
කෝ බං අපේ වීරයා ගියා ගියාමයි කෝල් එකක්වත් නෑනේ...” උදාර එහෙම කීවේ ඇඳට ගොඩවෙන ගමන්ය.
“එකනේ බං... මටත් අලුත් නිව්ස් එකකුත් තියෙනවා මිනිහාට දෙන්න.. ෂහ්..”
සිරිනාත් පොත වසා දමා ඇඳට ගොඩවෙමින් කීවේ හිතේ කුහුලෙන්.
“ඒ මොකක්ද බං ඒ?”
“පොඩි කෑල්ලක් බං...?”
“ආ... අර එදා උඹලා හොරෙන් හොරෙන් කතා කළේ.. අර ගමේ එකක් නේද.. ඉතිං... මොකද වුණේ... තෙපර නොබා කියහං බං...”
“ඒ කෙල්ල මාත් එක්ක කතා කළා.. ‘කෝ ශ්‍රීමාල්ව පේන්න නැත්තෙ මොකද’ කියලා ඇහුවා බං... මට පුදුමත් හිතුණා.”
“ෂා.. ඉතිං බං ඔය නිව්ස් එක දීපංකො ඌට...!”
“ඌ මොන තත්වෙක ඉන්නවද දන්නෙ නෑනෙ බං...”
“ඒ කිව්වෙ...”
දැන් අනිත් දෙන්නාම කුහුලින්ය. තම තමන්ගෙ ඇඳන් උඩ ගල්වෙලාය!
“ශ්‍රීමාලයගෙ ගෙවල්වලින් ඌට කිසි දේකට නිදහසක් නෑ බං පව්...! ඌ ඔය මොබයිල් එකත් කොයි වෙලෙත් අස්සක ගහගෙන ඉන්නේ...!”
“හයියෝ.. ඒ වුණත්.. දැන් රෑනෙ බං.. ඌ දැන් නිදා ගන්න ළංවෙලා ඇත්තෙ. හීන බලබලා වහල දිහා බලාගෙන. දෙමුකො බං කෝල් එකක්.. අපේ “නඩත්තු අංශෙ’ මතක් කරන්නත් එක්ක.
“මචං උඹ නම් නොම්මර එකේ අවස්ථාවාදියා ආ... රෝමය ගිනිගනිද්දි නීරෝ වීණා වාදනය කළා වගේ ආ...”
“මොකක්ද බං ශ්‍රීමාලයා ගිනි අරන් ඉන්න එකෙක්යැ මොකක්ද ඒ කතාවෙ තේරුම?”
“හිටපං.. මං කෝල් එකක් අරගෙන බලන්න. එයාගෙ වෙලාව හරිද අපේ වෙලාව හරිද කියලා..”
සිරිනාත ශ්‍රීමාල්ගේ අංකය කරකැව්වේ සිනාමුසුවය... දිගටම නාද වී අන්තිමට ශ්‍රීමාල් ගේ කටහඬ ඇසුණි.
“මචං.. උඹ නිදිද? උඹ ගියා ගියාමයි අපිව මතක් වුණේ එහෙම නෑ නේද ආ...”
“අනේ බං... මොකද උඹලාව මතක නැත්තේ. මෙහේ විවිධ අවුල් බං.. දැන් හෙට උදේම අපි යනවා, අපි කිව්වෙ, මායි අම්මයි අප්පච්චියි අපේ රත්නපුරේ මාමායි නැන්දයි... සුදු නැන්දගෙ උමතුව හොඳ කරන්න නම් සමන්ති අක්කාව එයාට මුණ ගස්සන්නම වෙලා.. මචං මේවා කාටවත් කියන්න එපා.. මේවා මහා... පුදුමාකාර ප්‍රශ්නනේ...”
සිරිනාතට මිත්‍රයා ගැන දුකය. තවදුරටත් ඒ දුක ඔද්දල් කළ යුතු නැත.
“නෑ මචං මේ අපි තුන්දෙනා නිදාගන්න කලින් උඹට ටිකක් කතා කරන්න හිතුවා. අපි හිතුවෙ ඊයෙ උඹ අපිට කතා කරාවි කියලා.. කමක් නෑ... අන්න.. මට මේඛලා හම්බවුණා.. එයා ඇහුවා උඹ මොකෝ පේන්න නැත්තෙ කියලා..! දැන් උඹට සතුටු ඇති නේද ඒක අහලා...”
එහා පැත්තෙන් ඇහුනේ දිග හිනාවකි.
ඒ හිනාව සිරිනාත ගේ දෙසවනට කිව්වේ දිගම දිග කතාවකි. ඔහු එය අහගෙන ම සිටියේ ඒ නිසාමය.
