76යි තාමත් පාසල් යන මාතර ගුරුතුමී | සිළුමිණ

76යි තාමත් පාසල් යන මාතර ගුරුතුමී

අඩසිය වසකටත් වැඩිකලක් පාසල් දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් කැප කළ 76 හැවිරිදි ගුරු මාතාවකගේ ආදර්ශවත් ජීවිතය පිළිබඳ කතාවකි.

හිරු උදෑසනම තම ගමන ආරම්භ කර ඇත. එහෙත් නාලනී ගුරුතුමියගේ ගමන ඇරැඹෙන්නේ ඊටත් කලිනි. මහත් ආශාවෙන් පුංචි දරුවන්ගේ හෙට දවස එළිය කරන්නට ඇය විදුහල වෙත පිය නගයි. මේ වන විටත් වයස අවුරුදු 76 පසුකර ඇති ඇය, විශ්‍රාම ගොස් වසර 16 කි. පසුගිය 51 වසර පුරාම ඇය මාතර ශාන්ත මරියා කන්‍යාරාමයේ ඉගැන්වීමේ කටයුතු කරන්නීය.

ගාල්ලේ, හිරිඹුරේ උපන් ඇය නමින් කාරියවසම් උළුවිටිකේ ගමගේ සුනන්දා ද සිල්වා ය. නමුත් ඇය පාසල් ක්ෂේත්‍රයේදී නාලනී අබේසේකර කියූ සැණින් නොදන්නා කෙනෙක් නැත.

“මම ඉපැදුණේ 1943 වර්ෂයේදී. ඒ පවුලේ බාලයා ලෙසයි. මාගේ තාත්තා ගම්මුලාදෑනි කෙනෙක්. අපි ජීවත් වුණේ අම්මාගේ මහ ගෙදර. අම්මා ගුණවතී විජේසිංහ, තාත්තා යු.ජී.ඩැනියල් ද සිල්වා.”

යමක් කමක් ඇති පවුලක ඉපැදුණු ඇයව අධ්‍යාපනයට යොමු කිරීමට දෙමවුපියන්ට වුවමනාවක් තිබුණේ නැත. විශේෂයෙන්ම එකල පැවැති තත්ත්වය අනුව ගැහැනු ළමයින්ගේ අධ්‍යාපනය එතරම් වැදගත් වුයේද නැත.

“අපේ පප්පා ගැහැනු ළමයින්ට උගන්වන්න ඕනේ කියලා හිතුවේ නැහැ. ඒ කාලේ අපි රෑට පාඩම් කරනවා කියලා එළිය දැනුණොත් පප්පා එනවා. ඇවිල්ලා උගුර පාදලා දොර රෙද්ද පොඩියක් ඈත් කරලා. මේ ළමයි දුක් විඳලා ඉගෙන ගන්න කියලා මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි ඉගෙන ගන්නවා නම් මම වියදම් කරන්නම්; ඔය ලාම්පුව නිවලා ඇඳට යන්න. කියලා යනවා. නමුත් ඒ් තත්ත්වය යටතේ වුනත් මම විශ්වවිද්‍යාලයට තේරුණා.”

තම පියාගේ අවධානය අධ්‍යාපනය කෙරෙහි මීට වඩා යොමු කෙරුණා නම්, තමාට මෙයට වඩා ඉහළ අධ්‍යාපනයක් ලැබීමට තිබුණු බව ඇය පවසන්නීය.

“පප්පලා උනන්දු වුණා නම් මට මීට වඩා ඉගෙන ගන්න තිබුණා කියලා හිතෙනවා. මම දක්ෂ ළමයෙක් නොවේ. රිපන් බාලිකාවේ 4 පන්තියේදී පළමු වාරයේ අන්තිමයා වුණා. පස්සේ තුන්වැනි වාරයේ දි මම පළමු වැනියා බවට පත් වුණා. රිපන් බාලිකාවේ උසස් පෙළ නොතිබුණු නිසා මම ගාල්ලේ මහින්දෙට ගියා. රිපන් බාලිකාවේ තිබුණේ මිෂනාරි අධ්‍ය­ාපනයයි. අපි සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය කළේ. නමුත් මාතර ශාන්ත මරියා කන්‍යාරාමය වගේ විද්‍යාලවල දැන් පන්සිල් ගන්නවා. සීල සමාදාන වැඩ සටහන් තියෙනවා. දැන් ඒ තත්ත්ව වෙනස් වෙලා”

තමා අධ්‍යාපනය ලැබූ අවධියේ විවිධ මතක සටහන් ඇය කීවාය. ඉන් අනතුරුව ඇය යොමුවුණේ වර්තමාන තත්ත්වය ගැන කතා කිරීමටය.

