සොරුන් විසින් පාදයක් අහිමි කළ ඈ එවරස්ට් කඳු මුදුනට නැංගාය | සිළුමිණ

සොරුන් විසින් පාදයක් අහිමි කළ ඈ එවරස්ට් කඳු මුදුනට නැංගාය

භාතිය අර්ථනායක
මානසික අභිප්‍රේරක/ පුද්ගල හැකියා සංවර්ධන පුහුණුකරු

ජීවිතය කියලා කියන්නේ එදිනෙදා අපිට සිදුවෙන සිදුවීම්වලින් සියයට 10 ක් දේවලින් සහ ඊට අප ප්‍රතිචාර දක්වන 90% ක ආකාරයෙන් සමන්විත වෙන දෙයක්ය කියලා සුප්‍රකට බටහිර කියමනක් තිබෙනවා. මිනිසා ස්වභාවයෙන්ම පෙළඹී සිටින්නේ එදිනෙදා තමන්ට සිදුවෙන දේවල්වලින් තමන්ගේ ජීවිතයේ සාර්ථක අසාර්ථකභාවය මනින්න. හොඳ දේ පමණක් සිදුවන ජීවිත වාසනාවන්ත ජීවිත ලෙස හඳුන්වන මිනිස්සු, යම් අවාසනාවන්ත සිදුවීමකට මුහුණ දුන්නොත්, නිතැතින්ම එවැනි ජීවිත අවාසනාවන්ත ජීවිත, එහෙමත් නැත්නම් කාලකණ්ණි ජීවිත ලෙසින් හදුන්වන්නට මැලි වන්නේ නැහැ. නමුත් සත්‍ය නම්, මිනිස් ජීවිතයේ සාර්ථක අසාර්ථක භාවය තීරණය කරන්නේ අපි එදිනෙදා මුහුණ දෙන සිදුවීම්වලින් නොවෙයි. එය තීරණය වන්නේ අප ඒ සිදුවීම්වලට ප්‍රතිචාර දක්වන ආකාරයෙන්. ඒ නිසා තමයි එදිනෙදා සිදුවීම් යනු ජීවිතයේ 10% ක් ලෙසිනුත්, ඒවාට ප්‍රතිචාර දක්වන ආකාරය 90% ක් ලෙසිනුත් අර්ථකථනය කරන්නේ. මේ තත්ත්වය වඩාත් පැහැදිලි කරන්න මේ කතාව ඔබ හමුවේ තියන්නට අපි තීරණය කළා. ඔබ අරුණිමා සිංහා නමැති කාන්තාව ගැන අසා තිබෙනවා ද? මේ ඇගේ කතාව; ඔබේ කරගන්නට පුළුවන් ඇගේ කතාව.

1988 වසරේ උතුරු ඉන්දියාවේ ලක්නව් හි උපත ලබන අරුණිමාට දැන් වයස අවුරුදු 30 ක්. කුඩා කල සිටම ඇය ක්‍රීඩාවට බෙහෙවින් ආදරය කළ යුවතියක්. ඇගේ ප්‍රියතම ක්‍රීඩාව වූයේ වොලිබෝල්. ඒ වෙනුවෙන් ඈ තුළ තිබූ උවමනාව ඇයට නැවැත්තුවේ, වයස අවුරුදු 20 පමණ වනවිටම ඉන්දියාවේ අවධානයට ලක් වූ යොවුන් වොලිබෝල් ක්‍රීඩිකාවක් බවට ඇය පත් කරවමින්. ජාතික මට්ටමේ ක්‍රීඩිකාවන් අතර, අරුණිමා ඉන්දීය ජාතික කණ්ඩායමේ ස්ථානයක් වෙන් කරගැනීමට හැකි ක්‍රීඩිකාවක් ය යන්න පෙන්නුම් කරමින් සිටියා. ඇයට ඒ ක්‍රීඩාවට අවශ්‍ය කරන වේගය තිබුණා; හොඳ ශක්තියක් තිබුණා. ඒ විතරක් නෙවෙයි, පුහුණු කරපු දරා ගැනීමේ හැකියාවක්, නම්‍යතාවක්, ඉපිලීමක් තිබුණා. හැමෝම අරුණිමා ව දැක්කේ වොලිබෝල් ක්‍රීඩාවට අවශ්‍ය සියලු ම ජවය කැටිකරගත් ක්‍රීඩිකාවක් විදියට. හැබැයි මේ සියල්ල, එක්තරා අවාසනාවන්ත, අඳුරු දිනයක් තමන්ගේ ජීවිතයට උදා වෙනකම් විතරයි.

