ලිතෙන් නිදොස් බැසිල් | සිළුමිණ

ලිතෙන් නිදොස් බැසිල්

ටක යුක්තිය පසිදලනවා මෙන්ම එසේ පසිදලන බවට පෙනී යා යුතු බවට කියමනක් ඇත. නමුත් නීතිපති දෙපාර්තමේන්තුව පොලිස් දෙපාර්තමේන්තුව ගතයුතු තීන්දු තීරණ දේශපාලනඥයින් ගැනීමට ගියහොත් එතැන සිදුවනුයේ නීතිය වල්වැදිමකි. නමුත් යහපාලන සමයේ සිදුවුයේ නීතිපතිවරයාගේ අභිමතයන් පවා පසෙකට දමා කටයුතු කිරිම් බව තතු දත්තෝ දනිති.

යහපාලන ආණ්ඩුවේ හිටපු අගමැතිවරයා පිහිට වුයේ යැයි කියන “ව්‍යවස්ථාදායක සභාව“ හා ඒ සමග බද්ධ වු දුෂණ විරෝධි කමිටුව පිළබදවද සමාජය තුළ විවේචන තිබිණි. එම කමිටුව රාජපක්ෂවරුන් සිරගත කිරිමට බිහිකළ බව ඇතැමෙක් කීහ.

පසුගියදා ඇමති බැසිල් රාජපක්ෂ හා කිත්සිරි රණවක නිදහස් වූ "ලිත් නඩුව" ද එවැන්නක් බව නඩු තීන්දුව දෙස බැලීමෙදි පැහැදිලිය.

මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත විසින් වත්මන් මුදල් අමාත්‍ය එවකට ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ හා දිවිනැගුම හිටපු අධ්‍යක්ෂ ජනරාල් රණවක ආරච්චිගේ අමිත කිත්සිරි රණවක යන අයට එරෙහි ලිත් නඩුවෙන් ඔවුන් නිදොස් කොට නිදහස් කළේය. එසේ නිදොස් කොට නිදහස් කිරිම පූර්ණ නඩු විභාගයකින් අනතුරුව සිදු කිරිම තවත් විශේෂයකි. විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව සිදු කිරීමෙන් පෙනී යනුයේ නඩුවේ කිසිදු හරයක් නොතිබු බවය. මහාධිකරණ විනිසුරුවරයාද එය සිය තීන්දුවේ සනිටුහන් කර ඇත.

කෙසේ වුවත් මෙම නඩුවට අදාළ අතීත සිදුවීම් පිළිබඳව ද එකල "යහපාලන" රජයේ ක්‍රියාකාරකම් පිළිබඳව ද කතා කළ යුතුය. බැලූ බැල්මට මෙම නඩුව බැසිල් රාජපක්ෂයන් කෙරෙහි දේශපාලනිකව ද්වේශසහගතව පවරා ඇති නඩුවක් බවට ද ඒ දිනවලම නීති විශාරදයෝ පැවසූහ.

මෙම නඩුවට අදාළ ප්‍රකාශ සටහන් කර ගැනීමට 2016 දී පමණ විමර්ශන ආයතන වෙතට එන ලෙස බැසිල් රාජපක්ෂයන්ට දැන්වූ පසු ඔහු ඊට ගරු කර විදේශයක සිට කටුනායක ගුවන් තොටුපළට පැමිණියේය. ඒ මොහොතේම විමර්ශන නිලධාරීන් සිදුකළේ විශාල මාධ්‍යය ප්‍රචාරණයක් ද ලබාදී ප්‍රකාශ සටහන් කර ගැනීමට කියා කොළඹ පිහිටි අදාළ විමර්ශන කාර්යාලය වෙත රැගෙන ඒමයි. පසුව සවස 6ට 7ට පමණ උසාවියට රැගෙන ගොස් කරුණු විමර්ශනය කර ඇමැති බැසිල් හා කිත්සිරි රණවක රක්ෂිත බන්ධනාගාරගත කිරීම සිදුකළේ මධ්‍යම රාත්‍රියේදීය. එයින්ම මේ නඩුව පිළිබඳව යහපාලකයන්ගේ උනන්දුව පැහැදිලිය. එය තවත් පෙන්නුම් කරන්නේ මේ දෙදෙනා උසාවියට රැගෙන ඒමටත් පෙර එම උසාවිය අසලට බන්ධනාගාර රථයක් පැමිණ තිබීමයි.

