“ඉස්සර ‘හොරෙන් හොරෙන්’ කියපු නම ලංකා­ව­ටම ඇහෙන්න කිව්වෙ අනු­රා­ධ­පුරේ රැස්වී­ම­කදි...” | සිළුමිණ

“ඉස්සර ‘හොරෙන් හොරෙන්’ කියපු නම ලංකා­ව­ටම ඇහෙන්න කිව්වෙ අනු­රා­ධ­පුරේ රැස්වී­ම­කදි...”

 

“පර­ම්ප­රා­වෙන් පර­ම්ප­රා­වට යන වෙද­ක­මක් වුණාම පළමු පර­ම්ප­රා­වෙන් දෙවැනි පර­ම්ප­රාවෙ දරුවො ඔක්කෝ­ටම වෙද­කම දෙන්න සිද්ධ වෙනවා. ඒත් හැම දරු­වම වෙද­කම හරි­යට කළේ නෑ. මගේ තාත්තා විත­රයි හරි­යට කළේ. ඒ නිසාම තමයි අද වෙන­කොට ‘වෑල්ඩින් වෙද මහ­ත්තයා’ කියන රටම දන්න නම අපිට පට­බැ­ඳුණේ.

“සීයා­ගෙන් වෙද­කම ගත්තු අනෙක් අය යලට-මහට වෙද­කම කරන්න ගියා. එයාලා බැලුවේ අපේ ප්‍රසි­ද්ධිය අරන් වැඩේ ගොඩ දාගන්න! ඒත් එයා­ලට මේක හරි­යට පිහි­ටියේ නෑ. බොරුව ටික කාල­යයි මහ­ත්තයෝ...”

වෑල්ඩින් වෙද මහ­තාගේ පුත් එස්. රන්ජිත් දිසා­නා­යක එසේ පිළි­තුරු දුන්නේ රට පුරා තැනින් තැන හමු වන වෑල්ඩින් වෙද පර­පුරේ සාමා­ජි­ක­යන් යැයි කියා­ගන්නා ව්‍යාජ ‘වෑල්ඩින් වෙදුන්’ ගැනය.

අප රන්ජිත් වෙද මහ­තා­ගෙන් එසේ ප්‍රශ්න කරන්න හේතු වූයේ වෙද මැඳුරේ ඉදි­රි­ප­සින්ම සවි කර ඇති බැන­ර­යක් නිසාය. එහි සඳ­හන්ව ඇත්තේ ඇඹි­ලි­පි­ටිය, මොන­රා­ගල, ගොඩ­ගම ආදි ප්‍රදේ­ශ­වල වෑල්ඩින් වෙද පර­ම්ප­රාවේ බව කිය­මින් සිදු කරන ‘කැඩුම්-බිඳුම්’ වෙද­ක­මට සිළ­ම්බු­රා­ල­ලාගේ මුතු­බණ්ඩා වෙද මහ­තාගේ කිසිම සම්බ­න්ධ­යක් නැති බවය.

“මට මගේ වෙද­කම මැජි­ක්එ­කක් නොවු­ණට, පැය­කදි හමා­ර­කදි කැඩු­මක්-බිඳු­මක් හා වෙන-එක මිනි­ස්සුන්ට මැජික්-එකක්. ඒ නිසා මුලදි මුලදි මේ වෙද­කම ගැන කටින් කට යද්දි, වෑල්ඩින් කර­නවා වගේ ඉක්ම­නට පාහන නිසා හොරෙන් හොරෙන් තමා වෑල්ඩින් කියන නම කටින් කට ගියේ. ඊට පස්සේ අනු­රා­ධ­පුරේ තිබ්බ රැස්වී­ම­කදී හිටපු දේශීය වෛද්‍ය ඇමැ­ති­තුමා සාලින්ද දිසා­නා­යක මහ­ත්තයා තමයි උතු­රු­මැද ප්‍රභූ­වරු මැද්දේ වෑල්ඩින් වෙද මහ­ත්තයා කියල රට­ටම ඇහෙන්න කිවේ. මොන­වද ඉතින් මමත් ඔළුව වැනුවා. පස්සේ ෆේස්බුක්-එකේ, ටීවී-එකේ ‘වෑල්ඩින් වෙද මහ­ත්තයා’ කියල වැටෙන්න ගත්තා.”

