ටීට­ර්ව­ලින් වැඩ අල්ලලා ‘වළට’ බැස්සා | සිළුමිණ

ටීට­ර්ව­ලින් වැඩ අල්ලලා ‘වළට’ බැස්සා

ජුනි 9 වැනිදා තවත් කලාකරුවන් සිවු දෙනකු හා එක්ව නෙළුම් පොකුණ රඟහලේදී ‘මකරන්ද’ ප්‍රසංගය ඉදිරිපත් කිරීමට සූදානම් වන අතරතුර ප්‍රවීණ රංගවේදී නිශ්ශංක දිද්දෙණිය සිය මතක මංපෙත ඔස්සේ අප සමඟ ඇවිද ගියේ මෙලෙස ය.

• ඔබේ ළමාවිය මතක කෙබඳු ද?

මගේ ගම සබරගමුව පළාතේ, රත්නපුර දිස්ත්‍රික්කයේ පනාවැන්න. ගොවිතැන් කරන සරල ජීවන රටාවක් සහිත පිටිසර ගමක්. තේ සහ රබර් දෙක ම සහිත වතු සංස්කෘතියකුත් තිබුණා. අපේ තාත්තා, ගොවියෙක්. අම්මා ගෙවිලියක්. අපේ පවුලේ 8 දෙනයි. මට වැඩිමහල් සහෝදරයො තුන්දෙනයි, සහෝදරියො තුන්දෙනයි. මම පවුලෙ හත්වැනියා. අපේ පවුල සල්ලිකාර පවුලක් නෙවෙයි. මම මුල් අකුරු කළේ පනාවැන්න ධම්මාරාම විද්‍යාලය කියන ගමේ ඉස්කෝලෙන්. පස්සෙ පැල්මඩුල්ල ගන්කන්ද මධ්‍ය මහ විද්‍යාලයට 6 පන්තියේදි ඇතුළත් වුණා. ඒ කාලෙ කිව්වෙ ගොඩගහවත්ත ඉස්කෝලෙ කියලා. සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මහත්තයගෙ අධ්‍යාපන ප්‍රතිපත්තිය අනුව බිහිවූ මධ්‍ය විද්‍යාල 54 ක් රටේ රටේ තිබුණා. අපේ ඉස්කෝලෙත් එයින් එකක්.

 

• ඔබ කලාවට නැඹුරු වෙන්නේ පාසල් අවදියේ පටන්ම ද?

මගේ කලා ජීවිතයේ ආරම්භය සිදු වුණේ ගමේදි කියල කියන්න පුළුවන්. මං ඒක හඳුන්වන්නෙ “ගැමිකරළිය” කියලා. අපේ ගමේ ඒ කාලෙ ‘ටීටර්’ නාට්‍ය තිබුණා. බී.ඒ.ඩබ්. ජයමාන්න, සිරිසේන විමලවීර වගේ අය මේකෙ ආරම්භකයො. නාඩගම්, නූර්ති අභාවයට යද්දි ටීටර් ඉදිරියට ආවා. ගමේ ප්‍රභූවරු මූලික වෙලා ටීටර් න‍ැටෙව්වා. බාග බිත්ති තියෙන පොල් අතු සෙවිලි කළ එක ම ගොඩනැඟිල්ලක් තිබුණා. වේදිකාවක්වත් තිබුණේ නෑ. මේ ගොඩනැඟිල්ලෙ තමයි ටීටර් නැටෙව්වෙ. මගේ ලොකු අයියයි, පුංචි අයියයි දෙන්න ම මේවයෙ රගපෑවා. පුංචි අයිය දුෂ්ටයට රඟපෑවා. ලොකු අයියා ගැහැනු චරිත රඟපෑවා. ඒ කාලෙ එයා හරි ලස්සනයි. පිරිමියෙක් ද කියල හොයන්න බෑ නාට්‍යයට ඇන්දම. අපි පොඩි ළමයි ඉස්සරහට ටිකට් රුපියලයි. පිටුපස ඒවා ශත පනහක් විතර. සහෝදරයො රඟපෑව නිසා අපිට නොමිලේ බලන්න පුළුවන් වුණා.

