
මහ ගෙදර
මම සුපුරුදු පරිදි හාන්සි පුටුවට බර දී සිටියෙමි.
කල්පනාවේ ඉවරයක් නොවී ය. හැම කල්පනාවක් ම අවසන් වූයේ එක ම තැනකිනි.
හැබෑට මේ ජීවිතේ තේරුම මොකක්ද?
මට හිතුණේ මා තනි වී ඇති බවකි.
අද වැනි සෙනසුරාදා උදෑසනක ඉස්සර නම් මේ ගෙදර මේ සා පාළු තැනක් නොවී ය. තිබුණේ ලොකු කලබලයකි. අසල්වැසි දරුවෝ වැල නොකැඩී ආහ. ඔවුන් දහ පහළොස් දෙනා මේ ඉස්තෝපුවේ දිගා වී ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වූ හැටි මට මැවී පෙනිණි.
මම එකල සියයකට ආසන්න දරු පිරිසක් ශිෂ්‍යත්වයෙන් එගොඩ කෙරුවෙමි. ඒ සතයකුදු නොගෙන ය. මොහොතක් මම ඒ සතුටින් සුවයක් වින්දෙමි.
යළිත් මට තනිකම දැනිණ. එදා මා අත දුන් ඒ කිසිවෙක් අද බලන්නට නොඑති. හිතට තරමක කේන්තියක් ද ආයේ ය.
‘කමක් නෑ මං ඉටු කෙරුවෙ මගෙ යුතුකමක්’ මම හිත හදාගතිමි.
‘සර් තේ බොන්ඩ!’
ඒ හඬින් මගේ කල්පනාව බිඳිණි. මම හැරී බැලුවෙමි. වසන්තා තේ කෝප්පය දෑතින් ගෙන මදෙස බලා සිටියා ය.
‘ආ උඹ තේ හැදුවද? දීපං!’
සර් මොනවද කල්පනා කළේ?’
‘කල්පනා කළේ?’ මම හිතන්නට වීමි.
මගේ දෑස පෙඟී ඇති බව මට දැනිණි. මම කඳුළු පිස දා තේ කෝප්පය අතට ගතිමි.
මා මොනවා කල්පනා කළා දැයි වසන්තා යළිත් විමසනු ඇත. ඊට පෙර කතාව වෙනතක හැරවිය හැක්කේ කෙසේදැයි යළි මම කල්පනා කරන්නට වීමි. හොඳ වේලාවට නියම කල්පනාව හිතට අාවේය.
‘ඒකයැ පොඩි දුවයි, පොඩි පුතයි ලංකාවට එනව. ලබන සඳුදා මෙහාට එනව’. මගේ කටහඬ ශක්තිමත් විය.
‘අනේ හොඳයි. මටත් වාසියි’
‘උඹ ඉතිං උඹේ වාසිය ගැන බලපං!’
මම තේ උගුරක් තොල ගෑවෙමි.
‘ඒක නෙමෙයි බං හොඳ කෑම වේලක් හදමු. මාළු ඇඹුල් තියල් දාල, පොළොස් උයල, පරිප්පු හදල, හුරුල්ලෝ බදිමු!’
‘ඒක හොඳයි සර්, එහෙම කරමු’
‘උඹ නං හොඳයි කියයි. ඒ වුණාට මං අතින්නෙ වැඩ කෙරෙන්නෙ’
ඇය නිහඬ ව හිනැහුණා ය.
සඳුදා උදාවිය.
මා කී හැටියට වසන්තා අහර පිසින්නට වුවා ය.
මම පාර දෙස බලාගෙන සිටියෙමි.
දරුවෝ ආහ.
සිය දු දරුවන්ද කැටුව දරුවෝ ආහ.
දරුවන්ගේත් මුනුපුරු මිනිපිරියන්ගෙත් හඬින් ගේ පිරී ගියේ ය.
මොන තරම් සතුටක්ද? මගේ හිත ඔරොත්තු නොදෙන සතුටකින් පිරීතිරී ගියේ ය.
මගේ වයසේ හැටියට දුක මෙන් ම සතුට ද දරා ගත නොහැකි ය. කඳුළු ‘සට සට’ ගා වැටෙන්නට පටන් ගත්තේ ය.
හැබැයි, ඒ සතුට වැඩි වෙලාවක් පැවතුණේ නැත.
දූත්, පුතාත් පසෙකට වී යමක් සාකච්ඡා කරනු මට පෙනිණ. ටිකකින් දෙදෙනා මවෙත ආහ.
‘තාත්තේ මේ ගේ ලොකු වැඩියි කඩල කුඩා කරල හදමු !’
ඔවුන් සාකච්ඡා කරගත් තීරණය එය විය.
මම කිසිත් නොකීවෙමි.
ඉන් පසු වැඩි වෙලාවක් ගෙදර නොසිටි ඔවුහු දරුවන්ද කැටුව මගෙන් සමුගෙන යන්නට ගියහ.
මම යළිත් තනිවීමි.
වසන්තා බිත්තියට පිට දී මදෙස බලාගෙන සිටියා ය.
මම යළිත් කල්පනාවට වැටුණෙමි.
අඩ සියවසකට පමණ පෙර මගේ බිරියගේත්, මගේත් පුංචි පඩිවලින් අමාරුවෙන් එකතු කර ගන්නා ලද මුදලින් මේ පර්චස් හතළිහේ ඉඩම් කැබැල්ල මිල දී ගත් හැටි මට සිහිපත් විය. ගෙයක් හදන තුරු කුලී ගෙවල්වලට කුලී ගෙවීමට අපි නොසිතුවෙමු. එහෙයින් පොල්අතු පැලක් හදා ගතිමු. එහි ජීවත් වෙමින් මේ ගේ ටිකින් ටික ගොඩ නගා ගතිමු. එක ළමයා දෙක තුන හතර විය. ඒ අනුව කාමර ද වැඩි විය. මේ ගෙය ‘මහ ගෙදර’ වූයේ එසේ ය.
මගේ හිසට උඩින් කපුටෙකුවත් පියඹා නොගිය කාලයක් තිබිණි. එකල කිසිවෙක් මේ ගේ ලොකු වැඩියි, පුංචි කරමුයි යෝජනා නොකළහ. මේ ගේ හැම තැනකම ඇත්තේ මගේත්, මා බිරියගේත්, අප දෙදෙනාගේ දරුවන්ගේත් සැමරුම් ය. දරුවන්ට දැන් එය නොදැනෙන්නේ ඇයි?
මට මහා වේදනාවක් දැනිණ. යළිත් කඳුළු වැටෙන්නට විය. මම නිහඬවම සිටියෙමි. මට එහෙම්ම නින්ද ගියේ ය.
‘සර් නැගිටින්ඩ!’
වසන්තා මා ඇහැරෙව්වා ය. ඒ වන විට මට සෑහෙන වේලාවක් නින්ද ගොස් තිබිණයි මට හිතිණ.
මම ඇය දෙස බැලුවෙමි.
‘සර්, දවල්ට කෑම කන්නෙ නැද්ද? කමු!’
ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර මාරාවිල ඩබ්ලිව්. එල්. බැසිල් ප්‍රනාන්දු මහතා විසින් යොමු කරන ලද ලිපියක් ඇසුෙරනි.
නෙළුම්විල
සිළුමිණ,
ලේක්හවුස්,
කොළඹ 10.