සතියේ කලදවස | Page 2 | සිළුමිණ

සතියේ කලදවස

මේෂ - ව්‍යාපාර ලාභ

සඳු ගමන් කරන්නේ 6, 7, 8 යන භාවයන් මතිනි. ව්‍යාපාරවලින් ලාභ ලැබිය හැකි සතියකි. සමාජ සේවා කටයුතුවල නිරත වීමට අවස්ථා සැල‍ෙසන අතර කලණ මිතුරන් මුණගැසේ. රැකියා සඳහා ඇවිදිලි වැඩිවේ. අසනීප සහ අන්‍යයන්ගේ කනගාටුදායක අවස්ථා අත්විඳින්නට සිදුවිය හැක. අපල අවම වීමට ලේ පරිත්‍යාග කරන්න. ලේ දෝෂ ඇති අයට උපකාර කරන්න.

සුබ අංකය 6, සුබ වර්ණය - රතු, සුබ දවස් - අඟහරුවාදා, ඉරිදා

 

වෘෂභ - යහපත් සතියකි

සඳු ගමන් කරන්නේ 5, 6, 7 යන භාවයන් මතිනි. ගෘහ ජීවිතය තුළ සාර්ථක අයුරින් වැඩකටයුතු කරගනී. දරුවන්ගේ සියළු යහපත් බලාපොරොත්තු ඉටුවෙන ලකුණු. රැකියා, ව්‍යාපාර අංශවලින් ලාභ ප්‍රයෝජන අත්වේ. පුණ්‍ය කටයුතුවලට දායක වීමට අවස්ථා මුණ ගැසේ. උණ, සෙම් රෝග වැනි අසනීප මතු විය හැක. සෞඛ්‍ය තත්වය පිළිබඳව සැලකිලිමත් වන්න.

අපල අවම වීමට රතන සූත්‍රය උදේ සවස කියන්න.

සුබ අංක 3, 6, සුබ වර්ණ - ක්‍රීම්, සුදු, සුබ දවස් - සිකුරාදා, බදාදා

 

මිථුන - භාග්‍යවත් දින කීපයකි

සඳු ගමන් කරන්නේ 4, 5, 6 යන භාවයන් හරහාය. ගෙදර දොර කටයුතු උනන්දුවෙන් කර ගනියි. සාමය සමගිය රැඳේ. දරුවන්ගේ ඉගෙනීමේ කටයුතු සඵලවේ. රැකියා, ව්‍යාපාර දියුණුව සැලසේ. පුණ්‍ය කටයුතුවලට සහභාගීවීමේ අවස්ථා මුණ ගැසේ. අතමිට සරුවන අතර අවිවේකය බලපවත්වයි. සෙම් රෝග බලපවත්වන බැවින් සෞඛ්‍ය තත්වය පිළිබඳ සැලකිලිමත් වන්න.

අපල අවම වීමට පාසල් යන කුඩා දරුවනට උපකාර කරන්න.

සුබ අංක 3, 5, සුබ වර්ණය - කොළ, සුබ දවස් - සිකුරාදා, බදාදා

 

කටක - සහෝදර බැඳීම් වර්ධනය වේ

සඳු ගමන් කරන්නේ 3, 4, 5 යන භාවයන් හරහාය. සහෝදර මා පිය දූ දරු සබඳතාවයන් වර්ධනය වන අතර දරුවන්ගේ සහජ දක්ෂතා ඔප් නැංවේ. රැකියා, ව්‍යාපාර දියුණුව ඇති කරයි. පුණ්‍ය කටයුතුවලට සහභාගි වේ. තමාගේ යහපත් ගතිගුණ ගැන අන්‍යයන් තුළ පැහැදීමක් ඇති වේ. ස්වයං රැකියා ලාභීන්ට සුබ සතියකි. අපල අවම කර ගැනීමට පත්තිනි දේව මෑණියන්ට පින් දෙන්න.

