
International Union for Conservation of Nature – IUCN මඟින් වසරකට දෙවරක් පළ කරන ලෝ ප්‍රකට විද්‍යා සඟරාවක් වන PARKS හි පසුගිය දිනක පළ වූයේ අලුත්ම අනාවරණයකි. කොයි කාගේත් අවධානයට නතු වූ, මෙහි කියවූයේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ආරම්භ කළ පසු, 1949 ඔක්තෝබර් මාසයේ සිට මේ දක්වා වනජීවී නිලධාරීන් අසූවක් තම රාජකාරි අතරතුර මෙරට පරිසර උරුමයන් සංරක්ෂණය වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කර ඇති බවකි. ‘වන ජීවින් වෙනුවෙන් දංගෙඩියට ගිය නිලධාරින් 79 දෙනාගේ කතාව‘ සිළුමිණ පුවත්පත හරහාද ඊට පෙරද අනාවරණ කර තිබුණි. වන ජිවීන් වෙනුවෙන්, ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්, අවදානම නොතකා වගකීම කරට ගත් මේ නිලධාරිහූ බොහෝමයක්ම දිවි දුන්නේ අපේ ස්වභාවික වන රක්ෂිත ප්‍රදේශ වන විල්පත්තු, රුහුණ (යාල), කුමන, උඩවලව, මාදුරුඔය, වස්ගමුව, ගල්ඔය සහ අංගමැඩිල්ල යන ජාතික උද්‍යාන තුළදී මෙන්ම වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ අභයභූමිය තුළදිය. ඒ වන ජීවින්, වන සංරක්ෂණ ආරක්ෂා කිරීමේ සටනේදීය.
වන ජීවී නිලධාරින්ගේ කාර්යභාරය වන්නේ සියදිවි දෙවැනි කොට වන සම්පත ආරක්ෂා කිරීමය. මෙසේ හෙයින් ඔවුන්ට පැය 24 සේවා කාලය පුරාවටම ඇති වන තර්ජනද සුළු පටු නොවේ. සතුරෝ එමටය. වනජීවී නියාමක නිලධාරීන් 34 ක්ද, අඩවි සහකාර නිලධාරීන් 11 ක්ද, සහ අඩවි ආරක්ෂක නිලධාරීන් 10 ක්ද මේ වන විට මෙළොව හැර ගොස් ඇත්තේ වන ජීවි වැටලීම් සිදු කරන ගමනේදීය. ලංකාව ජෛව විවිධත්වයෙන් අනූන රටකි. මෙසේ හෙයින් වන ජීවින් හා පරිසර පද්ධති කෙරෙහි වන බලපැම් සුළුවෙන් තැකීමට නොහැකිය. පටු අරමුණු වෙනුවෙන් හා මුදල් ඉපැයීමේ ලාභ අරමුණු කර ගනිමින් බොහෝ දෙනකු වන ජීවින්ට එල්ල කරන බලපෑම්ද දිනෙන් දින වැඩි වීමක් මිස අඩු වීමක් සිදු නොවේ. වන ජීවි ජාවාරම්, වන ජීවි සත්ත්ව කොටස් රට තුළ හා රටවල් අතර හුවමාරුව, වන ජීවි වාසස්ථාන විනාශ කිරීම, වන ජීවින්ට හානි කිරීම හා ඝාතනය මෙන්ම ජාන මංකොල්ලයද මේ අතර ප්‍රධාන වෙයි. අපේ රටේ අය පමණක් නොව විදේශිකයන්ද ලංකාවට පැමිණ සිදුකරන ආවේණික සත්ත්ව විශේෂ ,ජාන මංකොල්ල හා ඇත්දළ වැනි වටිනා සත්ත්ව උපාංග ජාවාරම් පසුගියදා හසුකර ගනිමින් නීතිය හමුවට පත් කෙරුණේ වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතට අනුවය.
වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු දත්තයන්ට අනුව 2021 වර්ෂයේ වැටලීම් 813 ක් විවිධ බල ප්‍රදේශ මුල් කර ගනිමින් සිදු කළ බව එහි නීති ක්‍රියාත්මක කිරීමේ අංශය පවසයි. එයින් වැටලීම් 209 ක්ම සිදු කර ඇත්තේ පොළොන්නරුවෙනි. තවත් වැටලීම් 198 ක් සිදු කර ඇත්තේ දකුණු පළාතේ බල ප්‍රදේශවලිනි. වැටලීම් 130 ක් සිදු කර ඇත්තේ ඌව බල ප්‍රදේශයෙනි. පසුගිය වසරේ වැඩිම වැටලීම් ප්‍රමාණයක් සිදු කර ඇත්තේ මැයි, ජූනි,අගොස්තු, සැප්තැම්බර් හා ඔක්තෝම්බර් යන මාසවලදීය. වන ජීවි නිලධාරින් සිය දිවි පරදුවට තබමින් 2016 වැටලිම් 831 ක්ද, 2017 වැටලිම් 1048 ක්ද, 2018 වැටලිම් 1238 ක්ද, 2019 වැටලීම් 1389 ක්ද, 2020 වැටලීම් 1739 ක්ද සිදු කර ඇත.
