සතියේ කලදවස | සිළුමිණ

සතියේ කලදවස

මේෂ - සුබ සතියකි

සඳු ගමන් ගන්නේ 3,4,5 යන භාවයන් හරහාය. සහෝදර, දෙමවුපියන්ගෙන් උපකාර හිමිවන දූ දරුවන් සමඟ බැදීම් වර්ධනය වන සතියකි. ගෙදර දොර පිරිසිදුව තබා ගැනීමට වැඩි වෙහෙසක් දරයි. රැකියා ව්‍යාපාරවලින් ආදායම් සරු වන දුවා දරුවන්ගේ අධ්‍යාපනික දැනුම වර්ධනය වන පුණ්‍ය කටයුතුවලට යොමු වන සුබ කාල වකවානුවකි. අපල අවම කර ගැනීමට අඟහරුවාදා දින නිර්මාංශව බෝධියක් අබියස රතු නෙලුම් හෝ වෙනත් රත්මල් පූජා කරන්න. කතරගම දෙවියන්ට පින් දෙන්න.

සුබ අංකය - 4, 5, සුබ වර්ණය - රතු, සුබ දවස් - ඉරිදා, අඟහරුවාදා

 

වෘෂභ - ධන ලාභ

සඳු ගමන් කරන්නේ 2, 3, 4 යන භාවයන් හරහාය. ආර්ථිකය ශක්තිමත් වන වචනයේ සුහදශීලි බව නිසා බොහෝ දෙනාගේ අවධානයට ලක්වන ඔබට මේ සතිය සුබදායකය. ගෘහ ජීවිතය සාමයෙන් ගත වන දරුවන්ගේ ඉගෙනුම් සාර්ථකත්වයට පත්වන සහ සහෝදර බැදීම් වර්ධනය වන බවද පෙන්වයි. පදිංචි ස්ථානයේ අනාගත දියුණුව සඳහා වැඩපිළිවෙළ සකසයි. මව්ගේ උපකාරයද ඒ සඳහා ලැබෙයි. අපල අවම කර ගැනීමට අවේලාවේ ගමන් බිමන් නොයන්න. පමණ ඉක්මවා අන්‍යයන්ට උදවු කිරීමෙන් වළකින්න.

සුබ අංක - 5, 6, සුබ වර්ණය - සුදු, රෝස, සුබ දවස් - සිකුරාදා, සෙනසුරාදා

 

මිථුන - ජයග්‍රාහි සතියකි

සඳු ගමන් කරන්නේ ලග්නය 2 සහ 3 වැන්න හරහාය. සෑම කටයුත්තකදීම බුද්ධිමත් තීන්දු තීරණ ගැනීමට නැණ නුවණ පහළ වේ. ඔබට ප්‍රමාද වූ යම් මුදලක් ලැබිමේ ප්‍රවණතාව පෙන්වයි. සහජ දක්ෂතාවලට ඉඩකඩ ලැබෙන ඒවායින් පල ප්‍රයෝජන ගත හැකි දින කීපයකි. ඒවාට උනන්දු වන්න. පුණ්‍ය කටයුතු සඳහා නිරායාසයෙන් යොමු වේ. දරුවන්ගේ දක්ෂතා අසන්නට ලැබෙයි. ගෘහ ජීවිතය සාමකාමීය. අපල අනතුරු පෙන්වන නිසා සතිය ආරම්භයේ සිට සෑම දිනකම නිවසින් පිට වෙන්නට පෙර මල් පහන් පූජා කර දෙවියන්ට පින් දී අන්තරාය නිවාරණ පිරිත කියා යන්න.

සුබ අංක - 3, 5, සුබ වර්ණය - කොළ, සුබ දවස් - සිකුරාදා, බදාදා

 

කටක - මිශ්‍ර පල සතියකි

සඳු ගමන් කරන්නේ 12 වැන්න ලග්නය හා දෙවැන්න මතිනි. ආරම්භය ගැටලු සහගත වේ. පාඩුවක් සිදුවිය හැකිය. ඉන්පසු ගෘහ ජීවිතය සාමකාමීය. ආර්ථිකය ශක්තිමත් බවක් උසුලයි. රැකියා, ව්‍යාපාරවල තත්ත්වය සතුටුදායක වන අතර දරුවන්ගේ ඉගෙනීමට අවශ්‍ය කරන දැනුම වර්ධනය වේ. අපල අවම කර ගැනීමට සතියේ ආරම්භක දිනය නිර්මාංශ වන්න. බුදුන් වැඳ පත්තිනි දේවියට පින් දෙන්න. අත දරුවන්ට ආදරය කරුණාව දක්වන්න. එවැනි දරුවන් සිටින මවකට උපකාර කරන්න.