 

• සබරගමු පෙරහර ඔබට සුන්දර අත්දැකීමක් වුණු බව අහලා තියෙනවා?

සබරගමු මහ සමන් දේවාලයේ පෙරහර තමයි එහෙ ලොකු ම පෙරහර. දළදා මාලිගාවෙ පෙරහරේ අනුරුවක් වගේ මේක කළේ. අපි පාඩම් කළේ කුප්පි ලාම්පුවෙන්. විදුලිය තිබුණෙ නෑ. පෙරහර දවස්වල ලයිට් වෝල් එල්ලලා හරි අපූරුයි. සුන්දර ලෝකයක් වගේ. පෙරහරේ උඩරට, පහතරට, සබරගමු නැට්ටුවො, මහබඹා ආදී විවිධ අංග තිබුණා. පිටුපසින් වතුවල දෙමළ ජනයා නාගසලම් ගසමින් ආවා. කොටි නැටුම් පෙන්නුවා. මිනින්දෝරු නාඩගම වගේ නැටුම් ආවෙත් පිටුපසින්. පෙරහරේ ඉස්සරහින් ගියේ අලි - ඇතුන් සහ සාම්ප්‍රදායික නර්තනාංග. පෙරහැර පුංචි අපට හරි අමුතු ලෝකයක් වුණා. ඉතාමත් විචිත්‍රයි.

 

• අම්මා තාත්තාත් මේ සරල දිවියටම හුරුවෙලා හිටියා?

ඔව්. කුඹුරු වැඩ කාලෙට ගොයම් කපන කොට අපේ අම්මා නෙළුම් කවිවල මුල අල්ලනවා මට මතකයි. හරිම සුන්දර අත්දැකීම්. තාත්තා කුඹුරු වැඩ ඉවරවෙලා ඇවිත් ඇ‍ඳේ ඇලවෙලා බණපොත් කියවනවා. ජාතක කතා එහෙම තාලෙට කියෙව්වා. අහගෙන ඉන්න ආසයි.

 

• මුල්ම නාට්‍ය අත්දැකීම ගැන කතා කරමු?

රාජා සුමනපාල අපේ ගමේ. පස්සෙ කාලෙක තමයි එයා කෝපි කඩේ ටෙලි නාට්‍යයේ අලි ජේමිස් චරිතය එහෙම කරලා ජනප්‍රිය වුණේ. මං ගැන ආරංචි වෙලා රාජා අපේ ගෙදරට ආවා, එයා නාට්‍යක් කරගෙන යනවා ඒකට මාවත් සම්බන්ධ කරගන්න කියල අපේ අම්මගෙන් අවසර ගන්න. එතකොට මට අවුරුදු 15 ක් විතර ඇති. අම්මා හරි සතුටෙන් කැමැති වුණා. මොකද අපිත් ටීටර් බලලා ඇවිත් ගෙදරදි පොඩි පොඩි අනුකරණ කළා. තාත්තා, අම්මා, සහෝදර - සහෝදරියො තමයි ප්‍රේක්ෂකයො.

අල්ලපු ගමේ තරුණ ගොවි සමාජය ‘බතේ උපත’ කියල කරපු නාට්‍යයෙත් රාජා කළ වෙසක් නාට්‍යවලත් මං රඟපෑවා. ගමේ ඉස්කෝලෙත්, මධ්‍ය විද්‍යාලෙත් මං නාට්‍යවලට සම්බන්ධ වුණා. අපේ නැටුම් ගුරුතුමෙක් හිටියා. සරත් ලාල් පනාවල. දක්ෂ, කඩවසම් ගුරුවරයෙක්. මේ කාලෙ විවිධ නාට්‍ය, ගායනා, නැටුම් තරගවලින් පාසලට ජයග්‍රහණ ලැබුණා. 1963 දී ඒකල ගායනා තරගයෙන් මං සබරගමුව පළාතෙන් පළමුවැනියා වුණා. ප්‍රාදේශීය මට්ටමින් පැවැති සාහිත්‍ය තරග වලිනුත් ජයග්‍රහණ ලැබුවා. ගමේ ඉස්කෝලෙ හිටියා චන්ද්‍රා පලන්සූරිය කියල ගුරුතුමියක්. එතුමිය හුඟාක් වෙලාවට මාව ඉදිරියට ගත්තා. කවි පන්තියක් ගායනා කරන්න තිබුණොත් මා ලවා ගායනා කෙරෙව්වා. මා නොදැනුවත්ව ම වගේ කලා ජීවිතයට හැඩගැස්මක් ඇති කරන්න මේ සියල්ල බලපෑවා.