මේ වැටලීම්වලදි වනජීවි නිලධාරින්ට මුහුණ දීමට සිදුවූ හා සිදුවන ගැහැට බොහෝමයක් පවතින බව සමස්ත ලංකා වන ජීවි නියාමක නිලධාරීන්ගේ සංගමයේ සභාපති ශානුක සඳරුවන් හා සමස්ත ලංකා ඒකාබද්ධ වන ජීවි නිලධාරින්ගේ සංගමයේ ලේකම් ඉමේෂ් ගුණතිලක බණ්ඩාර පවසයි. මේ සියලු කාර්යයන් ඉටු කරන්නේ නිලධාරින් 1500 කටත් අඩු සුළු ප්‍රමාණයකින් බව ඔවුන්ගේ චෝදනාවය.
“වන ජීවි නිලධාරීන් රාජකාරි කිරීමේදි ප්‍රධාන ගැටලුව මතුවන්නේ සිවිල් සමාජයෙන්. මිනිසා මූලික වූ සමාජයේ ඔවුන් සිතන්නේ සතුන් ජිවත් විය යුත්තේ තමන්ට පසුපසින් බවයි. ඒ වගේම මිනිසුන් විසින් කැලෑව ආක්‍රමණය කරනවා. ඒ වගේම අපි සුරැකිය යුතු භූමි ප්‍රමාණය විශාලයි. එය කැලෑවට පමණක් නොව ලංකාව පුරාම හා ලංකාව ආසන්නයේ පවතින භූමියද ඇතුළත්. මේ සියලු රාජකාරි ඉටු කිරීමට ඉන්නේ 1500 කටත් අඩු නිලධාරීන් පිරිසක් පමණයි. නමුත් වන ජීවි නිලධාරින් රක්ෂිතවලට ප්‍රමුඛස්ථානය දිය යුතුයි. අපි පැය 24 රාජකාරිය ඉටු කරන පිරිසක්. අතිකාල දීමනා නැහැ. නමුත් රජය මේ වෙනුවෙට දිරි දීමනාවක් හෝ ගෙවීමට කටයුතු කර තිබීම ප්‍රශංසනීයයි. අපේ රාජකාරියේදි ඇතිවන අනතුරු බහුලයි. මරණයක් ඇති වුවහොත් ඊට සිදුවන ගෙවීම් ක්‍රමය සාමාන්‍ය රාජ්‍ය සේවයේ කෙනකුට අදාළ ආකාරයටයි සිදුවෙන්නේ. වන සතුන් සමඟ කරන රාජකාරිය ඊට වඩා බරපතළ බව තේරුම් ගත යුතුයි......“ ඒ ශානුක සඳරුවන් හා ඉමේෂ් ගුණතිලක බණ්ඩාරය.
මින්නේරිය ප්‍රදේශයේ තාවකාලික වනජීවී මාර්ග බාධකයක් යොදා වන අලි ජාවාරම්කරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට රැක සිටි වනජීවී නිලධාරීන් සහ යුධ හමුදාව අතර ගැටුමක් ඇතිවූ ආකාරය අපට මතකය. ජාතික වනජීවී රක්ෂිත භූමිවලට යාබද මහා මාර්ගවල බාධක ඉදි කිරීමටත් වාහන සෝදිසි කිරීමටත් වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක පනතේ 67 වගන්තියෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට බලය පැවරී ඇත. මෙයද එවැන්නකි. මෙම මාර්ග බාධකයේ දිවා රාත්‍රි නොබලා සේවය කරන්නේ මේ නිලධාරින්මය.
