් නැහැ. මේ යෝජනාව ලත් තැනම ලොප් වුණේ ඒකයි. සාකච්ඡා සාර්ථක වෙන්න අදහස් අරමුණු නිවැරදි වෙන්න අවශ්‍යයි. මේවා ජනතාව රවටන සන්දර්ශන පමණයි.

2 පළමුවෙන් කියන්න අවශ්‍යයි. රටේ දැවෙන අර්බුදය විසඳන්න කරපු යෝජනාවක් නොවෙයි. එසේ නම් කලින් සමුළු කැඳවන්න තිබුණා. මේ ආණ්ඩුව කියන්නේ රටේ අර්බුදයක් නැහැ කියලයි. නහයටම ගිලිලත් කියන්නේ එහෙමයි. මේ දැනුත් කියන්නේ අර්බුදයක් නැහැ; ඩොලර් තියනවා කියලනේ. විපක්ෂ ගිහින් බොරු සාකච්ඡා කරලා වැඩක් නැහැ. මේ සඳහා සහභාගී වෙන්නේ සැබැවින්ම පුද්ගලිකව තමන්ගේ පක්ෂවල අර්බුද ලිහා ගැනිමේ අරමුණුවලින්.

3 කොන්දේසි විරහිතව නොවෙයි, ඉන්දියාවෙන් ණය දුන්නේ චීනයයේ අදානි සමාගමත් සමඟ ගිවිසුම් ගැහුවේ කොන්දේසි නිසා තමයි. මේ වනවිට අහසත් ඉන්දියාවට දෙන ගිවිසුම් ගහන්න යනවා. මේවා කොන්දේසි තමයි. චීනය සමඟ වෙළෙඳ ගිවිසුම් ගහන්න යනවා. ඒ කියන්නේ ආර්ථිකයේ ඉතුරු ටිකත් ඉවරයි. කොන්දේසි සහිතවයි එය වෙන්නේ. කොන්දේසි රහිතව කියන්නේ බොරු. අපේ ආර්ථික මරමස්ථාන පිටරටට විකුණලා තමයි දැන් රටට කන්න හොයන්න එන්නෙත් රට විකුණලා කරන්නේ කන්න ගේ එකයි.

4 ආර්ථික සභාව කියන්නේම විහිළුවක් කවුද මේ ආර්ථික සභාවේ ඉන්නේ. මේ වැටුණ ආර්ථිකයෙන් ගොඩඑන්න කාටවත් අවශ්‍යතාවක් නැහැ. ආර්ථිකය වට්ටපු අය ම තමයි මේ සභාවේ ඉන්නේ. තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමැති පත්කළා කමිටුවක් එකේ ඉන්නේ ඔක්කොම මහාචාර්යවරුන්, සහ මහචාර්යවරියන් නොබෙල් සම්මානලාභිනිය තමයි, සභාපතිවරිය ඒ රටේ පත් කරන්නේ ඒවගේ සුදුසුකම් තියන අය මෙහෙ පත් කරන්නේ මෙහෙමයි. මේ වන විට උපදේශනයන්ට ව්‍යාපාරිකයන් මේ සභාවට පත් කිරීම කරලා තියනවා. හතරවටින් විවේචන ආව නිසා තමයි; මේ අය පත් කළේ. ඒ ව්‍යාපරිකයෝ පත් කරන්න හේතුවත් එයයි. ඒ පිරිස තවත් කමිටු යෝජනා කරනවා. මේ දේවල් මහ විහිළු කියලා තමයි මම දකින්නේ.

5 පළමුවෙන්ම ඇත්ත අර්බුදය කියන්න අවශ්‍යයි. ඉන්පසුව දිගුකාලීන මධ්‍යකාලීන ඉන්පසුව කෙටිකාලීන සැලසුමක් ක්‍රියාත්මක කළ යුතුයි. හොරකම, වංචාව, දුෂණය, කොමිස් ගැනීම නතර කරන්න අවශ්‍යයි. හොරකම් කරපු මහජන දේපොළ ජනතා සන්තක කළ යුතුයි. නිෂ්පාදනය මත පදනම් වුණ; ආර්ථික වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරන්න අවශ්‍යයි. දේශපාලඥයන් කැපකිරීම් කරන්න අවශ්‍යයි. සමස්ත ක්ෂේත්‍රයේ ම කෙටිකාලීන නිෂ්පාදනය වැඩි කරන්න කර්මාන්ත ශාලා ගොවිබිම් ව්‍යාපාර කෙටි කාලයක් සඳහා බදු සහන ලබාදීම, නිෂ්පාදනය මත රට ගොඩනඟන මෙහෙයුමක් ක්‍රියාත්මක කළ යුතුයි.

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඩොලර් මිලියන ගණන් වත්කම් ඇති අයට ආරාධානා කළා නම් ඒ අය එනවා, මේ රටේ ආයෝජනය කරන්න.

අපේ රටේ පගාව හොරකම් නැතිනම් විදෙස් ආයෝජකයන් පැහැදිලිවම ලංකාවට එනවා. දේශිය ආයෝජිකයන් ශ්‍රී ලංකිකයන්ගේ විදෙස් ආයෝජකයන් වැඩිකරන්න පුළුවන් වෙන්නේ අදූෂිත පාලනයක් ස්ථාපනය කිරීමෙන් පමණයි.

මේ ගත්ත ණය ඒ ආයතනයන් සමඟ වහාම ණය ප්‍රතිව්‍යුහගත කරන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න අවශ්‍යයි. රටේ ආර්ථිකය ශක්තිමත්ව නිෂ්පාදනය මත ගොඩනඟනවා කියලා සංඥාව යවපු ගමන් ගත්ත ණය පිළිබඳව යම් සහන වැඩපිළිවෙළක් ක්‍රමවේදයක් හදාගන්න පුළුවන් එවැනි වැඩපිළිවෙළක් සහිතව තමයි; මේ රට ගොඩනඟන්න හැකිවෙන්නේ.

දේශපාලඥයන් මෙන්ම ජනතාව සියලු දෙනාම ටික කාලයක් කැපකිරීම් කරලා අර්බුදයන් තේරුම් අරගෙන රටක් ලෙස නැඟිටින්න අවශ්‍යයි. ජපානයේ හිරෝෂිමා බෝම්බ ප්‍රහාරයෙන් පස්සේ නැගිට්ටේ ඒ ආකාරයටයි. එයට දේශපාලනික නායකත්වයෙන් ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළක් ක්‍රියාවට නඟන්න අවශ්‍ය යි.

මේ ආණ්ඩුවට එය කරන්න බැහැ. එය කරන්න පුළුවන් වෙන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකට පමණයි. එය ආර්ථිකයේ දැවැන්ත මෙහෙයමක්. මේ දෙගොල්ලන්ට එය කළ නොහැකියි. එය කරන්න පුළුවන් ජාතික ජනබලවේගයට පමණයි කියලා ජනතාව දැන් වටහාගෙන තියෙනවා.

Comments