
ඉනෝකා සමරවික්‍රම
පන්සලේ කඨින පිංකම ඉවර වූ දාට පහුවදා පොඩි හාමුදුරුවෝ ඇවිත් මට ලොතරැයි පත දුන්නා. පුදුමයි. ඊට කලින් දා රෑ දිනුම් ඇදපු අංකයි ටිකට් පතේ අංකයි එකට ගැළපෙනවා. මං පොඩි හාමුදුරුවන්ට කිව්වා වඩින්න කියලා” තමන් විසින් පන්සලට පූජා කරන ලද කෝටියක දිනුමක් තිබූ ලොතරැයි ටිකට් පත අතට ලැබූ මොහොතේ ඔහු ක්‍රියා කළේ එලෙසිනි. ලෝභකමකින් තොරව දන් දුන් ඔහු අද දවස ගෙවන්නේ බොහෝ අසීරුතා මධ්‍යයේය. මේ ඔහුගේ අද කතාවයි.
මීට ටික දිනකට පෙර කුරුණෑගල සිට පොල්පිතිගම ඉබ්බාගමුව දෙසට අපි වෙනත් ගමනක් යමින් සිටියෙමු. ‘කුඹුක්ගැටේ’ ගමේ නම දුටු වනම අතීත සිදුවීමක් මතකයට ආවේය. එන ගමනේ අපි ඒ ගැන සොයා ගියෙමු.
“මම මීට අවුරුදු හය හතකට පෙර මේ ගමට ආවා. ඒත් ඒ ගෙදරට යන පාර නම් මතක නැහැ. නමුත් පන්සලක් ළඟින් ගියා මතකයි. සමහර විට ගමේ මිනිස්සු ඒ මාමාව දන්නවා ඇති. අහලා බලමු ද?” මම රියැදුරු ආනන්දට කීවෙමි.
“ලොතරැයි විකුණන කෙනෙක් නම් ගමේ කවුරුත් දන්නවා ඇති. ඉස්සරහට ගිහින් බලමු.” රියදුරු අප දිරිමත් කළේය.
කුඹුක්ගැටේ දුනුමඩලාව පන්සලට හැරෙන හන්දියේ වම්පස ඇත්තේ ලොතරැයි විකුණන කූඩුවකි. එහෙත් මෙදා එය වසා දමා තිබිණි. අපට අවශ්‍ය පුද්ගලයා පිළිබඳ තොරතුරු විමසන්නට ද කෙනෙකු ඒ වන විටත් මඟ නොසිටියේය.
“බලමු, ඉස්සරහට ගිහිල්ලා.”
වාහනය සෙමෙන් ඉදිරියට යයි. ඒ මඟෙහි ඉදිරියෙන්ම පරණ බෑගයක් ද කරෙහි එල්ලාගෙන යන වයෝවෘද්ධ මහතෙකි. වාහනය ඔහු අබියස නතර කෙරිණි.
“අර... පන්සලේ කප්රුකේ ස්විප් එකක් එල්ලපු මාමගේ ගෙදර කොහෙද? ඒ ස්විප් එකට රුපියල් කෝටියක දිනුමකුත් ඇදුණේ...” මම විමසීමි.
“ඒ මම තමයි මට ගමේ කවුරුත් කියන්නේ කෝටියේ මාමා කියලා. යමු එහෙනම් ගෙදරට...”
ඔහු අප හඳුනා ගත්තේය. පිළිගත්තේ ආදරයෙනි. දැන් ඔහුගේ ගරා වැටුණු නිවෙස පසෙකින් සිමෙන්ති ගලින් බැඳි නව නිවසකි. බැලු බැල්මටම පෙනෙන්නේ ඔහු බොහෝ බැරි අමාරුකම් මධ්‍යයේ ජීවත්වන බවකි.
“මං අවුරුදු ගාණක් තිස්සේ ස්විප් විකුණලා තමයි ජීවත්වෙන්නෙ. එදා පන්සලේ කඨින පිංකම දවසේ මට පූජා කරන්න දෙයක් තිබුණේ නැහැ. මම කප්රුකේ ලොතරැයි පතක් එල්ලුවා. පන්සලේ පොඩි හාමුදුරුවෝ පහුවදා ලොතරැයිය අරගෙන ආවා දිනුම් ඇදිලද කියලා බලන්න. මේ ඇත්තමයි කෝටියේ දිනුම ඇදිලා තිබුණේ මම එදා කප්රුකේ එල්ලපු ස්විප් ටිකට් එකට. මම හාමුදුරුවන්ගේ නම ලිපිනය ලිව්වා. දිනුමේ මුදල් ගන්න දවසේ මමත් ඒ උත්සවයට ගියා.”
මීට වසර කිහිපයකට පෙර මේ පුවත ඔස්සේ ඔහු සොයා ගිය අපට පියසේන මාමා පැවසුවේ ඔය කතාවමය. එදා කුප්පි ලාම්පු එළියෙන් අපි ඒ නිවෙසේ ඔබ මොබ ඇවිද්දෙමු. බොහෝ අගහිඟතා මධ්‍යයේ ජිවත්වුවද තමන් පූජා කළ ලොතරැයි පතට කෝටියක මුදල් දිනුමක් ඇදුණු බව දැනගත් මොහොතේ පියසේන මාමා, ඔහුගේ බිරිය මෙන්ම දූ දරුවෝ සාධුකාර දුන්හ.
