
දූපත් රාජ්‍යයක් වන ශ්‍රී ලංකාවට මහා සාගරය විශාල සම්පතකි. මුතු, මැණික් මෙන්ම සාගරයේ ඇති අනෙකුත් බොහෝ වටිනා දේ ශ්‍රී ලංකාව සතු වන්නාක් මෙන්ම මත්ස්‍ය සම්පත විශාලම වස්තුවකි. මෙරට සමස්ත සමුද්‍ර ධීවරයන්ගේ ජීවනෝපාය සරිකර ලන්නේ ඉන්දීය මහා සමුදුරෙනි. ගොඩබිම සිට නාවික සැතපුම් 12ක් හෙවත් කිලෝමීටර් 22.22ක් යන තෙක්ම අපට පූර්ණ වශයෙන් හිමි මහා සමුදුරය. එම සීමාවට කිසිදු යාත්‍රාවකට අනවසරයෙන් ඇතුළු විය නොහැකිය. විශේෂයෙන්ම අන්තර්ජාතික නීති රීති අනුව ධීවර කටයුතු කිසිසේත්ම කළ නොහැකිය.
එහෙත් අපට ගැටලුවක් වී ඇති පැනයක් අවුරුදු ගණනාවක් තිස්සේම විසඳී නැතිව තිබේ. ඒ ඉන්දීය ධීවර ගැටලුවයි. ඉන්දීය ධීවරයන් පමණක් නොව ඉන්දියාවෙන් කල්ලතෝනි මෙරටට පැමිණීමත් නීති විරෝධී කටයුතුවල නියැළීමත් නිසා 1963 වසරේදී ගොඩබිම් ආරක්ෂක කටයුතු උදෙසා යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයද ඇතුළුව පලාලි ආරක්ෂක හමුදා ජනපදය ස්ථාපිත කරන් ලද්දේ කන්කසන්තුරයේ සිට වැල්වැටිතුරේ හරහා පේදුරුතුඩුව දක්වා වන මුහුදු තීරයද ආවරණය වන සේය.
![]() |
· වෙන්දේසි කළ ඉන්දීය ධීවර යාත්‍රා කිහිපයක් |
එමෙන්ම කරෙයිනගර් හි සිට නාවික හමුදාව මඟින් උතුරු මුහුදේ බොහෝ ආවරණ කටයුතු සිදු කරන ලදී. ඉන්දීය ධීවර ගැටලුව අපට බලපාන්නට වූයේ කච්චතිවු දූපත නිසාය. කච්චතිවු දූපතට නිරතුරුවම ඉන්දීය ධීවරයන්ගේ පැමිණීම ශ්‍රී ලාංකික ධීවරයන්ට ගැටලු මතු කරවන්නක් විය. මේ ගැටලුව දිගින් දිගටම ඇදී ගියේ කච්චතිවු දූපතට මුවා වී ඉන්දීය ධීවරයන් ශ්‍රී ලංකා මුහුදු සීමාවද ආක්‍රමණය කර මත්ස්‍ය සම්පත පැහැර ගෙන යන බවට ධීවරයන්ගෙන් විශේෂයෙන් උතුරේ ධීවරයන්ගෙන් ආ චෝදනා නිසා ය. අවසානයේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ පාලන සමයේ කච්චතිවු දූපත ශ්‍රී ලංකාවට පවරා දුන්නේ ඉන්දීය ධීවරයන්ට හදිසි අවස්ථාවකදී විවේක ගැන්මට හා ධීවර ආම්පන්න වේලා ගැන්මට අවශ්‍ය වූ විට ඒ සඳහා අවකාශ ලබාදීමේ පොරොන්දු පිටය.