“ඔබ­තුමා ඒකට අකැ­මැ­තිද?”

“අපේ මොකෝ? ඇඟේ වදි­නව කිය­ලයැ? දැන් නම් සම­හරු ඒ නම මට ඇහෙ­න්නම කිය­නවා...” සිළ­ම්බු­රා­ල­ලාගේ මුතු­බණ්ඩා වෙද මහතා එසේ කියද්දි රන්ජිත් වෙද මහතා කියන්නේ ඒ නම තමන්ට වාස­නාව ගෙන ආ බවය.

“ළඟම තියෙන ඉස්පි­රි­තාලේ මර­ද­න්ක­ඩ­වල. ඊළ­ඟට තලාව, අනු­රා­ධ­පුරේ. ඔය ඉස්පි­රි­තා­ල­ව­ලට ගේන කැඩුම්-බිඳුම් රෝගියෝ විත­රක් නොවෙයි, දොස්ත­රලා නර්ස්ලා පවා කැඩු­ම­කට-බිඳු­ම­කට ප්‍රති­කාර ගන්න අපි ළඟට එනවා. එච්ච­ර­ටම විශ්වා­සයි. සම­හර දව­සට ඉස්පි­රි­තා­ලෙන් දාලා එවන ගල් බැන්ඩේජ් කැපෙ­නවා ඩිමෝ බට්ටා ලොරි­යක් පිරෙන්න!”

බට­හිර වෙද­කමේ න්‍යායන් සහ ප්‍රායෝ­ගික ප්‍රති­කාර තුළින් කැඩුම්-බිඳුම් රෝග සඳහා ස්ථීර විස­ඳු­මක් නොලැ­බෙන්නේ ඇයි දැයි, අපි රන්ජිත් වෙද මහ­තා­ගෙන් විම­සු­වෙමු.

“එයාලා කරන්නේ කැඩුණු අස්ථිය ඇදලා, ගල් බැන්ඩේජ් දාන-එක. අන­තුරේ තත්ත්වෙ හැටි­යට ඒක කල් තියා­ගන්න කාල­සී­මාව වෙනස්. ඒ කාලෙ ඇතු­ළත ගන්න කෑමෙන් ලැබෙන කැල්සි­ය­ම්ව­ලින් අස්ථි දෙක හා වෙලා ශක්ති­මත් වෙයි කියන-එක තමයි බට­හිර මතය. හැබැයි ඇත්ත­ටම එහෙම වෙන්නේ නෑ. යාන්තම් අස්ථි දෙක අතරේ කැල්සි­යම් බැඳිලා එකතු වුණත් බර වැඩක් කරන්න බෑ. කකු­ලක වුණොත් කොටින්ම බර දාලා ඇවි­දින්න බෑ.”

“එත­කොට සිංහල වෙද­කමේ?”

“අපේ එහෙම නොවෙයි. මේ ගාන තෙල් ටිකෙන් අස්ථි උණු කරලා පාහ­නවා. ඊළ­ඟට බඳින පත්තු­වෙන්, මැල්ලු­මෙන් පිය­ව­රෙන් පිය­වර අස්ථි­ව­ලට පෝෂ­ණය ලැබෙ­නවා. අලු­තෙන් කැල්සි­යම් තට්ටු­වක් බැඳෙ­නවා. ලේ එක්ක මුහු වෙන කැල්සි­යම් මැල්ලුම, පත්තුව බඳින තැනට ඇදිලා ඇවිත් කැඩණු අස්ථිය වටේ තැන්පත් වෙනවා. ඉක්ම­න­ටම තිබුු තත්ත්වෙට ළඟා වෙනවා. කකු­ලක් කැඩුණු කෙන­කුට සති දෙකක් බෙහෙත් දැම්මට පස්සේ මම ඒ කකුල කැඩුණු තැනට බර දීලා නැඟලා පෙන්ව­නවා. ඊට පස්සේ ඇවි­දින්න කිය­නවා.”

“සීමා එහෙම මොන­වත් තියෙ­න­වද?”