පොලීසිය මඟින් නීතිපතිවරයාට යොමු කරන විමර්ශන ගොනු අනුව නීතිපතිවරයා මුලින්ම බැසිල් රාජපක්ෂයන්ට හා කිත්සිරි රණවකට එරෙහිව ලිත් මුද්‍රණය සම්බන්ධයෙන් චෝදනා නඩුවක් මහාධිකරණයේ ගොනුකර තිබිණි. එහිදී චෝදනා කෙරුණේ දිවිනැඟුම ලිත් ලක්ෂ 5ක් මුද්‍රණය කිරීම හා ඊට රුපියල් ලක්ෂ 250ක් වැය කිරීම යනාදියයි. නමුත් මේ නඩුව 2016 දී දෙසම්බර් 6 වැනි දින පැමිණිලි පාර්ශ්වය විසින් ඉවත් කර ගත් අතර එදිනම මේ සම්බන්ධවම තවත් නඩුවක් ගොනුකර තිබිණි. එහි මුල් නඩුවේ ලිත් ලක්ෂ 5 ක් මුද්‍රණය කළායැයි කියන චෝදනාව වෙනුවට ලිත් ලක්ෂ 50 ක් මුද්‍රණය කළා යැයි චෝදනා කර තිබිණි. බැසිල් රාජපක්ෂයන් හා කිත්සිරි රණවක පසුගියදා නිදොස් කොට නිදහස් කළේ පසුව දෙවැනිව ගොනුකළ ලිත් නඩුවෙනි.

2016 දෙසැම්බර් මස 06 දින ගරු නීතිපතිවරයා පවරන අලුත් නඩුව අනුව බැසිල් රාජපක්ෂයන්ට හා කිත්සිරි රණවකට අධි චෝදනා පහක් ඉදිරිපත් කර තිබිණි.

2014 නොවැම්බර් සිට දෙසැම්බර් 31 කාලය ඇතුළත ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂයන්ගේ රුව ප්‍රදර්ශනය කරමින් ලිත් ලක්ෂ පනහක් (මෙම ලිත් ගණන මුල් නඩුවේ ලක්ෂ 5ක් විය) මුද්‍රණය කර 1981 අංක 15 දරණ ජනාධිපතිවරණ පනතේ 79 ඇ වගන්තිය උල්ලංඝනය කරමින් අල්ලස පිළිබඳ වරද සිදු කිරිම, එම වරදට අධාර අනුබල දීම, දණ්ඩ නීති සංග්‍රහ පනත අනුව දඩුවම් ලැබිය යුතු වරදක් සිදු කිරිම, හා ජනපති තෝරාපත් කරගැනීමේ පනත අනුව දඩුවම් ලැබිය යුතු වරදවල් සිදු කිරිම යන චෝදනා හා දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් ලක්ෂ 294 ක මුදලක් සාපරාධි සාවද්‍ය පරිහරණය කිරිම යන්න ලෙස එම අධි චෝදනා ලඝු කර සඳහන් කළ හැකිය. මෙම නඩුව ඇතුළු මීට සම්බන්ධ තවත් නඩු 2ක් නිසා බැසිල් රාජපක්ෂයන්ට දින 70 ක් පමණ හා කිත්සිරි රණවකට දින 152 ක් පමණ රක්ෂිත බන්ධනාගාරගත වීමට සිදුවිය.