2011 අවුරුද්දේ අප්‍රේල් මාසයේ 11 වැනි දා ඇය ලක්නව් වෙතින් නවදිල්ලිය දක්වා පිටත්ව යන පද්මාවතී දුම්රියට ඇය නැගෙන්නේ රැකියාවක් පිළිබද අලුත් බලාපොරොත්තුවක් දල්වා ගනිමින්. ඉන්දීය පොලීසිය කියලා කියන්නේ බොහෝ ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රැකියාවන්ගෙන් අනුග්‍රහය දක්වන ආයතනයක්. ඇයට අවශ්‍ය වෙන්නේ පොලීසියේ අනුග්‍රහයෙන් ක්‍රීඩාවේ අඛණ්ඩ ව රැදී ඉන්න. මේ දුම්රිය ගමන කිසිසේත්ම තමන්ගේ ජීවිතය වෙනස් කරන ගමනක් වේවි කියලා, එදා දුම්රියට නැඟුණු අරුණිමාට මොහොතකටවත් සිතුණේ නෑ. ඇයට තිබුණේ නව රැකියාවක් පිළිබඳ බලාපොරොත්තු සහගත සිතුවිලි සමුදායක් විතරයි. රැකියාව ලබාගත්තාට පස්සේ තමන්ගේ ජීවිතය වෙනස් කරගන්නේ කොහොමද? ගෙදරට සලකන්නේ කොහොම ද? තමන්ගේ අනාගතය සාර්ථක කරගන්නේ කොයි විදියට ද වගේ සිතිවිලි මාලාවක් පෙරහැරක් වගේ ඇගේ හිත ඇතුළේ ගමන් කරමින් තිබුණා. නමුත් ඇයට මේ විදියට ගැඹුරු සිතිවිලිවල නිමග්න වෙන්නට ලැබුණේ පැයක දෙකක කාලයක් විතරයි. එක්තරා නිමේෂය දී ඇගේ ගෙල බැදි රන් මාලය කිසිවෙකු විසින් කඩා ගැනීමට උත්සාහ දරන බව, ඇයට දැනෙන්නට පටන් ගැනීමත් සමඟ ඇය වහාම එය වලක්වා ගැනීමේ සටනකට අවතීරණ වුණා.

මේ සිදුවීමට මුහුණ දෙන මොහොතේ දී අරුණිමාට වයස අවුරුදු 23 යි. අරුණිමා බලාපොරොත්තු වුණේ රන් මාලයක් කොල්ලකෑමට උත්සාහ කරන සොරකු සමග සටනක්. නමුත් ඇය ක්ෂණයෙන් අවබෝධ කරගත්තේ සොරා පැමිණ ඇත්තේ තනිවම නොවන බවයි. අරුණිමා ලේසි පහසු තරුණියක් නොවන බව පෙන්නුම් කරමින් ඈ හැඩිදැඩි පිරිමින් සිව් දෙනෙකු සමග ගැටුමක් ඇතිකරගනිමින් සිටියා. සිව් දෙනෙකු ඇයව වටකරගෙන පහර දෙනවිටත්, ඇය මාලයත්, තමන්ගේ බඩු බාහිරාදිය සහිත බෑගයත් ආරක්ෂා කර ගැනීමට කිසිවෙකුගේත් සහය අහිමි සටනක නිරත වුණා. ඇගේ එකම අරමුණ වුණේ තමන්ගේ දෙමාපියන්, යුවතියක් වන දා තමන්ගේ ගෙල පැලදි රන් මාලය ආරක්ෂා කර ගැනීම. නමුත් මේ උත්සාය සොරුන්ගේ කෝපයට හේතු වුණා. අනුකම්පා විරහිත ලෙස ඇයට පහරදුන් ඔවුන්, තමන් සතුව ඇති පිහිවැනි තියුණු ආයුධවලින් ඇගේ ශරීරයට හානි කළා; ක්‍රමයෙන් අරුණිමා දුර්වල වුණා. ඇයට දැනුණා මේ සටන අල්ලාගෙන යන්නට බෑ කියලා. අවාසනාවන්තම සිදුවීම වුණේ එතැනදි. පහරකෑමෙන් දුර්වල වී සිටි අරුණිමාව මේ සොරුන් ධාවනය වන දුම්රියෙන් එළියට විසි කලා. අන්තිමේ දී අරුණිමාට තමන්ගේ රන් මාලය විතරක් නෙවෙයි. තවත් වටිනා දෙයක් අහිමි වුණා. දුම්රියෙන් ඉවතට විසි කරන මොහොතේ දී ආසන්නතම දුම්රිය මාර්ගයේ දුම්රියක් ගමන් කරමින් තිබුණා. එහි වැදුණු අරුණිමාගේ එක් පාදයක් ඒ දුම්රියට හසුවුණා. ඇයට කරකියාගන්න දෙයක් තිබුණේ නෑ. ඈ වේදනාවෙන් කෑ ගසන්නට වුණා.