“ඔව්. බාහිර තුවාල තියෙද්දි අපිට මේ ප්‍රති­කා­රය කරන්න අම­රුයි. කැඩුම-බිඳුම වෙලා සති දෙක­කට කලින් අපි ළඟට ආවොත් කිසිම කර­ද­ර­යක් අභි­යෝ­ග­යක් නැතිව හොඳ කර­නවා. අවු­රුදු දෙක-තුන ගිහින් ආවාම මුල් තත්ත්වෙ­ටම හොඳ කරන-එක අමාරු වැඩක්. ඒ වගේම හණු­වට උඩින් වෙන කැඩුම්-බිඳුම් මේ ප්‍රති­කා­ර­යෙන් හොඳ කරන-එක අපි බාර­ගන්නේ නෑ.”

මේ ලිපියේ මුල් අදි‍ය­රක පැවැසූ පරිදි ව්‍යාපා­ර­යක සාර්ථ­ක­ත්වය සඳහා වැද­ගත් වන්නේ තෘප්ති­මත් පාරි­භෝ­ගි­ක­යෝය.

අප ‘වෑල්ඩින් වෙද හාස්කම්’ බල­න්නට මර­ද­න්ක­ඩ­වල ගිය දිනයේ එහි පැමිණ සිටි රෝගීන් අතු­රින් හය-හත් දෙන­කුම එහි පැමිණ තිබුණේ පෙර ප්‍රති­කාර ලැබූ රෝගීන්ගේ ඍජු මඟ පෙන්වී­මෙනි. ඒ අතු­රින් කෙනකු වූයේ කඳාන සිට පැමිණි 48 හැවි­රිදි උදිත දිය­සේන මහ­තාය. ඔහු පැමිණ තිබුණේ 2015දී රිය අන­තු­ර­කින් විලු­ඹට උඩින් පාදය බිඳී­ගිය 47 හැවි­රිදි සිරි­නා­යක නම් මිතු­රකු සම­ඟය.

“මම ඇක්සි­ඩන්ට් වුණේ 2015දි. ගල් බැන්ඩේජ් දාලා දවස් දෙක-තුනක් යන කොට පත්තරේ තිබුණු ලිපි­යක් පෙන්වලා යාළු­වෙක් තමයි මේ තැන ගැන කිව්වේ. ඊට පස්සේ මාත් හොයා­ගෙන ආවා. දෙපා­රයි ආවේ. කැඩුණු තැන හොඳ තත්ත්වෙට ආව. ඉතින් අද වෙන­කල් කැක්කු­මක් වත් නෑ...!”

වස­ර­කට පෙර සිදු වූ රිය අන­තු­ර­කින් කකු­ලට සහ උර­හි­සට හානි වූ අයකු මෙවර පැමිණ තිබුණේ රාගම වෙසෙන තම ඥාති­ය­කුගේ පාද බිඳු­මක් සඳහා ‘වෑල්ඩින්’ ප්‍රති­කාර ලබා දෙන්න­ටය.දෙව­ස­ර­කට පෙර කකු­ලක් කඩා­ගත් හිගු­ර­ක්ගොඩ දිසා­නා­යක මහතා මෙවර පැමිණ තිබුණේ කුඹුරු වැඩ සඳහා ගෙන ගිය ට්‍රැක්ට­ර­යක් පෙරලී යෑමෙන් තම­න්ටම වූ අන­තු­ර­කට ප්‍රති­කාර ගන්න­ටය.

මේ ප්‍රති­කාර මධ්‍ය­ස්ථා­නයේ ලබා­ගන්නා ප්‍රති­කාර සඳහා අය කෙරෙන මිල ගණන් පිළි­බඳ අප විස්තර විම­සුවේ මැල්ලු­මට බෙහෙත්-හේත් කිරා රැගෙන යන්නට සූදා­න­මින් සිටි රෝගි­යෙ­කු­ගෙනි.

“ඉස්සර නම් බුලත් කොළේ තියල දෙන ගානක් තමයි අරන් තියෙන්නේ. දැන් නම් සාමාන්‍ය කැඩු­ම­කට-බිඳු­ම­කට රුපි­යල් දාහක් ගන්නවා වෙද මහ­ත්ත­යාගේ ගාස්තුව විදි­යට. ඊළ­ඟට අනි­වා­ර්ය­යෙන් තෙල් කාලක් ගන්න ඕනෑ. තෙල් කාලෙ බෝත­ලේට හාර­සිය පණ­හයි. සති දෙකට මැල්ලු­මට ඕනෑ අමු කොළ වර්ග හයක්-හතක් කිරා­ගන්න වුණා. එතෙ­න්ටත් රුපි­යල් හය­සි­යක් විතර ගියා.”

