
මෙරට දුම්රිය මාර්ග පද්ධතියේ කෙටි දුරක් තුළ ඉහළ උසකට ළඟා වන දුෂ්කර මාර්ග කොටසක් ලෙස රඹුක්කන - කඩුගන්නාව දුම්රිය මාර්ග කොටස හැඳින්විය හැක. ඒ ආශ්‍රිත සුවිශේෂ ස්ථාන සහ ඉංජිනේරුමය නිමැවුම් සොයා කඩුගන්නාවේ සිට පාගමනින් දුම්රිය මාර්ගය දිගේ යන සංචාරයක් ඇසුරෙන් සැකසෙන ලිපි පෙළක පෙර කොටස් පසුගිය සිළුමිණ කලාපවල පළ විය. මේ සතියේ පළ වන්නේ එහි දසවැන්නයි.
මෙරට දුම්රිය මාර්ග පද්ධතියේ කෙටි දුරක් තුළ ඉහළ උසකට ළඟාවන දුෂ්කර මාර්ග කොටසක් ලෙස රඹුක්කන - කඩුගන්නාව දුම්රිය මාර්ග කොටස හැඳින්විය හැක. ඒ ආශ්‍රිත සුවිශේෂී ස්ථාන සහ ඉංජිනේරුමය නිමැවුම් සොයා කඩුගන්නාවේ සිට පාගමනින් දුම්රිය මාර්ගය දිගේ යන සංචාරයක් ඇසුරෙන් සැකසෙන ලිපි පෙළක පෙර කොටස් පසුගිය සිළුමිණේ පළවිය. මේ සතියේ පළවෙන්නේ එහි දසවැන්නයි.
අංක 235 යටතේ ධාවනය කරන්නට තමන් විසින් කොළඹින් බාරගත් දුම්රිය, ලාංකිය දුම්රිය ඉතිහාසයේ කළු අකුරෙන් සනිටුහන්වෙනු ඇතැයි රියදුරු බී.එච්. ක්ලෙයාර් ද සිල්වා හෝ ප්‍රධාන නියාමක වයි.කේ.ද සිල්වා ඇතුළු කාර්ය මණ්ඩලයේ කිසිවෙකු නොසිතන්නට ඇත. 1984 සැප්තැම්බර් 24 වන දින සවස් වරුවේ ප්‍රධාන දුම්රියයන්ට ඉඩකඩ දෙමින් නිසොල්මනේ රඹුක්කනට ඇදුණු මේ දුම්රිය කොළඹ සිට නානුඔයටත්, බදුල්ලටත් තෙල් සහ භාණ්ඩ ප්‍රවාහනය කරන දෛනික දුම්රියකි. පසුපසින් අමතර එන්ජිමක්ද සම්බන්ධ කොටගෙන රඹුක්කනින් රාත්‍රී 8.30ට පිටත් වූ මෙම දුම්රියේ අරමුණ වූයේ බදුල්ල රාත්‍රී තැපැල් දුම්රියට කඩුගන්නාවේදී ඉඩකඩ ලබාදී යළි නිසොල්මනේ ගමන් කිරීමයි.
එසේ නමුත් බලන දුම්රිය ස්ථානයට පසුකරන විට කිසියම් අනපේක්ෂිත දෝෂයක් මතුවන බව පෙනුණු අතර වහාම දුම්රිය ගමනේ වේගය අඩාල විය. අඩ පැයක පමණ උත්සාහයෙන් පසු බලන දුම්රිය පොළ හරහා නාවලපිටිය පාලක මැදිරිය සම්බන්ධ කරගත් පසු උපදෙස් ලැබුණේ “දුම්රිය පිටුපසට ගෙන” බලන දුම්රිය පොළේ නවත්වා ගැනීමටය.
