මල අදින මල් නොවන ජීවිත | සිළුමිණ

මල අදින මල් නොවන ජීවිත

ඔවුන්ගේ රැකියාව නවීන ලෝකයට අනුගත වන්නක් නොවේ. මිනිසත් බවටත් නින්දා කරමින් තවමත් මේ ජන කොට්ඨාසය කුලවතුන්ගේ මල හිසෙන් සහ කරෙන් ඇදීම ජීවිකාව කරගෙන ඇත. මේ ඉන්දියාවේ වාල්මිකී කුලයේ කතාවයි.

කොයිදේටත් නවීන තාක්ෂණය දැන් යොදා ගන්නට පුළුවන. ලෝකය ඒ තරමටම දියුණුය. එසේ වුවත් ලොව ඇතැම් ජන සමාජ තාක්ෂණයට අනුගත වන්නේ බෙහෙවින්ම මන්දගාමීව ය. මන්දගාමීව තාක්ෂණයට මුහුණ දෙන එහෙව් මිනිසුන් සමඟ සංස්කෘතිය ගලා යන්නේ සමාජ ගැටලු මතු කරමිනි. ඒ ගැන කිව හැකි යස අපූරු කතාවක් තිබේ. මේ කතාවේ කතා නායකයෝ ජල පරිහරණයක් නැති වියළි වැසිකිළි භාවිත කරන ඉන්දීය කුලීනයන් සහ ඔවුන්ගේ මල හිසෙන් සහ කරෙන් අදින කුලහීනයෝ ය. කතාව පටන් ගන්නට සිදු වන්නේ උතුරු ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්හි ඈත කෙළවරක ඇති පුංචි ගම්මානයක ඉපදුණු රජිනී නමැති ගැහැනියකගෙනි.

රජිනීලා උපතින්ම වාල්මිකී කුලයේ අය වූහ. වාල්මිකී කුලයේ උදවියට එදා සිටම පැවරී තිබුණේ මිනිස් මළ ඇදිල්ල ය. මිනිස් මල අදින මිනිසුන්ගේ රූපය රජිනීගේ හිතට පළමුවෙන්ම කා වැදුණේ අම්මා නිසයි. අම්මා, වියළි වැසිකිළි භාවිත කරන කුලවත් සාධු ජනයාගේ ගෙයක් ගෙයක් ගණනේ දිනපතා ගියාය. එසේ ගොස් ඈ ඔවුන්ගේ වැසිකිළිවල මල කූඩයකට එකතු කරගෙන ගොස් ඉවත හෙළුවාය. මේ දසුන රජිනී දිනපතාම දුටුවේ ඇයට අවුරුදු දහයක් තරම් කාලයේ සිටයි. දෙනාස් පුඩුවලට දැරිය නොහැකි තරමට නැඟෙන දුර්ගන්ධය හිසෙන්, කරෙන් ගෙන, තමන් වටේ කැරකෙන මැසි පොදිය සමඟ ඔට්ටුවෙමින් ජීවිතය සොයන අම්මාගේ රුව, ඇගේ පුංචි හිත හැමදාම වාගේ කැලඹුවේ ය. අම්මා කරන්නේ මේ ලෝකයේ ඇති අතිදුෂ්කරම රාජකාරිය බව පුංචි කෙල්ලට අවබෝධ වන්නේ, රාජකාරිය නිමවා පැමිණ අම්මා දරුවන් සමඟ කෑමට හිඳ ගන්නා විටයි.අතට ගත් කෑම ඩිංග කටට දාගෙන උගුරෙන් පහළට යවා ගන්නට බැරිව අම්මා අප්පිරියාවෙන් සහ ඔක්කාරයෙන් දුක් විඳින හැටි රජිනීට හොඳටම මතක ය. එය අනුන්ගේ මල අදින වාල්මිකී කුලයේ කවුරුත් නිතරම වාගේ විඳින බලවත් කරදරයකි. ඒ කරදරයට මේ රස්සාව තුළ උත්තරයක් නැත.