ඒ අනුව එම රෝගි­යාට වෛද්‍ය සහ ඖෂධ ගාස්තු ලෙස වැය වි තිබූ මුදල රුපි­යල් දෙද­හ­ස­කට ආසන්න මුද­ලකි. තවත් රුපි­යල් දෙද­හ­සත්, පන්ද­හ­සත් අතර මුද­ලක් වාහන ගාස්තු සහ ගමන් විය­දම් ගාස්තු ලෙස ඔහුට සහ ඔහුගේ හිත­ව­තුන්ට වැය වන්නට ඇත.

ඒ අනුව බලන කල කැඩුම්-බිඳුම් ප්‍රති­කා­ර­යක් සඳහා වැය වන මුදල සාමාන්‍ය ආදා­ය­මක් ලැබෙන පුද්ග­ල­ය­කුට දැරිය හැකි මිලක් නොවේ. එහෙත් වසර ගණ­නක් දුක් විඳි­මින් සිටි­න­වාට වඩා ප්‍රති­කා­ර­යෙන් පසු සාමාන්‍ය පරිදි ජීවත් වීමට, රැකි­යාව කිරී­මට ඉඩ­කඩ ලැබෙන නිසා ණයක් තුර­හක් වී හෝ ප්‍රති­කාර කර­ග­න්නට මර­ද­න්ක­ඩ­වල දම්පැ­ලැ­ස්ස­යා­යට රෝගීන් පැමි­ණෙන්නේ කටින් කට ගොස් ඇති විස්ම­ය­ජ­නක ප්‍රති­කා­රයේ බල මහි­මය නිසාය.

එහෙත් මර­ද­න්ක­ඩ­වල දම්පැ­ලැ­ස්ස­යා­යට පැමි­ණෙන රෝගීන් අතු­රින්ද ලැබුණු ප්‍රති­කා­රය ගැන තෘප්ති­මත් නොවූ රෝගීහු ඕනෑ තරම්ය. මහ­නු­වර සිට පැමිණ සිය උර­හිසේ ආබා­ධ­ය­කට ප්‍රති­කාර ගත් රාජිත බණ්ඩාර අම­ර­සිංහ මහ­තා­ටද ‘වෑල්ඩින් වෙද­කම’ ගැන ඇත්තේ අතෘ­ප්ති­කර අත්දැ­කී­මකි.

“මම ආවේ උර­හිසේ අස්ථි බිඳු­ම­කට ප්‍රති­කාර ගන්න. පළ­වෙනි දවසේ තෙල් සාත්තුව කළා. කැක්කුම ඉව­ස­ගෙන හිටියා. සති දෙක­කට බෙහෙත් කරන්න කියලා ලියල දුන්නා. ඒ කිව්ව විදි­යට කළා. ඒත් සති දෙක­කින් පස්සෙත් අත උස්සන්න බෑ. ආයෙම මර­ද­න්ක­ඩ­ව­ලට ගියා. විනාඩි දෙක-තුනක් උර­හිස බලලා ඒ බෙහෙත් ටිකම ආයෙ කරන්න කිව්වා. මට තව­දු­ර­ටත් ඒ ප්‍රති­කා­රය ගැන විශ්වා­සය තියන්න හිතුණේ නෑ. මම තලාවේ වෙන වෙද මහ­ත්ත­යෙ­ක්ගෙන් බෙහෙත් කළා. දැන් නම් මට හොඳයි.”

ඔහු මෙම අද­හස දක්වා තිබුණේ ලේඛ­කයා විසින් මර­ද­න්ක­ඩ­වල දම්පැ­ලැ­ස්ස­යාය වෑල්ඩින් වෙද මහතා ගැන පළ කළ පසු­ගිය ලිපි අව­සා­නයේ දක්වා තිබූ ඊ-ලිපි­න­යට පණි­වි­ඩ­යක් එව­මිනි.