මෙම චෝදනා පත්‍ර 2017 පෙබරවාරි 15 දින කිත්සිරි රණවකට විවෘත අධිකරණයේ දි බාර දෙන අතර රාජපක්ෂයන්ට මාර්තු 15 දින ලබා දෙන්නේය. 2020 නොවැම්බර් 05 දින පුර්ව ගාමි විනිසුරු ගිහාන් කුලතුංග ඉදිරියේදි මෙම චෝදනා පත්‍ර චුදිතයන්ට දෙන්නේය.

එහිදි චුදිතයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් මූලික විරෝධතාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් නඩුවේ චෝදනා කිසිදු පදනමක් නොමැති හරයාත්මක නොවන බව පැරණි නඩු තීන්දු ඉදිරිපත් කරමින් පැවසීය. එමෙන්ම මෙම නඩුව මෙම තත්ත්ව යටතේ දිගටම පවත්වාගෙන යාමට නොහැකි බව ද ඔවුහු පෙන්වා දුන්හ.

මෙම නඩුව නීතිමය පදනමක් නොමැති අධි චෝදනා ඉදිරිපත් කරමින් බැසිල් රාජපක්ෂයන්ගේ දේශපාලන ගමන නතර කිරිමට, බැසිල් රාජපක්ෂයන් දේශපාලන භුමියෙන් ඉවත් කිරිමට පැවරූ නඩුවක් බව නීතිඥ සනත් විජයවර්ධනගේ උපදෙස් පරිදි බැසිල් රාජපක්ෂයන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණි මාරපන 2017 නොවැම්බර් 15 දින අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් පවසන්නේය.ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීමේ පනතේ 113 අ වගන්තිය යටතේ ඉදිරිපත් කළ යුතු චෝදනාව 113 ආ වගන්තිය යටතේ පවරමින් බැසිල් මහතාගේ ප්‍රජා අයිතිය අහෝසි කිරිමට කුමන්ත්‍රණය කර ඇති බවද සඳහන් කරනනේය. එම ක්‍රමන්ත්‍රණය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රජා අයිතිය අහිමිකිරිමේ ක්‍රමන්ත්‍රණයට සමාන බවද කරුණු ඉදිරිපත් කළේය.පනතේ“ අ“ලෙස සටහන්විය යුතු චෝදනාව “ආ“ලෙස සටහන් වුයේ මුද්‍රණ දෝෂයක් හෝ යතුරුලියන දෝෂයක් නිසා නොව කුමන්ත්‍රණයක් නිසා බව හෙතෙම හෙළි කරන්නේ නඩුව පැවරිමේ පසුබිම හා නඩුවේ විමර්ශන ක්‍රියාවලිය හුවා දක්වමිනි.

නඩුවාර කිපයකින් අනතුරුව මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත ඉදිරියේ නඩුව විභාග වන්නේය. පසුගිය නොවැම්බර් 05 දින නඩු විභාගය ආරම්භ කිරිමෙන් අනතුරුව මෙම පැමිණිල්ලේ චෝදනා සනාථ කිරිමට නිතිපතිවරයා විසින් අධිකරණය ඉදිරියේ සාක්ෂි කැඳවන්නේය.

දිවි නැගුම 'ලිත්' නඩුවේ අධි චෝදනා වලට සමාන අධි චෝදනා සහිත නඩු කීපයකින් (නඩු විභාගයකින් අනතුරව ජි අයි බට නඩුවෙන් බැසිල් මහතා නිදහස් කිරිමට මහාධිකරණය කටයුතු කර ඇති බව) විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරිමට කොළඹ මහාධිකරණය කටයුතු කර ඇති හෙයින් ඒ හා සමාන චෝදනා සහිත මෙම ලිත් නඩුවෙන්ද විත්තිකරුවන් නිදහස් කරන ලෙස විත්තියේ ජනාධිපති නීතිඥවරු නීතිපතිවරයාගෙන් හා මහාධිකරණයෙන් ඉල්ලා සිටියහ.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් එම ඉල්ලීමට විරුද්ධ වෙමින් සදහන් කර සිටියේ නීතිපතිවරයා නඩුවේ සාක්ෂි කැඳවීමට තීරණය කර ඇති බවය.