ඒ උපදෙස් අනුව කටයුතු කරන්නට ගියද, එන්ජිමේ කාර්මික දෝෂය නිසා පාලනයෙන් තොර වූ දුම්රිය පහළට ඇදී එන්නට විය. අනතුරක සේයාවක් දැනුණු උප නියාමකවරයා වහාම පහළට තල්ලු වී යන දුම්රියෙන් බිමට පනින ලද අතර , බලන දුම්රිය ස්ථානයෙන් පහළ දුම්රිය ස්ථාන වෙත අනතුරු හඟවන ලදි. බැවුමේ පහළට තල්ලු වි යන දුම්රියේ වේගය ක්‍රමයෙන් වැඩිවී ගොස් ඇති අතර, වේගය කෙතරම් වැඩිවීද කියතොත් බලනෙන් අනතුරු ඇඟවීමේ පණිවිඩය ඉහළ කෝට්ටේට ලැබෙන්නට පෙරම ඉහළ කෝට්ටේ පසුකර එම දුම්රිය පහළට ඇදී ගොස් තිබිණි.
“අපේ ගෙදර එදා දානෙකට කැවිලි හද හදා හිටියේ…. හෝන් සද්දෙකුත් එක්ක හෝ ගාගෙන කෝච්චිය එනව ඇහුණා… මිදුලට ගිහින් බලද්දි ගිනිමල් ජාලාවක් එක්ක කෝච්චිය පහළට ඇදීගෙන යනවා…. බ්රේක් නෑ කියල හිතුනට, රඹුක්කනටම තල්ලු වෙලා යයි කියලයි හිතුවේ… පහුවදා පාන්දරම ආරංචි වුණා කෝච්චිය පෙරළුණු බව… අපිත් බලන්න ගියා….” අපට එසේ පැවැසුවේ වළගොඩදී හමුවුණු එච්.ජි. පොඩිමැණිකා මාතාවය.
මෙසේ ඇදී ගිය දුම්රියේ එන්ජිම වරින් වර වංගුවලදී මාර්ගයෙන් ඉවතට පවා විසිවී තිබේ. එහෙත් මැදිරි සමඟ ඇති ඈඳුම් නොගැලවීම නිසා යළි පාරට වැටී පහළට ඇදී ගොස් තිබේ. මේ නිසා එන්ජිම ඇතුළේ කරණම් ගැසූ රියදුරුට සහ සහායකයාට බරපතළ තුවාල සිදුවී තිබේ. ගංගොඩ වතු වේදිකාව පසුවී අඩ සැතැපුමක් පමණ පහළට එද්දී දුම්රියේ එන්ජිමත්, තවත් බඩු මැදිරි හතරකුත්, තෙල් ටැංකි තුනකුත් පෙරළී ගොස් තිබේ.
ගංගොඩ සිට දුම්රිය මඟ දිගේ පාගමනින් පහළට එන අපිට, එදා දුම්රිය එන්ජිම පෙරළී ගිය ස්ථානය ආසන්නයේම පදිංචිව සිටින “කම්මලේ ගෙදර” ඇත්තන් හමුවීමට අවස්ථාව ලැබිණි. අප කම්මලේ ගෙදරට ගොඩවන විට එහි සිටියේ හැටපස් හැවිරිද යූ.ඩී.එච්.ජී. ජයවික්‍රම මහතාත් ඇගේ දියණිය යූ.ඩී. නන්දාවතීත්ය.
“ඕක හැමදාම රාත්‍රී නවේට විතර උඩහ යන කෝච්චියක්… එදා ගිහින් ටික වෙලාවකින් හෝන් ගහගෙන පහළට එනවා ඇහුණා… කෝච්චියේ සද්දෙත් අමුතුයි... මේ හරිය පහු කරන කොටම අහස්යානාවක් කඩා වැටෙනවා වගේ සද්දයක් ඇහුණා… ඒත් කෝච්චිය පහළට ඇදිලා යනවා දැනුණා… ඒ එක්කම මිනිස්සු කෑගහන සද්දක් ආවා… අපි හුළු අතු බැඳගෙන කෝච්චි පාරට දිව්වා… එන්ජිම පෙරළිලා තිබ්බා…. ඩ්‍රයිවර්ල තුවාල වෙලා…හැබැයි සිහියෙන් හිටියා…. කෙසෙල්, තැඹිලි, කිරිපිටි, හාල් විසිරිලා තිබ්බා… පස්සේ පල්ලැහැ කට්ටිය කිව්වා කදුරාගෙඩිය බිංගේ කිට්ටුව තෙල් ටැංකියක් ගිනි ගන්නවා කියල….අපි රෑම ඒකත් බලන්න ගියා...”