සුබ අංක - 7, 9, සුබ වර්ණ - සුදු, සුබ දවස් - සදුදා, බ්‍රහස්පතින්දා

 

සිංහ - ධන ලාභ

සඳු ගමන් කරන්නේ 11, 12 යන ලග්නය මතිනි. මුල් දිනයේදී ලැබෙන්නට තිබූ මුදලක් හිමි විය හැක. විදෙස්ගත වීම්වලට සුබ පණිවුඩ හෝ එහි සිටි හිතවතුන් පැමිණීමට පුළුවන. දැඩි උත්සාහයකින් කටයුතු කරයි. පුණ්‍ය කටයුතුවල නියැළීමට අවස්ථා යෙදේ. දරුවන්ගේ දක්ෂතා අසන්නට ලැබෙයි. රැකියා ව්‍යාපාරවලින් ආදායම් හිමි කර දෙයි. එහෙත් නිෂ්ඵල වියදම් නිෂ්ඵල ගමන් යෙදිය හැකි සතියක් බැවින් ප්‍රවේශම් වන්න. අපල අවම වීමට පෙරවරු කාලයේ සූරිය පිරිත හෝ මෝර පිරිත කියන්න.

සුබ අංක - 1, 4, සුබ වර්ණ - රතු, සුබ දවස් - ඉරිදා, අඟහරුවාදා

 

කන්‍යා - යහපත් කටයුතු පල දරයි

සඳු ගමන් ගන්නේ 10, 11, 12 යන භාවයන් මතිනි. රැකියා ව්‍යාපාර දියුණු වී ආදායම් තත්ත්වය සුබ අතට හැරෙයි. ගෘහ ජීවිතය තුළ ගැටලු මඟ හැරේ. නැදෑ හිත මිතුරන්ගේ උදවු උපකාර ලැබෙන දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පල දරන සතියකි. එහෙත් නිෂ්ඵල වියදම් නිෂ්ඵල ගමන් සහ අලාභද සිදු විය හැකි බැවින් ප්‍රවේශම් වන්න. බුද්ධිමත්ව සිතා බලා කටයුතු කරන්න. අපල අවම කර ගැනීමට ඉගෙන ගන්නා දරුවනට උපකාර කරන්න.

සුබ අංක - 5, 7, සුබ වර්ණ - කොළ, සුබ දවස් - බදාදා, සිකුරාදා

 

තුලා -වාසනාවන්ත සතියකි

සඳු ගමන් ගන්නේ 9, 10, 11 යන භාවයන් මතිනි. පුණ්‍ය සිතුවිලි සහිතව ආරම්භ කෙරෙන සතිය ඔබට යහපත් ප්‍රතිඵල උදා කර දෙයි. දැහැමින් කටයුතු කරන වෙළෙඳ ව්‍යාපාර රැකි රක්ෂාවලින් ලාභ ලබන බවක් පෙන්වයි. ඇසුරු කරන අයගෙන් උපකාර මෙන්ම තමාට ලැබිය යුතු මුදලක් හිමි වීමටද ඉඩ ඇත. සමාජ සේවා වැඩවල නිරත වෙයි. අපල අවම කර ගැනීමට නිවසින් පිට වීමට ප්‍රථම බුදුන්ට පැන් බඳුනක් තබන්න. නොයෙක් පාට මල් පූජා කරන්න. දෙවියන්ට පින් දෙන්න.

සුබ අංක - 5, 6, සුබ දවස් - සිකුරාදා , සෙනසුරාදා, සුබ වර්ණ - සුදු, ක්‍රීම්

 

වෘශ්චික - මිශ්‍ර පල සහිතයි

සඳු ගමන් ගන්නේ 8, 9, 10 යන භාවයන් මතිනි. ආරම්භය එතරම් සතුටුදායක නොවිය හැකිය. හිතවතෙකුගේ ඥාතියෙකුගේ මරණයක් සැලවීමට ඉඩ තිබේ. ඉන්පසු තමාගේ රැකියා ව්‍යාපාර කටයුතුවල දියුණුවට වැඩ කර ගැනීමට උනන්දු වේ. පුණ්‍ය කටයුතුවලට දායකත්වය ලබා දෙයි. දරුවන්ගේ දක්ෂතාවන්ට හිමි තැන ලැබීම නිසා සතුටු වෙයි. එහෙත් තමාට ලැබිය යුතු ලාභයක් වුවමනාවෙන්ම මඟ හැරී යා හැකි බැවින් බුද්ධිමත්ව වැඩ කරන්න. අපල අවම කර ගැනීමට තිරිසන් සතුනට ආහාර ජලය දෙන්න.