“... අපේ ජීවිතවලට නරක දවස් උදාවෙන්නේ වැහි කාලෙට.වැසිකිළිවලින් ඉවතට ගෙන එන මලවලට වතුර මුහුවෙලා අපේ ශරීර දිගේ බේරෙන්න පටන් ගන්නවා. ...” කියා තවත් පැත්තකින් නැඟෙන දුක රාජිනි විස්තර කරන්නී ය.

එහෙම කිව්වත් රාජිනීට අන්තිමට කර ගසන්නට සිදුවුණෙත් ඒ කරුමයටම ය. දරිද්‍රතාව නිසාම ඈ ඉක්මනින් දීගයක ගියේ බෙහෙවින් ලාබාල වයසේ පසුවද්දී ය. සැමියාගේ ගමේ පදිංචියට ගිය ඈ එහි සිට මිනිස් මල ඇදීමේ පාපය ගෙවීම ඊළඟට ඇරඹුවාය.

ඉන්දියාවේ තැනින් තැන විසිරී සිටින වාල්මිකී කුලයේ තවත් දහස් ගණනක් කියන්නේ ද රාජිනිගේ කතාවට බෙහෙවින්ම සමාන කතාවකි.

“... වැසිකිළි සහ කානු පවිත්‍ර කරන්න ගිය පළමුවෙනි දවසේ මම ලිස්සලා වැටුණා. මගේ කකුල කෙණ්ඩ දක්වා මලවල එරුණා. මම මහා හයියෙන් කෑගහගෙන නැඟිටලා දිව්වා. මම ගෙදර ඇවිල්ලත් හුඟ වෙලාවක් ඇඬුවා. එහෙම දුක් වුණත් මම දැනගෙන හිටියා මේ රස්සාව මිසක් වෙන රස්සවක් මට උරුම නැහැ කියලා...” රාජස්ථාන්හි භාරත්පූර් නගරයේ සොනා එසේ පවසන්නී ය.

මහාරාෂ්ට්‍රකයේ ජලගාඔන්හි කෛලාෂ් පොකෙර්ජි කියන කතාව මෙයට වඩා වෙනස් වන්නේ අල්ප මාත්‍රයකිනි.

“... මම වාණිජ සහ බැංකුකරණය උගත් කෙනෙක්. ඒ වුණත් මට රස්සවක් හොයා ගන්න බැරි වුණා. මම උගත් කෙනෙක් වුණත් අපේ ගම් සභාවෙන් මට දුන්නේ වැසිකිළි පිරිසුදු කරන රස්සාවක්. ඒකට හේතුව මම, අනුන්ගේ මල අදින්න කැපවෙච්ච ප්‍රජාවකින් පැවතගෙන ඒම...”

ඉහළ කුලවල ඇතැම් ජන කොටස් අදටත් 'වියළි වැසිකිළි'භාවිතයට ගනිති. වියළි වැසිකිළි තනා ගැනෙන්නේ විශාල ටින් එකක් හෝ ඒ හා සමාන බඳුනක් හෝ ආධාර කරගෙනයි.

එම බඳුනේ ඇති මල මුත්‍ර කිසිවිටෙකත් භූගත කෙරෙන්නේ නැත. එනිසා බඳුන පිරෙන විට මල මුත්‍ර ඉන් ඉවත් කරන්නට වැඩ පිළිවෙළක් අවශ්‍ය වේ.

මෙවැනි වැසිකිළි භාවිතයට ගැනීම ලෝ පුරා ආරම්භ වූයේ 1214දී පමණ ය. එකල එවැනි වැසිකිළි යුරෝපයේ සෑම තැනකම පාහේ දක්නට ලැබුණු බව සඳහන් වේ. කෙසේ වුවත් එක්දහස් පන්සිය ගණන් වනවිට වියළි වැසිකිළි ලොව බොහෝ තැන්වලින් ඉවත් කෙරිණ. ලෝකය අනුක්‍රමයෙන් ජල මුද්‍රිත වැසිකිළි සඳහා හුරුවූවත් එම තාක්ෂණයට හුරුවන්නට භාරතයේ ඇතැම් මිනිසුන්ට නොහැකි විණ.