එතැන් සිට 70 දශකයේ මැද භාගය වන තෙක් ලොකු ගැටලුවක් නොතිබුණද යළිත් ඉන්දීය ධීවර ගැටලුව මතුවන්නට විය. ඉන්දීය ධීවරයන් බහු දින යාත්‍රාවලින් පැමිණ ලයිට්කෝස් වැනි තහනම් ක්‍රම භාවිතයෙන් මසුන් මැරීම නිසා අපේ මත්ස්‍ය සම්පත වැනසී යන්නට විය. විශේෂයෙන්ම ඉන්දීය ධීවරයන් පැමිණෙන්නේ පෝක් සමුද්‍ර සන්ධියේ මසුන් බහුලම ප්‍රදේශය හරහා වන නිසා අපේ ධීවරයන්ට මත්ස්‍ය සම්පත විශාල ලෙසින් අඩු වන්නට විය. මේ නිසා දිනකට සාමාන්‍ය බහුදින යාත්‍රාවකින් ලබා ගත හැකි වූ ටොන් 4ක් පමණ මත්ස්‍ය අස්වැන්න ටොන් 2ක් පමණ දක්වා අඩුවන්නට විය. එමෙන්ම ‘ලයිට් කෝස්, බොටම් ට්‍රෝලින්‘ වැනි තහනම් ධීවර භාවිත නිසා කුඩා මසුන් ද මිය යාමෙන් මත්ස්‍ය සම්පත වර්ධනයට විශාල ලෙසින් බලපාන්නට විය.
මේ තත්ත්වය වළක්වා ගන්නට දේශපාලනික වශයෙන් අවස්ථා කිහිපයකදී කතිකා කළද එම්.ජී. රාමචන්ද්‍රන්, ජයලලිතා වැනි තමිල්නාඩු ප්‍රාන්තයට ආවඩන දේශපාලකයන්ගේ අනුග්‍රහය ලැබීම නිසා ඉන්දීය ධීවර ග්‍රහණය දිගින් දිගටම පැවතුණි. එහෙත් උතුරේ ධීවරයන්ගේ ධීවර රැකියාවන් යුද සමයේදී සීමා වැටීම සහ ඔවුන්ට බහුදින යාත්‍රා භාවිත කිරීමට ගැටලු මතුවීම නිසා ගැඹුරු මුහුදට යාමක් සිදු නොවීමෙන් 2009 වසර දක්වාම විශාල ගැටලු මතු වූයේ නැත.
එමෙන්ම නාවික හමුදාවත් ගුවන් හමුදාවත් ත්‍රස්තවාදී ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීම නිසා ඉන්දීය ධීවරයන්ද එකල වැඩි වශයෙන් මුහුදු සීමා ආක්‍රමණය කළේද නැත. ආක්‍රමණය කළද ප්‍රභාකරන් ප්‍රමුඛ එල්ටීටීඊ නායකයන් ඒ ගැන විරෝධයක්ද පෑවේ නැත.
එහෙත් 2011 වසරෙන් පසුව මේ ගැටලුව නැවත උඩු දුවන්නට පටන් ගත්තේය. ක්‍රමයෙන් ඉන්දීය ධීවර ගැටලුව උග්‍ර විය. නාවික හමුදාව ද දිනෙන් දිනම මුහුදු සීමා ආක්‍රමණය කරන ධීවර යාත්‍රාවලට අවවාද කරන්නට පටන් ගත්තද යළි යළිත් ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමා උල්ලංඝනය කිරීම නිසා මෙරට ධීවරයාගේ මත්ස්‍ය අස්වැන්නට කණකොකා හඬන්නට පටන් ගත්තේය. උතුරේ ධීවර ජනතාවගේ පැමිණිලි නිරතුරුව මේ සම්බන්ධයෙන් පැමිණීම නිසා අනිවාර්යෙන්ම මෙරට මුහුදු සීමා උල්ලංඝනය කරන ධීවර යාත්‍රා අත්අඩංගුවට ගන්නා ලෙස එවකට නාවික හමුදාපති ධුරය දැරූ වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න විසින් දන්වන ලදී. පසුව නාවික හමුදාපති ධුරය හොබවන ලද වයිස් අද්මිරාල් පියල් ද සිල්වාද උතුරේ ධීවරයන්ගේ ප්‍රශ්නය සියැසින් දැක උතුරු පළාත් භාර නාවික ආඥාපතිවරයාට උපදෙස් ලබා දුන්නේද කිසිදු හේතුවක් මත මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරන්නට ඉන්දීය ධීවරයන්ට ඉඩ ලබා නොදිය යුතු බවය.