සුබ අංක 2, 7, සුබ වර්ණය - සුදු, සුබ දවස් - සඳුදා, බ්‍රහස්පතින්දා

 

සිංහ - අතමිට සරුවේ

සඳු ගමන් ගන්නේ 2, 3, 4 යන භාවයන් හරහාය. ආර්ථිකය ශක්තිමත් වන ධන ලාභ පෙන්නුම් කරන සතියකි. සහෝදරාදීන්ගෙන් සහ මවු දෙමවුපියන්ගෙන් උදවු උපකාර ලබයි. දරුවන්ගේ දක්ෂතා වර්ධනය වේ. රැකියා, ව්‍යාපාර හොඳින් කරගෙන යාමට පුළුවන. ගෙදර දොර කලඑළි කිරීමක් සිදු කෙරේ. අපල අවම වීමට සූර්ය පිරිත උදේට කියන්න. ශ්‍රවණය කරන්න.

සුබ අංක 4, 6, සුබ වර්ණය - රතු, සුබ දවස් - ඉරිදා, අඟහරුවාදා

 

කන්‍යා - ධාර්මික සිතුවිලි ගොඩනැඟේ

සඳු ගමන් කරන්නේ ලග්නය දෙවැන්න, තෙවැන්න හරහාය. ඔබට ප්‍රසිද්ධිය කීර්තිය ගොඩ නැඟෙන යහපත් කාරණා සිදු කෙරෙයි.

සිතුවිලි ධාර්මික අතට හැරෙයි. ධනය හරි හම්බ කරගත හැකි මාර්ග සැලසේ. සහෝදර සහෝදරියන්ගේ ඇප උපකාර හිමිවෙන සහ දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට සුබ සතියකි. අපල අවම කර ගැනීමට කොහොඹ පැළයකට සත්කාර කරන්න.

කොහොඹ කොළ තම්බා ඇඟපත සෝදන්න.

සුබ අංක 6, 7, සුබ වර්ණය - කොළ, සුබ දවස් - බදාදා, සිකුරාදා,

 

තුලා -ධනෝපායන මාර්ග සැලසේ

සඳු ගමන් ආරම්භ කරන්නේ 12 ලග්නය හා දෙවැන්න මතිනි. ආරම්භය එතරම් සතුටුදායක නොවේ. නිශ්ඵල ගමන් මෙන්ම පාඩු සිදුවිය හැකිය. දෙවන දිනයේ සිට සුබපල උදාවෙයි. ධනෝපායන මාර්ගවලින් ලාභ ප්‍රයෝජන අත්වෙයි. කල්පසු වූ මුදලක් ලැබෙන්නට ඉඩ ඇත. ප්‍රසිද්ධිය කීර්තිය ඇතිවෙන කටයුතුවල නියැළෙන්නට අවස්ථා උදාවේ. අපල අවම කර ගැනීමට කරඳ පැළයක් සිටුවන්න. නැතිනම් කරඳ කොළ මත පහන් තබා බෝධි පූජා කරන්න.

සුබ අංක 3, 6, සුබ වර්ණ - සුදු, ක්‍රීම්, සුබ දවස් - සිකුරාදා, සෙනසුරාදා

 

වෘශ්චික - මිශ්‍ර පල සහිතයි

සඳු ගමන් කරන්නේ 11, 12 සහ ලග්නය මතිනි. ආරම්භය සතුටුදායකය. මිල මුදල් ලාභ මෙන්ම වෙනත් ලැබීම්වලට වාසනාව මතු කරයි. සහජ දක්ෂතාවලට ඉඩකඩ ලැබෙන අතර ඒවාට ඇගයීම් ද හිමිවේ. සමහරවිට සිත් රිදීම් කලකිරීම්වලට ඉඩකඩ යෙදෙන අතර

නිශ්ඵල වියදම් නිසා පාඩු සිදුවේ. කල්පනාකාරීව බුද්ධිමත්ව කටයුතු කරන්න. අපල අඩු කර ගැනීමට අඟහරුවාදා දිනය

නිර්මාංශව භාවනාවක යෙදෙන්න. අභිසම්භිධාන පිරිත කියන්න.