 

• පාසල් අධ්‍යාපනයෙදී ඔබ දක්ෂ සිසුවෙක්?

මං දෙවතාවකදි ම සරසවි ප්‍රවේශ විභාගය අසමත්. හේතුව අර වගේ බාහිර වැඩ හුඟක් කිරීම. තුන්වෙනි වතාවෙ මං අධිෂ්ඨානයක් ඇතිකර ගත්තා. වාරපරීක්ෂණවලදි මට වඩා අඩු ලකුණු ගත්ත ළමයිනුත් ගියා නම් ඇයි මට බැරි කියලා සිතට ගත්තා වැඩ කළා. මොකද මට තිබුණෙ බැරිකම නෙවෙයි, පාඩම් නොකළ බව මම දැන සිටියා. ගුරුවරුත් විශාල ධෛර්යයක් දුන්නා. මට කිව්වා පිස්සු නටන්න එපා ළමයො සරච්චන්ද්‍ර මහත්තයගෙන් ඉගෙනගන්න පේරාදෙණියට යන්න ඕන කියලා. ඒ කාලෙ මනමෙ, සිංහබාහු ප්‍රසිද්ධයි. අපේ සාහිත්‍ය ගුරුතුමා කරුණාරත්න බණ්ඩාර රත්නායක. මුල්ම මනමේ කුමාරයා, බෙන් සිරිමාන්නගෙ සරසවි සමකාලීනයෙක්. එතුමත් මාව ධෛර්යවත් කළා. අපේ පන්ති භාර ගුරුතුමියත් සීතා අරුන්තවනාදන් මහත්මිය. එතුමියත් මාව ධෛර්යවත් කළා. මහාචාර්ය සරච්චන්ද්‍රගෙ පළමු ස්වතන්ත්‍ර නාට්‍ය “බහින කලාව”. ඒකෙ ප්‍රධාන නිළිය හැටියට රඟපාලා තිබුණෙත් ඇය.

 

• ඔබ පේරාදෙණිය විශ්වවිද්‍යාලයට යනවා. මහාචාර්ය සරච්චන්ද්‍රයන් හමුවීම සිදුවුණේ මොන විදිහටද?

සරච්චන්ද්‍රයන් “පේමතෝ ජායතී සෝකෝ” සඳහා තෝරා ගත්තේ ගායන හැකියාව තිබෙන අය. මේ ගැන දැන්වීමක් පළකරලා තිබුණා කටහඬ පරීක්ෂණයක් තියෙනවා කියලා. මමත් බොහොම අපේක්ෂා දල්වාගෙන ඊට ඉදිරිපත් වුණා. එතුමා ඉතාමත් කැමැත්තෙන් මාව තෝරාගත්තා. තනුව වරද්දලා ගායනා කළොත් එතුමා කියනවා ඔව් ඉතිං ඒ විදිහටත් ගායනා කරන්න පුළුවන් කියලා. සමහරු මවාගත්ත ඉංගිරිසි ඌරුවකින් ගයන කොට එතුමා කියනවා දැන් බලන්න සිංහල සින්දුවකුත් කියන්න කියලා. මම ගායනා කළේ අමරදේවයන්ගේ සන්නාලියනේ ගීතය. එතුම‍ාගේ ඉරියවුවලින් මට වැටහුණා මං හොඳට ගායනා කළා කියලා. මගෙන් ඇහුවා මොන ශාලාවෙද නතරවෙලා ඉන්නෙ කියලා. මම කිව්වා මාකස් ප්‍රනාන්දු ශාලාවෙ කියලා. දැනුම් දෙන්නම් පුහුණුවට එන්න කියලා මට කිව්වා. “පාදෙණිය මෙයාගෙ නම ලියාගන්න” කියලත් කිව්වා. පාදෙණිය පසුකාලීනව මගේ මිතුරෙක් වුණා. ඔහොම තමයි මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගෙ නාට්‍යවලට මාව තෝරාගත්තෙ. මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගෙ “පේමතෝ ජායතී සෝකෝ...” නාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපෑවෙ ජයලත් මනෝරත්න. මම උද්දාල බ්‍රාහ්මණයගේ ප්‍රධාන ශිෂ්‍යයෙක් හැටියට රඟපෑවා. ඒ තමයි විශ්වවිද්‍යාලයට ඇවිත් මං රඟපෑ පළමු නාට්‍ය.