“මගේ කටහඬ එන්න එන්නම දුර්වල වුණා. පහර කෑමෙන් ඇති වූ වේදනාව, නොනවත්වා රුධිරය ගලා යන පාදය, එන්න එන්නම මාව දුර්වල කරන බව මට හැඟුණා. මට හිතුණේ මාව දැන් මැරෙයි කියලා. දෙවියන්ගෙන් මම ඉල්ලුවා මට මැරෙන්න ඉඩ දෙන්න එපා කියලා. ” අරුණිමා තමන්ට ආයාචනා කළා; විටෙක ඇයට සිහිය නැති වුණා. නැවත ප්‍රකෘති සිහියට එනවිට, ඈ හිටියේ රෝහලක ඇදක් මත. කිසිවෙක් විසින් ඇයව රෝහල් ගතකරනු ලැබ තිබුණා. ඒ අතරේ ඇයට තරුණියකට වෙන්න පුළුවන් නරකම ඉරණමකට මුහුණ පාන්නට සිදු වෙලා. දුම්රියට හසු වූ ඇගේ පාදය දණහිසෙන් පහළ තැනකින් ඉවත් කරන්නට වෛද්‍යවරුන් පියවර ගෙන තිබුණා. එය සකස් කළ නොහැකි ලෙස බිදීගොස් තිබූ බව සෞඛ්‍ය කාර්ය මණ්ඩලය අරුණිමාට පැවසුවා. ක්‍රීඩාවේ දී අනපේක්ෂිත පරාජයන්, කඩාවැටීම් භාරගන්න අරුණිමාට උගන්නපු අවස්ථා අපමණයි. නමුත් මේ සිදුවීම දරාගන්න ඇයට ලේසි වුණේ නෑ. තමන් යුවතියක්. තමන් විවාහ විය යුතුයි. ජීවිතයේ අනෙක් තරුණියන් මෙන් දරුවන් හදන්න, ජීවිතයේ සුන්දරත්වය විඳින්න තමන්ටත් අවස්ථාවක් තිබිය යුතුයි. ඒත් ඒ බලාපොරොත්තු සියල්ලම, තමන් එක්කම දුම්රියෙන් එලියට ඇදලා දාන්න, මේ සොරුන් පිරිසක් කටයුතු කලා නේදැයි ඇයට සිතුනා. කපා දැමූ පාදය යළි ලියලන්නේ නොමැති බව ඇය දැන සිටියා. නමුත් ජීවත් වෙන්නට නම්, දුම්රිය මාර්ගය උඩ විසිරී ගිය බලාපොරොත්තු අසුලා ගැනීමේ නියත අභියෝගයකට ඈ මුහුණ දී සිටියා. නමුත් අභියෝග පැටව් ගසමින් තවදුරටත් ඇයව දුර්වල කරන්නට උත්සාහ කළා.

“කවුරුත් පිළිගත්තේ නෑ මම සොරුන් පිරිසකගේ ප්‍රහාරයකට ලක්වුණා කියලා. පොලීසියේ ඇතැමෙක් කියන්න හැදුවා මම සියදිවි නසාගන්න දුම්රියෙන් පිටතට පැන්නා කියලා. ඇතැම් මාධ්‍යයත් කිව්වේ මම සියදිවි නසා ගැනිමේ උත්සාහයක් දරා තිබෙන බව පෙනී යනවා කියලා. මම දුම්රියට නැඟුණේ බලාපොරොත්තු රැසක් එක්ක. ඉතින් ඇයි මම දුම්රියෙන් මාවත් මගේ බලාපොරොත්තුත් ඉවතට ඇදලා දාන්නේ. ” ඒත් අරුණිමාගේ මේ කතාව අහන්නට කිසිවෙකුත් ඉතිරි වුණේ නෑ. මුළු සමාජයම හිටියේ අන්ධ වෙලා. අරුණිමා සියදිවි නසාගන්නට උත්සාහ කරලා කියන මතය සමාජය තුල ස්ථාවර වෙමින් තිබුණා.