“මං එහෙනං තියන්නද බං.. මේ කට්ටිය ඔන්න උඹව මතක් කරනවා..” එසේ කියද්දි උදාරත් සංජයත් දෙන්නාම ඉහළට අත් ඔසවාගෙන ඇඟිලිතුඩු එකතුකර අභිනයක් පායි.
“උන් උඹට මතක් කරනවා... බං ‘විදේශ ආධාර’ අංශෙ ගැන.”
“හා.. හරි.. හරි.. ඒවා මතකයි බං... එනෙම් නිදාගනිල්ලකො! බුදු සරණයි මං තිබ්බා...”
“මොකෝ බං ඌට ප්‍රශ්නයක්ද”
උදාර අසන්නේ උනන්දුවෙනි.
“නෑ බං... දන්නෙ නැද්ද උන්ට නෑගම් යන්න තියෙනවා. ඉතිං අපිට වගේ නෙමේනේ.. විසාල නෑදෑපරම්පරාවල් ඉන්නා පවුල් නේ..”
සිරිනාත වලව් කතන්දරේ නොකියන්ට වගබලාගෙන එහෙම කිව්වේ සීරුවටය. උදාරත් සංජයත් මූණට මූණ බලාගත්තේ කොහොමත් ශ්‍රීමාල් කියන්නේ යමක් කමක් තියෙන කෙනෙක් නිසා නෑදෑයොත් ඉතින් වටේට නැතැයි කියන සිතුවිල්ලෙන් වගේය.
“කෙල්ල ගැන ආරංචියට ඌ මොකේ කිව්වෙ?”
පොරෝනයට ගුලිවෙමින් උදාර අසුවේ උනන්දුවෙනි.
“ඒක අහලා ඌට මාර හිනාවක් ගියා බං.... පව් මුකුත් වචනයක් කිව්වෙ නෑ. කවුරු හරි ගෙදර කෙනෙක් ළඟක ඉන්න ඇති.”
“එක අතකට බලනකොට දුප්පත් වුණත් කොල්ලො වශයෙන් අපි හරි ම වාසනාවන්තයි බං.. අපිට නිදහස තියෙනවානෙ සල්ලිය බාගෙ නැතත්!”
සංජයත් තමුන්ගේ පොරෝනයට ගුලි වුණේ තාලෙට ගායනාවක් කරමිනි.
“ඒක සැබැයි.. සැබැයි.. සැබැයි..!!”
* * * *
උදේ ඉර පායපු වෙලාවේ ඉඳන්ම සමන්ති සිටියේ හිතේ කරදයෙනි. හොඳ වෙලාවට මිලින්ද මල්ලි එනවාය. ජයේන්ද්‍රත් ඉන්නේම අන්දුන්කුන්දුන් වෙලාය. ඔහුගේ කතාබහත් අඩුය.
තව පැය කීපයකින් මූණ දෙන්නට සිදුවෙන දේ ගැන හිතාගන්නටවත් බැරිය. කුලියට ගන්නා ලද පුංචි ඇනෙක්සියේ කුඩා බව තේරෙන්නේ මෙහෙම කට්ටියක් එන බව ඇසුවාමය. නැත්නම් මේ පුංචි ඇනෙක්සිය තමන්ටත් ජයේන්ද්‍රටත් මාලිගාවක් තරම් විසාලෙට දැනිලා ඇත. මිදුලත් ඉතාම කුඩා එකකි. අපේ අම්මලා අප්පච්චිලාට නම් අපේ ගේ මී කූඩුවක් වගේ පෙනේවි. සමන්තිට එහෙම හිතුණාට ඒවා වචනවලට නැගුවේ නැත්තේ ඒකෙන් ජයේන්ද්‍රගේ හිත රිදෙයි කියලා බටය.
“ඔයාගෙ අම්මා අහවි මේ බලු කූඩුවේ ඔයා ඉන්නෙ කොහොමද දුවේ කියලා” ජයේන්ද්‍ර එහෙම කීවේ කාමරේ අස්කරන ගමන්ය.
සමන්ති ඊට අහිංසක සිනාවක් පෑවේ කනගාටු හිතිලාය.
“වාහන දෙකම එයිද කට්ටිය එක වාහනේක එයිද දන්නෙ නෑ නේද මල්ලි. මේ මිදුලත් මදි.. දෙයියනේ..!”
සමන්ති කියද්දීම වාහන සද්දයක් ඇහිලා තුන්දෙනාම පාර දිහා බැලුවේ හිතේ චකිතයෙනි.
ඒ පාරේ යන වෙන මොකක්දෝ වාහනයකි.
සමන්තිගෙ හිත ආයෙත් බියෙන් සැලෙන ගමන්ය.