 

• “සිංහබාහු” ගැන අපි කතා කරමු?

‘සිංහබාහු’ පටන් අරගෙන එතකොට අවුරුදු 6ක්. මං සම්බන්ධ වුණේ 1970 දී දෙවැනි නිෂ්පාදනයට. ඒ වෙන‍කොට ප්‍රධාන චරිතය රඟපෑවෙ ඩොමී ජයවර්ධනගෙ මල්ලි චාලි ජයවර්ධන. එයා පරිපාලන සේවයේ විභාගය සමත් වෙලා අම්පාරෙ ඈත ප්‍රදේශයක රැකියාවට ගියා. ටික කලක් නාට්‍යය නතර වෙලා තිබුණා. ඔහොම යන අතර සරච්චන්ද්‍රයන් මට කිව්වා “දිද්දෙණිය ඔය චරිතයට පුහුණු වෙන්න අපි මේක ආයෙ හදල ගන්න ඕන” කියලා. නාට්‍යයේ මුල්ම සිංහයා මාර්ක් ඇන්ටනී ප්‍රනාන්දු. නීතිඥයෙක්. ඊළඟට ජය ශ්‍රී චන්ද්‍රජිත් හිටියා. එයා මට පුහුණු කළත් මමත් එක්ක චරිතය කරන්න බැරි වුණා. ඊට පසුව සමන් බොකලවෙල. බොහොම පසු කාලයේ තමයි මට පුරුදු කළ කෙනෙක් එක්ක රඟපාන්න ලැබුණේ. සිංහ තාත්තලා තුන්දෙනෙක් එක්ක රඟපෑවා. මම සිංහබාහු චරිතයට අලුත් අර්ථ කථනයක් දුන්නා කියලා විචාරකයො ප්‍රශංසා කළා. වෙස්සන්තර, රත්තරං, මහාසාර, ලෝමහංස වගේ සරච්චන්ද්‍රයන්ගේ බොහෝ නාට්‍යවල මම ප්‍රධාන චරිතය නිරූපණය කළා. අපි මැදිහත්වුණු නාට්‍යවල ස්වර්ණමය අවධිය 1980 දශකය. 1996 දී මහාචාර්ය සරච්චන්ද්‍රයන් අභාවප්‍රාප්ත වුණායින් පස්සෙ මමත් ඒ නාට්‍යවලින් ඉවත් වුණා. අලුත් අලුත් අය ඒ චරිතවලට ආවා.

 

• ඔබේ වෘත්තිය වුණේ කුමක් ද?

