‍ථෙරපු­ත්තා­භය රහතුන්ෙග් පහස ලද ෙවල්ලස්ෙස් වන ෙසනසුන | සිළුමිණ

‍ථෙරපු­ත්තා­භය රහතුන්ෙග් පහස ලද ෙවල්ලස්ෙස් වන ෙසනසුන

මුඩු බිමක් කෙම් බිමක් බවට පත් කළ අපේ හාමුදුරුවන් තමා වඩා හිඳුවා ආද‍රයෙන් බලා හදාගත් නාඹර රුක් පෙළ සෙවණෙහි සොබා දහමට අවනතව, වියපත් වෙමින් මේ අරණේම අදත් වැඩ වාසය කරන්නේ හෙළු දහදිය වෙහෙස පිරි වීර්යය පාරමිතාවෙන් ලද ඵල අතර රැ‍ඳෙමිනි.

නමින් අමනාවල විමලධම්ම නා හිමියන් එදා 1980 වසරේදී. මොනරාගල දිස්ත්‍රික්කයේ. කුඹුක්කන, කලවැල්ලාර ගම පිහිටි ගලවැටබද්ද වන රක්ෂිතය දොරකඩට පැමිණෙන විට උන් වහන්සේගේ වයස අවු: 21කි. පරිණත නොවු දිවිමඟ සැණෙන් වෙනස්වන සුලු තාරුණ්‍යයේ හැඟීම් බොහෝ විට තෙරපෙන්නේ සුඛ විහරණ වෙනුවෙන් ය.

එහෙත් පෙර අරණ්‍ය සේනාසනයක වැඩ හිඳ පිළිවෙත් දැන හැඳින සංයමයට පත් වූ යෞවනය , උන්වහන්සේව ගිහි දිවියට හෝ, දුෂ්කර වන අරණින්, පසල් දනව්වට හෝ සම්පත් ඇති විහාරස්ථානයකට හෝ ඇරලවන්නට සූදානම් නොවීය.

රැගෙන පැමිණියේ කඳුකර වන රක්ෂිතයේ පාද මූලයටය. පාද මූලය නිසරු මුඩුබිමක් විය. පෙර විහාර පරිශ්‍රයක ලකුණු පෙන්වූ පුළුල් වපසරික කටු කොහොලින් වැසී පැවතිණි. මඳක් ඔබ මොබ සැරි සරන විට ස්තූපයක නටබුන්, නිධන් හාරන දෙපා ඌරු මීයන් විසින් විනාශ කළ විහාරාංග කොටස් ශෛලමය උළුවහු කඳන්, ගෙපැලක මිරිස් ගල්වලට පරිවර්තනය වූ පැරණි ගල් පඩි සී සී කඩ වී වැලපෙන අයුරු දකින්නට ලැබිණි. ඉතිරිව පැවතියේ ගලවා, කුදලාගෙන යා නොහැකි විසල් ගල්ලෙනක් පමණි. මේ ලෙනෙහි පියසෙහි කටාරම් ලකුණු ද විය. එතැන පුංචි කටුමැටි පැල් කොටයක් ද තනි වූ ගස් ලබු ගසක් ද විය. පෙරදා කන්ද පාමුල රක්ෂිතයේ තිබූ විසල් ගස් සමුහය කියතට, පොරවට හසු වී වෘක්ෂ සුසානයක් සෑදී තිබිණි. වැඩ වාසයට පැමිණි ස්ථානයේ ස්වරූපය එබඳු විය. ජීවත් විය යුත්තේ බඩකට පුරවා ගන්නට නොවන නිසා අර ගස්ලබු ගසෙන් කඩාගෙන තම්බාගත් ගස් ලබු කැබලි කීපයකින් දන් වේල පිරිමහ ගැනීමට සිදු විය.

සමීපයේ වන කලවැල්ලාරගම, කුඹුක්කන, අන්දරමණ්ඩිය වැනි දුප්පත් ගොදුරු ගම් බිම් හි තැනින් තැන පැල්පත් කීපයක් ද විය. බහුතරයක් සිටියේ අවට වතු වල සේවය කළ දමිළ වතු කම්කරුවන්ය. දුප්පත් බෞද්ධ මිනිස්සු සිල් පද පහවත් මුමුනන්නට නොදත්තෝය. පාංශූකූලයකට භික්ෂුන් වහන්සේ නමක් වඩමවාගෙන එන්නට කි. මීටර් ගණනාවක දුරක් යා යුතු විය.