සුබ අංක 4, 6, සුබ වර්ණය - රතු, සුබ දවස් - අඟහරුවාදා, බ්‍රහස්පතින්දා

 

ධනු - ලැබීම් සහිතයි

සඳු ගමන් කරන්නේ 10, 11, 12 යන භාවස්ථාන මතිනි. රැකියා හා වෙළෙඳ ව්‍යාපාරවලින් ලාභ ප්‍රයෝජන හිමිවෙයි. ගමන් බිමන් වැඩි වෙයි. ගෙදර දොර පිරිසිදුකම පිළිබඳ වැඩි අවධානයක් යොමු කරයි. සහෝදර බැඳීම් වර්ධනය වේ. දරුවන්ගේ ඉගෙනීම දියුණු වෙන

ග්‍රහබල පවතී. නිශ්ඵල ගමන් හා නිශ්ඵල වියදම් ඇතිවිය හැකි බැවින් බුද්ධිමත්ව කටයුතු කරන්න. අපල අවම කර ගැනීමට

තිරිසන් සතුනට ආහාර ජලය දෙන්න.

සුබ අංක 6, 8, සුබ වර්ණය - කහ, සුබ දවස් - බ්‍රහස්පතින්දා, ඉරිදා

 

මකර - පුණ්‍ය සිතුවිලි පල දරයි

සඳු ගමන් කරන්නේ 9, 10, 11 යන භාවයන් මතිනි. ආරම්භය ධාර්මික සිතුවිලි සහිතය. රැකියා හා ව්‍යාපාරික අංශවලින් ලාභ ප්‍රයෝජන ලැබේ. කරන කියන කටයුතු සඳහා ඇවිදිලි යෙදෙයි. ගෙදර දොර පිරිසිදුකමට මුල්තැනක් දෙයි. ඥාති හිතවත් සහෝදර දෙමවුපියන් සියලු දෙනාගේ උපකාර ලැබිය හැකි සතියකි. දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු සාර්ථක වෙයි.

අපල අවම කර ගැනීමට භාවනාවක යෙදෙන්න.

සුබ අංක 6, 9, සුබ වර්ණය - නිල්, සුබ දවස් - සෙනසුරාදා, සිකුරාදා

 

කුම්භ - දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දියුණුවේ

සඳු ගමන් කරන්නේ 8, 9, 10 යන භාවයන් මතිනි. ආරම්භය කනගාටුදායක පුවත් අසන්නට ලැබෙන අතර ඉන්පසු දින කීපය ගෘහ ජීවිතය, රැකී රක්ෂා දරුවන්ගේ උසස් අධ්‍යාපන කටයුතු සහ සියලු අංශවල යහපත් බවක් ඇත. පුණ්‍ය කටයුතු සිදු කරයි. පදිංචි ස්ථානයේ දියුණුවට පිරිසිදුකම නංවාලීමට උනන්දු වෙයි. මුදල් හදල් ලැබෙන තරමට වියදම් ද යෙදෙයි.

අපල අවම වීමට රෝගීනට සත්කාර කරන්න.

සුබ අංක 6, 9, සුබ වර්ණය - නිල්, සුබ දවස් - සිකුරාදා, සෙනසුරාදා

 

මීන - ව්‍යාපාර කටයුතුවලින් ලාභ ප්‍රයෝජන

සඳු ගමන් කරන්නේ 7, 8, 9 යන භාවයන් මතිනි. ව්‍යාපාර කටයුතුවලින් ලාභ ප්‍රයෝජන අත්වෙන සමාජ සේවා කටයුතුවල නිරත වන සතියකි. උගත් මිතුරන් හඳුනාගැනීමට ලැබේ. පුණ්‍ය කටයුතුවලට දායක වෙමින් විහාරස්ථානයේ දියුණුවට අතදෙයි. දරුවන්ගේ ඉගෙනුම් කටයුතුවල වර්ධනයක් පෙන්නුම් කරයි. ප්‍රසිද්ධිය කීර්තිය හිමිවන වැඩවලට දායකත්වය සැලසීමට අවස්ථා උදාවේ. අපල අවම වීමට භික්ෂූන් වහන්සේලාට ගිලන්පස පූජා කරන්න.

සුබ අංක 6, 9, සුබ වර්ණය - කහ, සුබ දවස් - බ්‍රහස්පතින්දා, අඟහරුවාදා

 

Comments