විශ්වවිද්‍යාලයට එන්නත් කලින්. උසස් පෙළ ලියලා මම මගේ මුල් ම රැකියාව හැටියට කළේ ශිෂ්‍ය ගුරු වෘත්තිය. ඒ රැකියාව කළේ මාස තුනයි. විශ්වවිද්‍යාලයට ඇවිත් අගහිඟකම් මැද ඉගෙනීම කළා. ඔය අතරවාරයේ මට සමූපකාර පරීක්ෂක රැකියාවක් ලැබුණා. ගෙදරට කරදරයක් බරක් නොවී ඉගෙනීමේ වැඩ කරගන්න ඒක ලොකු උපකාරයක් වුණා. සරච්චන්ද්‍ර මහත්තයා පේරාදෙණියෙන් මාරුවෙලා කොළඹට ආවම මමත් මාරුවක් හදාගෙන කොළඹට ආවා. ඊට පස්සෙ දයානන්ද ගුණවර්ධන, ගුණසේන ගලප්පත්ති, හෙන්රි ජයසේන පසුකාලීනව රංජිත් ධර්මකීර්ති, කේ.බී. හේරත් වගේ ප්‍රසිද්ධම නාට්‍යවේදීන් සමඟ කටයුතු කරන්න ලැබුණා.

සමූපකාර පරීක්ෂකවරයෙක් හැටියට කොළඹ රාජකාරි කරද්දි යෝර්ක් වීදියේ අපේ කාර්යාලය තිබුණෙ. මේ වෘත්තිය බොහෝ දුරට ක්ෂේත්‍රයට සම්බන්ධයි. ඒත් එක් නියෝජ්‍ය කොමසාරිස්වරයෙක් මාව කාර්යාලයට ගත්තා. රැකියාවටත් අවහිරයක් කර නොගෙන මම නාට්‍ය වැඩත් කළා. අවස්ථා 3 - 4 කදීම නිවාඩු අයදුම් පත්‍ර අනුමත කර ගන්න යොමු කළාම මේ කොමසාරිස්වරයා මට නිවාඩු අනුමත කළේ නෑ. මේ ගැන විමසුවා ම රැකියාව හරි කලාව හරි දෙකෙන් එකක් තෝරා ගන්න කිව්වා. මං හැරිලා ආවා. බෝඩිමට ගිහින් එදා හවස ම රැකියාවෙන් අස්වීමේ ලිපිය ලිව්වා. පහුවෙනිදා ගිහින් ලියුම අතට දුන්නා ම මේ කොමසාරිස්වරයාගේ මූණ ඇද වුණා. ඇයි මෙච්චර හදිස්සි තීරණයක් ගත්තෙ කියලා මගෙන් ඇහුවා. මං කිව්වා කිසි හදිස්සියක් නෑ මට හොඳ උපදෙසක් දුන්නෙ, මං කලාව තෝරා ගත්තා කියලා සැලුන් ‍දොර තදින් ඇරගෙන එළියට ආවා.

පසුකාලීනව මං නැවත විභාගයට ඉදිරිපත් වෙලා මිල පාලන නිලධාරි තනතුරකට පත්වුණා. විශ්‍රාම යන තෙක් ම වසර ගණනාවක් ම කළේ ඒ රැකියාව.

 

• නාට්‍ය කලාව වැඩිදුරට ප්‍රගුණ කිරීමටත් ඔබ ක්‍රියා කළා නේද?

රඟපෑමත් එක්ක නාට්‍ය කලාවේ ඉදිරියට යද්දි එය අධ්‍යයනය කරන්න විශේෂ උනන්දුවක් ඇති වුණා. ඒ නිසා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ලේඛකත්ව හා සන්නිවේදන පශ්චාත් උපාධි පාඨමාලාව කළා. නාට්‍යධර්මී නාට්‍යවල ගීත ගායනා කිරීම අවශ්‍ය නිසා සංගීතය හැදෑරීමටත් කල්පනා කළා. භාත්ඛණ්ඩේ සංගීත විශාරද විභාගය සමත් වුණා. අන් දෙයක් නිසා නෙවෙයි, දැනුම ලබාගැනීමට අවශ්‍ය නිසයි මේවා කළේ. මෙහිදී මහාචාර්ය තිස්ස කාරියවසම්, මහාචාර්ය සුනිල් ආරියරත්න වගේ ගුරුවරුන් ගැන මම සිහිපත් කළ යුතුයි.