අපි මෙවැනි අත්දැ­කිම් ගැන එම්. රංජිත් දිසා­නා­යක වෙද මහ­තා­ගෙන් විම­සු­වෙමු.

“දව­ස­කට අපි ගාවට එන ලෙඩ්ඩු ගාන සිය­යක් කියල ගත්තොත් මාසෙ­කට තුන්දා­හක්. ඉතින් ඔත­නින් එක්කෙ­නෙ­කුට දෙන්නෙ­කුට කිසි­යම් හේතු­වක් උඩ මේ ප්‍රති­කා­රය ඔරොත්තු නොදෙන්න පුළු­වන්. සම­හරු රෝගය හරි­යට කියන්නේ නෑ, හංග­නවා. වෙද­කම අපි කළාට අපි දෙන උප­දෙස් යටතේ සති දෙකක් හෙද­කම් කර­ගන්න තියෙන්නේ ගෙද­රදි. ප්‍රති­කා­රය සැහැ­ල්ලු­වට අරන් ගෙද­රදි ආබාධ සහිත තැන තෙමු­වොත්, පරි­ස්සම් නොවු­ණොත් ලෙඩේ වැඩි වෙන්න පුළු­වන්.”

කොත­රම් දක්ෂ වෛද­ව­ර­ය­කුට පහ­සු­කම් සපිරි රෝහ­ල­කදි වුව ප්‍රති­කාර වැර­දෙ­න්නට පුළු­වන. ඒ දහම මර­ද­න්ක­ඩ­වල දම්පැ­ලැ­ස්ස­යාය වෑල්ඩින් වෙද මහ­තා­ටද පොදුය. ඒ මිනිස් ස්වභා­වය ගැන අව­බෝ­ධ­යෙන් යුතුව එම්. රංජිත් දිසා­නා­යක වෙද මහ­තා­ගෙන් සමු­ග­න්නට සූදා­න­මින් ඔහුද ඇතුළු තෙවැනි පර­පුරේ වෙද පර­ම්ප­රාවේ නෛතික පිළි­ගැ­නීම ගැන විම­සු­වෙමු.

“ගිය මාසෙ තමයි අව­සාන වාචික පරී­ක්ෂණේ තිබ්බේ. මමයි මස්සි­නායි දෙන්නම විභා­ගෙට පෙනී හිටියා. ඒත් තාම ප්‍රති­ඵල නෑ. ඒක සමත් වුණාම තමයි අපට රජයේ ලිය­ප­දිං­චිය ලැබෙන්නේ. තාත්තා අසූ­ග­ණ­න්වල ඉඳන් වෙද­කම් කළාට සහ­තිකේ ලැබෙන්නේ 2001දි. අපිත් දැන් වෙද­ක­මට ඇවිත් අවු­රුදු අටක් විතර. තාම සහ­තිකේ ලැබිලා නෑ. පාර­ම්ප­රික වෙද­කම කියන්නේ රජයේ සහ­ති­කේට වඩා එහාට ගිය සියුම් වැද­ග­ත්ක­මක් සහිත එකක්. සහ­තිකේ තියෙ­න­වද නැද්ද කියන-එක ඒකට අදාළ නෑ.”

අද දවසේ ප්‍රති­කාර ලැබූ සියලු දෙනා පිටව ගොස්ය. සේව­කයෝ දෙතුන් දෙනෙක් පිරි­සුදු කිරීම් කට­යු­තු­ව­ලය. වෙද­මැ­ඳුර සහිත බිම නිසො­ල්මන් වන්නට පටන් ගෙන ඇත. සිළ­ම්බු­රා­ල­ලාගේ මුතු­බණ්ඩා වෙද මහ­තා­ටත්, එම්. රංජිත් දිසා­නා­යක වෙද මහතා ඇතුළු තෙවැනි පර­ම්ප­රාවේ වෙද මහ­ත්ව­රු­න­ටත් දීර්ඝායු පත­මින් අපි ඒ බිමින් නික්ම ආවෙමු.

 

ස්තුතිය - සම්බ­න්ධි­ක­රණ කට­යුතු සිදු කළ වජිර ප්‍රසන්න ඉලං­ග­සිංහ මහ­තාට.

ඡායා­රූප - තුෂාර ප්‍රනාන්දු

Comments