මේ අනුව නීතිපතිවරයා සමෘද්ධි රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේක්ම් චම්පික දිනේෂ් කළුආරච්චිගේ සාක්ෂිය අධිකරණයට ඉදිරිපත් කළේය. (එම සාක්ෂිකරු එවකට එප් සි අයි ඩියට කටඋත්තරයක් ලබාදුන් අයෙකි.)

එම සාක්ෂිය අනුව විත්තිකරුවන් සම්බන්ධයෙන් අපරාධමය වරදක් අනාවරණය නොවන බැවින් හා ලිත් මුද්‍රණය රාජ්‍ය ප්‍රතිපත්තියක් අනුව නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ සිදුකළ නිත්‍යනුකූල කටයුත්තක් බවට අනාවරණය වන බැවින් නඩුව ඉල්ලා අස්කරගැනීම කළ යුතු බව ජනාධිපති නීතිඥ ගාමිණි මාරපන අධිකරණයට පැවසීය.

නඩුවේ සාක්ෂි අනුව තවදුරටත් නඩුව පවත්වාගෙන යෑමට හැකියාවක් නැති හෙයින් නඩුව සම්බන්ධයෙන් තීරණයක් ගන්නා ලෙසට විත්තියේ නීතිඥවරු නීතිපතිවරයාගෙන් ඉල්ලිමක් කර ඇති බවත්, මේ නඩුවට සමගාමිව පැවරු නඩු වලින් විත්තිකරුවන් නිදහස් වී ඇති බැවින් එම ඉල්ලීම කළ බවත් ගාමිණි මාරපන අධිකරණයට පැවසීය.

විත්තියේ අදාළ ඉල්ලීම සම්බන්ධයෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණයට මෙසේ කරුණු ඉදිරිපත් කළේය..

“මේ නඩුව සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ වන්නේ 2015 පෙබරවාරි 24 දින දුෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂවරයා යැයි කියන පුද්ගලයා පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසයට (FCID) කරන පැමිණිල්ලක් අනුවයි. විමර්ශන කීපයක් කර තිබෙනවා. එම විමර්ශන ගොනු හා ලේඛන අනුව නීතිපතිවරයා මහාධිකරණයේ නඩු පවරනවා. විත්තිකරුන්ට එරෙහිව එසේ පැවරූ නඩු කීපයක් අතරින් ශේෂව පවතින්නේ මෙය පමණයි. නඩුවේ සිද්ධිය හා ස්වභාවය අනුව අපරාධමය වරදක් වෙලාද නැද්ද යන්න තීරණය කිරිමට තවත් සාක්ෂි කැඳවිය යුතුයි. මොකද නීතිපතිවරයාට බැ සාක්ෂිකරුවොත් එක්ක සම්මුඛ සාකච්ජා පවත්වන්න. සංවාද කරන්න බැ .විමර්ශන අනුව නඩුවක් ගොනු කරනවා වගේම ඉල්ලා අස්කර ගැනීමත් විනිවිද භාවයෙන් හා විවෘතව කළ යුතුයි. එසේ නොකර නඩුව ඉල්ලා අස්කර ගැනීමෙන් වෙනත් අර්ථකථනයක් සාමාජයට යනවා. නීතිපතිවරයාට යම් තීන්දුවක් ගන්න තියෙන එකම දේ ලේඛන හා සාක්ෂි පමණයි. නීතිපතිට බෑ සාක්ෂි කාරයෝ කැඳවලා සාකච්ජා කරන්න. අද ඉදිරිපත් වු සාක්ෂි අනුව පෙනී ගියා මෙය 2013 අංක 01 දරණ දිවිනැගුම පනත අනුව අමාත්‍යාංශ ක්‍රියාවලිය අනුව ලිත් මුද්‍රණය කිරිම සිදුව තිබෙන බව මේ ක්‍රියාවලිය 2014ටත් පෙර සිදුව තිබෙන බව මේ සාක්ෂිය අනුව තහවුරු වුණා. තවදුරටත් සාක්ෂි කැදවිය යුතුද එසේ නැත්නම් නීතිපතිවරයා ගන්නා තීන්දුව කුමක්ද යන්න පිළිබදව අධිකරණයට ඉදිරියේදි දැනුම් දෙනවා.“