ඊට පසුව මම සෞන්දර්ය විශ්වවිද්‍යාලයෙත් කැලණිය විශ්වවිද්‍යාලයෙත් බාහිර කථිකාචාර්යවරයකු ලෙසත් සේවය කළා. අද වුණත් මම දැනුම සොයාගෙන යනවා. ඒක ඉවර වෙන දෙයක් නෙවෙයි. භරතමුනිගෙ නාට්‍ය ශාස්ත්‍රයෙත් නළුවෙක් වුණාම භාෂාව ගැන හොඳ දැනුමක් අවශ්‍ය බව සඳහන් වෙනවා.

නිර්මාණයක් කියන්නේ මානයක් නෑ කියන එක. අසවල් තැන අසවල් විදිහට මෙසේ විය යුතුයි කියල අපට කියන්න බෑ. නිර්මාණකරුවෙක් තමන්ගේ නිර්මාණය ගැන සෑහීමට පත්වෙන්නේ නෑ. එහෙම වෙනවා නම් ලෙස්ටර් රේඛාවෙන් නවතීවි. සරච්චන්ද්‍ර මනමේ කරල නවතීවි. හැබැයි නිර්මාණකරුවා සිතන්නේ ඊළඟ නිෂ්පාදනය ගැන.

 

• රූපවාහිනී හා සිනමා මාධ්‍යට ඔබ එතරම් නැඹුරු වූයේ නැතිද?

කොයිදේත් යම් පමණකට කළා. ටෙලි නාට්‍යවලත් රඟපෑවා. සිනමාව හෝ රූපවාහිනිය ගැන මං එතරම් උනන්දු වූයේ නෑ. පතීත් කිව්වා කෝ දිගා සිනමාවට උනන්දු වුණේ නෑනේ කියලා. පතී තමයි මාව ඉස්සෙල්ලම චිත්‍රපටයකට ගත්තෙ. ‘එයා දැන් ලොකු ළමයෙක්’ චිත්‍රපටයේ මාලිනීගේ අයියගෙ චරිතය රඟපෑවෙ මම.

 

• ඔබ මේ දිනවල කරමින් ඉන්නෙ මොනවාද?

මේ දිනවල නම් මම විශේෂ වැඩකට සූදානම් වෙනවා. ජූනි 9 වැනිදා සවස නෙළුම් පොකුණ රඟහලේදී අපි පස් දෙනෙක්, රොඩ්නි වර්ණකුල, සමන් ලෙනින්, ඉන්දිකා උපමාලි, නිලක්ෂි හැලපිටිය හා එකතුවෙලා මකරන්ද කියලා ප්‍රසංගයක් කරනවා. අපි පස්දෙනා කලා ක්ෂේත්‍රයේ විවිධ දක්ෂතා ඇති අය. මේක ගායනා ප්‍රසංගයක් ලෙස ඉදිරිපත් වෙන්නෙ ඒ ඒ අවස්ථාවන්ට ගැළපෙන නර්තනයන් ද සහිතව. මගේ කලා ජීවිතයේ විවිධ භූමිකා එදින දිගහැරෙනවා. ප්‍රසංගයේ සංගීත අධ්‍යක්ෂණය සංගීතවේදී නවරත්න ගමගේ. මෙය පිට පළාත්වලටත් ගෙන යෑමට අදහසක් තිබෙනවා.

 

• ඔබේ පවුලේ තොරතුරු කොහොමද?

මගේ බිරිඳ විජිතා නන්දනී. අපේ යුග දිවියට වසර 40 ක්. දරුවො දෙදෙනයි. වැඩිමලා පුතා දෙවැනියා දුව. දුව නම් කලාවටත් සම්බන්ධ වුණා. ‘දුවන මුවන්’ චිත්‍රපටයේ ප්‍රධාන නිළිය ඇය. දිගට ම කලාවට සම්බන්ධ වෙන්න ඇයට අදහසක් නෑ. මගේ දරුවො දෙන්නයි, මුනුබුරු මිනිබිරියන් එක්කයි අපි සතුටින් ජීවත් වෙනවා.

Comments