ඒ හරහා මත්කුඩු මෙන්ම වෙනත් තහනම් භාණ්ඩද හුවමාරු වීම ගැනද මෙහිදී අවධානය යොමු කෙරිණි. දිනපතාම පෝක් සමුද්‍ර සන්ධිය හරහා අධිවේගී ප්‍රහාරක යාත්‍රා සංචාරය කිරීම නිසා වසරකට දෙකකට පමණ කාලයක් මේ ගැටලුව යම් තරමකින් යටපත්ව තිබුණද ඉන්දීය ධීවරයන්ට මසුන් අඩුවීම නිසා ඔවුන් යළිත් මෙරට සීමා ආක්‍රමණය කිරීම ප්‍රසිද්ධියේම සිදු කරන ලදී.
එහි උච්චතම සීමාවන්ට පසුගිය දිනවල පත් විය. ඒ පසුගිය ජනවාරි 27 වැනිදා මරන්දන්කේනි ධීවර වරායෙන් මුහුදු ගිය ධීවරයන් දෙදෙනකු ආගිය අතක් නොමැති වීම නිසාය. ඔවුන්ගෙන් කිසිදු පණිවුඩයක් නොලැබුණු අතර දින 5කට පසුව ඔවුන්ගේ මළ සිරුරු උතුරු මුහුදු වෙරළට ගොඩ ගසා තිබුණි. එම ධීවරයන්ට අනිවාර්යෙන්ම ඉන්දීය ධීවරයන් පහර දී මරා දමා ඇති බවට උතුරේ ධීවරයෝ චෝදනා නැඟූහ. ඔවුන් වෙනුවෙන් පිරිසක් වැලපෙද්දී ජනවාරි 31 වැනිදා සංවිධානාත්මක වූ උතුරේ ධීවරයන් මුහුදු යන්නේ ‘හමුවුණොත් දෙන්නම් බැටේ‘ මනසින් යුතුවය. එතැනදී වඩමාරච්චි මුහුදු සීමාවේදී ඉන්දීය ධීවර යාත්‍රා 3ක් උතුරේ ධීවරයන්ට හමු වූ අතර අනවසර සංක්‍රමණයන් ගැන උරණ වී ඔවුන් හා දඹර කර ගන්නට උතුරේ ධීවරයන් උත්සාහ කළ ද පෙර සූදානමින් පැමිණි සිටි ඉන්දීය ධීවරයෝ පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්ද එල්ල කර පලා ගියහ. එතැනින් පසුව උතුරේ ධීවරයෝ ධීවර කටයුතු පසෙක තබා උතුරේ කලකෝලාහල කරන්නට වූහ.
පේදුරුතුඩුව ,කන්කසන්තුරේ, කරෙයිනගර් ඇතුළු ප්‍රදේශ රැසක මාර්ග අවහිර කරමින් ධීවර ආම්පන්න දැල් ආදිය ගෙනවිත් ඔවුහු විරෝධතා කළහ.
ධීවර අමාත්‍යවරයා වූ ඩග්ලස් දේවානන්දා ඔවුන් හමුවට ගියද ඔහුට ධීවරයන්ගෙන් ලැබුණේ හූ හඬ පමණය.