කවුරුත් අහන්නේ නැති පාදයක් අහිමි මගේ කතාවට සමාජය තුල ඉඩක් හදා ගන්න නම්, මම මීටත් වඩා වටිනා චරිතයක් වෙන්නට ඕනෑ කියන සිතුවිල්ල අරුණිමා තුළ පහළ වෙන්නේම ඒ වෙලාවේ. කවදාවත් මං ඉන්න තත්ත්වයේ ඉන්න කාන්තාවක් විසින් නොකල වීර ක්‍රියාවක් වෙනුවෙන් වැඩ කරන්න කියන හැගීමක් අරුණිමා තමන්ටම කෑගහලා කියන්නේ ඒ නිසා. ඇය පටන් ගත්තා කඳු තරණය පුහුණු වෙන්නට. ඇයට තිබුණේ එකම අරමුණක්. ඒ තමයි ලෝකයේ උසම කදු මුඳුන වන එවරස්ට් කඳු මුදුනට ලගා වෙන්න. ඇය මේ සදහා කඳු නැගීමේ පුහුණුකරුවන් එක්ක වැඩ පටන් ගන්නේ 2011 වසරේ අග භාගය වෙද්දි. තමන්ගේ ගම් ප්‍රදේශයේ කන්දක් උපයෝගී කරගනිමින් මේ සදහා ඇය පුහුණුවෙන කාලය අවුරුදු දෙකක්. පාදයක් නැතිව කඳු නගින්න පුහුණු වෙනවා කියන එක ලේසිපාසු වැඩක් නෙවෙයි. ඇයට සිදුවුණා මේ පුහුණුවේ දී ඇද වැටෙන්නට. ඇයට සිදුවුණා මේ පුහුණුවේදී ශරීරයට දැඩි වේදනා දෙන්නට. නමුත් ඈ අතහැරියේ නෑ. මිනිසෙකු විභාගයකට ලෙහෙසියෙන් මුහුණ දෙන්නට නම් අසීරුවෙන් පාඩම් කරන්නට ඕනෑ බව ඈ දැන උන්නා. මිනිසෙකු ලේසියෙන් තරගයක් දිනන්න නම්, පුහුණුව අමාරුවෙන් කල යුතු බව ඈ දැන උන්නා. ලේසියෙන් පුහුණුව කරලා අමාරුවෙන් තරගයේ යෙදෙන මිනිස්සු අතරේ ලේසියෙන් තරගය නිමා කල යුතුය කියන සිතුවිල්ල නිසාම, ඈ ඇද වැටෙන්නට වැටෙන්නට, වඩාත් ශක්තිමත්ව නැගී සිටියා. “මට මතකයි මේ කාලසීමාව ඇතුළේ මට නිවාඩු දවස් තිබුණේ නෑ. ඉරිදාවල් තිබුණේ නෑ. දීවාලී හෝ හෝලි උත්සව තිබුණේ නෑ. අනික් මිනිස්සු ඒවා සමරද්දි, මම කඳුත් එක්ක ඔට්ටු උනා. මට සැබෑ ලෙසින්ම ජීවිතය සමරන්න ලැබෙන්නේ මගේ ඉලක්කයට ළඟා වුණාට පස්සේ කියන එක මම මටම කියා ගත්තා.” අරුණිමා සිංහා පස්සේ කාලෙක තමන්ගේ කතාව ලියපු පොතේ සටහන් කළා.