හොර බොරු වංචා නැති පියසේන මාමා අද ද ඒ පිළිබඳ තණ්හා සිතුවිලි පහළ කරගෙන නැත්තේය. එදා දෑත් එක්කර සාධුකාර දුන් පියසේන මාමාගේ බිරියගේ වම් අත අද පණ නැත. ඇයට තනිවම ඇවිද යෑමට පවා නොහැක. අංශභාග රෝගයෙන් පෙළෙන ඇය බාගෙට සාදා ඇති නිවෙසේ සාලයට වී පාර දෙස බලා සිටින්නීය.
“ඒ ලොතරැයි දිනුම ඇදිලා මාස කිහිපයකට පස්සේ තමයි මගේ බිරිය රෝගී වුණේ. මං තාමත් ස්විප් විකුණනවා. උදේට ගෙදර හැමදේම කරලා බිරිය සෝදලා පිරිසුදු කරලා තමයි හන්දියට යන්නේ. අපේ ලේලි නාලිකා මගේ බිරියව හොඳින් බලා ගන්නවා. මට කනගාටු මගේ බිරිය ඔත්පල වෙච්ච එක ගැන පමණයි.” පියසේන මාමා පවසන්නේ කනගාටුවෙනි.
ඔහු දැන් හැත්තෑ අටවැනි වියෙහි පසුවන්නේය. අප යන විට සාලය පුරා වී වේළෙන්නට දමා තිබිණි.
“ස්විප් විකුණන්නයි මේ වැඩ කරන්නයි අමාරුයි. අපිට ලැබුණු වී ටික ගෙයි බිම දැම්මා. මේ ගේ කෑල්ල හදලා දුන්නේ ලොතරැයි මණ්ඩලයෙන්. ගමේ සමහරු මට බණිනවා මං මෝඩයෙක් කියලා.”
“ඒ මොකද?“ අපි විමසුවෙමු.
“මම කෝටිය ඇදුණු වෙලාවේ ඒක තියාගත්තේ නැහැ කියලා තමයි කියන්නේ. ඒත් මට ඒක අයිති කරගන්න ඕන කියන සිතිවිල්ල ඇති වුණේ නැහැ. ජීවිතේ කවදාවත්ම මම වංචාවක් හොරකමක් කරලා නැහැ. එහෙම එකේ ඔය ලොතරැයියට මොකටද බොරු කරන්නේ. මං හැමදාම හිතුවේ එහෙමයි. මාව ලොතරැයි මණ්ඩලයෙන් ගෙනැල්ලා ඇගැයීමක් කළා. ඔවුන් තමයි මගේ ගරා වැටුණ ගේ වෙනුවට මේ ගේ හදලා දුන්නේ. පන්සලේ හාමුදුරුවෝ ඒ ලොතරැයි දිනුමෙන් ලබපු මුදලෙන් මට රුපියල් ලක්ෂයක් දුන්නා. නමුත් ලොතරැයි මණ්ඩලයෙන් දුන්න මුදලින් ගෙයි කොන්ත්‍රාත්තුව බාරගත්ත මනුස්සයා වැඩේ සම්පූර්ණ කරලා දුන්නේ නැහැ. ඔහු කිව්වා මුදල් මදි කියලා. පරණ ගේ කඩා වැටුණා. ඊට පස්සේ මම හන්දියේ ත්‍රිවිල්වල ඉන්න දරුවන්ටයි තවත් කිහිප දෙනෙකුටයි ආරාධනය කරලා ගෙට ගෙවැදුණා. කිරිබත් ටිකක් උයලා කැවුම් ටිකක් හදලා එදා ආ අයට සංග්‍රහ කළා.”
පියසේන මාමා පවසන්නේ තමන් අලුත් නිවසට පැමිණි ගමනය. නමුදු ඒ ගෙය අංග සම්පූර්ණ නැත. බිත්ති කපරාරු කර නැත. උළුවහු දොර ජනෙල් නැත. තවමත් ඔවුන් ගෙවන්නේ දුක්ඛිත ජීවිතයකි. දිනපතා ලොතරැයි විකිණීමෙන් ලබන සුළු මුදල ඔවුන්ගේ වියහියදම් පියවන්නේය.
ජීවත්වෙන්න අමාරුයි තමයි. බිරිය රෝහලට ගෙනියන්න ඕනැ. මාසයකට දෙවරක් විතර. කෝටියක මුදල පන්සලට ඇදුණු දවස්වල හුඟක් අය මගෙන් ස්විප් ගත්තා. දැන්නම් එහෙමට කියලා විකිණෙන්නේ නැහැ. මං උදේ ගෙදර අස්පස් කරලා බිරියගේ වැඩ කටයුතු කරල මීගහමුල හන්දියට යනවා. ඉන් පස්සේ එතැන තියෙන බුදු පිළිමය ළඟ අතුපතු ගාලා පිරිසුදු කරලා මල් පහන් පූජා කරලා දවස පටන් ගන්නවා. මං පව් කරලා නැහැ. මේවා සංසාරේ ගෙනා කර්ම පුතේ”
ඔහු පැවසුවේ හීන් හඬිනි. කෝටියක ලොතරැයියක් දුනුමඩලාව පන්සලට පූජා කළ එච්. එම්. පියසේන මහතා ජීවිතය ගැන හිතන්නේ ඒ අයුරිනි.