ඉන්දීය ධීවරයන් මේ ආක්‍රමණය කරන්නේ හිතාමතාය. මෙරට මුහුදු සීමාව ආක්‍රමණය කරන ඉන්දීය ධීවර යාත්‍රා සියල්ලම බහු දින ධීවර යාත්‍රාවන්ය. ඒ සියල්ලේම මුහුදු සීමා පැහැදිලිව හඳුනා ගත හැකි ජී. පී. එස්. උපාංග ඇත. එහෙත් ඉන්දීය ධීවරයෝ ඒ කිසිවක් නොතකති. මෙසේ පැමිණෙන ධීවරයන්ගෙන් බහුතරය තමිල්නාඩු ප්‍රාන්තයේ ධීවරයන්ය.
![]() |
පසුගිය කාලයේ අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයන් |
රාමේශ්වරම් සිට පෝක් සමුද්‍ර සන්ධිය හා කච්චතිවු මුහුදු කලාපය වෙත පැමිණෙන තමිල්නාඩු ධීවරයන් බහු දින යාත්‍රා මඟින් පැමිණ සාමාන්‍ය ධීවර බෝට්ටු භාවිත කරන උතුරේ ධීවරයන්ගේ දැල් පවා කපා දමන බවට උතුරේ ධීවරයෝ දිගින් දිගටම චෝදනා කරති.
තමිල්නාඩු ප්‍රාන්තයේ ධීවර බෝට්ටු 4000ක් පමණ මෙරට මුහුදු සීමා ආක්‍රමණය කරනු ලබන බව වරෙක ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි විසින් පැවසුවේ ඒ සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයකින් අනතුරුවය.
ඉන්දීය ධීවරයන් මන්නාරමට ඉහළින් කන්කසන්තුරය දක්වා වන පෝක් සමුද්‍ර සන්ධිය අවට මුහුදු කලාපයට වැඩි වශයෙන් පිවිසෙන්නේ එය මසුන්ගෙන් පිරි ප්‍රදේශයක් නිසාවෙනි. විශේෂයෙන්ම වසර 30ක් පමණ බහුදින ධීවර යාත්‍රා බහුල ලෙසින් එම කලාපයේ ධීවර කටයුතුවල නියැළීමෙන් වැළකීමත් ස්වභාවිකවම පොකිරිස්සන් වැනි මිල අධික මසුන් හසුවීමත් නිසා ඔවුහු මෙසේ ආක්‍රමණය කරති. පොකිරිස්සන්ට බටහිර රටවලින් ලැබෙන අධික ඉල්ලුම නිසා හොඳ වෙළෙඳ පොළක් ඉන්දියාව තුළ රඳවා ගන්නට ඔවුනක් සමත්ව තිබේ.
එමෙන්ම සැමන් මසුන්ද මේ කලාපයේ බහුලවම හමුවන අවස්ථාවන්ද තිබේ. එය මත්ස්‍ය සැකසුම් කර්මාන්තයට පිටිවහලකි. තමිල්නාඩුවේ පමණක් මසුන් සකස් කිරීමේ කම්හල් 28ක් තිබේ. ඒවාට මසුන් අලෙවි කරන ධීවරයන්ට ඉහළ මුදලක් ලැබේ. එමෙන්ම ඉන්දියාවේ රට අභ්‍යන්තරයට මත්ස්‍ය සම්පත විශාල මිලකට අලෙවි කළ හැකිය.
තමිල්නාඩු ප්‍රාන්තයේ පමණක් ධීවරයන් ලක්ෂ 82ක් සිටී. බහුදින යාත්‍රා 6,400ක් හා සාමාන්‍ය ධීවර යාත්‍රා 63,000ක් පමණද එහි ධීවර කටයුතු කෙරෙහි භාවිත කෙරේ. ඔවුන් බහුතරයක් ලයිට් කෝස් වැනි නීතිවිරෝධී ක්‍රම භාවිත කිරීම පුරුද්දක් ලෙසම සිදු කරන අතර මෙරට මුහුදු තීරයට ඇතුළුවන එක් බහුදින යාත්‍රාවක් අවම වශයෙන් කිලෝ 300ත් 400ත් අතර ප්‍රමාණයක මසුන් රැගෙන යනු ලැබේ.
