
ක්ෂේත්‍ර රැසක් ගැන අවබෝධය සහිතයි
කාර්යබහුල ජීවිතයක් ගෙවන අය
නමේ මුල් අකුරෙන් කියවෙන ඔබේ චරිතය පිළිබඳ ලිපි මාලාවේ තවත් අකුරක් පිළිබඳව සටහනක් තැබීමට මේ සූදානම. මෙම ලිපියෙන් ඉංග්‍රීසි භාෂාවේ P අකුරෙන් නම පටන් ගන්නා අයගේ චරිත ස්වභාවය පිළිබඳව විස්තර කරන අතර මෙයට පෙර ලිපිවලින් A අකුරේ සිට O අකුර දක්වා විස්තර පැහැදිලි කරන ලදි.
මෙහිදී ඔබ මතක තබා ගත යුතු කරුණක් වන්නේ P අකුර මුලට යෙදී නමක් පටන් ගන්නවා සේම ඒ නම ඔබ නිතර භාවිත කරන නමක් බවට පත්වීම තුළ මේ කියන කාරණාවන් වඩාත් ඔබ තුළින් ඉස්මතු වන බවයි. ඔබට P අකුරින් පටන් ගන්න නමක් තිබුණත් එය භාවිත නොකරන්නේනම් එහි බලපෑම අවම වෙයි. ඉතින් ඔබත් ඉංග්‍රීසි භාෂාවේ P අකුරෙන් පටන් ගන්න නමක් භාවිත කරන කෙනෙක්නම් බලන්න මේ කියන කාරණාවන් ඔබේ ජීවිතයට කොතරම් සමීපද කියා.
P අකුර මුලට යෙදී නම පටන් ගන්නා අය තේරුම් ගැනීමට ඉතා පහසු පුද්ගලයින් කොටසක් ලෙස හැඳින්විය හැකිය. මොවුන්ට ඉතාමත් විවෘත අදහස් ඇත. අවංකවම හදවතින්ම සිනාසෙන ගතියක් මෙකී පුද්ගලයන් තුළ ඇත. ඉතාමත් නිහතමානී ගති ලක්ෂණ P අකුර හිමියන් තුළ පවතී.
නිතර විනෝදයෙන් සතුටින් කාලය ගත කිරීමට කැමැති පුද්ගලයින්ය. සුහද මිත්‍රශීලි ගති ලක්ෂණ පවතින අතර ඉතාමත් සමාජශීලි පුද්ගලයන් කොටසක් ලෙස හැඳින්විය හැකිය. ඕනෑම පිරිසක් අතර අමුත්තක් නැතිව හැසිරෙයි. මොවුන්ට විවිධ වූ විෂය ක්ෂේත්‍රයන් පිළිබඳ දැනුම හා අවබෝධයක් පවතී. ඇත්තටම මොවුන් දක්ෂ පුද්ගලයින් ලෙස හඳුන්වන්නට පුළුවන්. ඕනෑම වැඩක් පටන් ගත්තොත් ඒ තුළ ඉතා වුවමනාවෙන් නියැළෙයි. පළමු දැකීමෙන්ම මොවුන් කුමන ආකාර පුද්ගලයින් ද යන්න හඳුනා ගැනීමට පුළුවනි. අන් අයට වඩා ජීවිතයට සමීප බවක් හා ළෙන්ගතු බවක් මොවුන් තුළින් දැකිය හැකිය.
එමෙන්ම මොවුන් තරමක් කාර්යබහුල ජීවිතයක් ගත කරනු පෙනේ. ජීවිතය පුරාම ප්‍රශ්න සහ අභියෝගවලින් නම් අඩුවක් නොවේ.