එවැනි තත්ත්වයක් ඇති වූයේ කුලගර්වය නිසා හිස උදුම්වා ගත් මිනිසුන්ගේ උද්දච්චකම නිසාද එහෙමත් නැත්නම් නව තාක්ෂණයට අනුගතව වෙනස් වන්නට මිනිසුන් තුළ පැවැති නොකැමැත්ත නිසාද යන්න පැහැදිලි නැත. ඒ කාරණය කුමක් වුවත් අන්තිමට ඒ මිනිසුන්ගේ මල මුත්‍රවල බර පැටවුණේ නම් වාල්මිකී කුලයේ උදවියටයි.

මිනිස් මල එකතු කිරීම වෘත්තීය කරගත් භාරතීයයන් කොපමණ සංඛ්‍යාවක් අද වනවිට සිටිත්ද යන්න ගැන නිශ්චිත සඳහනක් නැත. එසේ වුවත් 2011 වසර වනවිට වියළි වැසිකිළි පද්ධති මිලියන 2.6කට ආසන්න සංඛ්‍යවක් ඉන්දියාවේ භාවිත මට්ටමෙන් පැවැති බව සනාතව තිබේ.

ලක්ෂ දෙකත් තුනත් අතර ශ්‍රමිකයන් පිරිසක් 2012 වනවිටත් මිනිස් කසල ශෝධන කාර්යයෙහි නියැලී සිටි බව ඉන්දීය ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශ වාර්තාවලින් අනාවරණය වේ. මානව කසළ ශෝධනයෙන් ජීවත්වන බහුතරයක් දෙනා කාන්තාවන් බව මානව හිමිකම් සංවිධාන වාර්තා පෙන්වා දෙයි.

මිනිස්කමට තරම් නොවන මේ අවාසනාවන්ත තත්ත්වය වෙනස් කරන්නට ඉන්දීය රජය 2013දී පියවරක් ඉදිරියට තැබුවේය. ඒ අනුව කෙනෙකු මිනිස් කසළ ශෝධන කාර්යයෙහි යෙදීම මෙන්ම යෙදවීමත් දඬුවම් ලැබිය වරදක් හැටියට පාර්ලිමේන්තු පනතක් මඟින් ප්‍රකාශයට පත් කෙරිණ.

මිනිස් කසළ ශෝධනය ජීවිකාව කරගත් පිරිස් පුනරුත්ථාපනය කිරීමේ වැඩපිළිවෙළක්ද ඒ සමඟම ස්ථාපනය කරන ලදී. උක්ත පනත ක්‍රියාවට නැංවීමෙන් පසු ඉන්දීය සමාජයේ සිටි මානව කසළ අදින්නන්ගේ තත්ත්වය වෙනස්වීද යන්න ගැන සඳහනක් නැත.

කොහොම වුණත් ඉන්දීය දුම්රිය මාර්ගවලට බැහැර කෙරෙන මිනිස් මල ඇද ඉවත් කරන පිරිස නම් තවමත් එපරිද්දෙනි. එහි දිනකට ධාවනය වන දුම්රිය සංඛ්‍යාව 13,000කට අධිකය. ඒවායෙහි ගමන් ගන්නා ලක්ෂ සංඛ්‍යාත මඟීන්ට වැසිකිළි පහසුකම් අවශ්‍ය බව රහසක් නොවේ. එසේ වුවත් ඉන්දීය දුම්රිය වැසිකිළිවල තත්ත්වය තවමත් එතරම් හොඳ නැත.

දුම්රිය වැසිකිළිවලින් මිනිස් මල සහ මුත්‍ර දුම්රිය මාර්ගයට ඍජුවම බැහැර කෙරෙන අවස්ථා අදටත් එහි දක්නට පුළුවන. දුම්රිය මාර්ගයේ රැඳෙන එම මල අහුලා ඉවත් කිරීමට යොදවා තිබෙන්නේ කසළ ශෝධනය රැකියාව කරගත් මිනිසුන්ය. ඉන්දීය රජයේ මේ වැඩ සමාන වන්නේ කිසිවක් හෝද හෝදා මඩේ දැමීමේ ක්‍රියාවට මිස අන් කවරකට ද?

 

Comments