මේ අතර තමිල්නාඩු ශ්‍රී ලංකා ධීවර අර්බුදය විසඳීමට තමිල්නාඩුවටද අවශ්‍යතාවක් නැත. එම ධීවරයන් ශ්‍රී ලංකාවේ උතුරු මුහුදු කලාපයෙන් අල්ලාගෙන එන මසුන්ගෙන් ඉන්දීය රුපියල් බිලියන ගණනක විශාල ආදායමක් තමිල්නාඩු ලැබීම ඊට හේතුවයි.
පසුගිය වසර අගභාගයේදී විශේෂ නාවික මෙහෙයුම් කිහිපයක්ම මේ වෙනුවෙන් ක්‍රියාත්මක විය. ඒ අනුව ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය, අනලතිව් දූපතට බටහිර දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙරට මුහුදු සීමාවට ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදුකරමින් සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 02ක් සමඟ ඉන්දීය ජාතික ධීවරයන් 13ක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
ඒ උතුරු නාවික විධානයට අනුයුක්ත හතරවන වේග ප්‍රහාරක මුර යාත්‍රා බළගණයට අයත් වේග ප්‍රහාරක යාත්‍රා යොදවා අනලතිව් දුපතට බටහිර දෙසින් කළ මෙහෙයුමකදීය.
එහෙත් මේ ගැටලුව තවමත් විසඳී නැත. දිගින් දිගටම නාවික හමුදාව විසින් උතුරු මුහුද තීරය ප්‍රමුඛව මෙරට මුහුදු තීරයේ හැකි පමණ ආවරණය කිරීමට උත්සාහ කළද අතිවිශාල මුහුදු කලාපයක් ආවරණය කිරීමට නාවික හමුදාවට පූර්ණ හැකියාවක් නැත.
2019 වසරේදී ඉන්දීය අනවසර ධීවර බෝට්ටු 43ක් අත්අඩංගුවට ගෙන ඇති අතර ධීවරයන් 205ක් අත්අඩංගුවට ගෙන ඇත. 2020 වසරේදී ධීවරයන් 70ක් හා බහුදින යාත්‍රා 11 ක්ද 2021 වසරේදී ධීවරයන් 157ක් හා ධීවර යාත්‍රා 19ක්ද අත්අඩංගුවට ගෙන තිබේ. එමෙන්ම මේ වසරේ පෙබරවාරි 13 වැනිදා දක්වා වූ කාලය තුළ බෝට්ටු 7ක් හා ඉන්දීය ධීවරයන් 44ක්ද අත්අඩංගුවට ගෙන තිබේ.
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා පවසන්නේ මෙරට ගොඩබිම් සීමාව මෙන් 7 ගුණයකටත් වැඩි මුහුදු සීමාවක් ආරක්ෂා කිරීමට නාවික හමුදාවට සිදුව ඇති බවයි. විශේෂයෙන්ම දකුණු තීරයේ සිට නැඟෙනහිර තීරය හරහා උතුරේ නැඟෙනහිර වෙරළ දක්වාද ආරක්ෂා කිරීමේ කටයුතු කරනු ලබන බව ඔහු පවසයි. පොක් සමුද්‍ර සන්ධියට ආසන්නයේ ධීවර කටයුතුවල නියැළෙන දහස් ගණනක් වන ධීවර යාත්‍රාවලින් අත්අඩංගුවට ගත හැක්කේ මෙරට මුහුදු සීමාවට ඇතුළු වන යාත්‍රා පමණක් බව පෙන්වා දෙන ඔහු පැවසුවේ මෙරට මත්ස්‍ය අස්වැන්න රැගෙන මුහුදු සීමාවෙන් පිටත්ව ගොස් තිබෙන යාත්‍රා අත්අඩංගුවට ගත නොහැකි බවයි. කෙසේ වෙතත් මේ වන විට පැය 24ම නාවික හමුදාව විශේෂ මෙහෙයුම් සිදු කරන බවද ඔහු පැවසුවේය. නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ උපදෙස් පරිදි එම කටයුතු සිදු කරන බව ඔහු පැවසුවේය.