නමුත් කුමන ප්‍රශ්න අභියෝග ආවත් ඒ සියල්ලටම මුහුණ දීමේ ශක්තියක් මොවුන් තුළ ඇත. සැබැවින්ම P අකුර හිමියන් ඒවා එතරම් ගණන් ගන්නේ නැත. සෑම විටම සැහැල්ලුවෙන් ජීවිතය ගැන සිතීම මෙකී පුද්ගලයන්ගේ ස්වභාවයයි. නමුත් තම වගකීම් යුතුකම් පැහැර හරින්නේ නැත. තමාට පුළුවන් අයුරින් කැපකිරීම් කරන්නට මේ අය පසුබට නොවේ. මොවුන් පහසුවෙන් කම්පාවට සහ මානසිකව කඩා වැටෙන පුද්ගලයින් නොවේ. හොඳ දරා ගැනීමේ හැකියාවක් ඇති මොවුන් තමාට මොනතරම් ප්‍රශ්න තිබුණත් ඒවා පිටතට නොපෙනෙන ලෙස සාමාන්‍ය ආකාරයෙන් කටයුතු කිරීමට දක්ෂ වෙයි. පිටතින් බලන අයෙකුට පේන්නේ මොවුන් නිතර සැහැල්ලුවෙන් සතුටින් ඉන්න පුද්ගලයන් ලෙසයි.
එසේම භෞතික වශයෙන් දියුණු වීමට ද මොවුන් තුළ හොඳ හැකියාවක් දක්ෂකමක් ඇත. තම පෞද්ගලික දේපළක් ධනයක් ගොඩනඟා ගැනීමට P අකුර හිමියන්ට ලොකු කාලයක් ගත වන්නේ නැත. මෙකී පුද්ගලයන්ට මොනතරම් නැතිබැරිකම් අඩුපාඩු තිබුණත් ඒ බවක් පිටට පේන්නේ නැත. හොඳට සල්ලි මිල මුදල් තිබෙන බවක් පිටතට පෙනේ. ඔවුන්ගේ අමාරුකම් සහ අපහසුතා සැබෑවටම දන්නේ ඔවුන් ම පමණි. මොවුන් බොහෝ මිතුරන් ද පහසුවෙන් ඇතිකර ගනී. ඔවුන්ට තම හැකි උපරිමයෙන් උදවු කිරීමටද පෙලඹෙයි. එසේ උදවු කිරීමට ගොස් එතුළින් බොහෝ පාඩු ද සිදුකර ගනී. කොපමණ පාඩු වුවද ඒවා එතරම් ගණන් ගන්නේ නැත.
P අකුර හිමියන් රණ්ඩු සරුවල්වලට සහ ගැටුම් ඇතිකර ගැනීමට කිසිසේත්ම කැමැති නැත. හැකිතරම් එවැනි අවස්ථා මඟහැර සිටීමට උත්සාහ ගනියි. සාමකාමි නිදහස් පරිසරයක් තුළ ජීවත්වීමට ඇලුම් කරයි. එමෙන්ම මොවුන් විශ්වසනීය පුද්ගලයින් කොටසක් ලෙස ද හැඳින්විය හැකිය. මොවුන්ට කේන්ති යන ගතිය තිබුණත් තරහා වැඩි කල් හිතේ තබාගෙන ඉන්නේ නැත. මොවුන් උපක්‍රමශීලි බුද්ධියෙන් යුක්ත වෙයි. අවස්ථාවට අනුව හැඩ ගැහෙන ස්වභාවයෙන් යුක්ත වෙයි. මානුෂීය හැඟීම්වලින් යුතු මොවුන්ට සාර්ථක ජීවිතයක් ගත කිරීමේ වාසනාව ඇත.
Q අකුරෙන් නම පටන් ගන්න අයගේ පලාපල ලබන කලාපයෙන් බලාපොරොත්තු වන්න.
ඒ. ජේ. දීපාලෝක
(ප්‍රවීණ ජ්‍යොතිර්වේදී සහ පාඨශාලාචාර්ය
ඉසිවර සහන
ජ්‍යොතිෂය සේවය)