
තම නිවහනේ ආලින්දයේ කෙළවරට ආසනය ඇදගෙන පැති ඇඳි මත දෙපා තබාගෙන දිගාවී නිසොල්මනේ හිඳින විල්ප්‍රඩ් රත්නසේකර හාමුගේ හිත සසල වෙලාය. දෑස් අඩවන් වෙලාය. ඇත්තටම මහා භයංකර හීනයක් දැකලා අවදි වුණා වගේ හිත සසලය. රත්නපුරේ සමන්ති දුව වලව්වේ ලියන මහත්තයගේ පුතා සමඟ පැනලා ගිය කතාව ඇසූ දවසේ තමා කම්පනයට පත්වූ තරම මතකය. ඒ ඔස්සේ රත්නපුර ජෝඩුවද උසිගන්වාලු හැටිද මතකය. නමුත් එකවරම දැල්වී සිට නිවී ගිය පහන් සිළක් සේ සියල්ල නිවී ගියේ කවදා සිටද? කොහිදිද?
දින කීපයකට පසු බෝඩිමට පැමිණි තම ප්‍රාණ සරි මිත්‍රයා, ශ්‍රීමාල්ව සිරිනාත ඇතුළු යහළුවන් පිළිගත්තේ පුදුමාකාර සතුටකිනි. එය හරියට ඉඩෝරෙකට පස්සේ ආපු වැස්සක් වෙග්ය.
“අනේ මචං... උඹ නැතිව අපි විඳපු දුකක්...!”
මහා සද්ද පූජාවක් තබා මිත්‍රයා පිළිගත්තාට පසුව මුලින්ම කටහඬ අවදි කළේ උදාරය.
“අනේද කියන්නෙ.. මූ මන්ද පෝෂණේ හැදිලා තව පොඩ්ඩෙන් ඉස්පිරිතාලේ ඇඩ්මිට් වෙනවා...”
“හා.. හා.. ඔය හැටෑවල් නතර කරලා ඔන්න ඕකෙ තියෙන ඒවා කාලා හිටපල්ලා..” ශ්‍රීමාල් කියන්නේ තාත්තා කෙනෙකු වගේය.
තුන්දෙනා කෑම අඩුක්කුව අවුස්සන්නේ හරියට බඩගින්නේ හිටපු කුකුල්ලු තුන්දෙනෙක් වගේ යැයි සිතී ශ්‍රීමාල්ට හිනාය.
“අනේ බං.. උඹලගෙ අම්මා නම් බුදුන් දැක නිවන් දකින්න ඕනෑ.. මේ.. බලපංකො පැණි වෑහෙන උඳු වළලු... එතකොට කිරිටොපි.. වැලිතලප...! හත්දෙයියනේ..!”
සිරිනාතත් පොඩි එකෙකු වගේ කෑගසයි.
“හා.. හා.. ඔය නිල්පාට බෑග් එකේ ඒවා අදින්න එපා.. ඒක බෝඩිමේ ආන්ටිට...!
එසේ කෑගසමින් ම ශ්‍රීමාල් දොරකොඩින් මෑත්වී තම ජංගම දුරකතනය අතට ගත්තේ වටපිට බලමින්ය. ඇස්වලට හොර බැල්ම ඒ.
එහා පැත්තෙන් මේඛලා ගේ හඬ ඇසෙද්දී ඔහු තව තවත් ඈතට යයි.
“ඔන්න අවසානයේ සියල්ලෝ සතුටින් ජීවත් වූහ.. න්‍යායට ආවා. හිතාපු නැති විදියට මේඛලා ඔක්කෝම සිද්ධ වුණේ...”
ශ්‍රීමාල්ගේ මුහුණේ සතුට පිරී පිටාරය යයි. හිනාවල් කතාවල් ඇවිදීම් කෙළවරක් නැත.
“හා.. හා.. ඔය මදෑ ඔය මදෑ දැන් හෙට ඉතිං හම්බ වෙනවනෙ.. අලුත්ම චැප්ටර් එකක් පටන්ගන්න බැරියෑ හෙට ඉඳලා...!”
ඊළඟට සංජය නාට්‍ය කෑල්ලක් රඟපාන්න පටන් ගනියි.
“ගල්ලෙන බිඳලා - ලෙන්දොර ඇරලා... සිංහබා... සිංහබා... සිංහබා...//”
තුන්දෙනාම තාලෙට එය ගායනා කරමින් රඟමින් ශ්‍රීමාල් වටේට යයි. හරියට පුංචි එවුන් වගේය.
“ඇහෙනවනේ.. ඝෝෂාව.. හෙට හමුවෙමු මේඛලා.. එහෙනම් බුදු සරණයි...!
යහළුවෝ තුන්දෙනා මහ හඬින් සිනාසෙමින් ශ්‍රීමාල්ව ඔසවනවිටම බෝඩිම් හිමිකාරිය ද එතැනට එන්නේ සිනාසෙමිනි.
“මොකෝ මේ මේ තරම් සන්තෝසයක්... යාළුවා දැකලා..” ඈ අසයි.