“1967 වර්ෂයේදී තමයි මම මුල්ම පත්වීම ලැබුණේ. ඒ මාතර ශාන්ත මරියා කන්‍යාරාමයට. එවකට විදුහල්පති ධුරයේ වැඩකළේ මැක්සිමා කන්‍යා සොයුරියයි. ඒ කාලේ ඉංග්‍රීසි අධ්‍යාපනයෙන් පාසල ඉතා ඉහළ තත්ත්වයක තිබුණේ. ප්‍රදේශයේ අපේ පාසලට විශාල පිළිගැනීමකුත් නිර්මාණය වෙලා තිබුණා. ළමයි පාසලට ඇතුළු කරන්න මවුපියන් අතර විශාල තරගයක් තිබුණා.“

“මම මුලින්ම ඉගැන්නුවේ අපොස උසස් පෙළ බටහිර හා ලංකා ඉතිහාසය, භූගෝලය හා සිංහල විෂයයන්; පසුකාලීනව නාට්‍ය හා රංග කලාව විෂයත් ඉගැන්නුවා. විශ්‍රාම යෑමෙන් පසුව අපොස සා.පෙළ ඉංග්‍රීසි මාධ්‍ය ප්‍රජාචාරය විෂය උගන්වමින් සිටිනවා.“

මුල් පත්වීම ලැබූ දින සිටම වසර 51ක් ම ඇය සේවය කළේ ශාන්ත මරියා කන්‍යාරාමයේය. අඩසිය වසකටත් වැඩි කාලපරිච්ඡේදයක් පාසල් දරුවන් සමග ගෙවන ජීවිතය පිළිබද ඇය කතා කරන්නේ සතුටිනි.

“ළමයි එක්ක ගැවසීම තුළින් මම විශාල වින්දනයක් ලබනවා. ඉගැන්වීමෙදී මට නිතරම යාවත්කාලීන වෙන්න සිද්ධ වෙනවා. ඒක මට විශාල ශක්තියක්. ඒවාගේම ම විශ්වාස කරනවා ළමයි එක්ක ජීවත්වෙනවා කියන්නේ අපිත් අලුත් වෙන එකයි. ළමයිගේ ලෝකය සුන්දරයි. ඔවුන්ගේ ලෝකයේ ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය නැහැ. මල් වගේ. එහෙම තැනක මොහොතක් හරි ඉන්න ඕනෑම කෙනෙක් කැමැතියි. මගේ කැමැත්ත මට පුළුවන් තාක්කල් පාසලට ඇවිල්ලා ළමයින්ට අධ්‍යාපනයක් ලබාදීමයි. අනික් කාරණය තමා, මම පාසලේ ඉගැන්නුවේ බොහොම පිවිතුරු අරමුණකින්. ඒ හින්දා මගේ ජීවිතේට කිසිම කරදරයක් වෙලා නැහැ. මගේ දරුවෝ වුණත් හොඳට ඉගෙනගෙන හොඳ තැන්වල ඉන්නවා. අම්මා කෙනකුට වෙන මොනවද ඕනෑ?“ ඇය සිනාසෙමින් අපෙන් අසයි.

පාසලේ විෂය බාහිර කටයුතුවලදී ද ඇයගෙන් පාසලට ලැබෙන්නේ සුවිශාල සේවයකි. ඒ අනුව පාසල් වේදිකා නාට්‍ය පහක් පමණ අධ්‍යක්ෂණය කරමින් ජාතික තලයේ ජයග්‍රහණ රැසක් ශාන්ත මරියා කන්‍යාරාමයට ලබාදීමට ඇය කටයුතු කර ඇත. එෙමන්ම පරිසරය පිළිබඳ විශාල උනන්දුවක් දක්වන ඇය, පාසලේ පරිසර කමිටුව ආරම්භ කිරීමට ද මුල්වී ක්‍රියා කළාය. මේ නිසාම පාසල් දරුවන්ගේ මෙන්ම ආචාර්ය මණ්ඩලයේද ඇය කෙරෙහි ඇත්තේ මහත්වූ ගෞරවයකි. නාලනී ගුරුමහත්මියගේ සේවය සම්බන්ධයෙන් අදහස් දක්වන ශාන්ත මරියා කන්‍යාරාමයේ විදුහල්පති සඳමාලි කුරේරා කන්‍යා සොයුරිය,

“ඇය මේවන විටත් මේ විද්‍යාලයේ වසර 51 කාලයක් වැඩ කරලා තියෙනවා. ඇය විශ්‍රාම ගියත් අෙප් පාසලේ උගන්වනවා. ඇය නිසා අපේ විද්‍යාලයට ලැබුණේ විශාල ආලෝකයක්. විශේෂයෙන් අපට හිතාගන්නවත් බැරි කාර්යශූරකමක් ඇය සතුව පැවැතීම විශේෂත්වයක්. හැම මොහොතක්ම ඇය අධ්‍යාපන කටයුතු හා දරුවන්ගේ කටයුතු වෙනුවෙන් උපරිම කැපවීමෙන් කටයුතු කරනවා. ඒ වගේම පාසලේ අනෙකුත් පරිබාහිර කටයුතුවල ද ඇගේ දක්ෂතාව මැනවින් ප්‍රදර්ශනය කරමින් අපේ විද්‍යාලයට විශාල සේවයක් සිදු කරනවා.” යැයි පැවැසී ය.

රටේ ජීවනාලිය බඳු දරු පරපුර වෙනු වෙන් නාලනී ගුරු මාතාවගේ මේ ව්‍යායාමය අති උතුම් පුණ්‍ය කර්මයකි.

Comments