අත්අඩංගුවට ගන්නා ධීවරයන් හා ධීවර යාත්‍රා ධීවර පරීක්ෂකවරුන් වෙත භාර දෙන බවත් ධීවරයන් නීතිමය කටයුතු පිණිස ඔවුන් රැගෙන ගියත් ධීවර යාත්‍රා රැගෙන යාමේ අපහසුව නිසා නාවික හමුදාව භාරයේ ඒවා තබා යන බවද ඔහු පැවසුවේය.
මේ අතර ඉන්දීය ධීවරයන් අනවසරයෙන් පැමිණ මෙරට මුහුදු සීමා උල්ලංඝනය කිරීමට විරුද්ධව නඩු පැවරීමෙන් පසුව රාජසන්තක කළ ධීවර යාත්‍රා 165ක් වෙන්දේසි කිරීමට පසුගිය දිනවල කටයුතු යොදා තිබුණි. ඒ සම්බන්ධයෙන් තමිල්නාඩු ප්‍රාන්තය දැඩි විරෝධය එල්ල කර තිබුණි. එසේ වුවත් එම වෙන්දේසිය පසුගිය 7 වැනිදා කන්කසන්තුරේ කරෙයිනගර් ධීවර වරායේදී සිදු කරන ලදී. එදින ධීවර යාත්‍රා 135ක් වෙන්දේසි කළ අතර එයින් උපයා ගත් මුදල රුපියල් ලක්ෂ 52කි. අඩි 48කින් යුත් ධීවර යාත්‍රාවක් එහිදී රුපියල් 13,50,000කට අලෙවි විය. මේ යාත්‍රා බොහොමයක් පූර්ණ අලුත්වැඩියාවන් සිදු කර භාවිතයට ගැනීමට සිදුව ඇත. වසර ගණනාවක් නඩු භාණ්ඩ ලෙසින් එක තැන තිබීම නිසා ඒ තත්ත්වය උදා වී ඇත.
එසේ වෙන්දේසිය නිම වී දින කිහිපයකට පසුව එනම් පසුගිය 12 වැනිදා තලෙයිමන්නාරමට ආසන්න ගැඹුරු මුහුදේ අනවසර ධීවර කටයුතුවල නියැළී සිටි ඉන්දීය ධීවරයන් 12 දෙනකු හා ධීවර යාත්‍රා දෙකක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් විය. එයින් පෙනී යන්නේ මේ ගැටලුව විසඳීමක් නොමැතිව ඇදී යන බවකි.
ධීවරයන් හෝ බෝට්ටු ඇල්ලීමෙන් මේ ගැටලුව විසඳාලිය නොහැකි බව එයින් පෙනී යයි. උතුරේ ධීවරයන්ට පෙට්‍රල් බෝම්බ ගැසුවා සේ නාවික හමුදාවට යම් ආකාරයක ප්‍රහාරයක් එල්ල කළහොත් ආරක්ෂාව පිණිස වෙඩි තැබීමෙන් ඉන්දීය ධීවරයෙක් මියගියහොත් සිදුවන තත්ත්වය ලෙහෙසි පහසු නැත. වරෙක එවන් උද්ඝෝෂණයක් ඉන්දියාවේ ඇති විය. එවර කච්චතිවු වන්දනාවද තමිල්නාඩු වැසියෝ වර්ජනය කළහ.
එහෙයින් මේ ගැටලුව තවත් උඩු දුවන්නට පෙර විසඳා ගත යුතුමය. මෙය නොපෙනෙන විශාල අර්බුදයකි. දැන් තැනින් තැන මතුවන කළු පැල්ලම් ඉදිරියේදී විශාල ගැටලුවක් වන්නට ඉඩ තිබේ. එය වළක්වා ගැනීම පිණිස ඉන්දු - ලංකා දේශපාලනික විසඳුමක් අත්‍යවශ්‍ය වන්නේය.