එහෙත් වීරිය පාරමිතාව පුරන විට සොහොන් බිමට සහන් එළිය දැල්විණි. නැවත රුක් රෝපණය වන්නේ ඒ නිසාම උන් වහන්සේගේ දෑතිනි. ඉතිහාසයේ තිබූ බුද්ධ මන්දිරය වෙනුවට නව බුදු මැදුරක් ඉදිවිණි. පෙදරේරුවන්ට, වඩු බාසුන්නැහැලාට ගෙවීමට මුදල් ද නැත. ලඹය ද, මට්ටන් ලෑල්ල ද, මේසන් හැන්ද පමණක් නොව කියත, නියන , මිටියට ආගන්තුක නොවු තරුණ විමල ධම්ම හිමියන්ගේ දෑත එදා දුටුගැමුණු රජතුමාගේ සේනා බළෑණියේ සිට ‍‍ෙථරපුත්තාභය යෝධ රණ වි‍රුවාගේ අත වූ යගදාවට මෙන් හොඳින් හුරු වී තිබිණ. එදා ථෙරපුත්තාභය යෝධයාගේ පුළුල් සි‍රුරේ මහත් සවිය - විමල ධම්ම කෙසඟ සිරුරට ආරූඪ වී‍ තිබුණු සෙයකි. ඒ සැඟැවුණු යෝධ සවියෙන් බුද්ධ මන්දිර ඉදිවිය.

මෙම ගිරි වන ගහනය පාදමේ උස් කඳු ගැටය මත පෙරදා මේ ආශ්‍රයේ නැසී මිය පරලොව ගිය වෙහෙර වහන්සේට ශාසනික වන්දි ගෙවීමක් වශයෙන් ගිරිකුළට සරිලන ස්තූපයක් ඉදි කෙරිණ. අවට දුප්පතුන්ගේ ඩහදියෙන් කඳුළෙන් ලද කාසි එක දෙක එකතු වෙමින් සිමෙන්ති කොට්ට එක දෙක අරණ පාමුල තැබිණි. ඇත්තෙන්ම කොන්ක්‍රීට්, බදාම ඇනුණේ විමලධම්ම හිමියන්ගේ සහ පීඩිත දායකයන‍් කීප දෙනකුගේ දහදියෙන් කඳුළෙන් ද යැයි සිතෙන තරමට මේ පරිවර්තනය අභියෝගාත්මක ය. ආරණ්‍යයට ජලය නොමැති විය. ගලවැටබැද්ද වන රක්ෂිතයේ කි.මි. ගණනක් දුර ඉතා මුඳුනේ කුඩා දිය උල්පතක් සොයා ගත්තේ ද විමලධම්ම හිමියන් විසිනි. කුහර හාරා, ඉත්තෑවන්, තලගොයන් මෙන් ඒ තුළට බඩ ගාමින් බට සවි කෙරිණි. ඒ තුළින් ආරණ්‍ය පාමුලට දිය රැගෙන ආ ගමන අතිශය වෙහෙසකාරී ව්‍යායාමයක් විය.

චීවරයේ මඩ දුවිලි - සිමෙන්ති තැවරුණ ද අවපැහැ වුණද මේ සියල්ල සිදු වුණේ උතුම් අරමුණක් වෙනුවෙනි. ඒ චීවරය කුණු දුවිලි ඉවත් කර සෝදා වේළා ඇඟලු පසුවත්, පෙරත් මේ වැඩ සිටින්නේ කිලිටි නොවුණු අමනාවල විමලධම්ම යෝගාවචාරයාණන් වහන්සේම බව දන්නා අවට අසරණ දායකයෝ අ‍ෙප් හාමුදුරුවන්ව හදවතින්ම වැලඳ ගත්හ. පන්සලෙන් ඝණ්ටාරයේ නද ඇසිණ.

පැල්පත් දොරකඩින් පන්සිල් පද මුමුනන හඬ ඇසිණි. අවසන් ගමන් යන අසරණයකුගේ දේහය අසල ‘අනිච්චාවත සංඛාරා’ ගාථාවේ හඬ ඇසිණි. පාංශුකූලයට කි.මි. ගණනක් දුර ගෙවු මිනිසුන්ගේ දොරකඩ අසල විමලධම්ම හිමියන්ගේ රුව පෙනිණි.