“වනාන්තර සහ ස්වභාවික පරිසර පද්ධතීන් දෙබෑ කරමින් ඇදෙන මහා මාර්ග එල්ලකරන බලපෑම සුළු පටු නැහැ. එවැනි පසුබිමක යාල වනජීවී රක්ෂිත සංකීර්ණය හරහා ඇදී යන බුත්තල - කතරගම මාර්ගය නිසා වන ජීවීන්ට එල්ලවෙන බලපෑම් අවම කරන්න වනජීවී මාර්ග බාධකයක් යොදන්න එම දෙපාර්තමේන්තුව කටයුතු කළා. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වනජීවී අපරාධ වැළැක්වීමට ස්ථීර මාර්ග බාධකයක් ඉදි කළ ප්‍රථම අවස්ථාව මෙය විය හැකියි. ‘රජ මාවත’ ලෙස හැඳින්වෙන බුත්තල - කතරගම මාර්ගය බුත්තල දෙසින් යාල ජාතික උද්‍යානයට ඇතුළු වන ගෝනගංආර ප්‍රදේශයේ ඉදිකෙරුණු මෙම වනජීවී මාර්ග බාධකයේ රාජකාරී පසුගිය දෙසැම්බර් 17 දා නිල වශයෙන් ආරම්භ කෙරුණා. මෙමඟින් ජාතික උද්‍යානයට ආරක්ෂාව ලබා දීම අරමුණයි. මෙය ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීමට ඉදිරිපත්වූ වනජීවී විෂයභාර රාජ්‍ය ඇමැති විමලවීර දිසානායක සහ වනජීවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර යන මහත්වරුන්ට ස්තූතියි“ එ් ශ්‍රී ලංකා ජෛව විවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවයේ කැඳවුම්කරු සුපුන් ළහිරු ප්‍රකාශ්ය.
වන ජීවින්ට හානි සිදු කිරීමේදී අත්අඩංගුවට ගැනීමට වරෙන්තු අවශ්‍ය නැත. සියලු නිති ක්‍රම සකස් වී ඇත්තේ වන ජීවින්ගේ හා පරිසර පද්ධතින්ගේ ආරක්ෂාවට ප්‍රමුඛ තැන දීමෙනි.
“ මේ වැටලීම් සිදු කරන්නේ සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතට අනුවයි. මෙම පනතේ සියලු වැරදි සංඥය වැරදි නිසා වන ජිවි දෙපාර්තමේන්තුවට , පොලීසියට හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට වැරදිකරුවන් වරෙන්තුවක් නොමැතිව අත් අඩංගුවට ගැනීමට හැකියි. මෙය විශාල ශක්තියක්. නිලධාරියා තම අනන්‍යතාව පෙන්වීම මත ඒ කටයුතු ක්ෂණිකව සිදු කළ හැකියි. ආරක්ෂිත ප්‍රදේශවල අනවසර ක්‍රියා, වන ජිවින්ට එරෙහිව සිදුවන අපරාධ, නීති විරෝධී ආනයන හා නීති විරෝධි අපනයන මේ යටතට ඇතුළත්. අහඹු වැටලීමක් හරහා, යම් ඔත්තුවක් මත හා විමර්ෂණයකින් සිදුවන අනාවරණය වීම් යන ආකාර තුන මත මේ වැටලීම් සිදු වෙනවා“ එ් පරිසරවේදී, ජ්‍යේෂ්ඨ නීතීඥ ආචාර්ය ජගත් ගුණවර්ධනය.
පසුගිය කාලයේ මෙන්ම වර්තමානයේදිත් වන ජීවි හා වටිනා පරිසර කලාපයන්ට සිදුවන්නේ විවිධාකාර හානිවීම්ය. මේ පිළිබඳ අත්දැකීම්ද බොහෝය.
“නැඟෙනහිර අප්‍රිකානු රටක සිට ඈත පෙරදිග රටකට ප්‍රතිඅපනයනය කිරීමට සුදානම් කර තිබූ ලෝකයේ වටිනාම දැව වර්ගය වූ රුපියල් කෝටි සියය ඉක්ම වූ වටිනාකමකින් යුත් රෝස් වුඩ් මෙට්‍රක් ටොන් 420, ශ්‍රී ලංකාවේදී අත්අඩංගුවට පත් වටිනාකමින් වැඩිම නීති විරෝධී භාණ්ඩ තොගයයි. එදත් අදත් විවිධාකාරයෙන් හා විවිධ ප්‍රමාණයෙන් මේ නීති විරෝධි ජාවාරම් සිදු කෙරෙනවා. කොතල හිඹුටු, වල්ලපට්ටා ඒ අතර ප්‍රධානයි. ලොව මිල අධික ඉල්ලුමක් ඇති වල්ලපට්ටා මේ වන විට විශාල වශයෙන් විදේශයන්හි විකුණා ආදායම් ලබා ගන්නවා. අද වන විට වල්ලපට්ටා තෙල් බෝතල් කර ග්‍රෑම් 2 