සුබ අංකය - 4, 5, සුබ වර්ණ - රතු, සුබ දවස් - අඟහරුවාදා, බ්‍රහස්පතින්දා

 

ධනු - ව්‍යාපාර ලාභ

සඳු ගමන් කරන්නේ 7, 8, 9 යන භාවයන් මතිනි. ව්‍යාපාර කටයුතුවලින් ලාභ ලැබෙන සුබ සතියකි. යුග දිවිය ගැටලු නොමැතිව ගත කරයි. හිතවත් ඥාති කාගේ හෝ මරණයක් ආරංචි වී කනගාටුවට පත්වේ. පුණ්‍ය කටයුතුවලට දායකත්වයක් සැලසෙන දරුවන්ගේ අධ්‍යාපනය සතුටුදායක ලෙස පවත්වාගෙන යන බවක්ද පෙන්නුම් කරයි. අපල අවම වීමට වයසක වැඩිහිටි දුර්වල අයට භික්ෂුන් වහන්සේලාට ඇප උපකාර කරන්න.

සුබ අංක - 5, 6, සුබ වර්ණ - කහ, සුබ දවස් - බ්‍රහස්පතින්දා, ඉරිදා

 

මකර - උසස් ගුණගරුක මිතුරන් මුණගැසේ

සඳු ගමන් කරන්නේ 6, 7, 8 යන භාවයන් මතිනි. රැකියා ව්‍යාපාර සමාජ සේවා කටයුතුවලට වැඩි දායකත්වයක් සපයයි. උසස් මිතුරන් හමුවේ. ප්‍රසිද්ධියට පත්වේ. රැකියා සඳහා වැඩිපුර ඇවිදීමට සිදුවන අතර අසනීප ගති මතු කරයි. වෙනත් දුක්ඛදායක අවස්ථාවලට සහභාගී වන්නට සිදුවිය හැක. බුද්ධිමත්ව අභියෝගවලට මුහුණ දීමට අවශ්‍ය කරන ශක්තිය ධෛර්ය ඇති කරයි. අපල අවම කර ගැනීමට ධර්මය ශ්‍රවණය කරන්න.

සුබ අංක - 5, 9, සුබ වර්ණ - නිල්, සුබ දවස් - සිකුරාදා, සෙනසුරාදා

 

කුම්භ - ස්වෝත්සාහයෙන් කටයුතු කරයි

සඳු ගමන් කරන්නේ 5, 6, 7 යන භාවයන් හරහාය. දරුවන්ගේ අධ්‍යාපනය ඉතා උසස් මට්ටමින් කරගෙන යාමට අවශ්‍ය දැනුම සම්පාදනය වෙයි. ව්‍යාපාර හා රැකියා කටයුතුවලින් ලාභ ප්‍රයෝජන ලැබේ. සියල්ල තනි තනිවම කරගෙන යාමට උත්සාහයක යෙදෙයි. පුණ්‍ය කටයුතුවලට සහභාගී වීමේ ඉඩකඩ වැඩිය. දියුණුවට වැඩ කරගන්නා සතියකි. අපල අවම කර ගැනීමට කුරුල්ලන්ට, ලේනුන්ට ආහාර ජලය තබන්න.

සුබ අංක - 5, 8, සුබ වර්ණය - නිල්, සුබ දවස් - සිකුරාදා, සෙනසුරාදා

 

මීන - දරුවන්ගේ දක්ෂතා මතු කරයි

සඳු ගමන් කරන්නේ 4, 5 , 6 යන භාවයන් මතිනි. ගෙදර දොර කටයුතු වෙනුවෙන් සහ දුවා දරුවන්ගේ ඉගෙනුම් වැඩ සඳහා බොහෝ වෙහෙසෙයි. නිවසේ අලංකාරය ඇති කරයි. ගෘහ ජිවිතය ගැටලු නොමැතිව පවත්වාගෙන යාමට බුද්ධිමත් තීන්දු තීරණ ගනියි. මවගේ සහ මව්පස ඥාතින්ගේ සහායද ලැබෙනු ඇත. ආර්ථික දුෂ්කරතා මඟ හැරී යයි. හොඳ නම පැතිර යයි. අපල අසනීප සතුරු කරදර පැමිණිය හැකි බැවින් ඒ පිළිබඳව විමසිලිමත්ව කටයුතු කරන්න.

සුබ අංක - 5, 9, සුබ වර්ණ - කහ, සුබ දවස් - බ්‍රහස්පතින්දා, අඟහරුවාදා

Comments