එපමණක් ද නොවේ. මිය ගිය අසරණ දමිළ මිනිසුන්ගේ ඥාති මිත්‍රාදීහු ආගමික වත් පිළිවෙත් වෙනුවෙන් විමලධම්ම හිමියන්ගේ සරණ පැතූහ. ඇතැම් දමිළ නිවසක මතක බණ කියැවිණි. භික්ෂූන් වහන්සේ වෙනුවෙන් දානයද සැකසිණි. ඇතැම් දිනෙක අසරණ දමිළ කම්කරුවකුගේ කුස ගිනි දැනුණේද මේ ආරණ්‍ය සේනාසනයටය. කන්නට දෙයක් නොමැතිම නම් මඤ්ඤොක්කා අලයක් - වැලි කොස්ඇට ටිකක් හෝ ගිනිහල් ගෙය තුළ ළිප මත තැම්බුණෙ ඔවුන් වෙනුවෙනි.

මේ කෙසඟ සිරුරකින් හෙබි විමලධම්ම යෝගාවචාරයාණන් පිළිබඳ හැඳින්වීමේදී මා උදාහරණයට ගත්තේ ‍ථෙරපුත්තාභය යෝධයා ය. අහසින් පාත් වූ ලෙස මෙවැනි උදාහරණ ගැනීම අනුචිත දැයි ඔබ සිතනු ඇත.

එසේ නම් මේ ගැටලුව අප දැන් ලිහාගත යුතුව ඇත. මෙතෙක් මා ඔබ සමඟ දොඩමලු වූ සිද්ධි දාමයේ ප්‍රමුඛ සැමරුම් සිහිවටන ඵලකය වන්නේ ‍ථෙරපුත්තාභය අරණ්‍ය සේනාසනයයි. ඒ නම පට බැ‍ඳෙන්නේ ප්‍රබල ජන ප්‍රවාදයක් සමඟය. ජනශ්‍රැතියෙන් පැවසෙන්නේ ‍ෙථරපුත්තාභය මහරහතන් වහන්සේ විවේකය ගත කළ ලැගුම් කුටිය වූයේ ඉහත සඳහන් කළ ලෙන බවයි.

මහා වංශය මෙසේ සඳහන් කරයි. “මහා යශස් ඇත්තා වූ ඒ (දුටු ගැමුණු මහරජ) තෙම ලංකා රාජ්‍ය එක් සේසත් කොට යෝධයන්ට තනතුරු සංවිධානය කළේය. ථෙරපුත්තාභය යෝධ තෙම දෙන ලද ඒ තනතුර නොඉවසුවේය. කුමක් පිණිසදැයි විචාරන ලද්දේ යුද්ධ‍යක් ඇතැයි කීයේය. යුද්ධයෙන් ඒක රාජ්‍ය කළ කල්හි කිනම් යුද්ධයක්දැයි කියාත් පිළිවිසියේය.

කෙෙලස් සොරුන් හා අතිශයින් දුර්ජන වූ යුද්ධයක් කරන්නෙමැයි කීයේය. රජ තෙම උහු නැවත වැළැක්වීය. හෙතෙම නැවත නැවත යච්ඤාකොට රජහු අනුමතයෙන් පැවිදි විය. පැවිදිවත් (විදර්ශනායෝග) කාලයෙහි රහත් බැව් පත් වුයේ රහතුන් පන්සීයයක් පිරිවර ද වුයේ ය.”

ඒ කියන විදියට මහණ දම් පුරා රහත් ඵලය ලද ථෙරපුත්තාභය මහ රහතන් වහන්සේ විවේක සුවයෙන් ගත කළ පින් බිම මෙතනම නම් එය සාතිශය සුවිශේෂී ස්ථානයක් මය. කිසිසේත් ලඝු කොට නොතැකිය හැකි ඉතිහාස සංසිද්ධියක්ම ය.

කොළඹ මොනරාගල A-04 මාර්ගයේ බුත්තලට පැමිණ එතැන් සිට එම මාර්ගයේම කි.මි. 8 කට ආසන්න දුරක් පැමිණ ප්‍රධාන මාර්ගයෙන් වමට දිවෙන කලවැල්ලාරගම පාරෙන් තවත් කි.මි. 1 1/2 ක පමණ දුරක් ගොස් වම්පස ඇති ථෙරපුත්තාභය ආරණ්‍ය සේනාසනයට ප්‍රවිෂ්ට විය හැකිය. කඳුවැටියක් ආශ්‍රයේ ඇති ගලවැටබද්ද නම් වන රක්ෂිතයෙන් අක්කර 15 ක පමණ වපසරියක් අරණ්‍ය සඳහා වෙන් කර දී ඇත.