ඊළඟ නඩු දිනයේදි නීතිපතිවරයා වෙනුවෙන් සඳහන් කරන ලද්දේ එක් සාක්ෂියක් නොව තවත් සාක්ෂි දෙකක් කැඳවීමට අපේක්ෂා කරන බවය.

නීතිපතිවරයාගේ එම තීරණය ප්‍රතික්ෂේප කළ මහාධිකරණය සාක්ෂි එකක් දෙකක් නොව සියලු සාක්ෂිකරුවන් අධිකරණයට කැඳවන ලෙසට නීතිපතිවරයාට නියෝග කළේය.

එම සාක්ෂි කැඳවීමට විත්තියේ නීතිඥවරුන්ගේ සහාය ලබා දෙන ලෙස ද දන්වා සිටියේ ය.

මේ අනුව බැසිල් රාජපක්ෂට හා කිත්සිරි රණවකට එරෙහි චෝදනා සනාථ කිරීම සඳහා පැමිණිල්ල වෙනුවෙන් රජයේ සාක්ෂි කරුවන් පස් දෙනෙක් කොළඹ මහාධිකරණය හමුවේ සාක්ෂි ලබා දුන්හ.

2015ට පෙර පැවති රජයන් ගොවි ලිත් මුද්‍රණය කිරීමේ දී හිටපු විෂය බාර ඇමතිවරුන්ගේ පමණක් නොව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහගේ රුව පවා ඇතුළත් කරමින් ගොවි ලිත් මුද්‍රණය කර ඇති බව සාක්ෂිකරුවන් එම ලිත් අධිකරණයට ඉදිරිපත් කරමින් සඳහන් කළේය. නිත්‍යනුකූල ක්‍රියාදාම අනුව රාජ්‍ය නිලධාරින් වන තමන් ලිත් මුද්‍රණය කළ බවත්, එසේ මුදල් වැයකර ගොවි ජනතාවට බෙදා දීමට මුද්‍රණය කළ ලිත් 2015 ජනවාරි 08 දිනෙන් පසුව බෙදා හැරිම වැළැක්වීමෙන් මුදල් අවභාවිතයක් වු බවත් සාක්ෂි කරුවෝ පැවසුහ.

එපමණක්ද නොව හිටපු ජනපති මහින්ද රාජපක්ෂයන්ගේ රුව ඊට එකතු කිරිමට හේතු වුයේ 2015 වසර පොල් සංවර්ධනය කිරිමේ වසර වු නිසා බවත්, දිවිනැගුම ජාතික උත්සවයේදි රාජපක්ෂ මහතා පොල් පැළයක් සිටුවන පින්තුරය ඊට එක් කිරිමට නිල තීන්දුවක් ගෙන තිබු බවත් අනාවරණය කළේය.