**********
තම නිවහනේ ආලින්දයේ කෙළවරට ආසනය ඇදගෙන පැති ඇඳි මත දෙපා තබාගෙන දිගාවී නිසොල්මනේ හිඳින විල්ප්‍රඩ් රත්නසේකර හාමුගේ හිත සසල වෙලාය. දෑස් අඩවන් වෙලාය. ඇත්තටම මහා භයංකර හීනයක් දැකලා අවදි වුණා වගේ හිත සසලය. රත්නපුරේ සමන්ති දුව වලව්වේ ලියන මහත්තයගේ පුතා සමඟ පැනලා ගිය කතාව ඇසූ දවසේ තමා කම්පනයට පත්වූ තරම මතකය. ඒ ඔස්සේ රත්නපුර ජෝඩුවද උසිගන්වාලු හැටිද මතකය. නමුත් එකවරම දැල්වී සිට නිවී ගිය පහන් සිලක් සේ සියල්ල නිවී ගියේ කවදා සිටද? කොහිදිද?
ඒ ජයතිස්සලාගේ ගෙදරට කඩාපැන්න දවසේ දී බව මතකය. ජයතිස්සගේ බිරිඳ චන්ද්‍රලතා ගේ එක වදනකින් තමා මෙල්ල වූ හැටි මතකය! ඒ විපර්යාසය ඔස්සේ තමා කෙතරම් නම් තම බිරිඳගෙන් ඇනුම්පද ඇසුවාද?
කිසිවෙක් නොදන්නා මේ ‘රහස’ තමා අනාවරණය කළේ ඩග්ලස් මස්සිනාට පමණි.
නමුත් ඒ රහස ඇසූ වේලේ ඩග්ලස් අන්දමන්ද වික්ෂිප්ත භාවයට පත්වුණු හැටි පුදුමය. ඩග්ලස් ගොඩලියද්ද හැසිරිච්ච ආකාරය කෙතරම් අද්භූතද කීවොත් තම සිතද හොඳටම ගැස්සුණු බව මතකය.
“හහ්.. හහ්.. හා... ඒකත් එහෙමද?.. එහෙනම් මේ කොරාපු වැඩේට මුංට දඬුවම් කෙරිල්ලත් හබක් නේ... හහ්හා... වලව් ලේ ගෑවිච්ච එකෙක් නේ.. අනිත් එක...!” එහෙම කියා මහා සද්දයක් පිටකළ මස්සිනා, ඊළඟ මොහොතේ පුංචි දරුවෙකු සේ බිම බලාගෙන හිටියේ ඇස්වල කඳුළු පදාසයක් පුරවාගෙනය.
“ඩග්ලස් අයියෙ ඇයි.. මේ?”
තමා ඇසූ ප්‍රශ්නයට ඔහු දෙපසට හිස සැලුවා පමණි. ඒත් ඒ හිසේ මහා බරක් තිබුණ වගේය. ඒකත් අභිරහසකි.
“මොකෝ අපේ මහත්තයා ආසනෙන් කෙළෝරෙටම ඇදගෙන බරටම කල්පනාව?”
ඊළඟ මොහොතේ ඔහු තිගැස්සුණේ නිර්මලා මැණිකේගේ කටහඬිනි.
“ආ.. මැණිකෙ.. දැන් ඉතින් හොඳට කාලා බීලා ඉන්නවා ඇති නේද අපේ සුදු මැණිකෙ එහෙම.. දුව දැකගන්න තිබිච්ච ප්‍රශ්නෙත් එහෙම පිටින්ම විසඳුනා නෙව...!”
නිර්මලා මැණිකෙට තම සැමියාගේ කතා ලතාව ඇල්ලුවේ නැත. ඇය ටිකක් විපිළිසරව සැමියා දිහා බලා ළඟම අසුනේ හිඳගත්තේ ඒ නිසාය.
“අපෙ මහත්තයා.. ඔයා හොඳින් නේද? හිත කලබල කරගෙන වගේ ගැස්සිලා ඉන්නේ... ඒකයි මම ඇහුවේ..?”
විල්ප්‍රඩ් හාමුට හීන් ඩාදිය දැම්මේ ඒ කතාවටය. ඇත්තට මේ ගෑනුන්ගෙ මොළේ හැඳිමිටේ දිගය කියාපු බූරුවා දැනගන්න ඕනෑ ගෑනුන්ට තියෙන්නෙ ගණදෙවි නුවණ කියලා.. එහෙම හිතාගෙන කටකොනට හිනාවක් නගාගන්න උත්සාහ කළත් ඒ තැන එහෙමම අසාර්ථකය. නිර්මලා මැණිකෙ වහා නැගී සිට අවුත් තම සැමියාගේ නළලට අත තබා බලා කෑගෑවේ පුදුමයෙනි.
“අපෙ මහත්තයා.. මේ.. තනියෙන් දොඩව දොඩවා ඉන්නකොට මං හිතුවා.. මේ හොඳටම ඇඟ රස්නෙයි.. නළල ගිනිකබල වගේ..”