කාලයේ පස් කඳු යට මිහිදන් වූ මෙවන් ස්ථාන වඩාත් අවධාරණයෙන් ග‍වේෂණය කළේ නම් පස් කඳු යට සිරගත වුණු අපගේ ජාතික ආගමික උරුමයක සද්දන්ත සිහිවටනයක් මතු කරගත හැකිව තිබිණි.

එය එසේ නොවුණද පැරණි ආරාම පරිශ්‍රයක් නම් පහදා සකසා ගන්නට පුළුවන් බව නම් ස්ථීරය. කෙලෙස හෝ වේවා නොසැලකිලිමත්ව ගෙවුණු කාලය විසින් එක් යුගයක පරිපූර්ණ වූ අතීත සිහිවටනයක් වනරොද පස්කඳු යට නැවත නොඑන ගමන් ගොස් අවසානය. ථෙරපුත්තාභය ලැගුම් ලෙනෙහි පැහැදිලි ඡායාරූපයක් ගැනීමට අපහසු වූයේ එය ආවරණය වන ලෙස විවිධ බාධක ඇති බැවිනි. මෙහි ප්‍රබල සැමරුම් සලකුණට බාධා පැමිණීම එතරම් යෝග්‍ය නොවෙතැයි සිතෙයි.

අද මෙම අරණෙහි කුටි 04 ක් පමණ ඉතා වෙහෙසින් ඉදිකර තිබේ. ස්තූපය ඇති කඳු ගැට බිම සලපතළ මළුවේ ගල් ලෑලි ද ස්තූපය වෙත නැගෙන පිය ගැටද තැනින් තැන ගැලවී ගොසිනි. දාන ශාලාවක අඩුව දැඩි අපහසුතාවක් බව පෙනෙයි. ශීල සමාදානයේ යෙදෙන පින්වතුන්ට අවශ්‍ය වැසිකිළි පහසුකම් වඩාත් හොඳින් සැකසිය යුතුව තිබෙයි.

මෙම අරණ්‍ය අස්ගිරි පාර්ශ්වයේ වනවාසී නිකායට අයත් වේ. අමනාවල විමලධම්ම භික්ෂුන් වහන්සේ මොනරාගල දිස්ත්‍රික්කයේ වනවාසී නිකායේ ප්‍රධාන සංඝ නායක පදවියෙන් පිදුම් ලබා තිබේ. උන්වහන්සේ සසුනට දායාද කළ සිසු භික්ෂූන් වහන්සේ විසිපස් දෙනක් පමණ වෙති. නවතම භික්ෂු සිසු පුතණුවන් වන්නේ වසර 10 ක් පමණ වූ පුංචි සාමණේරයන් වහන්සේ නමකි. අරන පුරා සැරිසරන විට මාගේ මාර්ගෝපදේශකයාණන් වූයේ උන්වහන්සේ ය. මා අරන තුළ ගත කළ හෝරා කිහිපයේදී මේ පුංචි හාමුදුරුවෝ වඩාත් මා සමඟ සමීප වුහ. ආදරයෙන් හිස පිරිමැද හුරතල් කිරීමට මා සිත පෙලඹුණද ආයාසයෙන් ඒ සිතිවිල්ල මම මැඬ ගතිමි.

මා නැඟූ ප්‍රශ්නයකට උන්වහන්සේ පිළිවදන් දෙමින් පැවසුවේ කහ සිවුරක් ඇඳ සිටීමේ දැඩි ආශාව නිසා මහණ වූ බවය. එසේම දිගටම මෙහෙම ඉන්න පුළුවන් නේද? මාමේ යැයි මේ පුංචි හාමුදුරුවෝ පෙරළා මාගෙන් ප්‍රශ්නයක් ද ඇසීය. කාල ගමන් මගේදී ආශාව, ජීවිතාවබෝධය වෙතට හුවමාරු වන විට චීවර දරා සිටින හදවත මොනතරම් වටින්නේ දැයි උන්වහන්සේ අවබෝධ කර ගනු නියතය. ථෙරපුත්තාභය යෝධයා නොව කෙලෙස් සතුරන් සමඟ යුද වැදුණු ථෙරපුත්තාභය මහරහතන් වහන්සේගේ සවිය තම සංඝ පීතෘෘන් වහන්සේගේ ආදර්ශයක්ද හෙට දින තාරුණ්‍යයට පත් වන මේ භික්ෂුන් වහන්සේටත් දැනෙනු නියත ය.

ස්තුතිය- එල්.ටී. පීටර් මහතා සහ පී.ජී. උක්කුමැණිකේ මහත්මිය.

Comments