පෙරළුණු එක් තෙල් ටැංකියක් ගිනිගෙන තිබූ අතර අනෙක් ටැංකි වලින් ඉන්ධන කාන්දු වෙමින් තිබිණි. වාහන හෝ යන්ත්ර සූත්ර එතරම් සුලභ නොවූවද, කලවම්ව ගලායන පෙට්රල් සහ භූමිතෙල් එක්ව අලුත් ඉන්ධන සංයුතියක් නිමවී තිබුණද, පහුවදා උදෑසන වන විට ඒ වැස්සෙන තෙල් එක්රැස් කිරීමට, හේන්පොල, බැද්දේවෙල, වත්තේගම අවට ජනයා කළගෙඩි, බැරල්, කෑන්, මුට්ටි ආදිය රැගෙන අනතුර සිදුවූ තැන පොදි ගැසී සිටි අයුරු නන්දාවති මහත්මියට තවමත් මතකය.
“පහළට ගලාගෙන ගිය තෙල් ළිංවල, කුඹුරුවල තට්ටු වගේ එකතු වෙලා තිබ්බා… විසි වෙවී ආව කෝච්චිය නිසා පාර දෙපැත්තේම කඩාගෙන ගිහින් තිබුණා. සමහර බෝක්කු එහෙමත් කඩාගෙන ඇවිත් තිබුණා. කොහොම හරි මාස දෙකකට කිට්ටු වෙන්න පාර හැදුවා… එතකම් රඹුක්කන- කඩුගන්නාව අතර කෝච්චි දිව්වේ නෑ…මේ හරියේ වාඩි ගහගෙන පාරෙ මිනිස්සු වැඩ කළා… අපි පොඩි කඩ කෑල්ලක් දාගෙන එයාලට බුලත්විට, තේ එහෙම වික්කා… මහත්තුරු කෑම කෑවෙත් අපේ කඩෙන්...”
මේ මාර්ග කොටසේ ඉහළ සිට පහළට එනවිට අපට හමුවුණු බොහෝ දෙනෙක් දන්නා මෙම අනතුර, මෙම මාර්ග කොටසේ සිදුවූ ජනප්‍රියතම දුම්රිය අනතුර යැයි සටහන් කළහොත් එය වැරදි නැත. දුම්රිය අනතුරේ තෙල් ටැංකි පෙරළුණු සෑම තැනකම තෙල් එකතු කිරීම ජයටම සිදුවූ බැවින්, අහඹු තෙල් උල්පත් මතුවූ එකල, මෙම ප්‍රදේශය හඳුන්වා තිබී ඇත්තේ “පුංචි අරාබිය” ලෙසය.
දුම්රිය අනතුරෙන් හානි වූ මැදිරි කොටස්, බෝගි, රෝද ආදිය අදටත් කඩිගමුව දුම්රිය ස්ථානයට ඔබ්බෙන් දැක ගත හැකි අතර, සැතැපුම් 57 කණුවට ආසන්නව දුම්රිය මාර්ගය අසල රෝද කට්ටලයක් ඉතිරිව තිබෙනු විමසිල්ලෙන් බලන දුම්රිය මඟියෙකුට හඳුනාගත හැකිය. විමසිල්ලෙන් අවට බලන දුම්රිය මඟියෙකුට පවා නොපෙනෙන පරිදි, අතහැර දැමු තෙල් ටැංකියක් අංක 5 දරණ බිංගෙය ආසන්නයේ අදටත් පවතී. දුම්රිය මාර්ගයේ සිට මීටර් සියයක් පමණ පහළින් රබර් වතු යායක පහළ කොටසේ ගසක් පාමුල රැඳී ඇති මෙම ටැංකිය දැක බලාගැනීමට හැකි වන්නේ පාගමනින් දුම්රිය මාර්ගය දිගේ යන්නෙකුට පමණි.