අවුරුදු දෙකක උත්සාහයකට පස්සේ අරුණිමා එවරස්ට් කදු මුදුන බලා යන ගමන පටන් ගත්තා. නිසැකවම මරණයට අත වනන, බොහෝ ධෛර්යවන්තයින් දැඩි ශීතලෙන්, ශරීර ශක්තිය ක්ෂය වීමෙන් මියැදෙන මේ ගමන කෙසේ හෝ නිරුපද්‍රැතව නිම කිරීම අරුණිමා සිංහාගේ අරමුණ වුණා. දින 47 ක් පමණ ගතවෙන විට, මේ කකුලක් නැති යුවතිය තවත් දින කිහිපයක් තුළ ගමන නිමාකළ හැකි තැනට පැමිණෙමින් සිටියා. නමුත් එහිදීත් ඇය අර්බුදයකට මුහුණ පෑවා. ඇගේ සහයට පැමිණි ශර්පාවරයා ගමන නිමා කිරීම ප්‍රතික්ෂේප කළා. ඔහු තවදුරටත් ඇය සමග ගමන් කළ නොහැකි බව කිව්වා. ගෙනවිත් තිබූ ඔක්සිජන් නිමා වෙමින් තිබෙන බව ඔහුගේ තර්කය වුණා. නැවත ආපසු දින කිහිපයකින් එමු. ඔහුගේ යෝජනාව වුණා. නමුත් ඈ ගමන පටන් ගත්තේ මග දි අල්ලා දමන්නට නොවෙයි. “ මම අඩියක්වත් ආපස්සට තියන්නේ නෑ. වේලාව ඉතිරි කරගත්තොත්, කදු මුඳුනට ගොස් එන්න මේ තියෙන ඔක්සිජන් ප්‍රමාණය ඇති; උඹ එනවානම් වරෙන්; මම තනියම හරි ගමන යනවා.” ශර්පාවරයා විමතියට පත්කල ඇය ගමන ඇරඹුවා. මිනිත්තු 10 කට පමණ පසු ඔහු මා පිටුපස එන බව මට දැනුණා. අරුණිමා සිංහා සිනාසෙමින් පුවත්පතකට කිව්වා.

දින 52 ක උත්සාහය අවසානයේ අරුණිමා සිංහා එවරස්ට් කඳු මුදුනේ සිටියා. ඈ මේ කන්ද තරණය කර තිබුණා. ඒ පාදයක් අහිමිව එවරස්ට් කඳු මුඳුන තරණය කළ ලෝකයේ පළමුවැනි කාන්තාව බවට පත්වීමේ ගෞරවය ද සමගින්. කලින් ඇයට ඇහුම්කන් නුදුන් ලෝකය “මිත්‍රවරුනි, මම සොරමුලක් විසින් අවාසනාවන්ත ලෙස පහර දී දුම්රියෙන් ඉවතට ඇද දැමූ කාන්තාවක් ” යැයි පවසමින් අරඹන ඇගේ කතාවට අද සාවධානව ඇහුම්කන් දෙනවා. හේතුව ඇය තමන්ව ඒ තැනට ඔසවා ගත් නිසා. ඇගේ ජීවත කතාවෙන් අපට අපූරු පාඩමක් කියා දෙනවා. නැවක් ගිලෙන්නේ ඒ වටා ඇති ජලය නිසා නොවෙයි. නැව ගිලෙන්නේ ඒ තමන් වටා පවතින ජලය නැව තුළට කාන්දු වෙන්නට පටන් ගත්තෝතින් පමණයි. අපගේ ජීවිතත් ඒ වගේ නොවේදැයි ඇය පෙන්වා දෙනවා. ප්‍රශ්න, බාධක හැමවිටම අප වටා පවතිනවා. නමුත් අප ගිලී යන්නේ, ඒවාට අප තුලට ඇතුල් වීමට ඉඩ දුන්නොත් පමණයි. ඒවා එළියෙන් තබාගෙන වැඩ කරනා තෙක් අප සුරක්ෂිතයි. නමුත් ඇතුළට ගතහොත් ජීවිතය ගිලී යාම ස්ථිරයි. අරුණිමා ජීවිතය ගැන අපට ඉගැන්වූ වැදගත්ම පාඩම නම්, ඔබේ සුපිරිම ශක්තිය, රෝසමල් ඇතිරූ මාවතක් මත දී නොව, පාදයක් අහිමිව, රුධිරය නොනවත්වා වෑහෙමින් තිබෙන අමිහිරි අත්දැකීමක් විදිමින් සිටින අතරතුරේ දී දුම්රිය මාර්ගයක් මත වුව දී හමුවිය හැකි බවයි.

Comments