දිවිනැගුම ලිත් මුද්‍රණයට අවශ්‍ය ප්‍රතිපාදන දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් ආයතන සඳහා 2013 වසරේ අයවැයෙන් වෙන්කර තිබූ මුදලින් ලබාගත් බවත්, ලිත් මුද්‍රණය මුද්‍රණ කටයුත්තක් බැවින් පුනරාවර්තන වියදම් ඒ සඳහා යෙදවූ වූ බවත් සමෘද්ධි සංවර්ධන දෙපාර්තුමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (සැලසුම්) මහේෂ් පෙරේරා සාක්ෂි දෙමින් පැවසීය. "මා ප්‍රථමයෙන් සේවය කළේ දක්ෂිණ සංවර්ධන අධිකාරියේ. 2014 ජනවාරි 08වෙනි දින දක්ෂිණ සංවර්ධන අධිකාරිය ඇතුළු ආයතන පහක් දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අනුයුක්ත කළා. දක්ෂිණ සංවර්ධන අධිකාරිය ඇතුළු දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව පිහිටුවීමේ දී අනුගත කළ ආයතන සඳහා මහා භාණ්ඩාගාරයෙන් මුදල් වෙන්කර තිබුණා. 2013 වසරේ අයවැයෙන් වෙන් කර තිබූ එම මුදල් දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ ආයතන සඳහා වියදම් කිරීමට අනුමැතිය හිමිව තිබුණා. ඒ අනුව දිවිනැඟුම ලිත් මුද්‍රණය කිරීම පුනරාවර්තන වියදම් යටතේ ගැනෙන මුදල්වලින් සිදුකළා. පුනරාවර්තන වියදම් සඳහා වෙන් කළ මුදල්වලින් ලිත් මුද්‍රණය කිරීමට හැකි බව මා දන්නවා. ලිත් මුද්‍රණය අදාළ අංශවල අනුමැතියෙන් යුතුව සිදු කළා" යැයි ඔහු තවදුරටත් පැවසීය.

දිවිනැගුම දෙපාර්තමේන්තුවේ හිටපු කළමනාකාර ධර්මසිරි අධිකරණයේදී මෙසේ පැවසීය.

“2015 දිවිනැගුම ලිත් මුද්‍රණය සඳහා ලිපියක් මා වෙත යොමු කර තිබුණා. පාලන අංශයේ අධ්‍යක්ෂ කළුආරච්චි විසින් එම ලිපිය යොමු කර තිබුණා. මා විසින් එම ලිපිය ප්‍රධාන ගණකාධිකාරීවරයාට යවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අවසරය ලබා ගත්තා. අවසර ලබා ගැනීමෙන් පසුව මිල ගණන් කැඳවීම කළා. ලිත් මුද්‍රණය ප්‍රසම්පාදන ක්‍රියාවලියට අනුගත කළයුතු බැවින් තාක්ෂණික කමිටුවට යොමු කළා. පසුව අඩුම ලන්සුව තැබූ මුද්‍රණ ආයතනයක් වෙත යොමු කළා. රු. 5.25 එක් ලිතක් මුද්‍රණය කිරීම සඳහා ලංසුව ඉදිරිපත් කර තිබුණා. ලිත් ලක්ෂ 50ක් අවස්ථා හතරකදී මුද්‍රණය කිරීම සඳහා අනුමැතිය ලබාදී තිබුණා. එම ලිත් සඳහා වවුචර මඟින් මුදල් ගෙව්වා." ඔහු පැවසීය.

සාක්ෂිකරුවන් ගෙන් හරස් ප්‍රශ්න විමසීමක් සිදු නොකරන බව විත්තියේ නීතිඥවරු අධිකරණයට දැනුම් දුන්හ .

විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ සනත් විජේවර්ධනගේ උපදෙස් පරිදි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන, ජනාධිපති නීතිඥ අනිල් ද සිල්වා, ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ, ජනාධිපති නීතිඥ නවීන් මාරපන, ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියහ.