ඉන්පසුව හමුවන්නේ අංක 05 දරණ බිංගෙයයි. එය කොළඹ සිට සැතැපුම් 56.72ක දුරින් පිහිටා ඇත. දිගින් අඩි 721කි. දුම්රිය දෙපාර්තමේන්තුවේ නිළනාමය අංක 05 දරණ බිංගෙය වූවද, ප්‍රදේශවාසී බොහෝ දෙනා මේ බිංගෙය හඳුන්වන්නේ “කදුරුගෙඩියා බිංගේ” යනුවෙනි.
“ඔය ගල් කන්ද දිගේ හේන්පොල ගමේ ඉඳලා පූජාගල හරහා පොත්ත පිටියටම ගියහැකි. ඔතන ඉස්සර මහ කැලේ… විශාල කදුරු ගහක් තිබිලා තියෙනවා...ඒකේ ගෙඩි හැදිලා එතැනම වැටිලා යායට කදුරු පැළ තිබිලා තියෙනවා… සුද්දා බිංගේ හදද්දි ඒ යායම විනාශ වෙලා… ඒත් කදුරු ගහ ළග හාරපු බිංගේ නිසා, ඒකට කදුරුගෙඩියා බිංගේ කියල කියනවා…” හැටපස් හැවිරිදි යූ.ඩී.එච්.ජී. ජයවික්‍රම මහතා බිංගෙය බෞතිස්ම විමට හේතු සාධක පැහැදිලි කලේ එළෙසිනි.
බිංගෙය තුළින් රිංගා, සෙමින් සෙමින් අනෙක් අන්තයට පැමිණි අපට දැකගන්නට ලබෙන්නේ ඝනව වැඩුණු රබර් වත්තකි. රබර්වත්ත පසුකර මද දුරක් එනවිට හමුවන්නේ යටිවල්දෙණිය දුම්රිය නැවැතුමයි. පැරණි දුම්රිය වැගනයක් එහි තබා ඇත්තේ අව්වෙන් වැස්සෙන් බේරී දුම්රිය එනතුරු රැඳී සිටින්නටය. ප්‍රවේශපත් අලෙවියක් සිදු නොවන ඒ දුම්රිය නැවැතුමෙන් දුම්රියක ගමන් ගන්නා මගියෙකු දුම්රියේ නියාමකවරයාගෙන් හෝ, ගංගොඩ උප දුම්රිය පොළෙන් හෝ, කඩිගමුව දුම්රිය පොළෙන් ප්‍රවේශපත්‍රයක් ලබා ගත යුතුය.
බොහෝ දුරක් ඇවිද ආ තෙහෙට්ටුව නිසාම අපි යට්වල්දෙණිය දුම්රියපොළ වේදිකාවේ බිම වාඩිවුණෙමු. දුම්රිය පොළට ඉදිරියෙන් ඇත්තේ යටිවල්දෙණිය විහාරස්ථානයයි. සුදෝවන් චෛත්‍යක්ද, බුදුපිළිමයක්ද, ඊට පසුබිමෙන් විශාල බෝ රුකක්ද දකිමින් විවේකීව සිටි අප අසලට ආවේ මාර්ග රාජකාරියේ නියුතු පෙට්රොල්මන්වරයායි. නම බැසිල්ය.
“කෝච්චි පාරේ විස්තර අහගන්න, කිට්ටුව වයසක මාමා කෙනෙක් එහෙම නැද්ද?”
“එන්න යන්න මාත් එක්ක”
අපි ඔහුත් සමඟ දුම්රිය පොළ ආසන්න නිවෙසකට ගියෙමු. ඒ.එම්. මුතුබණ්ඩා නම් ගෘහමූලිකයා, සංඥා අංශයේ සේවය කළ විශ්‍රාමික දුම්රිය සේවකයෙකි. වයස අවුරුදු හැත්තෑ පහකි. අපි අනන්‍යතාව පවසා අතීත සිද්ධි සහ විස්තර විමසූවෙමු. දැනට කඳුකර ප්‍රදේශවල පිහිටි දුම්රිය ස්ථාන ආශ්‍රිතව ඇති පීලි පැන්නුම් ස්ථාන ගැන වැදගත් තොරතුරක් ඔහු අප හා පැවැසීය.