“ජයේ... අම්මලා අප්පච්චිලාත් එක්ක ශ්‍රීමාල් මල්ලිත් ආවොත් හොඳයි. එයා තමා ඔය වලව් කාරයො අතර ඉන්න සාධාරණේට හිතන එකම එක්කෙනා.. අපේ මල්ලිත් මෙහේ එනවා කිව්වට ඒ පාර ඒ තීරණේ වෙනස් වෙලාද කොහෙද.. කෝ තාම නෑනේ...”
“මට බය තියෙන්නෙ වෙන මොකවත් නෙමේ..”
“ඒ මොකක්ද...”
“සුදු මැණිකෙ හාමුගෙ ඔළුව නරක්වෙලා කියලනෙ මේ කට්ටිය කියන්නෙ.. එයා මෙතන ඇවිල්ලා මොකක් කරාවිද මන්දා.. අනේ.. සමන්ති ඔයා පරිස්සමින්.. බඩට තවම මාස දෙකක් වුණා විතරයි. ඔයා හිත ගස්සාගන්නෙ නැතිව ඉන්න.. මරනවා නම් මාව මරාපුදෙන්.. මං බය නෑ..!”
ජයේන්ද්‍ර එහෙම කීවේ පපුව කෙළින් කරගෙන වමතින් පපුවට ගසමින්ය. උළුවස්සේ එල්ලාපු බුද්ධ රූපය දිහා බලාගෙනය. සමන්තිගෙ හිත හොඳම පෑරුණි.
“අනේ... ජයේ.. මොනද ඔයා මේ කියන කතා..?”
දෙදෙනාගේ ඇස්වල බැල්ම එක මත වැටෙද්දීම වාහන සද්දක් ළඟම ඇසුණි. ඒ බැල්මට බිය මුසු සැකය කාන්දු වුණේ ඉබේටමය.!
‘ක්‍රාස්’ හඬින් වාහනය මිදුල අද්දරටම හැරවුෙණ් නිමේෂයෙනි.
පුදුමයකි!
වාහනය තුළ සිටියේ රියැදුරු කරුණාදසත් ජයේන්ද්‍රගේ තාත්තා වන ජයතිස්සත් විතරක්ය.
“තාත්තේ...! කෝ හාමුලා..?”
ජෙය්න්ද්‍ර මිදුලට පැන්නේ එසේ අසමින්ය.
“හ්ම්... ලෑස්තිවෙන්න ඉක්මනට...!”
ජයතිස්ස වාහනයෙන් බසිමින් කීවේ වටපිට බලමිනි. දැන් දැන් ගමේ එකා දෙන්නා හතරවටින් මතුවේ. ඒ වාහනය අතපත ගාන්නට එන කොල්ලන් කුරුට්ටන් ද සමඟින්ය.
“ආ.... ඇයි... හාමුලා එන්නෙ නැද්ද මෙහේ....?”
ජයේන්ද්‍ර ඇසුවේ කුහුලෙනි.
කරුණාදාස ඉස්තෝප්පුවේ ප්ලාස්ටික් පුටුවක වාඩිවෙලා විස්තරේ කියන්නේ සීරුවටය.
“දැන් මෙහෙමයි සමන්ති හාමු වුණේ.. ඊයේ ‘ශ්‍රී ජය’ වලව්වට ආවා සමන්ති හාමුගෙ අම්මයි අප්පච්චියි දෙන්නා. ඒ දෙන්නයි අපේ වලව්වෙ හාමු ජෝඩුවයි ශ්‍රීමාල් බේබි හාමුයි කට්ටියම මෙහේ එන්න තමා හිටියෙ. ඒත් මෙන්න හරියටම රෑ දොළහට විතර අපේ විල්ප්‍රඩ් හාම තීරණේ වෙනස් කොළා...!”
දැන් සමන්තිත් ජයේන්ද්‍රත් පුදුම වෙලා කටවල් ඇරගෙනය.
“ඒ කියන්නෙ හාමුලා එන්නෙ නැද්ද කරුණෙ මාමෙ...?” කටහඬ මතුවුණේ ජයේන්ද්‍රගේ විතරය. ඒකත් උච්ච ස්වරයකි.
“හාමුලා ඔක්කොම රත්නපුර වලව්වට යනවා. අපිව මෙහේ එව්වා ඔය දෙන්නාව එහේට අරන් එන්න කියලා...”
“අයියෝ...!”
ජයේන්ද්‍රගේ කටින් එය කියවුණේ අසරණ කමටමය.
“ඇයි ළමයො..”
“සමන්ති හාමුට බබෙක් හම්බවෙන්න ඉන්නවා මාමා.. තාම මාස දෙකයි. දුර ගමන් යන්න හොඳ නෑ කියලා - තව ටික දවසකට - දොස්තර මහත්තයා කීවා... මාමේ...”
“හත්දෙයියනේ...!”
ලබන සතියට