ක් විකුණන්නේ ඩොලර් 3335 ක ඉහළ මිලකට. මේ සඳහා යම් යම් ආයතන විසින් බලපත්‍ර ද ලබා දෙනවා. ජානමය හොරකම 1992 දී සොයා ගත්තේ මා විසින්. සත්ත්ව, පැළැටි, ඹෟෂධ, කොකුම් වැනි විවිධ රුපලාවණ්‍යය ද්‍රව්‍ය විශාල වශයෙන් ජාවාරම් සිදු කෙරෙනවා. මේ අතර ලංකාවට ආවේණික සත්ත්ව විශේෂ වන හූණෝ, අං කටුස්සෝ, දේශිය මිරිදිය මාළු විශේෂ මෙන්ම ඉස්සෝ කකුළුවෝ වැනි සතුනුත් නීති විරෝධිව ජාවාරම් සිදු කරනවා. කොටි හම්, ඇත් දළ අද දේශිය වෙළෙඳ පොළේ ඉහළ මිලකට විකුණනවා. දේශිය වෙළෙඳ පොළේ මහ පරිමාණ අන්තර් ජාල ජාවාරමක් වන අලි පැටවු ජාවාරමේ සිට කුඩා කුරුලු හා ලංකාවට ආවේණික ඕකිඩ් ඇතුළු පැළෑටි පවා මහා පරිමාණයෙන් ජාවාරම් සිදු කරමින් පවතිනවා. මේ සියලු දේට නීතිය ක්‍රියාත්මක කරන්නේ රේගු ආඥා පනතට අනුව හා සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතට අනුවයි.............“ ඒ රේගු ජෛව විවිධත්ව සංස්කෘතික හා ජාතික උරුමයන් සුරැකීමේ ඒකකයේ නිර්මාතෘ, ලක් සොබා සංරක්ෂකයෝ පරිසර සංවිධානයේ සාමාජික හිටපු නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක සමන්ත ගුණසේකරය.
වන ජීවි, පරිසර කලාප ආරක්ෂා කිරීම ලාංකේයන් වන අපගේද වගකීමකි. මේ සඳහා සියදිවි දෙවැනි කොට අසීමිත වගකීම් සම්භාරයක් උසුලන්නේ සුළු පිරිසක් වන වන ජීවි නිලධාරින්ය. වනයේ දැව කොල්ලකරුවන්ගේ, සතුන් දඩයම්කරුවන්ගේ තුවක්කු බටයට මේ බොහෝ ජීවිත අඩ තියන්නට සිදුව ඇත්තේය. ඒ වෙනුවෙන් ජිවිතය අහිමි වූවෝද බොහෝය.
“මේ වන විට වන ජීවි දෙපාර්තමේන්තුව විසින් වැටලීම් සාර්ථකව සිදු කරමින් යනවා. වියළි කාලයේ අපරාධ වැඩි නිසා දිගටම වැටලීම් සිදු කරනවා. ලුණුගම්වෙහෙර, යාල, උඩවලව, කුමන ආදි වන ජීවි ප්‍රදේශ මුල් කර ගනිමින් වැටලීම් සිදු කිරීමට අපි ස්මාර්ට් තාක්ෂණය යොදා ගන්නවා. පසුගිය කාලයේ හෝර්ටන් තැන්න ප්‍රදේශයේදිත් එවැනි වැටලීමක් සිදු කළා. 1992 අංකයට ලැබෙන තොරතුරු අනුව හදිසි වැටලීම් සිදු කෙරෙනවා. ඒ වගේම මේ කටයුතු සිදු කිරීමේදි වන ජීවී නිලධාරින්ගේ ආරක්ෂාව තහවුරු කළ යුතුයි. මේ සඳහා නවීන ප්‍රවාහන පහසුකම් මෙන්ම ගිනි අවි භාවිත කිරීමට අවස්ථාව සලසා දී තියෙනවා. අපි මේ සියලු කටයුතු සිදු කරන්නේ 1937 සකස් කළ වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතට අනුවයි. මෙහි සමහර වගන්ති 2009දී යාවත්කාලීන වුණා. නමුත් ඉදිරියටත් අවශ්‍ය කොටස් යාවත්කාලීන කිරීමට අපි බලාපොරොත්තු වෙනවා......“ ඒ වන ජීවි අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාරය.
![]() |
පක්ෂි ජාවාරමක් නීතියේ රැහැනට හසුකරගත් අවස්ථාවක් |
![]() |
හොරොව්පතානේ අනවසර විදුලි රැහැනක ගැටී මියගිය අලියෙක්![]() |
මද්දකට හසුවූ කොටියකු ඉන් මුදවා ගන්නා වනජීවී නිලධාරීන්![]() |
මස් පිණිස ඝාතනය කෙරුණු ඉත්තෑවෙක්![]() |
වනජීවී නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්වූ වියළි දඩමස් තොගයක් |
![]() |
ඝාතනය කෙරුණු ඕලු මුවෙක් සහ ඊට යොදාගත් ගිනිඅවිය |