පසුගිය ජනවාරි 19 දින මෙම සාක්ෂි විභාගය අවසන් කළ අතර පැමිණිල්ල මගින් අදාළ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට තහවුරු කිරිම අපොහොසත් වී ඇති බව මහාධිකරණ විනිසුරුවරයා තීන්දුව ප්‍රකාශ කරමින් සඳහන් කළේය. පැමිණිල්ලේ සාක්ෂි මගින් සිදුවුයේ චෝදනා තහවුරු කිරිම නොව අදාළ චෝදනා බැහැර කිරිම බව පෙන්වා දුන් විනිසුරුවරයා සාක්ෂි අනුව දිවිනැගුම ලිත 2011 වසරේ සිට ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මගින් දිවිනැඟුම අරමුණු සාක්ෂාත් කරගැනීමට මුද්‍රණය කර ඇති බවට සනාථ වන බව සඳහන් කළේය.

ඉදිරිපත් වු සාක්ෂි අනුව දිවිනැඟුම ලිත් මුද්‍රණය නීත්‍යනුකූල කාර්යයයක් බවත්. එම නිත්‍යනුකූල ක්‍රියාදාමය ඉටු කිරිමට අවැසි මුදල් නිත්‍යනුකූල මාර්ගයෙන් ලබාගෙන නිසි පරිදි වියදම් කර ඇති බවට සාක්ෂි මඟින් තහවුරු කර ඇති බව පෙන්වා දුන් විනිසුරුවරයා පැමිණිල්ලේ චෝදනා කිසිදු අර්ථයක් නොමැති ඒවා බවද සිය තීන්දුවෙන් පෙන්වා දුන්නේය.

මේ පිළිබඳව අදාළ නඩු තීන්දුව අවසානයේ මෙසේ සඳහන් විය.

ඉහත සාක්ෂි අනුව වැය වූ මුදල් නීත්‍යානුකූල කාර්යයක් සඳහා නීත්‍යානුකූල මාර්ගයකින් ලබා ගෙන සියලු නීති රීති හා රෙගුලාසි අනුගමනය කරමින් විධිමත් ලෙස වියදම් කර ඇති බවට තහවුරු වේ.

4 වන අධිචෝදනාවේ සඳහන් පරිදි මැතිවරණ කොමසාරිස් විසින් නිකුත් කරන ලද 2014.11.22 දිනැති PER/2015/43 චක්‍ර ලේඛය උල්ලංඝනය කිරීමක් සිදු වූ බවට කිසිදු සාක්ෂියක් මෙහෙයවා නොමැත.

ඉහත සාක්ෂි අනුව 4 වන අධිචෝදනාව ද තහවුරු වී නොමැති අතර එනයින්ම එම අධිචෝදනාව පදනම් කරගත් 5 වන අධිචෝදනාව ද අසාර්ථක වෙයි. කෙසේ වෙතත් 5 වන අධිචෝදනාවේ සඳහන් වන්නේ 4 වන අධි චෝදනාවේ වරද සිදු කිරීමට 1 වන චුදිත 1 වන චුදිතටම අනුබල දුන් බවයි. ඒ අනුව මෙය කිසි අර්ථයක් නොමැති අධිචෝදනාවක් බව පෙනී යයි.

1 වන චුදිත ලෙස මෙම අධිකරණය ඉදිරියේ සිටින එවකට ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ගරු ඇමතිවරයාව සිටි බැසිල් රෝහණ රාජපක්ෂ මහතා සහ 2 වන විත්තිකරු ලෙස මෙම අධිකරණය ඉදිරියේ සිටින දිවිනැඟුම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් රණවක ආරච්චිලාගේ අමිත කිත්සරි රණවක යන අයට එරෙහිව ඉදිරිපත් කර ඇති කිසිදු අධිචෝදනාවක් ප්‍රමාණවත් සහ පිළිගත හැකි සාක්ෂි මඟින් තහවුරු කිරීමට පැමිණිල්ල අසමත්ව ඇති බව තීරණය කරමින් විත්තිවාචකයක් නොකැඳවා චුදිතයන් දෙදෙනාම නිදොස් කොට නිදහස් කරමි.

මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මේ සඳහා අත්සන් කර ඇත.

Comments