“සුද්දා කෝච්චි පාර හදාගෙන ගියාට, එංගලන්තේ පාවිච්චි කරපු හැම ආරක්ෂක විධිවිධානයක්ම අපේ පාරවල්වල දැම්මේ නෑ…”
“ඇයි එහෙම කියන්නේ….”
“ ඒ කාලේ තිබිල තියෙනවා කොළඹ ඉඳන් බදුල්ලට සෙකන්ඩ් මේල් එකක්. ඒක කොළඹින් ගියේ රෑ දහයට… පළවෙනි බදුලු කෝච්චියේ වතු කම්කරුවෝ… සාමාන්‍ය මිනිස්සු යද්දි මේ දෙවැනි කෝච්චියේ ගියේ සල්ලි කාරයෝ… 1940 දි දවසක, කලින් මේල් එක කඩුගන්නාවට තල්ලු කරපු එන්ජිම අලගල්ලට එනකම් ආපහු ඇවිත් නවත්තගෙන ඉඳලා තියෙනව සිග්නල් නැතිව. ඒ අතරේ රඹුක්කනින් දෙවැනි මේල් එක උඩහට ඇවිත්….”
“සිග්නල් පරක්කු නිසා මේ එන්ජිමේ ඩ්‍රැයිවරුයි, සහායකයයි, බැහැල ෆ්ලැට් ෆෝම් එකේ ඉඳල…. එන්ජිම එක පාර නියුට්‍රල් වෙලා ඉබේ පහළට යන්න අරන්… බයවුණු ෆයර්මන් (ගල් අඟුරු එන්ජින්වල පැවැති තනතුරක්) බිමට පැනල… එන්ජිම යන්න ගිහින්… නවත්තගන්න ක්‍රමයක් තිබිලා නෑ… කඩිගමුවට කියන්නවත් හම්බුවෙලා නෑ… හතරෙ බිංගේ අස්සෙදි නයිට් මේල් එකේ හැප්පිලා තමයි නැවතිලා තියෙන්නේ….”
වාෂ්ප එන්ජින් සමයේ සිදුවූ මේ අනතුරෙන් විශාල පිරිසක් තුවාල ලැබූ බවත්, එය සමාජ ආන්දෝලනයක් ඇතිවූ දුම්රිය අනතුරක් වූ බවත් ඒ.එම්. මුතුබණ්ඩා මහතා පැවසුවේය.
“ඊට පස්සේ තමයි ඔය කඳුකර ස්ටේෂන් වල පීළි පැන්නුම් දාල තියෙන්නේ….ඒත් ඒවා දැම්මා කියලත්, රේල්ලුවේ නීති එක්ක අවසර ඇරන් පීලි පන්නවන්න හදන කොට වෙන්න ඕන දේ වෙලා ඉවරයි. ”
“ඇයි එහෙම කියන්නේ….”
“මම සිග්නල් කැබින් එකේ ඉද්දිම “තේකොළ කෝච්චිය” තැපැල් දුම්රියේ වැදුණේ පීලි පන්නන්න කලින් අවසර ගන්න ගිහින් තමයි…”
ඒ අනතුරේ කතාවත් සමඟ ලබන සතියේ හමුවෙමු.
මේ මාර්ග කොටස ගැන ඔබ දන්නා විස්තර වේ නම් [email protected] ඊ-ලිපිනයට දන්වන්න.
ස්තූතිය - අවසර ගැනීම් සම්බන්ධීකරණය කළ ජ්‍යෙෂ්ඨ දුම්රිය රියදුරු සමන් ගුණවර්ධන මහතාට, දුම්රිය දෙපාර්තමේන්තුවේ පරිපාලන නිලධාරී (සම්බන්ධිකරණ ලේකම්) විරාජ් නානායක්කාර මහතාට, තොරතුරු තහවුරු කර ගැනිමට සහාය වූ කොටුව දුම්රිය මාර්ග අධීක්ෂණ කළමණාකරු ඇන්ටන් වික්‍රමරත්න මහතාට, නාවලපිටිය ප්‍රවාහන අධිකාරී කාර්යාලයට සහ ගමන ගවේෂණ කණ්ඩායමට
ඥානේන්ද්‍ර ප්‍රදීප් පතිරණ