“මට ඇති අසනීපයක් නෑ මැණිකෙ.. මේ ගමන් විඩාවයි තෙහෙට්ටුවයි නිදිමැරිල්ලයි මිසක් මට ඉහෙන් බහින ලෙඩක් නෑ.. මැණිකෙ කෝල් එකක් දීලා බැලුවද අපේ ශ්‍රීමාල් පුතා පරිස්සමින් බෝඩිමට ගියාද කියලා...!”
“ඉන්න මං අපේ මහත්තයාට ඉඟුරු කොත්තමල්ලි පත්පාඩගම් ටිකක් තම්බන්න කියන්නම්.. ඔය හාන්සිපුටුවෙම ඇලවෙලා ඉන්න..”
නිර්මලා මැණිකෙ ඔසරි පොට කරකවා බඳේ ඔතාගනිමින් දුවගෙන යන හැටියට විල්ප්‍රඩ් හාමුට හිනාය.
ඔයින් ගියා මදෑ.. තම යටිහිතේ හොරකම එක්ක ඔට්ටු වෙන ගමන් ඔහුට එහෙම හිතුණි.
********
දේශන අහවර වී එන අයත් දේශනවලට යන අයත් අතරේ කතාකරගත් විදියට දෙදෙනෙකු හමුවෙලාය.
ඒ ශ්‍රීමාල් හා මේඛලාය. මේඛලාගේ පරිවාර යෙහෙළිෙයා් දෙදෙනා පැත්තකට වෙලා කතාබහේය. ශ්‍රීමාල් ආවේ තම සගයන්ගෙන් බේරී ඔවුන් මඟ හරිමින්ය. මෙහෙම වැඩවලදි යාළු මිතුරුකම් පවා කරදර දේවල්ය.
“හරිම පුදුමයි මේඛලා.. සිද්ධ වෙච්ච දේ නම්.. ඒක නම් හරියට දේව හාස්කම් වගේ..”
ශ්‍රීමාල් කීවේ මේඛලාගේ දෑස් දෙස එක එල්ලේම බලමිනි. මේඛලාට ලැජ්ජාය. කවදාවත් ඔහු මේ විදියට තමන් දිහා බලතැයි දහම් පාසලේදිවත් හිතිලා නැත. ඇය බිම හාරමින් ඒත් ඒ ලජ්ජාව යටපත් කරගෙන පණ්ඩිත කතාවක් කියයි.
“මට නම් ඕවා ‘දේව හාස්කම්’ නෙමේ.. ‘මිනිස් සිතේ හාස්කම්’ කියලයි හිතෙන්නෙ..”
“ඒ මොකක්ද අප්පේ ඒකෙ තේරුම...?”
“අනේ.. කිසිදෙයක් දන්නෙ නැති තොත්ත බබා වගේ අහන හැටි.. පිරිමි හරි කපටියි... ඕනෑම දෙයක් නොදන්නා වගේ ඉන්නවා ඒත් ඔක්කෝම දැනගෙන.. හා..”
මේඛලාට හිනාවක් යයි. ඒ ලජ්ජා හිනාවට ශ්‍රිමාල් ගේ සිත ඇදී යයි. එකට එක කියන්න ඕනෑ නිසා ඔහුත් උත්තරයක් දෙයි. ඒ උත්තරේ දෙන්න කලින් ඔහු දෙතොල් පොපියවන ආකාරය හරිම සුන්දරයි කියා මේඛලාට සිතෙද්දිම ඔහුගේ කටහඬ ඇසෙයි.
“හා.. පිරිමිද කපටි එතකොට.. ආ.. ගෑනු තමා කපටි.. ඕනෑම දෙයක් දන්නවා වගේ පෙන්නගෙන ඉන්නවා.. ඒත් කිසිම දෙයක් දන්නෙ නෑ.. හහ්හා.. ඒ කපටිකම ඔක්කොටම වඩා භයානකයි..” දෙදෙනාටම හයියෙන් හිනාවක් යද්දී ඈතින් සිරිනාතලා එනවා පෙනිලා ශ්‍රීමාල් ටිකක් තැන්පත් සෙයියාවක් පෙන්වන්නේ අසලින් ගිය කොල්ලන් කණ්ඩායමකුත් දෙදෙනා දිහා හැරිලා බලමින් යද්දීය. මුන්ගෙ ඇස්වලින් බේරෙන එක තමා මාර යුද්දෙ..
“මේ.. මේ.. හොරගල් අහුල අහුලා මෙතනට වෙලා මේ දෙන්නා කොඳුකඩ කඩා ඉන්නවා..! කෝ.. අපිට පාටිය දෙන්නෙ නැද්ද?...ආ..”
සිරිනාත කොල්ලන් කණ්ඩායමත් එක්කම ඇවිත් මේඛලාත් ශ්‍රීමාලුත් වටලාගන්නා තෙක් ම ඔවුන් දන්නේ නැත.
ලබන සතියට...